Saturday, November 4, 2017

Stay Smart Online සතිය


Episode 5 Stay Smart Online Week
Duration: 4 mins 11 sec

ඔක්තොම්බර් මාසෙ අන්තර්ජාල ආරක්ශණය (cyber security) සම්බන්ධව ඉතා වැදගත් මාසයක්. ජාතික මට්ටමේ දැනුවත් කි‍රිම් විශාල ප්‍රමාණයකට රටවල් බොහොමයක් මේ මාසය යොදා ගන්නවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ රජය මෙම මාසය හඳුන්වන්නේ National Cyber Security Awareness Month ලෙසින්. යුරොපානු සංගමයේ රටවල මෙම මාසය හඳුන්වන්නේ European Cyber Security Month කියලා.
ඔස්ට්‍රේලියාවෙ ‍රජය මේ සඳහා යොදා ගන්නෙ ඔක්තොම්බර් මාසෙ සතියක්. එය හඳුන්වන්නෙ Stay Smart Online Week නමින්.
එය යෙදිල තිබුනෙ හරියටම මේ සතියෙ, ඒ නිසා සයිබර් සටහනෙත් ඒ ගැන කෙටියෙන් හරි යමක් සඳහන් කිරීම කාලෝචිතයි කියලා මම සිතුවා.
මෙවර තේමාවත් ඉතා වැදගත් - Simple steps to stay smart online.

බොහෝ දෙනෙක් අන්තර්ජාල උවදුරුවලින් ආරක්ශා වෙන එක ගැන හිතන්නෙ තමන්ට ගෝචර නොවෙන, තාක්ශණිකව සංකීර්ණ ක්‍රියාවලි කියලා, මෙය මිත්‍යාවක්. තාක්ශණිකව සංකීර්ණ වෙන්නෙ උවදුරකට ලක්වුනොත් ඉන් වන හානිය කලමනාකරනය කර ගැනීම වගේ දේවල්, නමුත් සතුටු වෙන්න පුලුවන් කාරනේ තමා ආරක්ශාකාරී වෙන්නෙ බොහෝ විට පිලි පදින්න තියෙන්නෙ ඉතා සරල ක්‍රියාවලීන් සහ තාක්ශණික විධි ක්‍රම කියන එක. අද අපි කෙටියෙන් කතා කරමු ඒවයින් කිහිපයක්. 

2016 අවුරුද්දෙ, ඔස්ට්‍රේලියානුවන් හතරෙන් එකක් ස්වකීය හැඳුනුම ආශ්‍රිත සොරකමකට (identity theft) ගොදුරු වෙලා තියෙනවා. මෙවැනි scam වලින් ඔවුන්ට වූ සමස්ත පාඩුව ඩොලර් මිලියන 48ක්.  අවබෝධයෙන් සිටිය නම් ඔවුන්ට බොහොම පහසුවෙන් මේවයින් ගැලවෙන්න තිබුනා. අපි මේ ගැන කප්පම් වයිරස කතා කරද්දි සාකච්චා කරා නමුත් වැදගත් කම නිසා ඒ ගැන නැවත මතක් කරන්නම්.
නොදන්නා හෝ සැක කටයුතු ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීම, එහි තියෙන ලින්ක් ක්ලික් කිරීමෙන් වැලකී සිටීම, පුද්ගලික තොරතුරු දීමෙන් වැලකී සිටීම මින් මූලිකයි.
ඒ සමගම හොඳ anti virus මෘදුකාංගයක් අනිවාර්‍යෙන් භාවිතා කරන්න. පද්ධතිය යාවත්කාලීන (update) වෙන්න සකසා ගන්න අතරෙ වටින ලිපිගොනුවල අමතර බාහිර පිටපතක් (external backup copy එකක්) තබා ගන්න අපි කලින් දවසකත් මතක් කරා වගේ.
ඔස්ට්‍රේලියානුවන් තුනෙන් දෙකක් තමන්ගේ ස්මාට් දුරකථනයට anti-virus ඇප් එකක් භාවිතා කරන්නෙ නෑ. එනිසා නැවතත් අවධරනය කරන්නේ ඔබේ පුද්ගලික තොරතුරු සියල්ල, යන එන තැන පවා, ගබඩා වෙන ජංගම දුරකථනයේ ආරක්ශාව ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනෙ.  එහි anti-virus ඇප් එකක් භාවිතා කිරීමට  අමතරව විශ්වාසදායි ඇප් පමනක් ඉන්ස්ටෝල් කිරීම සහ සියලුම ඇප්ස් අප්ඩේට් වෙන්න සකසලා තියා ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්.
ඔබේ පාස්වඩ් එක ගෙදර දොර වගේ, නමුත් අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා එකම ඉතා සරල පාස්වඩ් එකක් හැම තැනකටම පාවිච්චි කරන්න. තත්පරයකට වචන බිලියන 350ක් අනුමාන කරන්න පුලුවන් මෘදුකාංග හැකර්ස්ලා භාවිතා කරන යුගයක ඔබේ පාස්වඩ් එක කෙතරම් ආරක්ශිත දැයි ඔබටම හිතා ගන්න පුලුවන් නේද? පාස්වඩ් මතක තියා ගන්න වෙන්නෙ නැතිව, ඉතා පහසුවෙන් පාස්වඩ් මැනෙජර් එකක් හරහා මෙය ඉතා පහසුවෙන් කරන ආකාරය වෙනම සයිබර් සටහනකින් ඉදිරියේදි කතා කරමු.

ෆේස්බුක් වගේ සමාජ ජාලා භාවිතා කරද්දි, දන්නා අය පමණක් මිතුරන් විදියට එකතු කර ගන්නත්, එකතු කරන පුද්ගලික තොරතුරු මොනවද, ඒවා දකින්න පුලුවන් අය privacy setting හරහා සීමා කරන්නත් වග බලා ගන්න.
අනෙක් වැදගත්ම කාරනය පුලුවන් හැම වෙලාවෙම two factor authentication යොදාගන්න.  ඒ කියන්නෙ පාස්වඩ් එකට අමතරව ජංගම දුරකථනයට එන කෝඩ් එකකුත් එන්ටර් කරන්න වෙනවා තමන් සාමාන්‍යයෙන් භාවිත නොකරන ස්ථානයකින් හෝ උපකරණයකින් ඔබේ ගිනුමට සම්බන්ධ වෙන්න නම්.
පොදු ස්ථානවල තියෙන පරිගණක හෝ පොදු අන්තර්ජාල සම්බන්ධතාවයක් (public wifi hotspot) භාවිතා කිරීමේදී ඔන්ලයින් බැන්කු කටයුතු, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් වගේ කටයුතුවලින් වැලකෙන්න.  
මේ සරල ආරක්ශක විධික්‍රම කිහිපයක් පමණයි.  මීට අමතරව ඔබට පුලුවන් නම්, මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය ජනතාව දැනුවත් කරන්න පිහිටවලා තියෙන නිල වෙබ් අඩවිය වෙන staysmartonline.gov.au වෙත නිරන්තරයෙන් පිවිසෙන්න එහි මා මේ කෙටියෙන් සඳහන් කල කාරනා වලට අදාල වැඩි විස්තරත් අලුත්ම online වංචා (scam) ආදිය  ඉතා සරලව එහි පැහැදිලි කරලා තියෙනවා. මම අද සටහනට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ගත්තෙත් එම වෙබ් අඩවියෙන්.
පසු ගිය මාස තුනට පමනක් ඉස්ට්‍රේලියාවේ වාර්තා වූ සයිබර් අපරාධ ප්‍රමානය 11,000ක්, මෙය වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. අපි ඉදිරි සයිබර් සටහන් වැඩසටහන් වලින් තවත් මේ ගැන සවිස්තරව කතා කරමු.