Wednesday, September 27, 2017

‌ටැබ්ලට් වලට ඇලුනු අපේ දරුවෝ!



අද අපි සයිබර් සටහනෙන් කතා කරන්න යන්නෙ ඉතාමත් කාලෝචිත මාතෘකාවක්.
දරුවෙක් විවිධ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා අන්තර්ජාලයේ ගත කරන කාලය කොපමණ විය යුතුද?

Special extended episode broadcasted on 3ZZZ radio on


සෞඛ්‍ය සේවයේ විද්වතුන් මේ සඳහා ඉදිරිපත් කල, ජාතික මට්ටමෙන් පිලිගත් වාර්තාවක් ඇසුරෙන් තමා අද මම ඔබට මේ දත්ත ඉදිරිපත් කරන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ දත්ත ඇත්තටම ඔබව තරමක විමතියට පත් කරාවි කියලා මට සහතිකයි. දරුවාගේ වයස කාන්ඩ තුනක් අනුව, මේ ජාලගත කාලය (online time/screen time) ඔවුන් රෙකමදාරු කරනවා. ඒ දත්ත ඉදිරිපත් කරන්න කලින්, මෙම ජාලගත කාලය දරුවෙකුට කරන බලපෑම, කෙටියෙන් හරි තේරුම් ගන්න ඕනෙ මෙයට ප්‍රවේශයක් විදියට.

ස්මාට් දුරකථනයක් හෝ බොහෝ විට ටැබ්ලට් එකක් දෙස ඇස් ළං කරගෙන එහිම ඇලී කාලය ගත කරන දරුවන් බොහොම සුලභ දසුනක්. බොහෝ විට online games, මිතුරන් සමග චැට් පනිවිඩ හුවමාරුව, ගීත ඇසීම, වීඩියෝ නැරඹීම, සමාජ ජාල ඇප් හරහා විනෝදාස්වාදය ලැබීම ආදී විවිධ කාර්යයන් සඳහා ඔවුන් මෙසේ ඉලෙක්ට්‍රොනික උපාංගවලට ආකර්ශනය වෙනවා. ඔබ ඉතා හොඳින් නිරීක්ශණය කරොත් ඔවුන් මින් දෑස් ඉවතට ගන්නේ එක්කෝ එම උපකරණයේ බැටරිය අවසන් වීමෙන් එය ක්‍රියාවිරහිත වීම නිසා, එහෙමත් නැත්නම් වැඩිහිටියෙක් එය ඔවුන්ගෙන් ඉවතට ගැනීම නිසා. ඒ සමගම අපි බොහෝ විට යොමු වෙලා ඉන්නවා දරුවා නිහඬ කර ගැනීමට හෝ ඔවුන් මොහොතකට හෝ අපේ අවධානයෙන් ඈත් කර ගැනීමට ඔවුන් අතට මෙවැන්නක් ලබා දීමට. එය අතට ගත් සැණින් දරුවා යම් ඉන්ද්‍රජාලයකින් මෙන් බඩගින්න, කම්මැලිකම, කායික වේදනා ආදිය අමතක කරලා තමන්ගේම ලෝකයක් වෙතට තටු ලබනවා. දුර ගමනාන්තයක් වෙත වාහනයක ගමන් කරද්දී හෝ සාදවල වැඩිහිටියන් අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී මෙලෙසින් පැත්තකට වී විද්යුත් උපාංගයක් වටා රංචුවක් ලෙස වට වී හෝ තනි තනිව ඇස් ආසන්න‍යටම ගත් තිරයක් වෙත දැහන්ගත වී සිටින දරුවන් දක්නට ලැබෙනවා. සමහර දරුවන්ට කෑම කවන්න පවා දෙමාපියන් ඔවුන් අතට මෙවැනි උපකරණයක් ලබා දීම අපි බොහෝ විට දකින දසුනක්.

දරුවන් මෙලෙසින් මෙම උපකරණවලට ඇලෙන්නේ ඇයි? පර්යේශනවලින් ඔප්පු කරලා තියෙනවා මෙවැනි ක්‍රියාකාරකම් වෙද්දි ළමා, වැඩිහිටි ඔනෑම මොළයක ඩෝපමීන් කියන රසායනිකය නිශ්පාදනය වෙනවා කියල. ඔය රසායනිකයම තමයි මත්පැන්, මත් ද්‍රව්‍ය පානය කරද්දි, සූදු ක්‍රීඩාවේ නියැලෙද්දි මොළේ නිෂ්පාදනය වෙන්නෙත්.
ඇත්තට මොකක්ද ඩෝපමින් මනසට කරන්නෙ - "ඇබ්බැහිය". වෙන ඕනෙම ඇබ්බැහියක් වගේ මොළයේ තර්කන ශක්තිය අභිබවා, ඒ කාර්යයේම දිගටම නිරත වීම තුලින් ප්‍රමෝද‍යක් ලබන්නට ඉන් බල කෙරෙනවා. දරුවාට මත්පැන්, සූදුව අහිතකර නිසා ඉඩ නොදෙන අපි, අධික භාවිතයෙන් ඊට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති කරන මෙම ඇබ්බැහියට බාධවකින් තොරව ඉඩ දෙනවා.
නමුත් කෙනෙකුට තර්ක කරන්න පුලුවන්, එලෙසින් ඇබ්බැහි වී, වැඩි කාලයක් මෙම උපාංග සමග අන්තර්ජාලයේ ජාලගත වීම හරහා ඇත්තටම එතරම්ම හානියක් වෙන්න පුලුවන්ද කියලා, විශේෂයන්ම මත්පැන් සහ සූදුව සමග මෙය සංසංදනාත්මක පැවසීම නිසා. මෙය තේරුම් ගැනිම වැදගත් මෙහි අවධානම ගැන නිසි තක්සේරුවකට එන්න. මේ සඳහා අපි බලමු ඇබ්බැහියකට ලක් වෙන දරුවෙකුගේ මානසික සහ කායික සෞඛ්‍යයට එය කරන බලපෑම.

මෙය ආරම්භ වෙන්නෙ සමහර Apps හෝ Games වලට ගත කරන කාලය කෙමෙන් කෙමෙන් වැඩි කරන්න ගැනීමෙන්. බොහෝ විට ඒ වෙත සෑහෙන ආසක්ත භාවයක් එහෙමත් නැත්නම් obsession එකක් ඇති කර ගන්නවා. පරිගණකයෙන් හෝ අන්තර්ජාලයෙන් ඈත් ව සිටින වෙලාවලදි නොඉවසිල්ල හෝ එවැනි උපාංගයක් සමග සිටින විට එය ‍‍යමෙක් ඉවතට ගැනිමේදි කෝප ගැනීම දරුවාගේ ඇබ්බැහිය ගැන යම්කිසි ඉඟියක් ඔබට ලබා දෙනවා ඇත. තමන්ගෙ online කාලය වැඩි කි‍රීමත් එක්ක, වෙනත් දරුවන් සමඟ ක්‍රීඩා කරන්න හෝ වෙනත් සමාජ ක්‍රියාකාරකම් වලට දැඩි මැලිබවක් දකින්නට ලැබෙනවා. තනිව හෝ නිහඬව සිටීමට උනන්දුවක් දක්වනවා, බොහෝ විට වෙහෙසකාරී බවක් හෝ හිසරදය, ඇස්වල විඩාව සහ නින්ද සම්බන්ධව පැමිණිලි කරනවා. පාසල් කටයුතු බොහෝ විට අතපසු කරන අතරෙ, ඒ ගැන උනන්දුව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. තමන්ගෙ පුද්ගලික පිරිසිදුභාවය (personal hygiene) පවා උනන්දුව අඩුවෙනවා.

මේ සමහර ලක්ශණ, නව යෞවනය පසු කරන දරුවෙකුගෙ ස්වභාවිකවම එන ලක්ශණ වෙන්නත් පුලුවන්. එනිසා විමසිල්ලෙන් සිටීම වැදගත් වගේම අනවශ්‍ය ලෙස කලබල වී දරුවන් සමග ගැටුම් වලට යාම කිසි කෙනෙකුට සෙතක් ගෙන දෙන්නෙ නැහැ. බොහෝ විට සමාජ ජාලා හරහා, ඔබ නොදැන දරුවා වෙනත් අය විසින් මානසික පීඩාවකට ලක් කරමින් ඉන්න මොහොතක නම් (Cyber Bullying, Cyber Harassment ආදියෙන්), ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වන්නෙ වැඩිහිටි ආදරය සහ සහයෝගයයි.

ඒ ප්‍රවේශයත් එක්ක දැන් මා මුලින්ම සඳහන් කල එක් එක් වයස් කාන්ඩවලට අනුව දරුවන්ට සෞඛ්‍ය ක්ශේස්ත්‍රයේ විද්වතුන් අනුමත කරන තිර කාලය (recommended screen time) කොපමනද? මේ දත්ත මා ගන්නේ ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්. ඔබ බොහෝ දෙනෙක් පුදුම වෙයි අසන්නට, වයස අවුරුදු 2 ට අඩු දරුවන් කිසිම් ලෙසකින් වත් මෙම උපාංගවලට නිරාවරන‍ය නොවිය ‍යුතු බවට ඔවුන් රෙකමදාරු කරනවා. ස්වභාවිකවම මේ වයසෙ දරුවෙක්, අවට පරිසරයේ දේවල් ස්පර්ශ කර, විශේෂයෙන්ම තමන්ගේ චාලක ස්නායු ආදිය වර්ධනය කර ගන්න අවදියේදි, මෙම තිර වෙත ඇබ්බැහි වීමෙන් එවැනි මූලික චාලක හැකියාවන් වර්ධනය මොට වීමේ අවදානමක් තියෙනවා. ඔවුන් එ සමගම යෝජනා කරනවා වයස 2 සිට 5 දක්වා දරුවන් පැයකට අඩු කාලයකුත්, 5 සිට 17 දක්වා දරුවන් පැය දෙකකට අඩු කාලයකුත් පමනක් විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් මෙම උපාංග සමග ජාල ගත විය යුතු බව.
මම දන්නවා මේ ඉලක්කම් සමග ඔබට බොහෝ ගැටලු එනවා, මෙය ප්‍රායෝගිකද? මගේ දරුවන් දැනටත් මීට වඩා වැඩි කාලයක් පාසලේදිත් මෙම උපාංග සමඟ ගත කරනවා ආදී ලෙස.
මුලින්ම කියන්න ඕනෙ මේ ඉලක්කම් නිර්දේශ පමණයි, එය දරුවාගෙන් දරුවාට, පවුලෙන් පවුලට සුලු සුලු වෙනස්කම් එක්ක තමයි අදාළ වෙන්නෙ. ඒ එක්කම මේ කියන්නෙ විනෝදාස්වාදයට (entertainment) අදාල කාලය, අධ්‍යාපනික කටයුතු වලට අදාළ (academic) කාලය නෙවෙයි.

මේ මොහොතෙ තාක්ශණය අද්‍යාපනය උඩු යටි කුරු කර ඇති ආකාරය රහසක් නෙවෙයි. එනිසා දරුවා අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් මෙලෙසින් තාක්ශණය භාවිතා කිරීම අනුබල දිය යුතු කටයුත්තක්. ඇත්තෙන්ම ඉන් දරුවාගෙ හැදෑරීම් පරාසය පුලුල් වෙනවා සේම, නිර්මාණශිලිත්වය, සාහිත්‍ය, ගණිතය, සාමාන්‍ය දැනුම සමගම විනෝදාස්වාදය ලැබීම තුලින් සමාජ ජීවිතය සමග සමබරතාවයක් ඇති කරගන්නත් එය රුකුලක් වෙනවා. සමබර ආහාර වේලක වැදගත්කම අපි කවුරුත් දන්නවා. එම මූලික සිද්ධන්තය මෙතනටත් වලංගුයි. දරුවා කැමතියි කියලා අපි පැණි රස තුන් වේලටම කන්නෙ දෙන්නෙ නැහැනෙ. ඒ වගේම ජාලගත කාලය විනෝදාස්වාදයට, අධ්‍යාපනික සහ ඉන් පරිබාහිර ක්‍රිඩා, කලා වැනි සමාජශීලි කාර්‍යයන් සමග සමබර කර ගැනීමෙන් ඔබට ඔවුන්ට මෙය අවදානමක් නොවී පෞරුෂ වර්ධන මෙවලමක් විදියට පරිවර්තනය කරන්න පුලුවන්.

අවසාන වශයෙන් අපි කෙටියෙන් හරි කතා කරන්න ඕනෙ මේ සමබරතාවය (right balance) වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්. වැදගත්ම කාරනය තමා මේ ගැන දරුවන් එක්ක කතා කරන්න පුරුදු වෙන එක. ඔවුන් ඔබට වඩා තාක්ශණ‍ය භාවිතයෙන් ආලෝක වර්ෂ ගානක් ඉදිරියෙන් ඉන්න පුලුවන්. නමුත් එහි තියෙන අවදානම ගැන ඔවුන්ට තියෙන්නෙ ඉතාමත් අඩු සංවේදිතාවයක්. එනිසා ඔවුන් සමග සුහදව මේ කරුණු ගැන සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේම ආරක්ශාව වෙනුවෙන් ඔබට යෙදවිය හැකි වෙනවා.

ඒ අතරෙම උපාංග භාවිතය පිලිබඳව යම් නීති පැනවීමක් සිදු කරන්නටත් ඔබට සිදු වෙනවා. විශේෂයෙන්ම භාවිතා කරන කාලය සහ එම උපාංග තබා තිබෙන්නෙ කොයි ස්ථානවලද යන කාරනා ගැන. කිසි ලෙසක දරුවාගෙ නිදන කාමරයේ එම උපාංග තියා ගන්නට ඉඩ දෙන්න එපා. මුලු නිවසේම උපකරණ රාත්‍රී කාලයේ පොදු, එකම ස්ථානයක තබන්න හුරු කරවන්න. ඔවුන්ට දෙන කාලය තදින්ම ක්‍රියාත්මක කරන්න, නැතහොත් ඔබ නොදැනුවත්වම ඔවුන් එය ටිකෙන් ටික වැඩි කර ගන්නට උත්සාහ කරනවා.

ඒ එක්කම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොර පවුලේ වේලාවක් ක්‍රියාත්මක කරන්න, එයට ඔබත් අනුගත වන්න. දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කර, ඔබ ඒ මොහොතේ එවැනි උපාංගයක් භාවිතා කල හොත් එය දරුවන්ට වැරදි ආදර්ශයක් ගෙන දෙන බව ඉතා පැහැදිලියි. සියලු අධ්‍යාපනික වැඩ, සංගීත හෝ වෙනත් කාර්‍ය සියල්ල අවසන් කර පසු ඔවුන්ට ඔවුන්ගේ ජාලගත කාලය ලබා දීම ආදී ක්‍රියාමාර්ග මගින් මේ සමබරගතාවය ඔවුන්ටත් ඔවුන්ගේ දෛනික දින චරියාවෙ පුරුද්දක් බවට පත් කල හැකිය.

කිසිම දරුවෙක්, පවුලක් එක වගේ නැහැ.
එනිසා අවසාන වශයෙන් මේ සියල්ල තමන්ගේ දරුවාට අනුගත වෙන ආකාරය තීරනය කල යුත්තේ ඔබ විසිනුයි. නමුත් ඒ වෙනුවෙන් කිසියම් හරවත් යමක් එකතු කරන්නටයි මේ උත්සාහය ගත්තේ.

Reference: http://www.health.gov.au/internet/main/publishing.nsf/content/health-pubhlth-strateg-phys-act-guidelines