Wednesday, May 16, 2018

ඇක්සිඩන්ට් වෙන්න කලින්

මීට සති කිහිපයකට කලින් අපි වාහන අනතුරකට මුහුන දුන්නා. කාටවත් කරදරයක් නැහැ.. නමුත් අපගේ වාහනයටත්, ඒ හා ගැටුනු අනෙක් වාහනයටත් තරමක හානි සිද්ධ වුනා.
සුපුරුදු පරිදි දෙපාර්ශවය, වාහන රක්ශණ කටයුතු වෙනුවෙන් එකිනෙකාගෙ තොරතුරු බෙදා ගත්තා. ගැටුනු අනෙක් වාහනයේ කාන්තාවගෙන් රියදුරු බලපත්‍ර අංකය ඉල්ලා සිටි විට ඇය කීවේ ඇගේ රියදුරු බලපත්‍රයේ චායාරූපයක් ගන්නා ලෙසයි. එම චායාරූපය තුල ඇයගේ වාහන බලපත්‍ර අංකයට අමතරව, ඇයගේ චායාරූපය, උපන් දිනය, ලිපිනය සහ අත්සන යන සියලුම දේ අඩංගු වුනා. එම මොහොතේ හමු වුන ආගන්තුකයෙක්ගෙ දුරකථනය තුල තමාගේ පුද්ගලික විස්තර ඇයගේ කැමැත්තෙන්ම ගබඩා වුනේ ඔන්න ඔය විදියටයි. ඒ සිදුවීම එතනින් අවසන්.

දැන් අනෙක් සිදුවීම. පලමු සිදුවීමට සතියකට, දෙකකට පස්සෙ අපගේ වාහනය අලුත්වැඩියා වීම අහවර නිසා එය නැවත භාර ගන්නා ලෙස
රක්ශණ සමාගමෙන් කැඳවීමක් ලැබුනා. එම ස්ථානයට ලඟා වෙනවාත් සමග මට වැටහී ගියේ රියදුරු බලපත්‍රය රැගෙන ඒමට අමතක වූ වගයි. ඔවුන් වෙත ගොස් මගේ අමතක වීම ගැන සමාව ඉල්ලා, මගේ ජංගම දුරකථනයට අමතා මගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න ලෙස ඉල්ලා සිටි‍යා. මාව පුදුමයට පත් කරමින් ඔවුන් කීවේ, "අපට ඔබගේ උපන්දිනය සහ ලිපිනය නිවැරදිව සඳහන් කිරීම වාහනය ලබා දීමට ප්‍රමාණවත් බවයි". එම ප්‍රශ්න දෙකට පිලිතුරු දුන් සැනින් මට මගේ වාහනයේ යතුර ලැබිණ. මේ පිළිතුරු දැන ගෙන සිටි වෙනත් කෙනෙකුටත් පහසුවෙන් මගේ අනණ්‍යතාවයෙන් පෙනී සිටීමේ හැකියාව තිබුනා.

පලමු සිද්ධියෙන් පැහැදිලි වෙනවා බොහෝ දෙනෙක් කෙතරම් පහසුවෙන්, විමසිල්ලෙන් තොරව තමන්ගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවවලට ලබා දෙනවාද කියලා.
දෙවන උදාහරණයෙන් පැහැදිලි වෙනවා, අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඒ පුද්ගලික තොරතුරුම තීරණාත්මක කාර්‍යභාරයක් සිදු කරනා බැවින්, එම කරුණු අප කෙතරම් පරෙස්සමෙන් රැක ගත යුතුද කියලා. බොහෝ දුරට දුරකථන මාරගයෙන්, හෝ අන්තර්ජාල සේවා වෙනුවෙන් අනණ්‍යතාවය තහවුරු කර ගන්න ඔවුන් බොහෝ විට විමසන්නේ මෙම විස්තරමය.




මේ ගැන අද දවසේ මතක් කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා.
අද සිට පුරා සතියක්, එනම් මයි 13 සිට 19 දක්වා කාලය, ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නේ Privacy Awareness Week නමින්. මේ සම්බන්ධව ජාතික මට්ටමේ දැනුවත් කිරීම් විශාල ප්‍රමානයක් Office of the Australian Information Commissioner දෙපාරතමේන්තුව හරහා සිද්ධ වෙනවා. පුද්ගලිකත්වය සම්බන්ධ නීතිමය රාමුව සපයන පුද්ගලිකත්ව පනතට (Privacy Act) මේ වසරට හරියටම අවුරුදු 30 ක්.
සයිබර් අවකාශය හරහා අතිශය් ශීග්‍රයෙන් පුද්ගලික තොරතුරු සංසරණය වීමත්, එම තොරතුරු අනිසි ලෙස අන් සතු වීම (Privacy Breach)මගින් ජනතාව ආරක්ශා කරගැනීම වෙනුවෙන් මෙම පනත නිරන්තරයෙන් සංශෝදනයට ලක් වුනා. දත්ත සොරාගැනීම් සම්බන්ධව ගෙවිය යුතු විශාල වන්දි මුදල් (penalties) සහ එවැනි සිද්ධි සම්බන්ධව නොසඟවා, විනිවිදව ජනතාවට කරුනු හෙලි කිරීමට අදාල ආයතනවලට බල කෙරෙන Notifiable Data Breaches (NDB scheme) හරහා ඔවුන් මෙම පනත තදින් ක්‍රියාත්මක කරන තැනකට පැමිණ තියෙනවා.

අපගේ ාඅරක්ශාවට මෙම නීති තිබුනත් පලක් නැහැ අපි අපගේ අයිතීන් ගැන, වගකීම ගැන් අවබෝධයක් නැත්නම්.
කිසියම් රජයේ හෝ පුද්ගලික ආයතනයක් හරහා ඔබගේ පුද්ගලිකත්වයට හානියක් වීනම් හෝ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා ඔබගේ පුද්ගලික විස්තර අන් සතු වුනේ නම්, ඒ ගැන ඔබට ඉහත සඳහන් කල Privacy Commissioner වෙබ් අඩවිය හෝ hotline හරහා කෙලින්ම පැමිණිලි කල හැක.
***
ඔබගේ පුද්ගලික තොරතුරු දෙන සෑම අවස්ථාවකම එය ඇත්තටම ඔවුන්ට අවශ්‍ය දැයි ඔබට ප්‍රශ්න කරන්නට පුලුවන්. පුරුද්දක් විදියට අසා තිබෙන සෑම පුද්ගලික තොරතුරක්ම සපයන්නට එපා එය ඔවුන්ට ඇත්තටම නිල කාරනාවකට අවශ්‍ය නම් හැර. උදාහරනයක් විදියට, ඔබ අන්තරජාල සේවාවක් ලබා ගැනීමේදී ඔවුන් ඔබගේ උපන් දිනය අසන විට ඒ කුමන කාරනාවක් වෙනුවෙන්දැයි දැන ගැනීමේ අයිතිය ඔබ සතුය. පුද්ගලික තොරතුරු එකතු කරන සෑම ආයතනයක්ම Privacy Policy එකක් හරහා ඔවුන් දත්ත එකතු කරන්නේ කෙසේද, ඒවා වෙනත් පාර්ශව සමග බෙදා ගන්නවාද, එසේ බෙදා ගනී නම් ඒ කුමන කොන්දේසි මතද ආදිය ගැන ලිඛිතව සේවා දායකයන්ට ලබා දෙන්නට නීතියෙන් බැඳී සිටිනවා.
***
පරිගණකය, ස්මාට් දුරකථනය ආදියේ ආරක්ශාව වෙනුවෙන් Security Software භාවිතා කිරීම, ඒවා Auto-update වීමට සකස් කර තිබීම වැනි අපි කවදත් මතක් කරන තාක්ශණික කාරනා වගේම ඔබව රවටා ඔබෙන් තොරතුරු ලබා ගන්නා Scam Emails වලට හසු නොවීම සහ සමාජ ජාල හරහා පුද්ගලික තොරතුරු බෙදා ගැනීමේදී ඒ ගැන විමසිලිමත් වීම විශේෂයෙන්ම ඒවා තමන්ගේ මිතුරන්ගෙන් පරිබාහිර අයට පරිශීලනය නොකල හැකි ලෙස සකසා තිබීම අතිශය වැදගත්.

***
ලාංකීය ප්‍රජාව Privacy සම්බන්ධයෙන් ලොකු තැකීමක් කරන්නෙ නැහැ සාමාන්‍යයෙන්. ඔබට බොහෝ විට සමාජ ජාලා වල විශේෂයෙන්ම දකින්න පුලුවන් බොහෝ විට තමන්ගේ පමනක් නොවෙයි අනුන්ගේ පුද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පත් පවා අඩංගු චායාරූප නිතර හුවමාරු වෙන අයුරු. ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වුන ගමන් බොහෝ දෙනෙක්ට තමන්ගේ CV එකේ කරන්න වෙන මූලික වෙනසක් තමා පුද්ගලික තොරතුරු සීමා කරන එක. එහි උපන්දිනය, ස්ත්‍රී පුරුශ භාවය පමණැක් නොව චායාරූපයක් පවා බොහෝ විට ඇතුලත්.
අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ සම්බන්ධ තොරතුරු වලින් පැහැදිලි වෙනවා මෙම පුද්ගලික තොරතුරු ආදි‍ය යොදා ගෙන සිදුවන එයට ගොදුරු වෙන අයට වෙන මූල්‍යමය හානිය.
***

ඔබට ඔබේ නිවසට ඇතුලු වෙන කෙනෙක්, ගෙදර වටිනා දෙයක් හොරකම් කරගෙන ගියහොත්, සිදුවන පාඩුව මිල කල හැකියි. ඔබට නැවත එය මිලට ගත හැකියි.
නමුත් කෙනෙක් ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කලහොත් ඔබට එම පාඩුව මිල කල හැකිද? සොරා ගත් අනන්‍යතාවය නැවත ලබා ගත හැකිද? කෙසේවත් නොහැක.
හේතුව ඔබේ අනන්‍යතාව්‍ය, ඔබම නිසා!

Tuesday, April 24, 2018

මාක් සකර්බර්ග් ඇමරිකානු කොන්ග්‍රසය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමක..

Aired on 3ZZZ Radio on 15th April 2018
Duration: 3:39

මීට සති කිහිපයකට කලින්, ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 85ක ගෙ පුද්ගලික විස්තර ඔවුන්ගේ අනුමැතියකින් තොරව, දේශපාලනික ප්‍රචාරන කටයුතු වෙනුවෙන් Cambridge Analytica නම් සමාගමක් විසින් භාවිතා කර බවට කරුනු හෙලිවීම නිසා ෆේස්බුක් සමාගම දැඩි අපහසුතාවයකට පත් වුන බව ඔබ දන්නවා.

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දත්ත, වෙළඳ දැන්වීම් යොදා ලාභ ලබන චේතනාවකින් ප්‍රයෝජනයට ගන්නවා විනා, ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ශා කරන්නට අවශ්‍ය මූලික ක්‍රමෝපායන්වත් ක්‍රියාත්මක නොකිරීම පිලිබඳව ෆේස්බුක් ආයතනයට එල්ල වුනේ ප්‍රබල විවේචනයක්. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු ආරක්ශා කිරීමෙහි ලා තමන් අතින් වැරදි සිදුවී ඇති බවත්, කඩිනමින් එම වැරදි නිවැරදි කර ගන්නා බවත් ෆේස්බුක් ආයතනය   මුලදීම සමාව ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කරා.

කෙසේ නමුත්, ඇමරිකානු ජනතාවගේ දත්ත මෙලෙසින් විදෙස් රටවල සමාගම් සහ ඇමරිකාවට හිතවාදී නොවන බලවේග වල ග්‍රහනයට ලක් වීම පිලිබඳව ඉතා තදින් සිටි ඇමරිකානු කොන්ග්‍රසය ෆේස්බුක් ප්‍රදානී මාක් සකර්බර්ග් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ශී ලබා දීමට කැඳෙව්වා.. මුලදී මේ ගැන නිහඬව සිටි මාක් පසුව තමා එයට සූදානම් බව  ඔහු පැවසූවා.
මෙහි ප්‍රතිපලයක් ලෙස, පසු ගිය අඟහරුවාදා සහ බදදා දින දෙකේ, පැය දහයකට අධික කාලයක් දැඩි ප්‍රශ්න කිරීමකට ඔහු ලක් වුනා.

නමුත් මෙහිදී බොහෝ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් අදාල මූලික තාක්ශණික කාරනාවත් නොදැන ප්‍රශ්න කිරීම නිසා, මාක් ට සිදු වුනා ඔවුන්ට සරල බසින් සමාජ ජාලා ක්‍රියා කරන ආකාරයත්, එහි එකතු වෙන දත්ත ඔවුන් භාවිතා කරනා ආකාරයත් පැහැදිලි කරන්නට. මෙනිසා තාක්ශණික ප්‍රවීනයන්ගෙ දෝශ දර්ශනයනට කොන්ග්‍රස් සභිකයින් සමහරක් ලක් වුනා, ඔවුන් අදාල 'ගෙදර වැඩ' නොකර මෙම ප්‍රශ්න කිරීමට සමබන්ධ වීම පිළිබඳව.
සම්පූර්ණ ප්‍රශ්න කිරීම තුල මාර්ක් ඉතා සැහැල්ලුවෙන් සහ කලබලයෙන් තොරව පිලිතුරු දීම කැපී පෙනුනා. දෙවන දිනය වෙන විට ඔහුට අධික ලෙස බාධා කිරීම් එල්ල වෙද්දිත් ඔහු ඉතා ඉවසීමෙන් පිලිතුරු දීම දකින්නට ලැබුනා.

නමුත් මාක් ප්‍රශ්න සියල්ලටම පිලිතුරු දුන්නෙ නැහැ. ප්‍රශ්නවලට පිලිතුරු නොදන්න බව සහ පසුව ඒ ගැන සොයා බලා කරුනු දක්වන්නට බලාපොරොත්තු වෙන බව දක්වමින් සමහර ප්‍රශ්න ඔහු මග හැරියත්, එය සැම විටම පහසු නොවුනේ ඔවුන් දිගින් දිගටම කෙලින් පිලිතුරු බලාපොරොත්තු වු නිසා.


මින් ඉතාම තීරනාත්මක ප්‍රශ්නය එල්ල කලේ බෙන් ලුජාන් විසිනි, ඒ Shadow Profiles සම්බන්ධයෙනි. Shadow Profiles කියන්නෙ ෆේස්බුක් භාවිතා නොකරන අයගෙ විස්තර එකතු කර ෆේස්බුක් ඒ ඒ අය සම්බන්ධව තනා ගත් පුද්ගලික විස්තරයි. මේ කරුනු හෙලි වීමත් එක්ක, මාක් පුන පුනා කියා සිටි "ඔබට ඔබගේ දත්ත ගැන පූර්ණ අයිතිය තිබෙනවා" කියූ කාරනය අභියෝගයට ලක් වුනා. ෆේස්බුක් නැති අයගෙ විස්තරත් ඒ අයගෙ අනුමැතියක් නොමැතිව එකතු කරන්නෙ කුමන එකඟතාවයක් යටතේදැයි ලුජාන් මාක් ගෙන කෙලින්ම ප්‍රශන කරද්දී,  විවිධ හේතු මත එලෙසින් දත්ත එකතු කරන බව පිලිගන්නට මාක්ට සිද්ධ වුනා.

ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරන්නට කිසිවෙක් අපට බල කර නැහැ. ෆේස්බුක් එය භාවිතා කරන්නන්ට නොමිලේ එම සේවය ලබා දෙන්නේ වෙලඳ දැන්වීම හරහා ඔවුන්ගෙ ලාභය ලබා ගැනීමට කියන එක රහසක් නෙවෙයි. එනිසා සමාජ ජාලා තුල අපි දෙයක් විකුනන්නේ නැති නම්, විකිනෙන්නේ අපි බව පැහැදිලියි. නමුත් ඉන් එම සමාජ ජාලාවලට නිසඟ අවසරයක් ලැබෙන්නේ නැහැ ඔවුන් වෙත තබා තිබූ විශ්වාසය වැරදි ලෙස යොදා ගන්නට.
ෆේස්බුක් පසු ගිය සති කිහිපයේ ටිකක් විතර තිත්ත කසාය බොමින් ඉගෙන ගත්තේ ඒ පාඩමයි.



Saturday, April 7, 2018

ඇට්ලැන්ටා නගරයට සයිබර් ප්‍රහාරයක්

Transcript: (Duration 3.5 mins)
පසුගිය සතියේ ඇමරිකාවේ ඇට්ලැන්ටා නගරයට කප්පම් වයිරස් ප්‍රහාරයක් එල්ල වුනා.
එහි නගර සභා පද්ධති කිහිපයක් සයිබර් සොරුන් විසින් වයිරස මගින් අගුලු දමා, ඒවා නැවත විව්ෘත කිරීමට නම් එක පද්ධතියකට ඩොලර් 6800 බැගින් හෝ සමස්ත පද්ධතිය වෙනුවෙන් ඩොලර් 51,000 බිට් කොයින් නැමැති නිර්නාමික ඩිජිටල් මුදල් ඒකක ලෙස කප්පම් ඉල්ලා තිබෙනවා. මෙම කප්පම් මුදල් ගෙවනවාද යන්න සම්බන්ධව බලධරීන් තවම ප්‍රකාශයක් කර නැහැ.


ඇට්ලන්ටා නගරාධිපතිය මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ online
bills  සම්බන්ධ ගෙවීම් ආදිය ගැන බැංකු ගිනුම් වල වාර්තා පරීක්ශා කර බලන ලෙසයි. මෙම සයිබර් ප්‍රහාරය ගැන  FBI ආයතනය විශේෂ විමර්ශනයක් මේ වෙන විට පවත්වනවා.  Microsoft සහ Cisco සමාගම්වල තාක්ශණික ප්‍රවීනයන් ද මෙම ප්‍රහාරයෙන් පද්ධති ගොඩ ගන්නට තාක්ශණික පරිශ්‍රමය සපයනවා. 

පසුගිය  22 දා එනම් බ්‍රහස්පතින්දා  උදෑසන  5.40 ට  මේ ප්‍රහාරයේ ලකුණු  ඔවුන්ට මුලින්ම දැක ගන්නට ලැබුනත්, දිවා රෑ මහත් පරිශ්‍රමයෙන් පසුවත් ඊට පසු සතියේ අඟහරුවාදා වෙන විටත් යථා තත්වයට පත් නොවූ  සේවා කිහිපයක්ම පැවතුනා. 
 ලොව කාර්‍ය බහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන  ඇට්ලැන්ටා ගුවන් තොටුපලේ නොමිලේ ලබා දෙන  WiFi අන්තර්ජාල පහසුකම් දින ගණනාවක් යනතුරු අත් හිටුවා තියෙනවා.  ප්‍රහාරයට ගොදුරු වූ ඇට්ලැන්ටා  සිටි පරිගණක ජාලයට කෙලින්ම සම්බන්ධ නැතත්, මෙය,  එවැනි ප්‍රහාරයක් ගුවන් තොටුපල පද්ධතියට එල්ල නොවීම පිණිස බලධාරීන් ගත් සුපරික්ශාකාරී පියවරක්. මෙයින් ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙනවා ඇති මෙම ප්‍රහාරයේ හානිය පිළිබඳව.

නගරයක්, රටක් මේ විදියට කලබගෑනියකට පත් කරන්න පුලුවන් මෙවැනි කප්පම් වයිරසයක් කොහොමද මෙවැනි පද්ධතියක් තුලට එවන්නෙ?
 සැක නොහිතෙන විදියට හදපු ඊමේල් එකක් හරහා, එහි තිබෙන යම් දිගුවක් එහෙමත් නැත්නම් ලින්ක් එකක් ක්ලික් කිරීමට සලස්වා ඉන් පද්ධතිය encrypt කල හැකි මෘදුකාංගයක්   අදාල මෙහෙයුම් පද්ධතියේ ස්ථාපනය වීමට සලස්වනවා. මෙය ඔබේ ගෙදරදි වුනොත් ඔබේ නිවසේ පරිගණකය කප්පම් වයිරසයට ගොදුරු වී, ඒ අගුල් වැටුනු ඔබේම දත්ත නැවත ලබා ගන්නට හැකර්ට කප්පම් ගෙවන්න සිද්ධ වෙනවා. 

මෙය ඔබේ සේවා ස්ථානයේ වුනොත්, එහි පරිගණක ජාලයත් මෙම ඉරණමටම ගොදුරු වෙනවා. එනිසා මේ තරම් විශාල ප්‍රහාරයට ඉඩ සලසා දුන්නේ, ඇට්ලන්ටා නගර සභා සේවකයයෙක් වැරදීමකින් ඊමේල් ලින්ක් එකක් ක්ලික් කිරීම විය හැකියි. ඩොලර් මිලියන ගනනක් තාක්ශනික උපාංගවලට වැය කරත්, එක සේවකයෙකුගේ නොදන්න කම නිසාම එක සමාගමක් නොවෙයි, විසල් නගරයක් හෝ රටක්ම එවැනි ප්‍රහාරවලට ගොදුරු විය හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
එනිසා අන්තර්ජාල ආරක්ශනය සම්බන්ධ තාක්ශණික මෙවලම් දින දින දියූනු වුනත් ඊට සමගාමීව අන්තර්ජාල  සේවාවන් භාවිතා කරන අයගේ දැනුවත්භාවය වැඩි කිරීමටත් දැන් දැන් ලොකු පොඩි හැම සමාගමක්ම වැඩි ආයෝජනයක් කරනවා.
End Transcript

Wednesday, March 21, 2018

Facebook Profiles මිලියන් 50ක දත්ත සොරකම කල "ජෙහාන්"


Facebook ආයතනය බිත්තියටම හේත්තු කරමින්, Facebook භාවිතා කරන්නන් මිලියන 50කගේ දත්ත, Cambridge Analytica නම් වූ දත්ත ඉංජිනේරු සමාගමක් විසින් ඉතා සූක්ශම විදියට සොරාගෙන ඒවා දේශපාලනික ව්‍යාප්ෘතියක් දිනවීම වෙනුවෙන් භාවිතා කල අයුරු ගැන කරුණු මේ දිනවල මාධ්‍ය මගින් අනාවරනය කරනවා.

මෙම කරුණු අදාළ වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය ආශ්‍රිතව වුවත්, ඒ සම්බන්ධ ගවේශනාත්මක කටයුත්තේදී එක් මාධ්‍ය ආයතනයක් ලංකාවේ නමත් භාවිතා කරනවා ඇමක් විදියට. ඒ විස්තර පසුවට.

මෙම හෙලි කිරීමත් එක්ක ෆේස්බුක් ආයතනයේ කොටස් වෙළඳ පොල අගය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙන්නේ සතියක් ඇතුලත ආයතනයට ඩොලර් බිලියන 47 ක පාඩුවක් සිදු කරමින්. දින 5ක් මේ සමබන්ධව නිහඬව සිටි Facebook ප්‍රධානී මාක් සකර්බර්ග්, ඊයේ දිනයේදි පලමු වරට ප්‍රකාශයක් කරමින් දත්ත ආරක්ශා කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතින් අඩු පාඩු වී ඇති බව පිළිගත්තා. ඉදිරියේදී ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවත් සඳහන් වුනා.
මේ එක්කම Cambridge Analytica ප්‍රධානියාගෙ වැඩ තහනමකට ලක් වෙනවා. Facebook ආයතනය අදාල සමාගමත් එක්ක තියෙන සම්බන්ධතවය අත් හිටුවනවා.
දේශපාලනික ලොව උඩු යටිකුරු කල මෙම හෙලි කිරීම පිටුපස නිධාන කතාව කුමක්ද?

මෑතකදී අවසන් වුන කූඹියෝ ටෙලි නාට්‍යය අතිශය ප්‍රේක්ශක ප්‍රතිචාර වලට භාජනය වූ එක් ප්‍රධාන කාරනයක් වුනේ, දේශපාලනික බල පෙරලිවල තිරය පිටුපස වෙන සිදුවෙන 'ගේම්' ගැන ඉතා නිර්මාණාත්මකව සහ නිර්භයව කතාව තුල ප්‍රතිනිර්මානය වීමය. එනිසා ඇත්තටම එලියේ වෙන සිදුවීම් එක්ක කතාවේ පෙන්වන සංසිද්ධීන් බද්ධ වෙන අයුරු ප්‍රේක්ස්කයාට නැවුම් අත්දැකිමක් වුනා. ඉහත Facebook දත්ත මංකොල්ලයට යම්තාක් දුරට සමාන දෙයක් කූඹියෝ නාට්‍යයේත් අඩංගු වුනා.

ජෙහාන් ගේම් කාරයෙක්.
පාතාලය, ඉහළ දේශපාලනික ප්‍රභූ චරිත එක්ක කටයුතු කරන ඔහු එකවරම අලුත් වැඩකට අත ගසනවා. එය Software එකක්. මිනිසුන්ගේ ජීවන දත්ත එකතු කර මිනුසුන්ට
තමන්ගෙ ඊලඟ ඉලක්කය කුමක් විය යුතුදැයි පෙනවා දෙන මෙම Software එක, සෑම ආයතනයක් තුලම තිබිය යුතු දෙයක් බවට ආයතන ප්‍රධානීන්ට පවා ඒත්තු ගන්වන්නට ඔහුට පුලුවන් වෙනවා.
ඔහු ඉතා වැදගත් වැඩක් කරනවා කියා තම පෙම්වතියට සහ අතිජාත මිත්‍රයාට හඟවන අතරේ ඔහු මෙම Software එක යොදා ගත්තේ වෙනම කූට වැඩකට වග අපට පසුව අනුමාන කරන්නට සිද්ධ වෙනවා.
මේ Software එකට දෙන දත්ත හරහා ජෙහාන් මුලින්ම පාතාල කල්ලි සමාජිකයන් පිළබඳ විස්තර ලබා ගෙන ඔවුන් බිඳවන්නට කටයුතු කරනවා. ඔහුගේ ගමනාන්තය වෙතට යද්දි, ඔහුට එරෙහි විය හැකි සෑම කෙනෙකුගෙම පුද්ගලික විස්තර ඔවුන්ටම එරෙහිව යොදවාගත හැකි වෙන පරිදි ඒ සියල්ල තුරුම්පු විදියට ජෙහාන් ලඟ තියා ගන්නවා

Facebook ආයතනය අමාරුවේ වැටුනෙත් මෙවැනි ජෙහාන් කෙනෙක් නිසා. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර් කෝගන්.

ඔහු Cambridge විශ්ව විද්‍යායලයේ පර්‍යේශකයෙක්. ෆේස්බුක් ආයතනයෙන් ඔහුට අවසර ලැබෙනවා පර්‍යේශන කටයුතු වෙනුවෙන් Personality Quiz App එකක් හරහා හදන්න. මේ ඇප් එකේ නම "ThisisYourDigitalLife".  (ජෙහාන්ගෙ Software එක වගේම මිනිස්සුන්ගෙ පුද්ගලික විස්තර එකතු කරන App එකක්).
මේ හරහා එකතු කරන දත්ත ඒ කටයුත්ත හැර වෙන කිසිම දෙයකට භාවිතා කරන්න බැහැ Privacy Law අනුව වගේම ෆේස්බුක් ආයතනය එක්ක තියෙන ගිවිසුම අනුවත්. නමුත් කෝගන් මේ එකතු කර ගත්ත අයගෙ මිලියන 50ක දත්ත දේශපාලනික ව්‍යාප්ෘති වෙනුවෙන් සමාජ ජාලා මෙහෙයවන දැවැන්තයෙක් වෙන Cambridge Analytica ආයතනයට ලබා දෙනවා. කෝගන් කියන්නෙ එතනදි  ඔහුව රැවටීමකට ලක් වුනා කියලා.
නමුත් මනෝවිද්‍යා ක්ශේස්ත්‍රයේ මහචාර්‍ය වරයෙක් සහ විශාල දත්ත පද්ධති (datasets) එක්ක වැඩ කරන ප්‍රවීනයෙක් මෙම මූලික කාරනාව නොදැන සිටියා සිතන්න අසීරු කාරනයක්.

මේ දත්ත අරන් Cambridge Analytica ආයතනය කරපු වැඩේ හෙළි කරේ එම ආයතනයේම කලින් වැඩ කරපු කෙනෙක්. ඊට පසුව undercover මාධ්‍යවේදියෙක් මේ ආයතනයේ ප්‍රධානීන් රහසේ හමු වෙනවා සුඛෝපභෝගී හෝටල්වල. එතනදි තමයි ඔහු ලංකවේ නම විකුණන්නෙ. තමා ලංකාවෙ මැතිවරණයක් වෙනුවෙන් මෙම ආයතනයේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙන බවත්, ඒ අයට ඒ වෙනුවෙන් ෆේස්බුක් හරහා කරන්න පුලුවන් දේ අහනවා.
අර හොරකම් කරපු දත්ත අරගෙන ඇමරිකාවෙ ජනාධිපතිවරනෙදි කරපු වැඩ ගැන මේ ප්‍රදානීන් දෙදෙනා 'කයිවාරු' ගසද්දි ඔවුන් නොදැන සැඟවු කැමරාවලින් ඒවා පටිගත වුනා. ඔවුන් හෙළි කල කරුනු අතිශය භයානකයි.

මිනිසුන්ගෙ like එකක් පවා යොදාගෙන, ඒ අයගේ රුචි අරුචිකම් සහ පුද්ගලික විස්තර එක්ක ගොඩ නගන කරුනු හරහා, ඉතා සූක්ශම දත්ත පීරා යාමකින් (data mining) දේශපාලනික නැබුරුව (පැත්තක් තෝරා ගෙනද, තාමත් වැට උඩද ආදී) සහ පුද්ගලික චර්‍යා (සමලිංගිකද, ආගමික ද ආදී) වැනි රටාවන් හරහා තෝරාගත් කොටස් වෙන වෙනම ඉලක්ක ගත කරමින් (macro-targeting) දැවැන්ත චන්ද ව්‍යාපාරයක් කල ආකාරය හෙලි දරව් වුනා. මෙහි ඔවුන් සඳහන් කරේ, මිනිසුන් Facebook හරහා බොරුව වුනත් නිතර, ලොකුවට දකින්න ගත්තොත් ඔවුන් එය විශ්වාස කරන බවයි. කරුණුවලට වඩා හැඟීමට (emotion instead of facts) වැඩි දෙනෙක් අල්ලාගන්න පුලුවන් බව සහ ඒ අය ඊට සරිලන ලෙස සකස් කල පෝස්ටුවලට වැඩිපුර නිරාවරන කිරීම මගින් ඔවුන්ගේ මතයට ඉතා ප්‍රබල බලපෑමක් කල හැකි බවය.

මේ සම්බන්ධ තව බොහෝ සිද්ධි අනාවරනය වෙමින් පවතිනවා. නයිජීරියාවෙ මැතිවරනෙදි ඔවුන් ක්‍රියා කල ආකාරය ගැනත් දැන් වාර්තා වෙනවා.

මේ එක්ක අපි වැඩි අවධනයක් යොමු කරන්න වෙනවා අපගේ Facebook Profiles හරහා අප බෙදා ගන්න අපගේ පුද්ගලික තොරතුරු ප්‍රමානය ගැන.

විශේෂයෙන්ම Location Service එක Facebook වලට වහන එක තමයි හොඳ. අපි ඉන්න තැන,  kAmma kana  තැන ආදිය එක්ක Facebook එක හරහා ad වලට අපි ඉල්ක්ක වෙන්න අවශ්‍ය නැහැනෙ. (ඉතා පහසුවෙන් පුලුවන් Settings හරහා Facebook වලට විතරක් Location Service එක වහන්න)
අනික් කාරනේ, ඔය 3rd Party Apps.. ගොඩ දෙනෙක් විනෝදයට වගේ ඒවා භාවිතා කරාට මෙම කතාවෙන පැහැදිලි වෙනවා ඇති ඒ පසුපස තියෙන දැවැන්ත ජාවාරම.  Facebook Apps භාවිතය අවම කරන්න. හැකි නම් Apps කොටසට ගිහිල්ලා අනවශ්‍ය Apps ඉවත් කරන්න. ඒවා මොන මොන ඔත්තු බලනවද කියල කව්ද දන්නෙ?

ඔබගේ පුද්ගලික විස්තර Profile එකෙන් ඉවත් කරන්න හැකි තරම. උදාහරනයක් විදියට උපන්දිනය දාන්න ඕනෙ තැන ඇයි අවුරුද්දත් එකතු කරන්නෙ? උපන්දිනය නොදාම ඉන්න එක තමයි හොඳ නමුත් උපන් දින සුභ පැතුම් යාලුවන්ගෙන් ගෙන්න ගන්න ඕනෙම නම් ඉතින් අවුරුද්ද නැතුව දාන්න. :)

තවත් පරික්ශාකාරි වෙන්න ඕනෙ තැනක් තමයි Privacy Settings. පුද්ගලික විස්තර අඩංගු වෙන පෝස්ට් විශේෂයෙන් පවුලේ ඡායාරූප ආදිය Public තියන්නෙ නැතුව Friends Only තියන එක තමයි උචිතම.

මේ කෙටියෙන් සඳහන් කලේ. මේ ගැන සවිස්තරව මේ බ්ලොග් එකේ වෙනත් පෝස්ටුවල කරුනු අන්තර්ගත වෙනවා. ඒවා ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්. දකුණු පැත්තෙ තියෙන Follow බොත්තම හරහා Subscribe වෙන්න.








මූලාශ්‍ර:
https://www.theverge.com/2018/3/20/17140422/facebook-personal-data-deletion-how-to-cambridge-analytica-privacy-scandal-trump-campaign

https://www.wired.com/story/cambridge-analytica-50m-facebook-users-data/

https://motherboard.vice.com/en_us/article/mg9vvn/how-our-likes-helped-trump-win


අදාල රහසේ පටිගත කල වීඩියෝව

කරුණු හෙලිකරන ආයතන සේවකයා




Saturday, March 17, 2018

කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික්


Duration: 4.53 mins
Broadcast Day: 18th March 2018
Transcript:
මේ දිනවල ලංකාවේ ටිකක් වෙනස් මාදිලියේ ටෙලි නාට්‍යයක් වෙත ප්‍රේක්ශක අවධානය යොමු වෙලා තියෙනවා. සති අන්තයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුන මේ කතාවෙ නම කූඹියෝ.  

ඊයේ රාත්‍රියේ එහි අවසාන කොටස විකාශය වුනත්, එතෙක් මෙතෙක් ටෙලි නාට්‍යයක් සම්බන්ධව ඇතිවුන විශාලම ප්‍රේක්ශක කතිකාව සමාජ ජාලා හරහා නම් තව කාලයක් පවතීවි.

ඇයි කූඹියෝ මෙතරම් ජනප්‍රිය වුනේ. එහි  තිර රචනය, රඟපෑම, චරිත තෝරා ගැනීම, දෙබස්, කැමරා කෝණ, ආදී සියල්ල ඉතා විශිශ්ට මට්ටමේ තිබුනාට අමතරව එහි කතා තේමාව සම්ප්‍රදායික තේමාවෙන් බැහැරව අලුත් ඉසව්වක් අතික්‍රමනය කරන්න තරම් නිර්භීත වීමත් ඊට බලපෑ ප්‍රධාන සාධකයක්.

මෙහි කතා නායකයාගෙ නම ජෙහාන් ප්‍රනාන්දු.
ඔහු කොන් ආටිස්ට් කෙනෙක්, තේරෙන භාශාවෙන් කියනවා නම් ගේම් කාරයෙක්. ඔහුගේ තියුණු සහ සට කපට බුද්ධිය යොදා ගෙන ඔහු රවටන්නේ තමා සමග එකට සිටින අය පමණක් නොවේ, පක්ශ නායකයින්, විසල් ආයතන ප්‍රධානීන්,  පාතාල කල්ලි නායකයින් සහ රටේ පාලන තන්ත්‍රයට පවා සම්බන්ධ ප්‍රභූ චරිත. කතාවේ පෙන්වන හැටියට ජෙහාන් ඉන් ලබන්නේ, මූල්‍යමය හෝ දේශපාලනික උවමනාවකට එහා ගිය එක්තරා වියරු ප්‍රමෝදයක්.

ජෙහාන් ගැන  අද මේ විස්තර ටික කිව්වෙ,   ලෝක මට්ටමෙන් මහත් ප්‍රසිද්ධියක් ලැබූ, fbi's most wanted hacker විදියට හැඳින්වූ කෙවින් මිට්නික් ගැන කියන්න ප්‍රවේශයක් විදියට. 

කෙවින් මිට්නික් මේ සෙල්ලම්  පටන් ගත්තෙ අවුරුදු 13 දි, ඒ ඔහුගේ පාසල් යන බස් රථයේ ටිකට් මැශිම අධ්‍යයනය කරලා හැමදාම සල්ලි නොගෙව යන්න ක්‍රමයක් හදාගෙන. 
ඉදිරි වසර 25 කාලය තුල ඔහු අතින් හැක් වීමට ලක් වුන සමාගම් ගණන තිහකට අධිකයි; මොටොරෝලා, Sun microsystems,  නොකියා, Novell software ආදී සමාගම් ඒ අතර ප්‍රධාන කිහිපයක් පමණයි. 

ඔහු මේ වෙනුවෙන් මුලදී දෙවතාවක් අත් අඩංගුවට පත් වුනත්  නැවත නැවත ඒ ක්‍රියාව වෙත යොමුවෙනවා. ඔහු පසු කලෙක සඳහන් කලේ මේ නරක සෙල්ලමෙන්  ලබන විනෝදයෙන් ඔහු එයට ඇබ්බැහි වී සිටි වගයි.

කෙවින්ගේ ලොකුම ආයුධය වුනේ දුරකථනය හරහා මිනිසුන් රැවටීම මගින් ඔවුන්ගෙන් ඉතා වටිනා අභ්‍යන්තර තොරතුරු  ලබා ගැනීමේ සියුම් හැකියාවයි. ඒ ලබා ගන්නා තොරතුරු හරහා තමයි ඔහුට පුලුවන් වුනේ හිතා ගන්නවත් බැරි තරම් ප්‍රබල ආරක්ශිත රැහැන් අස්සෙන් රිංගා ගොස් මෙවැනි විශාල සමාගම්වල දත්ත හොරකම් කරන්නට. 

කෙසේ වෙතත්, අවසානයේ FBI ආයතනය ඔහුව වසර දෙකක් තිස්සෙ ලුහු බඳින්නවා. වෙනස් වෙනස් අනන්‍යතා එක්ක, තැනින් තැනට පැන යමින් හැංගිලා හිටියත් ඔහු 1995 දි නීතියේ රැහැනට හසු වෙනවා. වසර පහක් හිරේ සිටින්නටත්, ඊට පස්සෙ පරිගණකයක් අල්ලන්නෙවත් නැතුව තව වසර 3ක පරිවාස කල්ලයක් ගෙවන්නටත් ඔහුට නියම වෙනවා.

නමුත් ෆෙඩරල් රජයට ඔහු නැතිව බැරි වෙනවා. හිරෙන් මිදී ආ පසු, පරිවාස කාලය තුලදීම ඔවුන් ඔහුගෙන් අහනවා අපේ රජයේ ආයතනවල තියෙන පරිගණක පද්ධතිවල දුර්වලතා (vulnerabilities) හඳුනාගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. ඔහු ඊට කැමති වෙනවා. රජය හොරු අල්ලන්නට හොඳම හොරෙක් බඳවා ගන්නෙ ඔය ආකාරයෙන්.

එතන සිට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. 
දැන් ඔහු අන්තර්ජාල ආරක්ශණය සම්බන්ධව   දේශන  පවත්වනවා, විශාල ආයතනවලට උපදෙස් දෙනවා.  එම ආයතනවල අවසරය ඇතිව එම පද්ධති හැක් කරනවා එහි අඩුපාඩු සොයාදෙන්නට (Ethical Hacking)
ආයතනවල සේවකයන්ට ඔහුගේ ආයතනය හරහා මෙවැනි වංචනිකයන්ට හසු නොවන ආකාරය ගැන පුහුණු වැඩසටහන් (Security Awareness trainings) පවත්වනවා.  
ඒ සමගම ඔහු ග්‍රන්ථ කතුවරයෙක්ද වෙනවා. තමාගේ ජීවිත කතාව ලියු Ghost in the wires කෘතිය ඔය අතරින් ඉතා ජනප්‍රිය වුනා. එහිදී ඔහු සැඟ වී සිටි කාලයේ ඔහු විසින් කරන ලද හැකින් සම්බන්ධව සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා.

කෙවින්ගේ ප්‍රධානම අවිය වුනේ රැවටීම, ඔහු පවසන්නෙ දවස්, මාස ගණන් වෙහෙස වෙලා ක්‍රැක් කිරීමකින් තාක්ශණික පරිශ්‍රමයක් යොදා  සොරා ගන්නා විස්තරවලට වඩා දෙයක් එක දුරකථන ඇමතුමකින් ගන්න පුලුවන් වග. මිනිසුන් ස්වභාවිකවම තව කෙනෙක් විශ්වාස කරනවා. ඒ දුර්වලතාවය තමා සයිබර් අපරාධකරුවන් යොදා ගන්නෙ ඉතාම ආරක්ශිත පද්ධතියක් තුලට පහසුවෙන් රිංගා ගන්න. මේ ක්‍රමයෙන් තොරතුරු සොරා ගැනීමට කියන්නෙ social engineering කියලා..

එනිසා ඔබට ලැබෙන ඇමතුම්, ඊමේල් ගැන සැලකිලිමත් වෙන්න. Microsoft ආයතනයෙන් හෝ ටැක්ස් දෙපාර්තමේන්තුවෙන් හෝ බැංකුවෙන් හෝ කියා ඔබ හරහා තොරතුරු ලබා ගැනීමට හෝ  පරිගණකය ආශිත ක්‍රියාකාරකමක් කරවා ගැනීමට ඔබව පොළඹවන්නේ ජෙහාන් කෙනෙක් හෝ කෙවින් කෙනෙක් විය හැකියි.

End Transcript

Friday, March 9, 2018

VPN තේරෙන සිංහලෙන්!!

Duration: 4:53 mins
** Transcript**මීට දවස් කිහිපයකට කලින්, ශ්‍රී ලංකා රජය විසින්  Facebook, whatsapp, viber ඇතුලු සමාජ මාධ්‍ය වාරනයක් ඇති කලා. රට තුල උද්ගත වී ගෙන ආ නොසන්සුන් වාතාවරනය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සංසරනය වීම වැලැක්විමට මෙම පියවර ගත් බවයි රජය ප්‍රකාශ කලේ.
නමුත් තරුණ කොටස් මෙම වාරණයෙන් ගැලවෙන්නට අලුත් උපක්‍රමයක් යොදා ගත්තා.  ඒ තමයි VPN තාක්ශණය. 


මෙය කෙතරම් පුලුල් ලෙස ඔවුන් යොදා ගත්තාද කිවහොත්, මෙම සතිය තුල අන්තර්ජාලය තුල එම වචනය ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතර ලංකාව 
ලොව පලමුවෙනි ස්ථානය ගත් බව ගූගල් නැබුරුතා (Google Trends) පිටුවේ සඳහන් වුනා.
















ඇත්තටම මොකක්ද මේ VPN කියන්නෙ? 

VPN අකුරුවලින් කියන්නෙ Virtual Private Network කියන එක - ඒ කියන්නෙ අන්තර්ජාලය තුලම තමා වෙනුවෙන් නිමැවෙන එක්තරා ආකාරෙක පුද්ගලික ජාලයක්. කොහොමද මෙය සිද්ධ වෙන්නෙ. අපි සරලව පැහැදිලි කර ගමු.

හිතන්න අපි ගෙදර ඉඳලා ශොපින් සෙන්ටර් එකට යනවා කියලා වාහනේකින්..දැන් වාහනය අන්තර්ජාලය හරහා යන දත්ත පැකට්ටුවක් කියලා හිතුවොත් එයට ඔය තියෙන වංගුවලින්, හැරි හැරි යන්න එයා යන ලිපිනය, ඒ කියන්නෙ ශොපින් සෙන්ටර් එකේ ලිපිනය ඕනෙ. ඉන් බඩු අරගෙන ආපහු එන්න ආපු ලිපිනයත් එහි සටහන් වෙලා තියෙනවා. ඉතින් පාරෙ එයා පහු කරන හැම වන්ගුවකම ඉන්න අයට මේ වාහනේ පරීක්ශා කරලා කියන්න පුලුවන්, එන්නෙ කොහේ සිටද, යන්නෙ කොහේටද කියලා? ඒ කියන්නෙ මේ ගෙදර අය බඩු ගන්න යන ශොපින් සෙන්ටර් එක මොකක්ද, මොන වෙලාවටද යන්නෙ, මොන වාහෙනෙන්ද යන්නෙ, මේ හැමදේම එලියෙ ඉන්න අයට දැනගන්න පුලුවන්. ඉතින් ඉලක්කගත වෙලඳ දැන්වීම්, අනන්‍යතා සොරකම් කරන අයට, ඒ විතරක් නෙවෙයි ඔත්තු බලන අයට මේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි.
මේ විදියට අන්තර්ජාලයටම අඬබෙර නොගහා, අපිට ශොපින් සෙන්ටර් එකට යන්න විදියක් ඇත්තෙම නැද්ද?
ඒක තමයි මේ VPN එක කියන්නෙ?


එතනදි මොකද වෙන්නෙ?


අපි මේ පාර කෙලින්ම ශොපින් සෙන්ටර් එකට යන්නෙ නෑ.. අපි VPN Service එකකට සම්බන්ධ වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදියට අපේ ගෙදර ඉඳලා ඒ ගොඩනැගිල්ලට අපි කියමු උමගක් සකස් වෙනවා.. ඒකට ඇත්තටම කියන වචනෙ ටනල් - ඒකට එහෙම කියන්නෙ අපි සහ VPN provider එක්ක වෙන සන්නිවේදනය End to End Encrypt වී ඇති නිසා පිටින් බලද්දි ඒ තුල යන වාහන, ඒ කියන්නෙ දත්ත පේන්නෙ නෑ. ඒ අර්ථයෙන් තමයි ඔය ටනල් කියන වචනය ඔතනට එන්නෙ. ඔය මම සඳහන් කර ලිපිනය අන්තර්ජාලය තුල හැදින්වෙන්නෙ ජාලයට සම්බන්ධ උපාංගයට අයිති IP Address එක විදියට.





දැන් අපේ කතාවට ආපහු එමු. අපේ ගෙදර ඉඳලා මේ උමග හරහා අපි ඉස්සෙල්ල යනවා අර VPN network ගොඩනැගිල්ලට. ඒකෙන් මට දෙනවා අලුත් IP Address එකක් එක්ක අලුත් වාහනයක්. ඒ වාහනේ මට දුන්නෙ කියලා දන්නෙ ඒ අය විතරයි. එනිසා ඒකෙ යන්නෙ මම කියලා වෙන කවුරුවත් දන්නෙ නැහැ. දැන් මම ඒ වාහනෙන් ශොපින් සෙන්ටර් එකට ගිහිල්ල බඩු අරගෙන ඒ වාහනෙන්ම ආපහු අර අලුත් ලිපිනයට ගිහිල්ලා, මම ආපු වාහනෙන් අර ටනල් එක දිගේ ගෙදර එනවා. දැන් මම ශොපින් සෙන්ටර් එකට කෙලින්ම නොගියට, අර VPN ගොඩනැගිල්ල හරහා කාටවත් නොපෙන්නෙන්ට ඒ ගමන ගිහින් ආවා.


Geo-Block Spoofing
ලංකාවේ මේ මොහොතේ Facebook වාරනය කර ඇතත් බොහෝ දෙනා VPN හරහා පිටරටක තියෙන server මැදින් ටනල් එකක් හදාගෙන ඒ හරහා Facebook වෙත යනවා. මේකට කියන්නෙ භූගෝලීය- වාරණයන් එනම් Geo-Block මග හැරීම කියා. රාජ්‍යය විසින් අන්තරජාල වාරණයන් පනවා ඇති රටවල ජනතාව, මාධ්‍යවේදීන් එම තහනම් කරන ලද අඩවිවලට පිවිසෙන්නෙත්, සමහර රටවලට පමණක් ලබා දෙන චිත්‍රපටි ආදී අන්තර්ජාල සේවාවන් එම අදාල රටේ VPN server හරහා වෙනත් රටවල අය ලබා ගන්නෙත් මේ ක්‍රමයෙනි. නමුත් මේ එක ප්‍රයෝජනයක් විතරයි.

Using VPN for Privacy and Security

VPN එකේ ලොකුම ප්‍රයෝජනය මම මුලින්ම කිව්ව වගේ තමන්ගේ දත්ත ආරක්ශිතව අන්තර්ජාලය හරහා සන්සරනය කරන එක, විශේශයෙන්ම නිවසෙන් බැහැරව ඔබ වෙනත් නොමිලේ දෙන අන්තර්ජාල පහසුකම භාවිත කරන තැනකදි, උදාහරනයක් විදියට ගුවන් තොටුපලක, හොටෙල් කාමරයක හෝ වෙනත් පොදු ස්ථානවල සපයන Free Wi-Fi ජාල භාවිතා කරද්දි කිසිම දිනක බැන්කු කටයුතු වැනි දේ කරන්න එපා. එසේ කරන්නට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මෙවැනි VPN සේවාවක් භාවිතා කරන්න.


  VPN භාවිතා කිරීම හරිම පහසුයි. විනාඩියක් දෙකක් ඇතුලත ඉතා පහසුවෙන් ඔබගේ පරිගැනකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නොමිලේ  සහ මුදල් ගෙවා ලබා ගත හැකි VPN සේවාවන් තියෙනවා. VPN කියන්නෙ කිසිම් අයුරකින් තහනම් දෙයක් නොවේ.. (සමහර රටවල් කිහිපයක් හැර)


හැබැයි, පරෙස්සමෙන්!

මෙතනදි මට වැදගත් උපදෙසක් දෙන්න තියෙනවා. සයිබර් අවකාශයේ ඇති දහස් ගණනක් VPN නිශ්පාදන අතරින් ඔබ තෝරා ගන්න සේවා ගැන තරමක් හොයලා බලන්න, මොකද මෙය විශ්වාසය මත පදනම් වෙන වැඩක්. ඉහත උදාහරනයෙන් වුනත් ඔබට පැහැදිලි ඇති ාන්තර්ජාලයෙන් සැඟවෙන්න ඔවුන් හරහා යද්දි, ඒ සැඟවූ
තොරතුරු සියල්ල ඔවුන් දන්නා වග. මේ අයට පුලුවන් ඒ තොරතුරු වෙන අයට විකුනන්න. එනිසයි බොහෝ විට ෆ්‍රී සේවාවන්වලට වඩා, විශ්වාසනීය සහ ප්‍රකට සන්නාම නාමයන් (trusted and reputed brand names) සහිත මිලෙන් අඩු සේවාවන් සඳහා බොහෝ අය යොමුවන්නෙ.  


එනිසා මා නැවත අවධරණය කරන්නේ VPN යනු අන්තර්ජාලය හරහා ඔබගේ අනන්‍යතාවය සහ දත්ත ආරක්ශා කර ගැනීමට ඉතා පහසුවෙන් භාවිතා කල හැකි, නොමිලේ පවා ලබා ගත හැකි තාක්ශණයක්. 

අන්තර්ජාලය හරහා අප කරන් දෙයින් අපට සඟවන්න දෙයක් නැති වුනත්, අප කරන දෙයට ඇස් ගසා ගෙන සිටින කිසිවෙක් එසේ කරන්නෙ අපට ආදරයට නම් නොවේ, එනිසයි අපි මෙවැනි තාක්ශනික ක්‍රමවේද ගැන නිරතුරුව දැණුවත් විය යුතු වන්නෙ..

** End Transcript **

Tuesday, February 27, 2018

ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර තිබුනු iPad එකට වෙච්ච දේ..


Duration: 3:59 mins
Refer Youtube Video below to listen.

** Transcript**
ස්ටීව් ජොබ්ස් වසර 2010 වසරෙදි තමයි මුල්ම iPad එක හඳුන්වා දුන්නෙ.. මේ සමගම Touch Screen ටැබ්ලට් ආශ්‍රිත වෙලඳ පොල ඔහු විප්ලවීය වෙනසකට ලක් කල බව අදටත් අවිවාදයෙන් පිලි ගනු ලබනවා.
නමුත් අද මම කතා කරන්නේ iPad ගැනවත්, ජොබ්ස් ගැනවත් නෙවෙයි, මිලියන ගනනින් iPad ලොව වටා උණු කැවුම් වගේ අලෙවි වෙද්දි, ස්ටීව් ජොබ්ස්ගේ ගෙදර iPad එකට තිබුනු තැන ගැන.

Newyork Times පුවත් පතේ මාද්‍යවේදියෙක් මේ කාලයේම ජොබ්ස් සමග සාකච්ඡාවක් පවත්වනවා. ඔහුගේ නම නික් බිල්ටන්  .
iPad ගැන තාක්ශණික පැත්තෙ වචන හුවමාරුවකට පස්සෙ, නික් නිකමට වගේ ජොබ්ස්ගෙන් අහනවා " ඔබේ දරුවන් නම් iPad වලට ආස ඇති නේද?" කියලා.
මුලු ලෝකෙම මේ ඉන්ද්‍රජාලික උපාංගයෙන් වසඟ වෙලා , එහි ශක්‍යතාවයන් ටික ටික හඳුනාගෙන එන මේ කාලයේ, ජොබ්ස්ගෙ ගෙදර කොහොම තියෙන්න ඇතිද කියලා නික්ට කුතුහලයක් එන්න ඇති. නමුත් ස්ටීව් ජොබ්ස්ගෙ පිලිතුරෙන් නික් ගල් ගැසී යනවා.
"නෑ එයාලා iPad පාවිච්චි කරලා නෑ.. අපේ ගෙදර දරුවො තාක්ශණය පාවිච්චි කරන තරම අපි සීමා කරලනෙ තියෙන්නෙ"

මේ හමුව ගැන පසු කාලෙක සිහි කරන නික් පවසනවා, ඔහු සිතා සිටියේ ජොබ්ස්ගෙ ගෙදර යෝධ touch screens සවි කරපු බිත්ති තියෙන, කෑම මේසෙ දිගේ iPads සවි කරපු, iPods චොක්ලට් වගේ එන අමුත්තන්ට පිලි ගන්වන තාක්ශණික පාරාදීසයක් වෙන්න ඇති කියලා.
"නැහැ, ඒ ලඟින්වත් යන්නෙ නෑ කියලා" ජොබ්ස් කියලා තියෙනවා.
මේක ඇත්තටම නික්ට අදහා ගන්න බැරි වුනා. ජොබ්ස්ගෙ ජීවිත කතාව ලිව්වෙ වෝල්ටර් අයිසැක්සන් කියන රචකයා. ඔහු ඒ පොත ලියන්න ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර නිතරම කාලය ගත කල කෙනෙක්. එනිස ස්ටීව්ගෙ කතාව සහතික කර ගන්න නික් ගියේ වෝල්ටර් ගාවට.
වෝල්ටර් එය සනාථ කරමින් මෙහෙම කියනවා.
"හැම හවසකම ස්ටීව් කියලා තිබුනේ කෑම ගන්න ඕනෙ එකට - ගෙදර තියෙන දිග, විශාල මේසෙ - ඔවුන් පොත් ගැන, ඉතිහාසය ගැන සහ වෙනත් විවිධ මාත්ෘකා ගැන කතා කරනවා. කිසිම දරුවෙක් ඔය වෙලාවට iPad හෝ පරිගනකයක් එලියට ගත්තෙ නෑ... කොටින්ම ඔවුන් මේ වගේ උපාංගවලට කිසිලෙසකින්වත් ඇබ්බැහි වෙලා සිටියෙ නෑ" වෝල්ටර් සිහි කලේ ඒ දරුවන් ගැන විශාල පැහැදීමකින්.

නික්ට ඊට පසුව හමු වුන තාක්ශනික ආයතනවල මුල් පුටු හොබවන නිලදාරීනුත් මීට සමාන ආකල්පයක සිටියේ කියා ඔහු ඔහුගේ ලිපියේ හෙලි කරනවා. ඒ හැමෝම වගේ දරුවන් මෙම උපාංග භාවිතා කරන කාලය දැඩි ලෙස සීමා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ, තමන් තාක්ශණයේ අවදානම ඇස් පනා පිට දකිද්දී, ඔවුන්ගේ දරුවන් ඊට ගොදුරු වෙනවා දකින්න ඔවුන්ට බැහැ යන්නයි.

දරුවන්ට ගැලයෙන තිර කාලය (screen time)  තීරනය වෙන්නෙ වයස අනුව.
සාමාන්‍යයෙන් අවුරුදු දෙකට අඩු දරුවනට මෙම උපාංග භාවිතය හානිකරයි යන්න තමයි විද්වතුන්ගේ මතය. වයස අවුරුදු දෙකේ සිට පහ දක්වා දවසකට පැයකුත්, පහේ සිට 17 දක්වා දවසකට පැය දෙකකුත් තමා ඔවුන් නිර්දේශ කරන්නෙ. මෙය විනෝදාස්වාදයට අදාල කාලය පමනයි, අධ්‍යාපනික හෝ නිර්මාණාත්මක දෙයක් වෙනුවෙන් ගත් කරන කාලය මෙම සීමා කිරීම්වලට වැටෙන්නේ නැහැ.
මේ සීමා කිරීම එක පාරට කරන්න අවශ්‍ය නැහැ. එහෙම උචිතත් නැහැ මොකද හැම පවුලක්ම එකිනෙකිට වෙනස්, එනිසා මේවා තමන්ට අදාල වෙන විදියට මාර්ගෝපදේශ ලෙස පමන්‍යි ගන්න ඕනෙ.
අවශ්‍ය වන්නේ අවබෝධයෙන් හරි සමබරතාවයක් ඇති කර ගන්න එක තමයි.

මුලින් කුඩාවට පටන් අරන්, දිනපතා අදාල තිර කාලයට දරුවන් එක්ක එකඟ වෙන්න. කිසි දිනක් නිදන කාමරයේ මෙම උපාංග තියන්න එපා. එකට එකතු වී පොත් කියවන, චිත්‍ර අඳින, ක්‍රීඩා කරන කාල වෙන් කර ගන්න. ගමන්ක් යද්දි වුනත් ඔවුන්ට ටැබ්ලට් ආදිය වෙනුවට පොත්, සෙල්ලම් බඩු ගෙනි යන්න පොළඹවන්න පුලුවන්.
මින් ඉතාම වැදගත් දේ අපි ආදර්ශමත් වෙන එක. අපගේ ඉලෙක්ට්‍රොනික උපකරන පසෙකින් තියලා ඔවුන් සමග පොත පත කියවන්න, සෙල්ලම් කරන්න, කාලීන මාත්ෘකා ගැන සාකච්ඡා කරන්න, චිත්‍ර, සංගීත ආදියේ පොඩි කාලෙයකට හරි නියැලෙන්න හැකි නම් මේ උවදුරුවලින් ඔවුන් මුදවාගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය එය බව ඔබත් මාත් වටහා ගන්න ඕනෙ.

** End Transcript***

පසු සටහන: මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟදි. මේ ලිපි පිටිපස්සෙ පර්‍යේශන සහ නිර්මාණ පරිශ්‍රමයක් තියෙන වග අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ හරහා යම් දැනුමක් සමාජගත කරන්න කරන මේ උත්සාහය එක්ක ඔබත් එකතු වෙන්න.
මේ ලිපි ප්‍රයෝජනවත් කියලා සිතේ නම් දකුනු පස තියෙන 'Follow' බොත්තම ඔබල Subscribe වෙන්න.
ඔබට සුබ දවසක්!

මූලාශ්‍ර
නික් බිල්ටන්ගේ New York Times ලිපිය
තිර කාලයට අදාල  Guidelines

Wednesday, February 21, 2018

වෙස්ටන් යුනියන් වන්දිය සමහර විට ඔබටත් හිමි ඇති. කියවලා බලන්න..


Duration:  3.36 mins
** Transcript **
පසුගිය වසර 14ක කාලය තුල, ඔබට ස්කෑම් වංචාවකට අහු වෙලා වෙස්ටර්න් යුනියන් හරහා වංචනිකයන්ට මුදල් යවන්න වී තිබේද?   උත්තරය ඔව් නම් මේ තොරතුරු ඔබට බොහෝ විට සුබ ආරංචියක් වේවි.

ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව වෙස්ටර්න් යුනියන් සමාගමට එරෙහිව පැවරූ නඩුවකින් එම ආයතනය පරාජය වුනා. එහි ප්‍රතිපලයක් ලෙස එම සමාගමට සිදු වුනා ඩොලර් මිලියන් 586ක දඩ මුදලක් ගෙවන්න. ඇමරිකානු නීති දෙපාර්ත්මේන්තුව මේ මුදලින් ලොව වටා අගතියට පත් වූ පාර්ශව වලට වන්දි ගෙවන්න තීරනය කරලා තියෙනවා.

මුලින්ම අපි මතක් කර ගමු ස්කෑම් එකක් කියන්නෙ කුමක්ද කියලා? බොහෝ විට ඊමේල් හරහා හෝ අන්තර්ජාල අඩවි හරහා වංචනිකයන් විසින් විවිධ උපක්‍රම යොදාගෙන මුදල් සොරා ගැනීමට උත්සාහ කරනවා. සමහර විට විදෙස් ගත පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට කරදරයක් හෝ ඔබට ඇදුනු හදිසි ලොතරැයියක ත්‍යාග මුදල ලබාගැනීමට පෙර කරන ගෙවීමක්, රැකියා අවස්ථා, අන්තර්ජාල ප්‍රේම සම්බන්ධතා (online dating/romance) ආදී ඕනෑම ක්‍රමයකින් ක්ශණික මුදල් හුවමාරුවක් කර ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සඳහා ඔවුන් බොහෝ දුරට භාවිතා කරන්නේ වෙස්ටර්න් යුනියන් වැනි ආයතනයක් හරහා කරන මුදල් හුවමාරු (wire transfer).
අදාළ නඩුවෙන් වෙස්ට්‍රන් යුනියන් සමාගම පැරදුනේ එලෙසින් මුදල් වංචා කිරීමට එරෙහිව ඔවුන් ප්‍රමාණවත් ආරක්ශණ ක්‍රියාමාර්ග ඔවුන්ගේ පාර්ශවයෙන් ගෙන නැති බවට ඔප්පු වූ නිසා.

ඔස්ට්‍රේලියානු රජය ජනතාවට මතක් කර සිටිනවා 2004 සිට 2017 දක්වා දිනක මෙලෙසින් වෙස්ටර්න් යුනියන් හරහා වංචාකරුවන් විසින් මුදල් සොරා ගත් අය සිටී නම් එම අදාල වන්දි අයදුම්පත මැයි 31ට පෙර යොමු කරන
ලෙස. එම වන්දි අයදුම්පත තැපෑලෙන් හෝ අන්තර්ජාල පෝරමයක් ලෙස යොමු කල හැකියි.
මීට සම්බන්ධ සියලු විස්තර ඔස්ට්‍රේලියාන් රජයේ ස්කෑම් දැනුවත් කිරීම සම්බන්ධ පිටුව වෙන www.scamwatch.gov.au අඩවිය හරහා ඔබට දැනගත හැකිය. නැතහොත් වන්දි ගෙවීම සම්බන්ධයෙන්ම පිහිටුවා ඇති ඇමෙරිකානු වෙබ් අඩවිය වන http://www.westernunionremission.com/ හරහා මීට අදාල සියලු විස්තර ඔබට දැනගත හැකිය.
මතක තබා ගන්න මේ සම්බන්ධ අයදුම්පත භාර ගන්නා අවසාන දිනය මැයි 31 දා. ඔබේ හිත මිතුරනුත් මේ ගැන දැනුවත් කරන්න.

මෙවැනි ස්කෑම් හරහා වසරකට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ඔස්ට්‍රේලියානුවන් නැති කර ගන්නවා. බලදාරීන් කියන්නෙ බොහෝ දෙනෙක් මෙවැනි සිදුවීම් වාර්තා නොකරන නිසා ඇත්ත පාඩුවට මීටත් ව අති විශාලයි කියලා.
එනිසා අවදියෙන් ඉන්න. ඔබ අපේක්ශා නොකරන ත්‍යාග, ණය දීමනා, රැකියා අවස්ථා, විශාල මිල අඩු කිරීම් සහිත නිශ්පාදන සඳහන් කොට ඒ වෙනුවෙන් ඉල්ලා සිටින ගෙවීමක් හෝ පවුලේ කෙනෙක්ගෙන් එන හදිසි මුදල් අවශ්‍යතාවයක්, පොලීසියෙන් එන දඩ මුදල් ඉල්ලා සිටීමක් වැනි රැවටීම හරහා මුදල් වංචා කිරීම සම්බන්ධව අතිශය පරෙස්සම් වෙන්න.
ඒ නැතිවෙන මුදල් ගියේ කාටදවත් සොයා ගන්න බැහැ මෙවැනි wire transfer හරහා ඔවුන්ට මුදල් ලැබුනු පසු.
මෙවැනි වන්දි වැඩස්ටහනකින් පවා ඔබේ නැති වූ මුදල් සියල්ල ලැබේ යැයි සහතිකයක් නැහැ. එනිසා ඒ ගැන දැනුවත් වී එවැනි වංචාවලට හසු නොවීමට තමයි ඔබ ඉටා ගත යුත්තේ.

End transcript

අදාල සබැඳි..

ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනය

ScamWatch

Western Union Remission page



Tuesday, February 13, 2018

ෆෙස්බුක් බැලීම කුඩු ගැහුවා වගේද?

මේ ලිපිය  සෑහෙන අවධානයක් ගත් බව මට ලැබුනු ප්‍රතිචාරවලින් පැහැදිලි වුනා. ඒකට දිවයින යොදපු ලිපි ශීර්ෂයත් (Title)  බලපාන්න ඇති.

අදාල දිවයින ලිපිය 

ඒ ශීර්ෂයට මගේ එතරම් මනාපයක් නොවුනත්, වැඩි පාඨක අවධානයක් වෙනුවෙන් එය එසේ යොදා ගැනීම ගැන මගේ ගැටලුවක් නොමැත.

මේ එක්ක මගේ මිතුරෙක් මට හෙලිකරා මේ ලිපියම හිරු ගොසිප් එකේ ලිව්වෙ කව්ද කියන්නෙ නැතුවම දාලා කියලා, අඩු ගානෙ දිවයිනේ නමවත් සඳහන් කරන්න තිබ්බනේ.
පැහැදිලිවම අවම මාධ්‍ය සදාචාරයවත් නැහැ.. දිවයිනේ මාධ්‍ය සගයන් කිව්වෙ ඒ අය ඔය නිර්ලජ්ජිත වැඩේ නිතර කරනවා කියලා.. 

මෙන්න හිරු ගොසිප් එකේ ලින්ක් එක

Monday, January 15, 2018

සයිබර් විපරම දැන් ඉරිදා දිවයිනේ විශේෂාංග කොටසේ


සයිබර් විපරම බ්ලොග් අඩවිය ගිය ඉරිදා (ජනවාරි 14දා) ලොකු පිම්මක් පැන්නා.
ජාතික පුවත්පතක විශේෂාංග ලිපි සපයන්නට මට ඇරයුමක් ලැබුනා.. මනෝජ් අබයධීර සහ තරංග රන්දෙනිය සමග කල කෙටි සාකච්ඡාවකින් පසුව මේ ඉරිදා එහි මුල්ම ලිපිය පල වුනා. මේ බ්ලොග් අඩවිය හරහා යම් යහපතක් වේ නම් මේ සමඟ එය නව මානයකට ගෙන යන්නට අවස්ථාව උදා වේ යැයි මම විශ්වාස කරමි.

ඒ සඳහා අවස්ථාව ලබා දුන් ඉරිදා දිවයිනේ මනෝජ් සහ තරංග මාධ්‍ය සගයන්ටත්, ඔවුන්ට මාව යොමු කල මාගේ පාසල් මිත්‍ර විරාජ් නානායක්කාර සොයුරාටත් මගේ ප්‍රණාමය.  

අදාල ලිපිය සඳහා මෙතන ක්ලික් කරන්න.

Monday, January 8, 2018

චමත් පලිහපිටියගෙන් Facebook වෙත ප්‍රහාරයක්..

Cyber Satahana  Episode 14 : Duration 4 mins 36 seconds

Transcript
"චමත් පලිහපිටිය කියන නම් ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට, සිලිකන් නිම්නය කේන්ද්‍ර කරගත් තාක්ශනික දැවැන්තයන්ගේ ලෝකයෙ ඔහු ඉතා ප්‍රකට පුද්ගලයෙක්. ඔහුව බොහෝ දෙනෙක් දන්නේ සමාජ ජාලාවල දැවැන්තයා වෙන Facebook නිර්මානය වූ මුල් කාලයෙදි එහි ව්‍යාප්තිය වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්‍යභාරයක් කල අති දක්ශ පරිගණක ඉන්ජිනේරුවෙක් සහ ඉතා බුද්ධිමත් ව්‍යවසායකයෙක් විදියට.

1976 ලංකාවෙ ඉපදුන චමත්, වයස අවුරුදු 6දි දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය වෙනවා ස්ථිර පදිංචියට. මිලේනියම් වසරෙදි, ඒ කියන්නෙ දෙදහස වසරෙ ඔහු කැලිෆෝර්නියාවට එනවා සිලිකන් නිම්නය වෙත. එහි AOL කියන ප්‍රදාන පෙලේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට එකතු වී, වසර කිහිපයක් ඇතුලත එහි Instant Messaging අංශයේ ප්‍රධානියා තනතුර දක්වා ඉහලටම යනවා.

මේ වෙනකොට Facebook පටන් අරන් අවුරුද්දයි. ,එහි  නිර්මාතෲ මාක් සකර්බර්ග් චමත්ගේ දක්ශතාවයන් අඳුර ගෙන ඔහුව පත් කරනවා ප්‍රවර්ධන අංශ ප්‍රධනියෙක් විදියට (Vice President of User growth).
වසර කිහිපයක් ඇතුලත ෆේස්බුක් අතිශය ජනප්‍රිය වෙලා දැනට බිලියන දෙකක් දක්වා එය භාවිතා කරන්නන් වැඩි කර ගැනීම පිටිපස ඉතා තීරණාත්මක කාර්‍යභාරයක් කරේ චමත්.
ඔහු 2011 දි ෆේස්බුක් ආයතනයෙන් ඉවත් වෙලා තමන්ගෙම ආයතනයක් පටන් ගන්නවා Social Capital කියලා, අද එය ඉතා ලාභ ලබන ආයතනයක්.

අද මම චමත් පලිහපිටිය ගැන කතා කරන්න තීරනය කරේ විශේෂ හේතුවකට. ඔහු ඉතා නිර්භයව අදහස් ප්‍රකාශ කරන, ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්. ඉතාම මෑතකදි ඔහු  නිර්දය විවේචනයක් කරනවා මේ මොහොතේ සමාජ ජාලා, විශේෂයෙන්ම Facebook එය භාවිතා කරන්නන්ව program කරන අයුරු සහ එය  ව්සින්  සමාජ වියමනම (social fabric) ඉරා දමන තැනකට ඒම පිලිබඳව. 

මේ කියන්නෙ එය නිර්මානය කරන්න දායක වුන කෙනෙක්. 
එවැන්නෙක් එය තමන්වත්, තමන්ගෙ දරුවන්වත් භාවිතා කරන්නෙ නැහැ යනුවෙන් ප්‍රසිද්ධියෙ පවසන විට සහ එම තත්ත්වය නිර්මාණය කරන්න තමන්ගේ වූ දායකත්වය ගැන කණගාටුවෙන් කතා කරන විට එය සුවිශේෂී කාරණයක්.
අපි චමත්ගෙ වචනවලට මොහොතකට සවන් දෙමු.

"..the short-term, dopamine-driven feedback loops that we have created are destroying how society works: no civil discourse, no cooperation, misinformation, mistruth. This is not about Russian ads. This is a global problem. It is eroding the core foundations of how people behave by and between each other. I can’t control them. I can control my decision"

මෙහිදී චමත් සඳහන් කරන 'short-term, dopamine-driven feedback loops' කියන්නෙ කුමක්ද? 

ඩෝපමීන් කියන්නෙ සූදුවේ නිරත වෙද්දි හෝ මත්ද්‍රව්‍ය ආදිය ගැනීමේදී මොළයේ නිපදවෙන රසායනිකයම තමා. එය තමයි මිනිස් මනසට ඇබ්බැහිය පුරුදු කරන්නෙ. Facebook වගේ සමාජ ජාලා විසින් දෙන Likes, Comments, Hearts, Thumbs Up ආදිය එක්ක එන කෙටි කාලීන උත්තේජනය විසින් තමන්ට ඒ 'ඩෝපමින් හිට්' එකට මොහොතකට පෙර සිටියාටත් වඩා හිස්බවක් උරුම කර දෙනවා. (හිස් බවට පිළිතුරු ලෙස යෙදෙන ක්‍රියාවකින් හිස් බවම උරුම කර දීම).  ඒ නිසා ඔවුන් ඒ උත්තේජනය නැවත ලබාගන්න ඒ තුලම කිමිදෙන විශම චක්‍රයක් මත හිර වෙන බව තමා ඉන් අදහස් වෙන්නෙ.


චමත්ගේ මේ ප්‍රකාශයට මාසයකට කලින්, Facebook හි පලමු සභාපතිවරයා වූ ශෝන් පාකර්ද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. ඔහු පැවසුවේ ඔවුන් මිනිස් සන්තානයේ ඇබ්බැහි වීමට හැකියාව ඇති දුර්වලතාවයක් (vulnerability) ෆේස්බුක් නිර්මාණය කිරීමේදී ඉතා සබුද්ධිකව හා දැනුවත්ව ප්‍රයෝජනයට ගත් බවයි. ඒ පිලිබඳව කලකිරීමකින් මෙන් ඔහු පැවසුවේ අපේ දරුවන්ගේ මනසට මින් විය හැකි හානිය ගැන තමන් දැන් තැති ගන්නා බවයි.

චමත් ඔහුගේ කතාවෙදි අපට ලස්සන උපදෙසක් දෙනවා. 
"ඔබ සතාව පෝශණය කරොත්, සතා ඔබව විනාස කරනවා. (If you feed the beast, that beast will destroy you) එනිසා මේ දේවල් වලින් අමාරුවෙන් හරි ගැලවෙන්න ඔබට සිද්ද වෙනවා"

මට මේ එක්ක මතක් වෙනවා අපි ගුවන් යානාවල යද්දි අපිට ලැබෙන ආරක්ශිත උපදෙසක්.. 
"හදිසි අවස්ථාවකදී, ඔක්සිජන් මාස්ක් පහතට වැටේවි, එවිට ඔබේ මාස්ක් එක නිසි පරිදි සවි කර ගැනීමෙන් පසුව පමණක් ඔබේ දරුවාට සහය වෙන්න"  ලෙස. 
සයිබර් අවකාශ‍ය සම්බන්ධවත් එය සත්‍යයි. සමාජ ජාලා ඇබ්බැහිය හෝ වෙනත් ඕනැම උවදුරකින් දරුවන් බේරා ගන්නට පෙර, එය අප ආදර්ශයෙන් පෙන්වා දිය හැකිය යුතු වෙනවා."

**** End Transcript*****

Related:
Chamath's remarks at Stanford Graduate School of Business 





Facebook Ex-President's remarks on exploiting a human vulnerability and consequently creating a platform thriving on social validation feedback loop fuelled by 'dopamine hits'.


පසු සටහන:
මේ අදහස් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ෆේස්බුක් ආයතනය මීට ප්‍රතිචාර දක්වා තිබුනා. එයට චමත් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ෆේස්බුක් සමාජයට අහිතකර යමක් කලා යයි තම් අදහස් නොකල බවක්. නමුත් ඔහු තමන් මූලිකව දැක්වූ කාරනා කිසිලෙසකින් ඉල්ලා අස් කර ගත්තේ නැති බවත් සඳහන් කල යුතු වේ.
මේ ඒ සම්බන්ධ පුවත.

Saturday, December 23, 2017

ඔබේ ගෙදර බිත්ති වීදුරුවලින් හදමුද?


Episode 13 Privacy Settings
Duration: 5 mins

Transcript:
මීට මාස ගානකට කලින්, තරුණ දරුවන් අතර අතිශය ජනප්‍රිය Smart Phone App එකක් වෙන SnapChat අලුත්ම අංගයක් එකතු කරා SnapMap කියලා. මින් ඒ අය ඉන්න තැන තිතටම එයාලගෙ මිතුරන්ට බලා ගන්න පුලුවන් වෙනවා.
මෙය කෙතරම් ජනප්‍රිය වුනාද කිවහොත් ලොව වටා පොලීසිවලට සිද්ධ වුනා, දරුවන් සහ දෙමාපියන් දැනුවත් කරන්න තමන් ඉන්න ස්ථානය මේ විදියට පෙනෙන්නට සැලැස්වීමෙන් ඒ සමග නිසඟයෙන්ම එන අවධානම ගැන. ඔවුන් SnapChat භාවිතා කරන අයගෙන් ඉල්ලා සිටියා මතක ඇතිව ඒ ඇප් එකේ Privacy Settings වලට ගිහිල්ලා, අනෙක් අයට තමන්ගේ Location එක නොපෙනීම සහතික කරන 'Ghost Mode' එක තෝරා ගන්න කියලා.
ඇයි මේ පොලිසි වලට සිද්ධ වුනේ, වඩා ප්‍රවේසම් Privacy Settings මොනවද කියලා මතක් කරන්න, විශේෂයෙන්ම තාක්ශණික පැත්ත ගැන හොඳටම දන්න තරුණ දරුවන්ට?
අපි ගිය සතියෙත් කතා කරා වගේ, තාක්ශණය හරහා ඉන් ප්‍රයෝජනය ගන්න හැමෝම මහන්සි වෙන අතරේ, ඒ හරහා තමන්ගේ සංවේදී තොරතුරු එලියට කාන්දු වීම, විශේෂයෙන්ම තමන් නොදන්න ආගන්තුකයන්ට තමන් ගැන කෙතරම් තොරතුරු ලබා දෙනවාද ගැන තියෙන්නෙ ඉතා අඩු අවධානයක්.

Privacy Settings ඔබට තේරුම් කරන්න මට හිතුනා පොඩි උදාහරණයකින්.
ඔබේ ගෙදර නාන කාමර, නිදන කාමර හැර අනික් හැම තැනක්ම එලියට පේන විදියට, බිත්ති ගඩොල්වලින් හදන්නෙ නැතිව වීදුරු වලින් හැදුවා නම් කොහොමද? ඔබ කියාවි එහම් කවදාවත් වෙන්නෙ නැහැනෙ කියලා. නමුත් මම කියනවා, නොදන්න කමට බොහෝ දෙනෙක් තමන්ගේ Facebook Profile එකේ Privacy Setting ගැන අවධනයක් නැති කමෙන් කරලා තියෙන්නෙ මීට සමාන දෙයක් කියලා.
ඇයි මම එහෙම කියන්නෙ?

අපි ගෙදර බිත්ති ගඩොලෙන් හෝ වෙනත් පාරද්ෘශ්‍යැ නොවන ශක්තිමත් දෙයකින් හදලා, දොර ලොක් කරන්නෙ හේතුවක් ඇතිව. ඒ අපේ මූලික ආරක්ශාවටත් අපේ පුද්ගලිකත්වයෙත් ආරක්ශාවට. කෙනෙක් දොරට තට්ටු කරාම, ඒ කව්ද කියලා බලලා, දන්න කෙනෙක් නම් අපි ගෙට ගන්නවා. අනෙක් අයට දොර ලොක් වෙලා තියෙන්නෙ. අර ඇතුලට එන අපි දන්න කට්ටිය එක්ක අපේ ජීවිතය අපි බෙදා ගන්නවා. අපි කන්නෙ මොනවද, අපේ දවස සතුටුද, දුකද, අපේ දරුවන්ගේ දක්ෂතා විතරක් නෙවෙයි අපි කොහෙද නිවාඩුවට යන්නෙ, ගිහින් කවද්ද එන්නෙ ආදී අතිශය පුද්ගලික මට්ටමේ කාරනා. ාපිට අවශ්‍ය නැහැ පාරෙ යන කෙනෙක් මේ දේවල් දකිනවටවත් අහනවටවත්.
නමුත් විශ්වාස කරන්න ෆේස්බුක් වල Privacy Setting එක Public කරලා තියෙන හැමෝම කරන්නෙ ඔය දේ. ඒ අය ගෙදර බිත්ති වීදුරු වලින් හැදුවටත් වඩා භයානක දෙයක් කරලා තියෙන්නෙ.

නමුත් Facebook Setting වලින් මෙය විනාඩියකටත් අඩු කාලෙකින් නවතන්න පුලුවන්. බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත් නැත්තෙ තාක්ශනික පැත්තෙ කාරනයක් නිසා නෙවෙයි, ඒ ගැන අවධනයක් නැති කමෙන්.
ඒ නිසා ඔබට ඉතාමත් අවධරනය කරලා මම කියන්නෙ ඔබ සමාජ ජාලා භාවිතා කරනවා නම් අනිවාර්‍යෙන්ම එහි Privacy Review එකක් කරන්න. මෙය ඕනෑම App එකකටත් අදාලයි නමුත් Facebook ගැණ කතා කරපු නිසා සහ මෙය වැඩියෙන්ම අදාල වෙන්නෙ Facebook වලට නිසා මේ Privacy Checkup එක Facebook එකේ කරන්නෙ කොහොමද කියලා මතක් කරන්නම්.
Facebook මෙහි වැදගත්කම වැඩිකම නිසාම, Quick Help කියලා එය Settings ලග වෙනම ස්ථානගත කරලා තියෙනවා. එහි තියෙනවා Privacy Check Up කියලා ඉතා කෙටි පියවර තුනකින් තමන්ගේ Profile එක පරීක්ශා කරන එක. ඔවුන් මෙය ඉතා සරලව ඉදිරිපත් කරලා තියෙනවා ඔනැම කෙනෙකුට වැටහෙන විදියට.
උදාහරනයක් විදියට එහි පෙන්නනවා ඔබගේ උපන්දිනයෙ දවස සහ වසර වෙන වෙනම

කාටද දකින්න පුලුවන් කියලා. ඔබට පුලුවන් දවස අනෙක් අයට දකින්න සලස්වල, අවුරුද්ද ඔබට විතරක් දකින්න සලස්වන්න. ඒ ක්‍රමයෙන් ඔබට උපන්දිනේට යාලුවන්ගෙන් ලැබෙන සුබ පැතුම් අත හැරෙන්නෙත් නැහැ ඔබේ සම්පූර්ණ උපන්දිනය කිසි කෙනෙකුට බලා ගන්නත් බැහැ. නමුත් කිසිම් ලෙසකින් ඒ එකක්වත් පබ්ලික් දකින්න පුලුවන් විදියට තියන්නත් එපා.
අනික් ඉතා වටින Tool එක තමා Privacy Shortcuts - එයත් එතනමයි තියෙන්නෙ. ඉන් ඔබට සියලුම Privacy Settings සහ Tools එකම සරල Screen එකකින් පෙන්නනවා. මෙතන ගොඩාක් අය නොදන්න Tool එකකුත් තියෙනවා. ඒ තමයි ඔබට පුලුවන් පිටස්තරයෙකුට ඔබේ Profile එක පේන හැටි ඔබටම බලා ගන්න. මේක හරියට අපිම ගෙදරින් එලියට බැහැලා අපේ ගේ දිහා බලනවා වගේ මොනවද පිටින් බලන අයට පේන්නෙ කියලා.
ඒ නොදන්න කෙනෙකුට පේන විදියනෙ. ඔබට පුලුවන් දන්න කෙනෙක්ගෙ නමක කියලා එයාට ඔබේ Profile එක පේන හැටිත් බලා ගන්න. මෙය නම් බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එයත් තියෙන්නෙ මා කලින් කිව්ව Privacy Shortcuts වලම තමා.

සයිබර් අවකාශයේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ පුද්ගලික තොරතුරු වලට. ඒ හරහා තමයි නිල විදියට වෙලඳ දැන්වීමුත්, නොනිල විදියට Cyber Crimes සිද්ධ වෙන්නෙ.
කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඔබ දෙයක් විකුනන්නේ නැත්නම්, බොහෝ විට එතන විකිනෙන්නේ ඔබයි.

End Transcript

අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ - Identity Crimes



Episode 12  Duration; 4 mins 50 sec

Transcript
ගිය වසරෙ ඔස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුව අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ (Identity Crimes) සම්බන්ධ ඉතා වැදගත් වාර්තාවක් ඉදිරිපත් කරා. ඉන් හෙලි කරනා කාරනා කිසි ලෙසකින්වත් ඔස්ට්‍රේලියාවට විතරක් අදාල කාරනා නෙවෙයි මොකද මේ අපරාධ බොහෝ විට අන්තර්ජාතික මට්ටමේ සංවිධනාත්මකව සිදු වෙන අපරාධ. ඒ නිසා අද අපි සයිබර් සටහනෙන් කතා කරමු  Identity Crimes ගැනත් ෛන් වැලකෙන්න අපිට ගත හැකි ආරක්ශිත ක්‍රියා මාර්ග මොනවද කියන කාරනාත් ගැන.

මෙම වාර්තාවට අනුව, 2016 වස‍රට විතරක් මින් වූ සමස්ත පාඩුව ඩොලර් බිලියන 2.2ක්. ඔස්ට්‍රේලියානුවන් 5 දෙනක් ගත්තොත් ඉන් 1 කෙනෙක් මෙයට කවදා හෝ ගොදුරු වෙලා තියෙනවා, ඒ කියන්නෙ ඔස්ට්‍රේලියාවේ අපරාධ පැත්තෙන් ගත්තොත් වාහන සොරකම, නිවාස සොරකම් හෝ පහරදීම් ආදිය ඉක්මවා මේ අපරාධය ඉහලටම ඇවිල්ල තියෙනවා.
සෑම තත්පර විස්සක් ඇතුලත, ඔස්ට්‍රේලියාව තුල කවුරු හරි කෙනෙක් මේ අපරාධයට ගොදුරු වෙනවා. ගොදුරු වෙන අයගෙන් හතරෙන් එකකට, ඒ කියන්නෙ ඔස්ට්‍රේලියානුවන් 5%ක් , මේ නිසා ආර්ථික පාඩු ලබනවා.
ආර්ථික නොවන පාඩුත් සුලුපටු නැහැ. ඒ අයගෙන් 10% මානසිකව කඩා වැටීම්වලට ලක්වෙන අතරෙ ඉතා භයානකම කාරනෙ 7% තමන් නොකල අපරාධවලට සම්බන්ධයි කියලා වැරදියට චෝදනා ලබනවා.
ඇත්ත දත්ත මීටත් වඩා දරුනු වෙන්න ඕනෙ මොකද සමීක්ශණ වාර්තාවලට අනුව මෙයට ගොදුරු වෙන අයගෙන් 38% විවිධ හේතු නිසා මේ ගැන පැමිනිලි කරෙ නැහැ කියලා පිලිගෙන තියෙන නිසා.

ඇයි Identity Crimes මෙතරම් ප්‍රධාන අපරාධයක් මට්ටමට වැටුනෙ?
ප්‍රදානම හේතුව තමා දැනුවත් කම අඩු කමින් මීට පහසුවෙන් මිනිසුන් ගොදුරු වීම. එලෙසින් සොරා ගන්නා තොරතුරු යොදාගෙන, ඉතා කෙටි කාලයක් තුල ඉතා විශාල ආර්ථකමය ලාභ ඔවුන්ට ලබන්න පුලුවන්. ඒ වගේම අනුන්ගේ තොරතුරු යොදාගෙන මුදල් විශද්ධිකරණය (Money Laundering), මත්ද්‍රව්‍ය ප්‍රවාහනය (Drug Trafficking) විතරක් නෙවෙයි ත්‍රස්තවාදී කටයුතු ඉතා සූක්ශමව සහ සංවිධනාත්මකව සිදු වෙනවා.
මේ සියල්ල ඉතා සවිස්තරව මෙම වාර්තාවෙ අන්තර්ගත වෙනවා.

අපි සත්‍ය උදාහරණ කිහිපයක් ඇසුරෙන් මේ ගැන තව ටිකක් පැහැදිලි කර ගමු.
රස්සා හොය හොය ඉන්න ඔබට ඇමතුමක් එනවා ඔබගේ සීවී එක බලපු පිට රට ආයතනයක් ඔබට හොඳ රස්සාවක් පිරි නමන්න ලෑස්තියි කියලා. ඒ වෙනුවෙන් ඔබ ඔවුන්ට පාස්පෝට්,පේස්ලිප්, බැංකු ගිනුම් විස්තර ආදිය ලබා දෙනවා. එතනින් පස්සෙ ඒ අයගෙන් කිසිම ආරංචියක් නැහැ. දවසකින් දෙකකින් ඔබ දැන ගන්නවා ඔබේ ගිනුමෙන් මුදල් අතුරුදහන් වෙලා කියලා.

තව උදාහරණයක්.
Tax Office එකෙන් බොහොම මිත්‍රශීලි මනුස්සයෙක් කතා කරලා ඔබේ උපන් දිනය, ලිපිනය, නම ආදිය හරියටම සඳහන් කරලා ඔබේ විශ්වාසය තහවුරු කර ගන්නවා. කලින් අවුරුද්දෙ බදු වාර්තාවෙ වෙනසක් වෙලා නිසා ඔබට රිෆන්ඩ් එකක් ලබා දෙන්න ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගන්න කියලා කලින් වාර්තාවට අදල විස්තර ටිකක් අහ ගන්නවා. සති ගානක් යද්දිත් කිසිම මුදලක් ලැබෙන්නෙ නැහැ.. ඔබට තාම සැකයක් නැහැ මොකද එයාම කිව්වා සල්ලි ලැබෙන්න සති ගානක් යයි කියල.
නමුත් මේ අවුරුද්දෙ Tax Return එක දාන්න යද්දි පද්ධතිය කියනවා, ඔබ අදාල Assessment එක ඒ වෙනකොටත් කරලා ඉවරයි කියලා. කලබල වෙලා Tax Office එකට කතා කර්ද්දි එයාලා කියනවා අපි ඔබට කතා කරේ නැහැ, ඒ අනිවාර්‍යෙන්ම scammer කෙනෙක් කියලා. ඒ පුද්ගලයා ඔබගේ Tax Return එක හොරකම් කරලා.

තවත් දවසක, විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් අලුත්ම දුරකථනයකට පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න ඉල්ලුම් කරද්දි, සිස්ටම් එක කියනවා ඔබගේ Bad Credit History එක නිසා ඔබට ඒ contract එක අනුමත කරන්න බැහැ කියලා. ඇය කිසි දිනෙක් ණයක් ලබා ගත්ත කෙනෙක් නෙවෙයි, වෙන කෙනෙක් ඇයගේ නමින් ණය අරගෙන.

තවත් කෙනෙක්, Facebook එකේ දානවා මුලු පවුලම ලංකාවට යනවා කියලා මාසෙකට. ඒ විස්තර යාලුවන්ට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට පේන විදියට Public දාලා තියෙන්නෙ. ඒ අතරම එයාගෙ Facebook Profile එක පිරිලා තියෙන්නෙ එයාගෙ ගෙදර ගත්තු ෆොටෝ වලින්, ගෙදර තියෙන බඩු මොනවද, තියෙන්නෙ කොහේද ඕනම කෙනෙකුට බලා ගන්න පුලුවන් වෙන විදියට. මේ පින්තූර ඔක්කොම Location එකත් එක්ක ගත්ත නිසා, ඒ ලිපිනයත් තිතටම අනුමාන කරන එක සුලු දෙයක් මේ ගෙදර හොරකම් කරන්න හිතා ගෙන මේ විස්තර බලන කෙනෙකුට.

ඒ එක්කම, මේ Profile එකේ උපන්දිනය දාන තැන ඉපදුන අවුරුද්දත් එක්ක දාල තියෙන්නෙ. දැන් ලිපිනය, උපන් දිනය විතරක් නෙවෙයි පවුලේ සියලුම අයගෙ නම්, වයස සියල්ල ඒ අයම මුලු විශ්වයම එක්ක බෙදා ගෙන තියෙන්නෙ. ඒ අය නිවාඩුව ගත් කරන අතරෙ, යන යන තැන ඒ අය ස්තුටින් ඉන්න පින්තූර Facebook එකේ update කරන අතරෙ, ඔවුන්ගෙ Identity එක මෙහේ වෙන කෙනෙක් පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.

ඒ නිසා ඔබගේ පුද්ගලික තොරතුරු ආදිය ලබා දෙද්දි, හෝ සමාජ ජාලාවල සටහන් කරද්දි අතිශය පරෙස්සම් වන්න. ඔබගේ වාහනය හොරකම් කරොත්, වෙනත් වාහනයක් ගන්න පුලුවන්. ගේ සොරකමකට ලක් වුනොත්, ඒ නැති වුන බඩු ආපසු මිලදී ගන්න පුලුවන්. නමුත් ඔබගේ අනන්‍යතාවය හොරකමකට ලක් වුනොත් ඔබට අලුත් Identity එකක් ගන්න බැහැ.. මොකද ඔබේ අනන්‍යතාවය .....  ඔබම නිසා.

End Transcript

Resources:
  අදාළ වාර්තාව
මෙතන ක්ලික් කරන්න

වැඩි විස්තර පහත
ක්ලික් කරන්න

Password manager සහ තවත් කතා





Episode  8 - Password Manager  (duration 5 mins)


Transcript
password භාවිතා කරන්න අකමැති අය අත උස්සන්න කිව්වොත් මම නම් අත් දෙකම උස්සනවා.

 දැන් මේ password එක කාහෙ හරි අතට පත් වුනොත්, තමන්ගෙ අති බහුතරයක් online ගිනුම් ආදිය අනතුරේ.. හරියට හැම වටින සේප්පුවම ලොක් කරන්න එකම යතුරක් පාවිච්චි කරන කෙනෙකුගේ යතුර හොරු අතට පත් වුනා වගේ.
දැන් තියෙන තාක්ශනයත් එක්ක සමහර පාස්වඩ් crack කරන්න, ඒ කියන්නෙ නිවැරදිව අනුමාන කරන්න යන්නෙ තත්පරයකටත් අඩු කාලයක්. ඒ නිසා ඔබ භාවිතා කරන පාස්වඩ් එක අකුරු 12වත් තියෙන, සංකීර්ණ එකක් වෙනවාට අමතරව මාස කිහිපයකට සැරයක්වත් වෙනස් කරනවා නම් එය ඉතාම යෝග්‍යයි ඔබේ ආරක්ශාවට.


ඇත්තටම මම නම් හිතන්නෙ නැහැ කවුරුවත් කැමැත්තෙන් password පාවිච්චි කරනවා ඇති කියලා, ඇත්තටම අපේ ආරක්ශාවට අපිට පාස්වඩ් යොදා ගන්න වෙනවා.. නමුත් ඒ භාවිතාවත් එක්කම එන ප්‍රායෝගික අපහසුකම් නිසාම අපි කී දෙනෙක්, හැම තැනටම එකම සරල password එකක් භාවිතා කරනවද? 
දැන් ඔබට හිතෙන්න පුලුවන්, පාස්වඩ් එක සංකීර්ණ වෙන්නත් ඕනෙලු. එකම password එක භාවිතා කරන්නත් එපාලු. හැකි නම් ඒ passwordනිතර වෙනස් කරන්නත්ලු. මේ කියන දේවල් ඇත්තටම ප්‍රායෝගිකද කියලා.
ඇත්තෙන්ම ඒකට ඉතා පහසු තාක්ශණයක් තියෙනවා.. ඒකට කියන්නෙ password manager කියලා. අද අපි ඒ ගැන කෙටියෙන් නමුත් වැදගත් කාරනා ටිකක් කතා කරමු.
password manager එකක්  හරියට ඔබේ සියලු යතුරු ආරක්ශිතව ගබඩා කරන සේප්පුවක් (vault) එකක් කියලා හිතන්න. එ කියන්නෙ කෙටියෙන් කිව්වොත් ඔබ ඒ එක password එකක්වත් මතක තියා ගන්න ඕනෙ නැහැ. නමුත් ඒ මුලු සේප්පුව වෙනුවෙන් එක password එකක් ඒ කියන්නෙ master password එකක් විතරක් මතක තියා ගන්න වෙනවා.

උදාහරනයක් විදියට මගේ Facebook ගිනුමෙ password එක මට මතක නැහැ. මතක තියා ගන්න ඕනෙත් නැහැ. password manager එකට  අදාල ඉල්ලීම කරාම, එය ස්වයංක්‍රීයව Facebook අඩවියට ගිහින් මගේ password එක ආරක්ශිතව එන්ටර් කරලා මගේ ගිනුම මා ඉස්සරහ විවෘත කරනවා.
කොතරම් අපූරුද නේද? 

ඒ එක්කම හිතන්න මට අලුතෙන් online ගිනුමක් හදාගන්න ඕනෙ කියලා වෙනත් වෙබ් අඩවියක. දැන් වෙනදා නම් අර හැම තැනටම යොදන password එකනෙ මෙතනටත් යොදා ගන්නෙ. නමුත් password manager එකක් භාවිතා කරනවා නම්, ඔය අලුත් password එක එය විසින් යෝජනා කරලා ඉදිරි පාවිච්චිය වෙනුවෙන් ආරක්ශිතව ඔබේ සේප්පුවෙ ගබඩාත් කරනවා. ඔබ හෙට වෙනම තැනක වෙනම පරිගණකයක් ඉදිරියේ මෙම වෙබ් අඩවියට පිවිසෙන්න සූදානම් වෙන විට, මේ වෙබ් අඩවිය ඔබ ඉදිරියේ ස්වයන්ක්‍රීයව විවෘත කරන්න පුලුවන් ඔබේ password manager ගිනුම විවෘත කල සැනින්.
දැන් ඔබට පැහැදිලි ඇති ඔබට කිසිම ලෙසකින් password එකක් type කරන්නවත්, මතක තියා ගන්නවත් සිදු නොවී ඒ සියල්ල password manager එක ක්‍රියාත්මක වෙලා සිදු කරනවා කියලා.
මෙය සංකීර්න තාක්ශනික ක්‍රියාවලියක්ද, කෙතරම් ආරක්ශිතද සහ මෙයට මුදල් වැයවෙනවද? මම දන්නවා ඔබට මෙවැනි ප්‍රශ්න රාශියක් දැන් හිතට එනවා ඇති.
මෙය ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.  කොහෙත්ම සංකීර්ණ නැහැ. මෙයට හුරු වුනාම මෙය නැතිවම බැරිතරම් ප්‍රයෝජනවත් උපාංගයක්. ඒ එක්කම කිසිම මුදලක් වැය නොකර භාවිතා කර හැකි ඉතා හොඳ මට්ටමේ මෘදුකාංග තියෙනවා.

ඔබට මේ සඳහා කරන්න පුලුවන් පහසුම දේ තමයි youtube එකේ මේ ගැන තියෙන වීඩියෝවක් දෙකක් බලලා අවබෝධයක් අරගෙන ඔබගේ සියලුම වටිනා පාස්වඩ ඔබේ සේප්පුව තුල ගබඩා කරන එක. මෙවැනි ඉතා හොඳ පාස්වඩ් මැනේජර් අතර මම රෙකමදාරු කරන්නෙ lastpass කියන  පාස්වඩ් මැනේජර් එක. එහි free version එක හොඳටම ප්‍රමානවත් ඔබේ දෛනික පාස්වඩ් මැනේජර් කටයුතු වලට. ඒ ගැන youtube එකේ වැඩි විස්තර හොයා ගන්න පුලුවන්.
දැන් වැදගත් කාරනේ මෙය ආරක්ශිතද? මේ ගැන තොරතුරු තාක්ශණ ප්‍රවීනයන් ගැබුරින් හදාරලා කියන්නෙ මේ ප්‍රධාන පෙලේ මෘදුකාංග සියල්ල ඉතාම ආරක්ශිත ලෙස තම තමන්ගේ මාස්ටර් පාස්වඩ් වලින් පමණක් විවෘත කල හැකි ලෙස පමණක් මේ vault encrypt කරලා තියෙන්නෙ කියලා. ඒ නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න එපා.
එතකොට මාස්ටර් පාස්වඩ් එක? ඔව් අන්න ඒක නම් මතක තියාගන්නම  වෙනවා. ඒ  වගේම  අතිශය පරෙස්සම් කර ගන්න වෙනවා. නමුත් මතක තියාගන්න තියෙන්නෙ ඔය පාස්වඩ් එක විතරක් නිසා ඔබට පුලුවන්  ටිකක් දිග වචන කිහිපයක එකතුවක්, අපි ඒවට කියනවා passphrase එකක් භාවිතා කරන්න. මතක තියා ගන්න මේ තමයි ඔබේ සියලුම යතුරු දාලා වහපු සේප්පුවෙ යතුර, මේක නැතිවුනොත් අර ඔක්කොම නැති වෙනවා.. කිසිම ලෙසකින් ඒවා ගන්න බැහැ මොකද මාස්ටර් පාස්වඩ් එකෙන් අර vault එක encrypt කරලා තියෙන නිසා.
ඒ එක්කම ඔබගේ වැදත්ම ගිනුම් වලට අපි කලින් කිහිප වතාවක් මතක් කරා වගේ two factor authentication ක්‍රියාත්මක කරන්න. මෙම තාක්ශණ දෙයක් දෙක ඒ කියන්නෙ password manager සහ 2 factor authentication ඔබ භාවිතා කරනවා නම් ඔබේ ගිනුම් වලට කෙනෙකුට හොරෙන් රිංගන්න ලේසි නම් වෙන්නෙ නැහැ කියලා.

End of Transcript

Blog Exclusive:

****



මේ බ්ලොග් එක පටන් ගන්න කලින් විකාශය වු ගුවන් විදුලි වැඩසටහන් කිහිපයක් තියෙනවා වෙනම පොස්ටුවක් විදියට එකතු නොකරපු. ඒවට වෙන වෙනම ලියන්න වෙලාවකුත් නැහැ.. මට කම්මැලිත් එක්ක..
ඒ නිසා ඒ ඔක්කොම මේ පොස්ටුවෙ අගට මේ විදියට එකතු කරන්නම් එතකොට කැමති කෙනෙකුට බ්ලොග් එකේ ඉඳලම මේවා බලන්න පුලුවන් වෙන්න


Episode 1 - කප්පම් වයිරස  Duration: 2 mins 26 seconds

මුලින්ම මම කරපු මුල්ම එපිසෝඩ් එක. මේ වැඩේ කොහොමද කියලවත් අවබෝධයක් නැතිව සෙනසුරාදා දවසක මගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා ඉරිදා වැඩසටහනට යැව්වෙ.. එයට ප්‍රතිචාරය හොඳ වීමත් එක්ක මට උනන්දුවක් ආවා මේ වැඩේ දිගටම කරන්න. ඒ ාතින් මට මේ එපිසෝඩ් එක ඉතා වැදගත්.







Episode 2 -  "Are You OK Day"  Duration: 3 mins 49 sec
















Episode 3 - Online Spambot  Duration: 5 mins
















Episode 9 - Youtube Kids  Duration: 4 mins 11 sec