Wednesday, March 21, 2018

Facebook Profiles මිලියන් 50ක දත්ත සොරකම කල "ජෙහාන්"


Facebook ආයතනය බිත්තියටම හේත්තු කරමින්, Facebook භාවිතා කරන්නන් මිලියන 50කගේ දත්ත, Cambridge Analytica නම් වූ දත්ත ඉංජිනේරු සමාගමක් විසින් ඉතා සූක්ශම විදියට සොරාගෙන ඒවා දේශපාලනික ව්‍යාප්ෘතියක් දිනවීම වෙනුවෙන් භාවිතා කල අයුරු ගැන කරුණු මේ දිනවල මාධ්‍ය මගින් අනාවරනය කරනවා.

මෙම කරුණු අදාළ වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය ආශ්‍රිතව වුවත්, ඒ සම්බන්ධ ගවේශනාත්මක කටයුත්තේදී එක් මාධ්‍ය ආයතනයක් ලංකාවේ නමත් භාවිතා කරනවා ඇමක් විදියට. ඒ විස්තර පසුවට.

මෙම හෙලි කිරීමත් එක්ක ෆේස්බුක් ආයතනයේ කොටස් වෙළඳ පොල අගය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙන්නේ සතියක් ඇතුලත ආයතනයට ඩොලර් බිලියන 47 ක පාඩුවක් සිදු කරමින්. දින 5ක් මේ සමබන්ධව නිහඬව සිටි Facebook ප්‍රධානී මාක් සකර්බර්ග්, ඊයේ දිනයේදි පලමු වරට ප්‍රකාශයක් කරමින් දත්ත ආරක්ශා කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතින් අඩු පාඩු වී ඇති බව පිළිගත්තා. ඉදිරියේදී ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවත් සඳහන් වුනා.
මේ එක්කම Cambridge Analytica ප්‍රධානියාගෙ වැඩ තහනමකට ලක් වෙනවා. Facebook ආයතනය අදාල සමාගමත් එක්ක තියෙන සම්බන්ධතවය අත් හිටුවනවා.
දේශපාලනික ලොව උඩු යටිකුරු කල මෙම හෙලි කිරීම පිටුපස නිධාන කතාව කුමක්ද?

මෑතකදී අවසන් වුන කූඹියෝ ටෙලි නාට්‍යය අතිශය ප්‍රේක්ශක ප්‍රතිචාර වලට භාජනය වූ එක් ප්‍රධාන කාරනයක් වුනේ, දේශපාලනික බල පෙරලිවල තිරය පිටුපස වෙන සිදුවෙන 'ගේම්' ගැන ඉතා නිර්මාණාත්මකව සහ නිර්භයව කතාව තුල ප්‍රතිනිර්මානය වීමය. එනිසා ඇත්තටම එලියේ වෙන සිදුවීම් එක්ක කතාවේ පෙන්වන සංසිද්ධීන් බද්ධ වෙන අයුරු ප්‍රේක්ස්කයාට නැවුම් අත්දැකිමක් වුනා. ඉහත Facebook දත්ත මංකොල්ලයට යම්තාක් දුරට සමාන දෙයක් කූඹියෝ නාට්‍යයේත් අඩංගු වුනා.

ජෙහාන් ගේම් කාරයෙක්.
පාතාලය, ඉහළ දේශපාලනික ප්‍රභූ චරිත එක්ක කටයුතු කරන ඔහු එකවරම අලුත් වැඩකට අත ගසනවා. එය Software එකක්. මිනිසුන්ගේ ජීවන දත්ත එකතු කර මිනුසුන්ට
තමන්ගෙ ඊලඟ ඉලක්කය කුමක් විය යුතුදැයි පෙනවා දෙන මෙම Software එක, සෑම ආයතනයක් තුලම තිබිය යුතු දෙයක් බවට ආයතන ප්‍රධානීන්ට පවා ඒත්තු ගන්වන්නට ඔහුට පුලුවන් වෙනවා.
ඔහු ඉතා වැදගත් වැඩක් කරනවා කියා තම පෙම්වතියට සහ අතිජාත මිත්‍රයාට හඟවන අතරේ ඔහු මෙම Software එක යොදා ගත්තේ වෙනම කූට වැඩකට වග අපට පසුව අනුමාන කරන්නට සිද්ධ වෙනවා.
මේ Software එකට දෙන දත්ත හරහා ජෙහාන් මුලින්ම පාතාල කල්ලි සමාජිකයන් පිළබඳ විස්තර ලබා ගෙන ඔවුන් බිඳවන්නට කටයුතු කරනවා. ඔහුගේ ගමනාන්තය වෙතට යද්දි, ඔහුට එරෙහි විය හැකි සෑම කෙනෙකුගෙම පුද්ගලික විස්තර ඔවුන්ටම එරෙහිව යොදවාගත හැකි වෙන පරිදි ඒ සියල්ල තුරුම්පු විදියට ජෙහාන් ලඟ තියා ගන්නවා

Facebook ආයතනය අමාරුවේ වැටුනෙත් මෙවැනි ජෙහාන් කෙනෙක් නිසා. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර් කෝගන්.

ඔහු Cambridge විශ්ව විද්‍යායලයේ පර්‍යේශකයෙක්. ෆේස්බුක් ආයතනයෙන් ඔහුට අවසර ලැබෙනවා පර්‍යේශන කටයුතු වෙනුවෙන් Personality Quiz App එකක් හරහා හදන්න. මේ ඇප් එකේ නම "ThisisYourDigitalLife".  (ජෙහාන්ගෙ Software එක වගේම මිනිස්සුන්ගෙ පුද්ගලික විස්තර එකතු කරන App එකක්).
මේ හරහා එකතු කරන දත්ත ඒ කටයුත්ත හැර වෙන කිසිම දෙයකට භාවිතා කරන්න බැහැ Privacy Law අනුව වගේම ෆේස්බුක් ආයතනය එක්ක තියෙන ගිවිසුම අනුවත්. නමුත් කෝගන් මේ එකතු කර ගත්ත අයගෙ මිලියන 50ක දත්ත දේශපාලනික ව්‍යාප්ෘති වෙනුවෙන් සමාජ ජාලා මෙහෙයවන දැවැන්තයෙක් වෙන Cambridge Analytica ආයතනයට ලබා දෙනවා. කෝගන් කියන්නෙ එතනදි  ඔහුව රැවටීමකට ලක් වුනා කියලා.
නමුත් මනෝවිද්‍යා ක්ශේස්ත්‍රයේ මහචාර්‍ය වරයෙක් සහ විශාල දත්ත පද්ධති (datasets) එක්ක වැඩ කරන ප්‍රවීනයෙක් මෙම මූලික කාරනාව නොදැන සිටියා සිතන්න අසීරු කාරනයක්.

මේ දත්ත අරන් Cambridge Analytica ආයතනය කරපු වැඩේ හෙළි කරේ එම ආයතනයේම කලින් වැඩ කරපු කෙනෙක්. ඊට පසුව undercover මාධ්‍යවේදියෙක් මේ ආයතනයේ ප්‍රධානීන් රහසේ හමු වෙනවා සුඛෝපභෝගී හෝටල්වල. එතනදි තමයි ඔහු ලංකවේ නම විකුණන්නෙ. තමා ලංකාවෙ මැතිවරණයක් වෙනුවෙන් මෙම ආයතනයේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙන බවත්, ඒ අයට ඒ වෙනුවෙන් ෆේස්බුක් හරහා කරන්න පුලුවන් දේ අහනවා.
අර හොරකම් කරපු දත්ත අරගෙන ඇමරිකාවෙ ජනාධිපතිවරනෙදි කරපු වැඩ ගැන මේ ප්‍රදානීන් දෙදෙනා 'කයිවාරු' ගසද්දි ඔවුන් නොදැන සැඟවු කැමරාවලින් ඒවා පටිගත වුනා. ඔවුන් හෙළි කල කරුනු අතිශය භයානකයි.

මිනිසුන්ගෙ like එකක් පවා යොදාගෙන, ඒ අයගේ රුචි අරුචිකම් සහ පුද්ගලික විස්තර එක්ක ගොඩ නගන කරුනු හරහා, ඉතා සූක්ශම දත්ත පීරා යාමකින් (data mining) දේශපාලනික නැබුරුව (පැත්තක් තෝරා ගෙනද, තාමත් වැට උඩද ආදී) සහ පුද්ගලික චර්‍යා (සමලිංගිකද, ආගමික ද ආදී) වැනි රටාවන් හරහා තෝරාගත් කොටස් වෙන වෙනම ඉලක්ක ගත කරමින් (macro-targeting) දැවැන්ත චන්ද ව්‍යාපාරයක් කල ආකාරය හෙලි දරව් වුනා. මෙහි ඔවුන් සඳහන් කරේ, මිනිසුන් Facebook හරහා බොරුව වුනත් නිතර, ලොකුවට දකින්න ගත්තොත් ඔවුන් එය විශ්වාස කරන බවයි. කරුණුවලට වඩා හැඟීමට (emotion instead of facts) වැඩි දෙනෙක් අල්ලාගන්න පුලුවන් බව සහ ඒ අය ඊට සරිලන ලෙස සකස් කල පෝස්ටුවලට වැඩිපුර නිරාවරන කිරීම මගින් ඔවුන්ගේ මතයට ඉතා ප්‍රබල බලපෑමක් කල හැකි බවය.

මේ සම්බන්ධ තව බොහෝ සිද්ධි අනාවරනය වෙමින් පවතිනවා. නයිජීරියාවෙ මැතිවරනෙදි ඔවුන් ක්‍රියා කල ආකාරය ගැනත් දැන් වාර්තා වෙනවා.

මේ එක්ක අපි වැඩි අවධනයක් යොමු කරන්න වෙනවා අපගේ Facebook Profiles හරහා අප බෙදා ගන්න අපගේ පුද්ගලික තොරතුරු ප්‍රමානය ගැන.

විශේෂයෙන්ම Location Service එක Facebook වලට වහන එක තමයි හොඳ. අපි ඉන්න තැන,  kAmma kana  තැන ආදිය එක්ක Facebook එක හරහා ad වලට අපි ඉල්ක්ක වෙන්න අවශ්‍ය නැහැනෙ. (ඉතා පහසුවෙන් පුලුවන් Settings හරහා Facebook වලට විතරක් Location Service එක වහන්න)
අනික් කාරනේ, ඔය 3rd Party Apps.. ගොඩ දෙනෙක් විනෝදයට වගේ ඒවා භාවිතා කරාට මෙම කතාවෙන පැහැදිලි වෙනවා ඇති ඒ පසුපස තියෙන දැවැන්ත ජාවාරම.  Facebook Apps භාවිතය අවම කරන්න. හැකි නම් Apps කොටසට ගිහිල්ලා අනවශ්‍ය Apps ඉවත් කරන්න. ඒවා මොන මොන ඔත්තු බලනවද කියල කව්ද දන්නෙ?

ඔබගේ පුද්ගලික විස්තර Profile එකෙන් ඉවත් කරන්න හැකි තරම. උදාහරනයක් විදියට උපන්දිනය දාන්න ඕනෙ තැන ඇයි අවුරුද්දත් එකතු කරන්නෙ? උපන්දිනය නොදාම ඉන්න එක තමයි හොඳ නමුත් උපන් දින සුභ පැතුම් යාලුවන්ගෙන් ගෙන්න ගන්න ඕනෙම නම් ඉතින් අවුරුද්ද නැතුව දාන්න. :)

තවත් පරික්ශාකාරි වෙන්න ඕනෙ තැනක් තමයි Privacy Settings. පුද්ගලික විස්තර අඩංගු වෙන පෝස්ට් විශේෂයෙන් පවුලේ ඡායාරූප ආදිය Public තියන්නෙ නැතුව Friends Only තියන එක තමයි උචිතම.

මේ කෙටියෙන් සඳහන් කලේ. මේ ගැන සවිස්තරව මේ බ්ලොග් එකේ වෙනත් පෝස්ටුවල කරුනු අන්තර්ගත වෙනවා. ඒවා ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්. දකුණු පැත්තෙ තියෙන Follow බොත්තම හරහා Subscribe වෙන්න.








මූලාශ්‍ර:
https://www.theverge.com/2018/3/20/17140422/facebook-personal-data-deletion-how-to-cambridge-analytica-privacy-scandal-trump-campaign

https://www.wired.com/story/cambridge-analytica-50m-facebook-users-data/

https://motherboard.vice.com/en_us/article/mg9vvn/how-our-likes-helped-trump-win


අදාල රහසේ පටිගත කල වීඩියෝව

කරුණු හෙලිකරන ආයතන සේවකයා




Saturday, March 17, 2018

කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික්


Duration: 4.53 mins
Broadcast Day: 18th March 2018
Transcript:
මේ දිනවල ලංකාවේ ටිකක් වෙනස් මාදිලියේ ටෙලි නාට්‍යයක් වෙත ප්‍රේක්ශක අවධානය යොමු වෙලා තියෙනවා. සති අන්තයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුන මේ කතාවෙ නම කූඹියෝ.  

ඊයේ රාත්‍රියේ එහි අවසාන කොටස විකාශය වුනත්, එතෙක් මෙතෙක් ටෙලි නාට්‍යයක් සම්බන්ධව ඇතිවුන විශාලම ප්‍රේක්ශක කතිකාව සමාජ ජාලා හරහා නම් තව කාලයක් පවතීවි.

ඇයි කූඹියෝ මෙතරම් ජනප්‍රිය වුනේ. එහි  තිර රචනය, රඟපෑම, චරිත තෝරා ගැනීම, දෙබස්, කැමරා කෝණ, ආදී සියල්ල ඉතා විශිශ්ට මට්ටමේ තිබුනාට අමතරව එහි කතා තේමාව සම්ප්‍රදායික තේමාවෙන් බැහැරව අලුත් ඉසව්වක් අතික්‍රමනය කරන්න තරම් නිර්භීත වීමත් ඊට බලපෑ ප්‍රධාන සාධකයක්.

මෙහි කතා නායකයාගෙ නම ජෙහාන් ප්‍රනාන්දු.
ඔහු කොන් ආටිස්ට් කෙනෙක්, තේරෙන භාශාවෙන් කියනවා නම් ගේම් කාරයෙක්. ඔහුගේ තියුණු සහ සට කපට බුද්ධිය යොදා ගෙන ඔහු රවටන්නේ තමා සමග එකට සිටින අය පමණක් නොවේ, පක්ශ නායකයින්, විසල් ආයතන ප්‍රධානීන්,  පාතාල කල්ලි නායකයින් සහ රටේ පාලන තන්ත්‍රයට පවා සම්බන්ධ ප්‍රභූ චරිත. කතාවේ පෙන්වන හැටියට ජෙහාන් ඉන් ලබන්නේ, මූල්‍යමය හෝ දේශපාලනික උවමනාවකට එහා ගිය එක්තරා වියරු ප්‍රමෝදයක්.

ජෙහාන් ගැන  අද මේ විස්තර ටික කිව්වෙ,   ලෝක මට්ටමෙන් මහත් ප්‍රසිද්ධියක් ලැබූ, fbi's most wanted hacker විදියට හැඳින්වූ කෙවින් මිට්නික් ගැන කියන්න ප්‍රවේශයක් විදියට. 

කෙවින් මිට්නික් මේ සෙල්ලම්  පටන් ගත්තෙ අවුරුදු 13 දි, ඒ ඔහුගේ පාසල් යන බස් රථයේ ටිකට් මැශිම අධ්‍යයනය කරලා හැමදාම සල්ලි නොගෙව යන්න ක්‍රමයක් හදාගෙන. 
ඉදිරි වසර 25 කාලය තුල ඔහු අතින් හැක් වීමට ලක් වුන සමාගම් ගණන තිහකට අධිකයි; මොටොරෝලා, Sun microsystems,  නොකියා, Novell software ආදී සමාගම් ඒ අතර ප්‍රධාන කිහිපයක් පමණයි. 

ඔහු මේ වෙනුවෙන් මුලදී දෙවතාවක් අත් අඩංගුවට පත් වුනත්  නැවත නැවත ඒ ක්‍රියාව වෙත යොමුවෙනවා. ඔහු පසු කලෙක සඳහන් කලේ මේ නරක සෙල්ලමෙන්  ලබන විනෝදයෙන් ඔහු එයට ඇබ්බැහි වී සිටි වගයි.

කෙවින්ගේ ලොකුම ආයුධය වුනේ දුරකථනය හරහා මිනිසුන් රැවටීම මගින් ඔවුන්ගෙන් ඉතා වටිනා අභ්‍යන්තර තොරතුරු  ලබා ගැනීමේ සියුම් හැකියාවයි. ඒ ලබා ගන්නා තොරතුරු හරහා තමයි ඔහුට පුලුවන් වුනේ හිතා ගන්නවත් බැරි තරම් ප්‍රබල ආරක්ශිත රැහැන් අස්සෙන් රිංගා ගොස් මෙවැනි විශාල සමාගම්වල දත්ත හොරකම් කරන්නට. 

කෙසේ වෙතත්, අවසානයේ FBI ආයතනය ඔහුව වසර දෙකක් තිස්සෙ ලුහු බඳින්නවා. වෙනස් වෙනස් අනන්‍යතා එක්ක, තැනින් තැනට පැන යමින් හැංගිලා හිටියත් ඔහු 1995 දි නීතියේ රැහැනට හසු වෙනවා. වසර පහක් හිරේ සිටින්නටත්, ඊට පස්සෙ පරිගණකයක් අල්ලන්නෙවත් නැතුව තව වසර 3ක පරිවාස කල්ලයක් ගෙවන්නටත් ඔහුට නියම වෙනවා.

නමුත් ෆෙඩරල් රජයට ඔහු නැතිව බැරි වෙනවා. හිරෙන් මිදී ආ පසු, පරිවාස කාලය තුලදීම ඔවුන් ඔහුගෙන් අහනවා අපේ රජයේ ආයතනවල තියෙන පරිගණක පද්ධතිවල දුර්වලතා (vulnerabilities) හඳුනාගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. ඔහු ඊට කැමති වෙනවා. රජය හොරු අල්ලන්නට හොඳම හොරෙක් බඳවා ගන්නෙ ඔය ආකාරයෙන්.

එතන සිට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. 
දැන් ඔහු අන්තර්ජාල ආරක්ශණය සම්බන්ධව   දේශන  පවත්වනවා, විශාල ආයතනවලට උපදෙස් දෙනවා.  එම ආයතනවල අවසරය ඇතිව එම පද්ධති හැක් කරනවා එහි අඩුපාඩු සොයාදෙන්නට (Ethical Hacking)
ආයතනවල සේවකයන්ට ඔහුගේ ආයතනය හරහා මෙවැනි වංචනිකයන්ට හසු නොවන ආකාරය ගැන පුහුණු වැඩසටහන් (Security Awareness trainings) පවත්වනවා.  
ඒ සමගම ඔහු ග්‍රන්ථ කතුවරයෙක්ද වෙනවා. තමාගේ ජීවිත කතාව ලියු Ghost in the wires කෘතිය ඔය අතරින් ඉතා ජනප්‍රිය වුනා. එහිදී ඔහු සැඟ වී සිටි කාලයේ ඔහු විසින් කරන ලද හැකින් සම්බන්ධව සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා.

කෙවින්ගේ ප්‍රධානම අවිය වුනේ රැවටීම, ඔහු පවසන්නෙ දවස්, මාස ගණන් වෙහෙස වෙලා ක්‍රැක් කිරීමකින් තාක්ශණික පරිශ්‍රමයක් යොදා  සොරා ගන්නා විස්තරවලට වඩා දෙයක් එක දුරකථන ඇමතුමකින් ගන්න පුලුවන් වග. මිනිසුන් ස්වභාවිකවම තව කෙනෙක් විශ්වාස කරනවා. ඒ දුර්වලතාවය තමා සයිබර් අපරාධකරුවන් යොදා ගන්නෙ ඉතාම ආරක්ශිත පද්ධතියක් තුලට පහසුවෙන් රිංගා ගන්න. මේ ක්‍රමයෙන් තොරතුරු සොරා ගැනීමට කියන්නෙ social engineering කියලා..

එනිසා ඔබට ලැබෙන ඇමතුම්, ඊමේල් ගැන සැලකිලිමත් වෙන්න. Microsoft ආයතනයෙන් හෝ ටැක්ස් දෙපාර්තමේන්තුවෙන් හෝ බැංකුවෙන් හෝ කියා ඔබ හරහා තොරතුරු ලබා ගැනීමට හෝ  පරිගණකය ආශිත ක්‍රියාකාරකමක් කරවා ගැනීමට ඔබව පොළඹවන්නේ ජෙහාන් කෙනෙක් හෝ කෙවින් කෙනෙක් විය හැකියි.

End Transcript

Friday, March 9, 2018

VPN තේරෙන සිංහලෙන්!!

Duration: 4:53 mins
** Transcript**මීට දවස් කිහිපයකට කලින්, ශ්‍රී ලංකා රජය විසින්  Facebook, whatsapp, viber ඇතුලු සමාජ මාධ්‍ය වාරනයක් ඇති කලා. රට තුල උද්ගත වී ගෙන ආ නොසන්සුන් වාතාවරනය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සංසරනය වීම වැලැක්විමට මෙම පියවර ගත් බවයි රජය ප්‍රකාශ කලේ.
නමුත් තරුණ කොටස් මෙම වාරණයෙන් ගැලවෙන්නට අලුත් උපක්‍රමයක් යොදා ගත්තා.  ඒ තමයි VPN තාක්ශණය. 


මෙය කෙතරම් පුලුල් ලෙස ඔවුන් යොදා ගත්තාද කිවහොත්, මෙම සතිය තුල අන්තර්ජාලය තුල එම වචනය ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතර ලංකාව 
ලොව පලමුවෙනි ස්ථානය ගත් බව ගූගල් නැබුරුතා (Google Trends) පිටුවේ සඳහන් වුනා.
















ඇත්තටම මොකක්ද මේ VPN කියන්නෙ? 

VPN අකුරුවලින් කියන්නෙ Virtual Private Network කියන එක - ඒ කියන්නෙ අන්තර්ජාලය තුලම තමා වෙනුවෙන් නිමැවෙන එක්තරා ආකාරෙක පුද්ගලික ජාලයක්. කොහොමද මෙය සිද්ධ වෙන්නෙ. අපි සරලව පැහැදිලි කර ගමු.

හිතන්න අපි ගෙදර ඉඳලා ශොපින් සෙන්ටර් එකට යනවා කියලා වාහනේකින්..දැන් වාහනය අන්තර්ජාලය හරහා යන දත්ත පැකට්ටුවක් කියලා හිතුවොත් එයට ඔය තියෙන වංගුවලින්, හැරි හැරි යන්න එයා යන ලිපිනය, ඒ කියන්නෙ ශොපින් සෙන්ටර් එකේ ලිපිනය ඕනෙ. ඉන් බඩු අරගෙන ආපහු එන්න ආපු ලිපිනයත් එහි සටහන් වෙලා තියෙනවා. ඉතින් පාරෙ එයා පහු කරන හැම වන්ගුවකම ඉන්න අයට මේ වාහනේ පරීක්ශා කරලා කියන්න පුලුවන්, එන්නෙ කොහේ සිටද, යන්නෙ කොහේටද කියලා? ඒ කියන්නෙ මේ ගෙදර අය බඩු ගන්න යන ශොපින් සෙන්ටර් එක මොකක්ද, මොන වෙලාවටද යන්නෙ, මොන වාහෙනෙන්ද යන්නෙ, මේ හැමදේම එලියෙ ඉන්න අයට දැනගන්න පුලුවන්. ඉතින් ඉලක්කගත වෙලඳ දැන්වීම්, අනන්‍යතා සොරකම් කරන අයට, ඒ විතරක් නෙවෙයි ඔත්තු බලන අයට මේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි.
මේ විදියට අන්තර්ජාලයටම අඬබෙර නොගහා, අපිට ශොපින් සෙන්ටර් එකට යන්න විදියක් ඇත්තෙම නැද්ද?
ඒක තමයි මේ VPN එක කියන්නෙ?


එතනදි මොකද වෙන්නෙ?


අපි මේ පාර කෙලින්ම ශොපින් සෙන්ටර් එකට යන්නෙ නෑ.. අපි VPN Service එකකට සම්බන්ධ වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදියට අපේ ගෙදර ඉඳලා ඒ ගොඩනැගිල්ලට අපි කියමු උමගක් සකස් වෙනවා.. ඒකට ඇත්තටම කියන වචනෙ ටනල් - ඒකට එහෙම කියන්නෙ අපි සහ VPN provider එක්ක වෙන සන්නිවේදනය End to End Encrypt වී ඇති නිසා පිටින් බලද්දි ඒ තුල යන වාහන, ඒ කියන්නෙ දත්ත පේන්නෙ නෑ. ඒ අර්ථයෙන් තමයි ඔය ටනල් කියන වචනය ඔතනට එන්නෙ. ඔය මම සඳහන් කර ලිපිනය අන්තර්ජාලය තුල හැදින්වෙන්නෙ ජාලයට සම්බන්ධ උපාංගයට අයිති IP Address එක විදියට.





දැන් අපේ කතාවට ආපහු එමු. අපේ ගෙදර ඉඳලා මේ උමග හරහා අපි ඉස්සෙල්ල යනවා අර VPN network ගොඩනැගිල්ලට. ඒකෙන් මට දෙනවා අලුත් IP Address එකක් එක්ක අලුත් වාහනයක්. ඒ වාහනේ මට දුන්නෙ කියලා දන්නෙ ඒ අය විතරයි. එනිසා ඒකෙ යන්නෙ මම කියලා වෙන කවුරුවත් දන්නෙ නැහැ. දැන් මම ඒ වාහනෙන් ශොපින් සෙන්ටර් එකට ගිහිල්ල බඩු අරගෙන ඒ වාහනෙන්ම ආපහු අර අලුත් ලිපිනයට ගිහිල්ලා, මම ආපු වාහනෙන් අර ටනල් එක දිගේ ගෙදර එනවා. දැන් මම ශොපින් සෙන්ටර් එකට කෙලින්ම නොගියට, අර VPN ගොඩනැගිල්ල හරහා කාටවත් නොපෙන්නෙන්ට ඒ ගමන ගිහින් ආවා.


Geo-Block Spoofing
ලංකාවේ මේ මොහොතේ Facebook වාරනය කර ඇතත් බොහෝ දෙනා VPN හරහා පිටරටක තියෙන server මැදින් ටනල් එකක් හදාගෙන ඒ හරහා Facebook වෙත යනවා. මේකට කියන්නෙ භූගෝලීය- වාරණයන් එනම් Geo-Block මග හැරීම කියා. රාජ්‍යය විසින් අන්තරජාල වාරණයන් පනවා ඇති රටවල ජනතාව, මාධ්‍යවේදීන් එම තහනම් කරන ලද අඩවිවලට පිවිසෙන්නෙත්, සමහර රටවලට පමණක් ලබා දෙන චිත්‍රපටි ආදී අන්තර්ජාල සේවාවන් එම අදාල රටේ VPN server හරහා වෙනත් රටවල අය ලබා ගන්නෙත් මේ ක්‍රමයෙනි. නමුත් මේ එක ප්‍රයෝජනයක් විතරයි.

Using VPN for Privacy and Security

VPN එකේ ලොකුම ප්‍රයෝජනය මම මුලින්ම කිව්ව වගේ තමන්ගේ දත්ත ආරක්ශිතව අන්තර්ජාලය හරහා සන්සරනය කරන එක, විශේශයෙන්ම නිවසෙන් බැහැරව ඔබ වෙනත් නොමිලේ දෙන අන්තර්ජාල පහසුකම භාවිත කරන තැනකදි, උදාහරනයක් විදියට ගුවන් තොටුපලක, හොටෙල් කාමරයක හෝ වෙනත් පොදු ස්ථානවල සපයන Free Wi-Fi ජාල භාවිතා කරද්දි කිසිම දිනක බැන්කු කටයුතු වැනි දේ කරන්න එපා. එසේ කරන්නට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මෙවැනි VPN සේවාවක් භාවිතා කරන්න.


  VPN භාවිතා කිරීම හරිම පහසුයි. විනාඩියක් දෙකක් ඇතුලත ඉතා පහසුවෙන් ඔබගේ පරිගැනකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නොමිලේ  සහ මුදල් ගෙවා ලබා ගත හැකි VPN සේවාවන් තියෙනවා. VPN කියන්නෙ කිසිම් අයුරකින් තහනම් දෙයක් නොවේ.. (සමහර රටවල් කිහිපයක් හැර)


හැබැයි, පරෙස්සමෙන්!

මෙතනදි මට වැදගත් උපදෙසක් දෙන්න තියෙනවා. සයිබර් අවකාශයේ ඇති දහස් ගණනක් VPN නිශ්පාදන අතරින් ඔබ තෝරා ගන්න සේවා ගැන තරමක් හොයලා බලන්න, මොකද මෙය විශ්වාසය මත පදනම් වෙන වැඩක්. ඉහත උදාහරනයෙන් වුනත් ඔබට පැහැදිලි ඇති ාන්තර්ජාලයෙන් සැඟවෙන්න ඔවුන් හරහා යද්දි, ඒ සැඟවූ
තොරතුරු සියල්ල ඔවුන් දන්නා වග. මේ අයට පුලුවන් ඒ තොරතුරු වෙන අයට විකුනන්න. එනිසයි බොහෝ විට ෆ්‍රී සේවාවන්වලට වඩා, විශ්වාසනීය සහ ප්‍රකට සන්නාම නාමයන් (trusted and reputed brand names) සහිත මිලෙන් අඩු සේවාවන් සඳහා බොහෝ අය යොමුවන්නෙ.  


එනිසා මා නැවත අවධරණය කරන්නේ VPN යනු අන්තර්ජාලය හරහා ඔබගේ අනන්‍යතාවය සහ දත්ත ආරක්ශා කර ගැනීමට ඉතා පහසුවෙන් භාවිතා කල හැකි, නොමිලේ පවා ලබා ගත හැකි තාක්ශණයක්. 

අන්තර්ජාලය හරහා අප කරන් දෙයින් අපට සඟවන්න දෙයක් නැති වුනත්, අප කරන දෙයට ඇස් ගසා ගෙන සිටින කිසිවෙක් එසේ කරන්නෙ අපට ආදරයට නම් නොවේ, එනිසයි අපි මෙවැනි තාක්ශනික ක්‍රමවේද ගැන නිරතුරුව දැණුවත් විය යුතු වන්නෙ..

** End Transcript **