Sunday, December 30, 2018

දරුවට ස්මාට්ෆෝන් දෙන්න හොඳම වයස..

ඔබේ දරුවටම කියලා ස්මාට් ෆෝන් එකක් දෙන්න සුදුසුම වයස මොකක්ද?
මම දන්නවා මේක ගොඩාක් දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සම වයසේ අනෙක් දරුවන් එම උපාංග භාවිතා කරද්දි, තමන්ටත් එවැන්නක් අවශ්‍ය බවට දරුවන්ගෙ පැත්තෙන් දෙමාපියන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා. මෙතනදි බොහොමයක් දෙමාපියන් පත් වෙන්නෙ උභතෝකෝටික ගැටලුවකට.

තාක්ශණය සහ දරුවන්ට වෙන බලපෑම සම්බන්ධව, දශකයක් පමණ කාලයක් පර්‍යේශන කරලා, ඒ සමබන්ධ ග්‍රන්ථ පවා පළ කරපු මේ ක්ශේස්ත්‍රයේ ප්‍රවීනයන් කිහිප දෙනෙක් දක්වපු අදහස් හරහා මේ ප්‍රශ්නෙට ඔබ වෙනුවෙන් එක්තරා ආකාරෙක පිලිතුරක් මම සම්පින්ඩනය කරන්න බලාපොරොත්තු වෙනවා.

තමන්ටම කියලා දරුවෙක් අතට ස්මාට් ෆෝන් එකක් දෙනවා කියලා කියන්නෙ දරුවාට වෙනම ලෝකෙකට යතුරු භාර දෙනවා වගේ වැඩක්.. ඒ නිසා ඒ එක්ක නිසඟයෙන්ම ඒ දරුවන්ට අති විශාල වගකීමක් පැවරෙනවා.

මේ තිර හරහා ඔවුන්ට ඇති කරන අවධානය රඳවා ගැනීමේ අපහසුතා (distractions), සමාජ ජාලා ආශ්‍රිතව හෝ අසැබි වෙබ් අඩවි (pornography) ආශ්‍රිත ඇබ්බැහිවීම්, cyber bullying හරහා එන මානසික සංකූලතා, උපාංගය ආශ්‍රිත විනෝදාස්වාදය සහ අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටයුතු ආදිය සමතුලිතව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමානවත් ලෙස ඔබේ දරුවා මුහුකුරා ගොස් ඇතැයි ඔබ සිතනවාද?
පිළිතුර 'නැත' නම් තාම ඔහු හෝ ඇය මෙවැනි වගකීමක් භාර දෙන්න තරම් සුදුසු වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මේ සඳහා සුදුසු වන්නේ අට වන ශ්‍රේණිය හෝ ඊට පසු වයසේ දරුවන් බවයි බ්ලේක් ස්නෝ පවසන්නෙ . නමුත් තවත් මේ සම්බන්ධව ප්‍රවීනියක් වෙන ඩයනා ග්‍රේබර් පවසන්නේ, දරුවන් එකිනෙකා වෙනස් නිසා, එය එක්තරා නියමිත වයසකට වඩා ඉහත සඳහන් කල වගකීම් ප්‍රශස්තව භාරගත හැකි වයසක් වෙන තුරු හැකි තරම් එය ප්‍රමාද කල යුතු බවයි. දරුවාට ෆෝන් එක අවශ්‍ය නම් ඇමතුම් සහ පනිවිඩ පමනක් ලබා ගත හැකි දුරකථන වෙලඳ පොලේ තියෙනවා. Light phone එයට හොඳ උදාහරනයක්.


මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙක් වෙන කෙන්ටරො ටොයාමා, දශකයක පමණ කාලයක් ගත කලේ පරිගණක විද්‍යාඟයෙක් ලෙස අද්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ශේස්ත්‍ර වෙනුවෙන් තාක්ශනය භාවිතා කිරීම සමබ්න්ධ පර්‍යේශන කිරීමටයි. ඔහු පවසන්නේ මෙතරම් දියුනු තාක්ශණික අවදියක වුවත් සමාජ ප්‍රගමනය රඳා පවතින්නේ මානුශික ක්‍රියාකාරකම් මත මිස ගැජට් මත නොවන වගයි. තමන්ගේ පර්‍යේශනවලට අනුව, ස්මාට් ෆෝන් හිමි වීම, දරුවන්ගේ අද්‍යාපනික ප්‍රගමනයට කිසිම සම්බන්ධයක් නැති බව මහාචාර්‍ය ටයෝමා සඳහන් කරනවා.

හොඳයි, දැන් අපි හිතමු, ඔබ ඔබේ දරුවාට අවසානයේ ස්මාට් දුරකථනයක් ලබා දෙන්න තීරනය කල වග හෝ දැනටමත් ලබා දීලා තියෙන්නෙ කියලා. එහි අනතුරු කලාපෙන් ඉවත්ව ඉන්නට, ඔබට කොහොමද දරුවාට උදව් කරන්න පුලුවන් වෙන්නෙ.

මූලිකවම එය භාවිතය සම්බන්ධ එකඟතාවකට එන්න. බොහෝ දෙමාපියන් දරුවන් එවැනි ලිඛිත එකඟතාවකයට අත්සන් කරවා ගන්නවා. ඔබට මෙවැනි නීති මාලාවන් පහසුවෙන්ම සොයා ගන්න පුලුවන් Smartphone use contracts කියලා අන්තර්ජාලයේ search කලා නම්..
අනෙක් වැදගත් දේ තමයි parental control applications. වසරකට ඩොලර් 30-50ක් වගේ මුදලකට ඉතාම හොඳ මෙවැනි Apps දැන් වෙලඳපොලේ තියෙනවා. මේ හැම එකකම වගේ නුසුදුසු වෙබ් අඩවි වාරනය, තිර කාලය පාලනය, භාවිතා කල හැක්කේ මොන Appsද, කොපමන කාලයකටද පමනක් නොවේ දරුවන් සිටින ස්ථානය බලා ගැනීම (Geo-tracking)හා ඔවුන්ගේ තිරය මතට කෙලින්ම පනිවිඩ එවීමටත්, එයට ප්‍රතිචාර දෙන තුරු තිරය ක්‍රියාවිරහිත කිරීමට පවා පුලුවන්.

කොහොම වුනත්, මෙම එකඟතා සහ තාක්ශණික ක්‍රම වේදයන භාවිතා කරත්, සත්‍ය වශයෙන්ම වැදගත් වෙන්නේ දරුවන් සමග කරන අවංක සාකච්චාව බවත් කියන්නම ඕනෙ. මේ සියලු දේ ඔවුන්ගේ ආරක්ශාව වෙනුවෙන් හේතුවක් ඇතිව කරන දේ මිස ඔවුන්ගේ නිදහ්සට වැට නොබැඳීමක් බව ඔවුන්ට තේරුම් ගැන්වුවහොත් පමණයි, මේ සීමා තුලින් රිංගා යාම මඟින් අනතුරේ වැටීමෙන් ඔවුන් ගලවා ගත හැකි වන්නේ.

Broadcast Date: 15th July 2018
YouTube Video

ඇස් දෙක වගේ දරුවන්ගෙ ඇස් දෙකට ආදරේ නම්..


(6 minutes read)
අවිදුර ද්‍ර්ශ්ටිකත්වය එහෙම නැත්නම් දුර නොපෙනීම (shortsightedness or myopia) වසංගතයක් විදියට මෑත කාලයක සිට දරුවන් අතර දකින්නට ලැබීම පිළිබඳව පැහැදිලිවම ඇඟිල්ල දිගු වුනේ ටීවී, ගේම්ස් හෝ ටැබ්ලට් ආදී දරුවන් වැඩි වශයෙන් ඇස් යොමා සිටින තිරවලට.
නමුත් ඔස්ට්‍රේලියාවේ සිදු කරන ලද අලුත්ම පර්‍යේශණ්‍යකින් සොයා ගෙන තියෙනවා මේ රෝගී තත්වය දරුවන් අතර වැඩි වශයෙන් පැතිර යාමට හේතු වෙලා තියෙන්නෙ ඔවුන්ට ප්‍රමාණවත් ළෙස ඇස් වලට හිරු එලිය නොලැබීම කියන කාරනය කියලා. දරුවන් වැඩි වශයෙන් නිවෙස් තුලට වී, මෙම ඩිජිටල් උපාංග වලට ඇලි ගැලී විසීම තුල ඔවුන්ගේ ඇස් වලට ලැබිය යුතු අවම හිරු එලිය ප්‍රමානය නොලැබීම මත ඇස් වල වර්ධනය සාමාන්‍ය ප්‍රමාණ්‍ය ඉක්මවා යාම නිසා, myopia තත්ත්වය වර්ධනය වෙනවා. එනිසා අඩුම තරමේ දවසකට පැයක්වත් දරුවන් එලි මහනේ ස්වභාවික හිරු එළිය ලැබිය යුතු බවයි මේ පිළිබඳ ප්‍රවීනයන් පවසන්නෙ.

මේ කරුනු හෙලි වුනේ පසුගිය අඟහරුවාදා එස්බීඑස් රූපාවාහිනී සේවයේ විකාශය වූ ඉන්සයිට් වැඩසටහනේ.
පාසල් වල වැඩි වැඩියෙන් යොදා ගන්න තාක්ශණය ගැනයි එදින කතා වුනේ Screens at school යන තේමාව යටතේ.

පාසල් අධ්‍යාපනය වෙනුවෙන්, ලැප්ටොප්, ටැබ්ලට් ආදි උපාංග වැඩි වශයෙන් හඳුන්වා දිම ලොව පුරා සිදුවෙනවා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේද අභියෝගයට ලක් කරමින් මේ අලුත් උපාංග සමග දරුවන් තමන්ගේ ඉගෙනීමේ කටයුතු අලුත් මානයකට අරන් යද්දි, ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාර්‍යයේදි ඔවුන්ට තිබෙන අභියෝග, දරුවාගේ මානසික සහ කායික සෞඛ්‍යය සම්බන්ධ අභියෝග ගැන මෙහිදී කතා වුනා.

මේ සම්බන්ධ කතිකාවට විවිධ වයස්වල දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ මේ විෂයේ ප්‍රවීනත්වය ඇති මහාචාර්‍යවරුන් පවා සම්බන්ධ වුනා.
දරුවන් සම්බන්ධ වීම ඉතා වැදගත්.. මේ සම්බන්ධ වැඩියෙන්ම වැදගත් තොරතුරු සපයන්නෙ ඔවුන් නිසාවෙන්.

වැඩසටහන මෙහෙය වුනේ එක්තරා ආකාරෙක සංවාදාත්මක මුහුනුවරකින්.. තාක්ශණය වැඩි වශයෙන් යොදා ගන්නා පාසල් සහ සීමා සහිතව තාක්ශණය් යොදා ගන්නා පාසල් යන දෙපිරිසම මේ සම්බන්ධව අදහස් දක්වපු නිසා.
වැඩි වශයෙන් පංති කාමර වලට තාක්ශණය හඳුන්වා දෙන පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් දරුවන්ගේ ඉගෙනීමේ ක්‍රියාවලියට මෙයින් ඇති වී තිබෙන සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. එහිදී හෙලි වුනේ වයස අවුරුදු අට වැනි කුඩා දරුවන්ට අලුත්ම තාක්ශනික නැඹුරුතා වන blockchain, bitcoin, virtual reality, augemented reality පවා එම පාසල්වල අධි-තාක්ශණික පංති කාමරවල දැනටමත් උගන්වන බවයි. පැය විසි හතරෙම දරුවන්ට සම්බන්ධ විය හැකි ලොව වටා එවැනි වෙනත් පාසල්
සමග ජාල ගත කර ඇති interconnected class rooms වලට, දරුවන්ට පාසල් කාලයෙන් පරිබාහිරවත් සම්බන්ධ විය හැකි බව අදාල තාක්ශණික ගුරුවරයා ආඩම්බරයෙන් මෙන් සඳහන් කලා.

නමුත් මෙලෙසින් තාක්ශණයට වැඩි වැඩියෙන් අවධනය යොමු කරවීම තුල ඉන් අපේක්ශිත ප්‍රතිපල ලැබී තිබේ දැයි අනෙක් ගුරුවරුන් ප්‍රශ්න කලා.
2000 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ දරුවන්ගේ කියවීමෙ හැකියාව පහත වැටිලා තියෙනවා. මෙයට හේතුව පංති කාමරවලට වැඩි වැඩියෙන් එකතු වෙන මේ තාක්ශණ උපාංග නිසා දරුවන්ගේ අවධානය කියවීමෙන් දුරස්ථ වීමද? මෙම තාක්ශණික උපාංග පංති කාමරවල ගැවසීම නිසා, ගුරුවරුන්ට දරුවන්ගේ අවධානය රඳවා තබා ගැනීමට අපහසු වීම නිසා ඔවුන්ට ඇති වී තිබෙන අලුත් අභියෝග ජයගන්නේ කෙසේද?

ඒ වගේම මේ සම්බන්ධව විවිධ වයස් මට්ටම්වල දරුවන්ගේ අදහස් ඔවුන් ඉදිරිපත් කලා. එහිදී පැහැදිලි වුනේ වයසින් වැඩි දරුවන් අතර මේ ගැන අවබෝධයෙන් ස්වයං නියාමනයක් ඇති දරුවන් සිටියත්, සෑම වයස් කාන්ඩයකම දරුවන්ට මේ අභියෝග ජයගන්න පාසල සහ නිවස වෙතින් වැඩි සහයෝගයක් සහ මඟපෙන්වීමක් අවශ්‍ය බවයි. එසේ නොවුනහොත් තම්න්ට පනවා ඇති තාක්ශනික බාධක තුලින් තාක්ශනය තුලින්ම රිංගා යාම ඔවුන්ට පහසු කාරනයක්. උදාහරනයක් විදියට, මෙම වැඩසටහනේදී දරුවෙක් තම මිතුරන් පාසලේ ඇති අන්තර්ජාල භාවිතයේ පනවා ඇති වාරණයන් mobile hotspot තාක්ශනය හරහා මඟ හරින ආකාරය හෙලි කලේ එහි සිටි විදුහල්පතිවරුන් පවා අපහසුතාවයට ලක් කරමින්.
නමුත් මැකිනන් විද්‍යාලයේදී පාසල් කාලයේදී ජංගම දුරකථන තහනම් කිරීම සම්බන්ධව මුලදි අප්‍රසාදයෙන් කතා කල දරුවන්ම, ඒ හේතුව නිසා තමන්ගේ අවධානය එක තැන තබා ගන්නට සහ මිතුරන් සමග වැඩි වැඩියෙන් මුහුනට මුහුන කතා කරන්නට ලබා දුන් තල්ලුව සම්බන්ධයෙන් පසුව තමන්ගේ පාසල ප්‍රශංසාවට ලක් කලා.

මෙම සංවාදයට විද්වතුන් අදහස් දක්වමින් පැහැදිලි කලේ මේ සම්බන්ධව දැනට ඇති විද්‍යාත්මක පර්‍යේශනවල ප්‍රාථමික බවයි. උදාහරනයක් විදියට මුල්ම අයිපෑඩය නිර්මාණය වී තවම වසර අටක් පමණයි. එනිසා ඉන් ඇතිවන දිගු කාලීන බලපෑම අද්‍යයනය කිරීමටවත් අවශ්‍ය කාල පරාසයක් තවම ගෙවී නැහැ.
නමුත් දැනට තහවුරු කරගත් කාරනා වශයෙන් ඔවුන් පැවසූවේ වයස අවුරුදු 1 සිට පහ දක්වා දරුවන්ගේ මොළයේ වර්ධනයට  මෙවැනි උපාංගවල තිර පැහැදිලි බලපෑමක් කරන බවය. මොළයේ සන්වේදන සහ චාලක කලාපයන් (Sensory and Motor parts of the brain) අවවර්ධනයට ලක් වූ දරුවන් දැන් දැන් වැඩි වශයෙන් පෙර පාසල් වල දකින්නට ලැබෙන්නේ මේ හේතුව නිසා බවයි ඔවුන්ගේ අදහස. ඒ සමගම පාසල් වයසේ දරුවන්ට මෙම තිර සහ විශේෂයෙන්ම සමාජ ජාල විසින් ලබා දෙන උත්තේජන නිසා (dopamin hits) ඔවුන් නිරන්තර අත්ෘප්තියකින් (feeling of insufficiency)   පෙළෙන වගට ඔවුන් අනතුරු අඟවනවා. මෙය ඔවුන්ගේ අද්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උනන්දුවට සහ ගුරුවරුන් වෙත දක්වන අවධානයට කෙලින්ම බලපාන බව ඉතා පැහැදිලියි.s

මෙහිදී හැම දෙනාම වගේ එකඟ වුනේ පාසල සහ නිවස තුල තාක්ශනය සම්බරතාවයෙන් භාවිතා කල යුතු බවයි. පාසල තුල තාක්ශණය, පුහුණුව ලත් ගුරුවරුන්, එළි මහනේ ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් ආදී සියල්ල සමතුලිත කල Total Learning Eco-System වෙත යා යුතු බවයි ඔවුන් අවධරණය කලේ.

තාක්ශණය හීලෑ කරගෙන ඉන් ප්‍රතිපල ගන්නවා විනා, එහි වහලෙකු වී විනාශ නොවිය යුතු වග අපගේ දරුවන්ට අප ආදර්ශයෙන් පෙන්වා දිය යුතුව තියෙනවා.


Source:
Insight Program on SBS TV


Episode 28 -  6 minutes
Broadcast Date: 17th June 2018

Full Program on YouTube


පොඩි සුනාමියක්..සමා වන්න!

කෙලකෝටියක් වැඩ අස්සෙ සයිබර් සටහන රේඩියෝ ප්‍රෝග්‍රැම් එකට මම අමාරුවෙන් වෙලාව හොයා ගන්නෙ..
සතිපතා පටන් ගත්ත වැඩේ, සති දෙකට තුනට සැරයක් ගානට වැටිලා නවත්වන ගානට එද්දි, එය අහන අයගෙ ප්‍රතිචාර අහන්න ලැබුනාම මේක නතර නොකර කරගන්න යන්න ඕනෙ මානසික උත්ප්‍රේරකය ලැබෙනවා..
ලියන්න මාත්ෘකා නම් ඕනෙ තරම්.. එකම ප්‍රශ්නෙ තියෙන්නෙ වෙලාව ..
කොටින්ම මේ දක්වා කෙරුනු හැම episode එකක්ම මම බ්ලොග් එකේ පල කරලත් නැහැ..
පස්සෙ කරනවා කියලා කල් දාලා තියෙන episodes ගාන 10ක් විතර..

එනිසා මම තීරනය කරා මේ විදියට බ්ලොග් සහ යූටියුබ් අවකාශයට එකතු නොකරපු සයිබර් සටහන එපි කිහිපය හෙට 2019 ලබන්න කලින් එකතු කරන්න.. පරන අවුරුද්දෙ වැඩ මොකට අලුත් අවුරුද්දට අරන් යනවද නේද?

එනිසා ඔන්න එකපාරටම පෝස්ටු සුනාමියක් එයි.. දැන් ඒකට හේතු දන්නවනෙ..
ලබන අවුරුද්දෙවත් මෙහෙම වැඩ ගොඩ ගැහෙන කං ඉන්නෙ නැතුව කරන්න බලාපොරොත්තු වෙනවා.. (හීනෙන් තමයි.. ඒත් බලමු.. කව්ද දන්නෙ මේ කම්මැලි සරීරය එක පාරට පණ ගහලා ආවොත්)

ඒ එක්කම තව ලොකු ආරංචියක් තියෙනවා.. රජය පැත්තෙන් මාව සම්බන්ධ කර ගන්න කර්තව්‍යක් වෙනුවෙන් යම්කිසි දෙයක් මේ වෙලාවෙ සාකච්ඡා මට්ටමෙන් යනවා.. ඒ ගැන විස්තර නව වසර මුල් හරියෙම දැනුම් දෙන්න පුලුවන් සාකච්චා සාර්ථක වුනොත්...

එහෙමනම්, ඔබ සැමට සාමය, සෞභාග්‍යය සපිරි සයිබර් උවදුරුවලින් තොර වූ වාසනාවන්ත නව වසරක් වේවා යැයි සයිබර් විපරම වෙනුවෙන් මම ඔබට සුබ පතනවා!

එහෙමනම් පොඩි පෝස්ට් සුනාමියක් එවන්න අවසර...

Thursday, December 27, 2018

හැම මඟුලම ස්මාට් වීමේ උන්මාදය හෙවත් ලඟ ලඟ එන IoT ව්‍යසනය

++ 4 minutes read. Broadcast on 29th April on 3ZZZ Radio ++

Internet of things (IoT) ගැන ඔබ සමහර විට අසා නැතිව ඇති. නමුත් මට හොඳටම සහතිකයි ඔබ මේ තාක්ශණය අඩුවැඩි වශයෙන් දැනටමත් භාවිතා කරනවා ඇති කියලා.
Internet of Things කියන්නෙ, පරිගණක, දුරකථන ආදියෙන් ඔබ්බට ගිහිල්ලා,  අපි එදිනෙදා භාවිතා කරන උපාංග අන්තරජාලය හා සම්බන්ධ වීමේ සංසිද්ධිය. බොහෝ විට 'ස්මාට්' උපාංග ලෙස නම් වෙන්නේ මේ දේවල්.

උදාහරනයක් විදියට,  අලුතෙන් එන ස්මාට් රූපවාහිනිවලට පුලුවන් අන්තර්ජාලයට ඔබව ගෙන යන්න.  එයට පුලුවන් එහි තියෙන කැමරාව යොදාගෙන ඔබව ලංකාවෙ ඉන්න නෑ හිත මිතුරන් එක්ක Video Conference හරහා සම්බන්ධ කරන්න. 
ඔබගේ කුස්සියෙ ශීතකරනය ස්මාට් නම් එහි කිරි, බිත්තර අඩුවෙද්දි ඔබගේ ජංගම දුර්කථනය හරහා ඒ බව ඔබව දැනුවත් කරන ගමන්,  අවශ්‍ය නම් ඒ දේවල් ඔබ වෙනුවෙන් ඇනවුම් කරන්නත් ඊට පුලුවන්.

ඔබගේ ගෙදර ආරක්ශක පද්ධතිය (home cctv and alarm systems)  සහ දරුවා ඉන්න කාමරයේ කැමරා (baby monitors) ආදිය ස්මාට් දුරකථනය හරහා නරඹන්න පුලුවන් වීම ගැන සමහර විට ඔබ බොහොම ආඩම්බරයෙන් ඔබගේ මිතුරන්ට පෙන්වනවත් ඇති. ඔබගේ අලුත්ම කාර් එක සම්පූර්ණයෙන්ම  අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් විදියට ඔබට  වාහනය  පහසුවෙන් පැදවීමේ පහසුකම එක්ක  එහි අමතර ආරක්ශාවක් සලසනවා.
මේ විදියට වෙලඳ පොලට අලුතෙන්ම  එකතු වෙන උපාංග ප්‍රමානය මිලියන ගනනක්.. එය ලඟදිම බිලියනය පසු කරනවා. මේවා අතිශය ජනප්‍රිය වුනත්,  කණගාටුයි කියන්න, ඒවයේ ඇති අවදානම ගැන භාවිතා කරන්නන්ගෙ අවබෝධය සහ එහි ආරක්ශාව සම්බන්ධව මෙම උපකරණවල නිශ්පාදකයින් දක්වන උනන්දුව තියෙන්නෙ ඉතාම අඩු මට්ටමේ.
උදාහරණයක් විදියට පසු ගිය වසරේ ජර්මනි රජය එක්තරා ළමා සෙල්ලම් බඩුවක් තහනම් කරේ එහි නිශ්පාදකයින් ඒවා භාවිතා කරන අයගේ විස්තර අන්තර්ජාලයේ ගබඩා වෙද්දි ඒවා ආරක්ශා කරන්න ප්‍රමාණවත්  ආරක්ශක විධි විධාන යොදා නොගත් නිසා.
 ගිය වසරේම, cloudpets නම් ස්මාට් ටෙඩි බෙයා කෙනෙක් හරහා දරුවන්, දෙමාපියන් අතර පටිගත් දෙබස් කොටස් මිලියන දෙකක් අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට අසන්නට පුලුවන් විදියට ඉතාම අනාරක්ශිතව ගබඩා වෙලා තිබී පර්‍යේශකයන්  සොයා ගත්තා.
මෙය තමයි මේ IoT ක්‍රේශ්ත්‍රයේ තියෙන ලොකුම අභියෝගය.  මේ ක්‍රේශ්ත්‍රය පුපුරා යමින් මිලියන ගනනින් අන්තර්ජාලය හා දේවල් සම්බන්ධ වුනත් එහි ආරක්ශාව සහ එයත් එක්ක එන නියාමනය (regulation) තවමත් තියෙන්නෙ ඉතා නොමේරූ තත්ත්වයේ.
හැක් කිරීමට ලක් වෙන ස්මාට් රූපවාහිනී යන්ත්‍රවල  කැමරාව හරහා නිදන කාමර වල දර්ශන  දුරස්ථව පටිගත කල කල හැකි බව, හැක් කිරීමට ලක් වෙන වාහනවල පාලනය රියදුරුගෙන් උදුරා ගෙන වාහනය හැකර්ට අවශ්‍ය ලෙස පදවා යාමට, තිරිංග යෙදීමට, airbags මුදා හැරීමට  හැකි බව,  හෘදය වස්තුවට සම්බන්ධ කොට ඇති pace makers නම් උපකරණ එහි wireless සම්බන්ධතාවය හැක් කිරීම මඟින් බාහිර පාර්ශවවලට පාලනය කල හැකි බව,  නිවසේ උශ්ණත්වය නිවසේ වාසය කරන්නන්ගේ පාලනයෙන් තොරව අඩු වැඩු කිරීමට හැකි වීම ආදී අතිශය හානිකර කාරණා පර්‍යේශකයන් විසින් සාක්ශි සහිතව පෙන්වා දී තිබෙනවා.

මින් අදහස් කරන්නේ සෑම IoT උපාංගයක්ම අනතුරු දායක බව නොවේ..
ඒවාට cyber security පැත්තෙන් අවශ්‍ය පරිචය (maturity) සහ නියාමනය (regulation) එහි සංක්‍යාවෙන් සහ ව්‍යාප්තියේ  පුපුරා යාමට සාපේක්ශ්ව ඇති නොමේරූ කම නිසා එහි ඇති අවධානම පැහැදිලි කිරීමයි මෙහි අරමුණ.
එවිට ඔබ දරුවාට තෑග්ගක් ලෙස  ඉතා ලාබදායී අන්තර්ජාලයට සම්බන්ධ බෝනික්කෙක් අරන්  දෙනවා වෙනුවට,  ඔබට සෑහිය හැකි ලෙස ඒවායේ ආරක්ශාව වැඩි වෙන තුරු ස්මාට් නොවන සෙල්ලම් බඩුවක් දරුවාට දී සැනසීමෙන් සිටිය හැකි වෙනු ඇත.

IoT වලට සාපේක්ශව ඉතා ඉහල ආරක්ශාවක් තියෙන පරිගණක, ස්මාට් දුරකථනයක් හරහා ඔබට වැඩිම වුනොත් නැතිවෙන්නේ ඔබේ දත්තයි.
නමුත්  ඒවා එක්ක cyber security පැත්තෙන් ඉතා පහල තැනක ඉන්න අන්තර්ජාලයට සම්බන්ධ වාහන, සෞඛ්‍ය උපකරණ ආදිය සම්බන්ධ හෙලි වූ කරුනු එක්ක  ඉතා පැහැදිලියි,  එහිදී නැතිවීමේ අවදානම දත්තවල ඉඳලා ජීවිත ආරක්ශාව දක්වා පොලා පනින වග.
  එනිසයි හැල්මේ රැල්ලට ස්මාට් උපාංග වලටම ඇදෙනවා වෙනුවට ටිකක් විමසිල්ලෙන් සහ ඉවසිල්ලෙන් සිටීම ඊට වඩා සමහර විට 'ස්මාට්' තීරණයක් විය හැකිවන්නේ.

Radio Episode on YouTube