Wednesday, December 18, 2019

Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි..

Broadcast on 3ZZZ radio on 31 Mar 2019

මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා.
මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්‍ය භාවිතාව පැත්තෙන් ඉතා භයානක ප්‍රවනතාව‍යක් සනිටුහන් කලා. ඒ තමයි ඔහු එම සමූල ඝාතනය වෙනුවෙන් පැමිණීම සහ ඒ වෙඩි තැඹීම, හිස පැලඳි හෙල්මටයේ රඳවාතිබු Go Pro නම් ඉතා කුඩා නමුත් ප්‍රබල කැමරාවක් හරහා සජීවීව තමන්ගේ ෆේස්බුක් ගිනුමෙන් විකාශය කිරීම. ඝාතනයට සූදානමක් ලෙස 8chan forum නම් වූ වාරනයෙන් තොර  වෙබ් අවකාශයක ඉතා දීර්ඝ කරුනු දැක්වීමක් manifesto එකක් ලෙස එකතු කරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවේ යොමුවක්ද කරමින් අන්ත දක්ශිණාංශික පාර්ශ්වවලට මේ ගැන කලින්ම ඔහු ඉඟි කිරීමක් කර තිබුනා. එනිසා විනාඩි 17ක් තිස්සේ ඔහුගේ වෙඩි ප්‍රහාරය නිසා නිරායුධ අහිංසකයන් ඇද වැටෙද්දී, එය ඒ මොහොතේම ෛතා විශාල පිරිසකට දර්ශනය වුනා. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් යන ආයතන විනාඩි 20 ඇතුලත මෙම වීඩියෝව ඉවත් කලේ නවසීලන්ත පොලිසියේ ඉල්ලිම මතයි. නමුත් පැය 24ක් ඇතුලත මෙම වීඩීයෝවෙම, විවිධ ක්‍රම හරහා ජාල ගත කිරීම් මිලියන 1.5ක් ඔවුන්ට නැවත ඉවත් කරන්නට හෝ upload ප්‍රයත්නයන් අවහිර කරන්නට   සිද්ධ වුනා. කිසිම මාධ්‍ය ආයතනයක් මෙම සංවේදී දර්ශන විකාශය නොකරන්නට වග බලා ගත්තත් එලෙසින් සයිබර් අවකාශයට එකතු කරන ලද යමක් 100% ඉවත් කරන්නට බැහැ.. එහි භාගත කරන ලද දර්ශන හෝ වීඩියෝවේ නිස්චල චායාරූප හුවමාරු වීම නැවැත්වීම අතිශය අපහසු කටයුත්තක්.

මෙය තර්ස්තවාදයේ එක් බිහිසුනු ප්‍රවනතාවයක්. මෙලෙසින් අයිසිස් නම් ඉස්ලාමික අන්තවාදී සංවිධානයද තමන් සන්තකයේ සිටින සිරකරුවන් ඝාතනය කරන අයුරු සහ ඔවුන් හරහා සතුරු රටවලට අනතුරු ඇඟවීම කරන අයුරු අප දැක ඇත්තෙමු. අන්තර්ජාලයේ darkweb නම් අවකාශයේ නිර්නාමික ලෙස මෙම කල්ලි තමන්ගේ ප්‍රචාරක සහ ආයුධ හුවමාරු කටයුතු ජයටම කරගෙන යනවා. darkweb අවකාශයේ මෙලෙසින් රහසිගත කාරනා සංසරනයට ඔවුන් තාක්ශනය යොදා ගන්නා අතරේ, එහි අනෙක් අන්තය වෙන සැමටම විව්ෘත surface web අවකාශයේ Live Streaming, වෙබ් බ්ලොග් අඩවි, ට්විට‍ර්, යූටියුබ් යනාදිය යොදාගෙන තමන්ගේ පනිවිඩය ඉතා සැණින් සහ සාහසික ලෙස ජනගත කරන්නට මෙලෙසින් Performance Crimes සිදු කරනවා. උදාහරනයක් විදියට ඉහත ඝාතන සිදු කල පුද්ගලයා ප්‍රකාශයට පත් කල මැනෙෆෙස්ටෝවට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුනේ ඔහු ඒ වෙනුවෙන් කල අපරාධයේ පරිමානයේ ඉහලකම නිසාය.

අප ඉදිරියේ ඇති අභියෝගය මෙයයි. ඔබ හොඳින් නිරීක්ශනය කලොත් ෆේස්බුක්, යූටියුබ් යන මාධ්‍ය සහ රියලිටි ටීවී ආදියෙන් එක මොහොතෙන් සාමාන්‍ය මිනිසුන්, තරු බවට පත් කරනවා, ඊට හේතුව එය නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල ක්ශනිකබව සහ විසල්බව. මිනිසුන් අතරෙ ගැටුමක්, අපහාස කර ගැනීමක් පවා ෆේස්බුක් වගේ මාධ්‍ය හරහා ලැව් ගින්නක් විදියට ශෙයා වීම ඔබ දැක ඇති. තමන්ට කෙලින්ම නොදැනෙන දුක, වේදනාව සමාජ ජාලා හරහා උඩ පල්ලෙහා යන ඇස්වලට තවත් විනෝදාස්වාදයක් පමණයි. ත්‍රස්තවාදීන් යොදාගන්නේ මේ මිනිස් දුර්වලතාවයයි..

ඒ නිසා ඔබත් මින් පස්සෙ '' Share" බොත්තම ඔබද්දි ඔබෙන්ම අසන්න ඒ බෙදා හරින පනිවිඩයෙන් වෙනත් කෙනෙකුට සෙතක් වන්නේද, එහි සත්‍යබව ගැන ඔබට වගකිව හැකිද, ඉන් තවත් පාර්ශවයකට සිත් වේදනාවක්, අගතියක් නොවන වගට ඔබට සහතික විය හැකිද යන කාරනය ගැන..
හේතුව රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන් නොවේ, සමාජ ජාලා ක්‍රියාකාරිත්වයේ සාධනීය වෙනසක් විය යුතු නම්, එය ඇරඹිය යුත්තේ අපගෙන්ම නිසාවෙන්..


Episode 39: දරුවන්, දෙමාපියන් මර බියට පත්කල මේ බිහිසුනු මොමො කව්ද?

Broadcast on 3ZZZ radio on 10 Mar 2019

ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර මාධ්‍ය වාර්තා කලේ "An evil suicide game" නමින්.. මෙයට කියන්නෙ මොමො චැලෙන්ජ් කියලා

අද දවසේ අපි කතා කරන්නෙ මේ ව්‍යසනයෙන් දරුවන් බේරා ගන්න ආකාරය කියලා ඔබ දැන් හිතනවා ඇති නේද? කොහෙත්ම නැහැ.. හේතුව මම ඒ කිව්ව ඔක්කොම බොරු. ඔව්, ඔබට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන්... ඇයි මම බොරුවක් නම් ඒ ගැන අද ඇයි මේ කතා කරන්නෙ.
එය බොරුවක් කියලා මාත්, දැන් ඔබත් දැන සිටියත්, එය සත්‍යයි කියලා තාම මිනිස්සු විශ්වාස කරනවා මේ මොහොතෙත්, අන්තර්ජාලයේ මේ ගැන මම මුලින් සඳහන් කල පදනමින් තොර කරුනු ශීග්‍රයෙන් හුවමාරු වෙන නිසා. 

මේවාට කියන්නෙ හෝක්ස් කියලා, ඒ කියන්නෙ තහවුරු නොවූ නමුත් මිනිසුන්ගේ අවධානය දිනා ගන්න, ඒ නිසාම මිනිසුන් වැඩි වැඩියෙන් එකිනෙකා අතර බෙදා ගන්නා විවිදාකාරයේ තොරතුරු ... හෝක්ස් කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි නමුත් මේ මොමො හෝක්ස් එක, හෝක්ස් ගැන දන්න අය පවා රැවට්ටුවා..
ඒ කොහොමද?

මින් කතාකරන්නෙ දරුවන්ගේ ආරක්ශාව සහ සමහර විට ඔවුන්ගේ ජීවිතවලට තියෙන තර්ජනයක් ගැන.. එනිසා මේ මොමෝ අභියෝගය ගැන අසා ඉන් කලබල වෙන එය සත්‍යක් ලෙස සිතන හැමෝම, හොඳ අදහසින් එය තමන් දන්න හැමෝම එක්ක බෙදා ගන්නවා.පාසල්වලට දෙමාපියන්ගෙන් මේ ගැන කරන ඉල්ලීම් වැඩි වීම නිසා, පාසල් විසින් දෙමාපියන්ට මේ ගැන අවධානයෙන් සිටිනා ලෙස වෙනම නිවේදන යවනවා.. සමහර රටවල පොලිසිය විසින්ද මේ ගැන වීමසිලිමත් වෙන ලෙස ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් කරන්නේ ඒ වෙන විටත් කරුනු ලෙස සනාථ නොවුනත්, ඒ ගැන ඉතා විශාල ලෙස විශේෂයෙන්ම  ලොව වටා දෙමාපියන්  කලබලයට පත් ව සිටි නිසා.. ඒ අතර මාධ්‍ය ආයතන විසිනුත් තමන්ගේ පුවත්වලට අවධානය ගන්නට මේ කටකතා තවත් උද්දීපනය කර සත්‍ය වාර්තා ලෙස හැඟෙන විදියට වාර්තා කලා.

ඒත්, ගින්නක් නැතිව දුමක් නගින්නෙ නෑනෙ..මේකෙත් මොකක් හරි ඇත්තක් ඇතිනේද කියලා ඔබට සමහර විට හිතෙනවා ඇති. මොමො කියන මේ චරිතය අන්තර්ජාලයේ මීට වසරකට වැඩි කාලයක් සංසරණය වුනා. ජපානයේෙක්තරා සමාගමක් වෙනුවෙන් නිර්මානය කල, විරූපි මුහුනක් සහිත මූර්ති නිර්මාණයක් කේන්ද්‍ර කරගෙන මේ පරිගණක රූපය කරලියට ආවත්, එය කිසිම පරිගණක ක්‍රීඩාවකට සම්බන්ධයක් තිබුනේ නැහැ. එම මුහුනේ ඇථි බියකරු බව නිසාම මෙම හෝක්සය නිර්මානය කල අය මෙම චරිතය මෙයට සම්බන්ධ කර ගෙන තියෙනවා. ඔය අතරෙ ආජන්ටිනාවෙ බුවනෝ අයර්ස් නගරයේ තරුණ දැරියක් සිය දිවි නසා ගත්තා. ඇය තමන්ගෙ දිවිතොර කරගන්නා ආකාරය වීඩියෝ කර තිබුනා. පසුව වාර්තා වුනේ අන්තර්ජාලය හරහා ඇයව ඒ සඳහා පොළඹවා ඇති වගට සැක කරන බවත් ඊට වග කිවයුතු පාර්ශවය අත් අඩංගුවට ගත් බවත්. මෙය කිසිම ලෙසකින් මොමො චරිතය හරහා දරුවන්ට ස්වයං හානි කරගන්නට බලකරන චැලන්ජ් එකක් නොවුනත්, පදනම් විරහිතව එවැන්නක් අන්තර්ජාලය හරහා නිර්මාණය වෙන්නට wuna.

ඉතා මෑතක මේ කටකතාව නිසා ඉතා කම්පනයට පත් වූ තම පුතා ගැන එක් මවක් ඉතා සංවේගයෙන් ෆේස්බුක් සමූහයක සංවේදී සටහනක් එක් කරමින් ඉල්ලා සිටියේ මෙවැනි අනතුරක් දරුවන් වෙනුවෙන් තිබෙන බවට ඉඟි කරමින් ඉන් දරුවන් මුදවා ගන්නා ලෙස ඉල්ලමින්. එය ලොව වටා ව්‍යාප්ත වන්නට ගියේ දින කිහිපයයි. යුටියුබ් වැනි තාක්ශණික සමාගම් මුල සිටම මෙවැන්නක් ඇති බවට තොරතුරු නැතැයි කියද්දිත් මාධ්‍ය එම ගින්නට පිදුරු දැම්මේ සත්‍යය මතු වෙන්නට තියෙන ඉඩ අහුරමින්.


.. .. 
මෙවැනි හෝක්ස් වල තියෙන භයානකකම තමයි, අනවශ්‍ය ප්‍රචාරයක් අසත්‍ය දේකට ලැබීමත් ඒ හරහා වක්‍ර ආකාරයෙන් එම හානිය දෙගුණ, තෙගුණ වී ඇති වීම. උදාහරණයක් විදියට මෙම චරිතය නිසා අනවශ්‍ය ලෙස දරුවන් දැනටමත් බියට පත් වෙන්නේ ඒ ගැන වාර්තා කරන මාධ්‍ය සහ වෙබ් අඩවි හරහා එම රූපය නැවත නැවත දරුවන්ට පෙනෙන්නට සැලැස්වීමෙන්. මෙය කෙතරම් මට්ටමකට පැමිණ ඇත්දැයි කිවහොත්, එම රූපයට මුල් වූ මූර්ති නිර්මාණය මීට දින දෙක තුනකට කලින් එම මූර්ති ශිල්පියා විසින්ම විනාශ karaa.  ඔහු පැවසූවේ දරුවන් තව දුරටත් බියට පත් නොවීමට ohu එසේ කල බවයි.

තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනු ශබ්දය නිසා අහස කඩං වැටෙනවා කියා දිවූ හාවා පසුපස අනික් සතුන්ද දිව ගියේ එහි කරුණු සොයා බලන්නට ඔවුන් උත්සුක නොවූ නිසාය. නමුත් තොරතුරු තාක්ශණය උසස් මේ යුගයේ එසේ කලබල වී තීන්දු ගැනීමට අවැසි නොවේ.. විමසිලිමත් වීමට ඕනවටත් වඩා uවදුරු ඇති සයිබර් ලෝකයේ අපට බොරුවට කලබල nowi හෝක්ස් වලට හසු නොවන්නට විමසිලිමත් විය යුත්තේ එහෙයිනි..
... 


Episode 38: මොනවද මේ SEXting කියන්නෙ?

Broadcast on 3ZZZ radio on 25 Feb 2019

මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ.
ඒ තමයි sexting ප්‍රවනතාවය.
මොනවද මේ sexting කියන්නෙ? මේ වචනෙ හැදෙන්නෙ sexසහ texting කියන වචන එකතු වෙලා. දැන් ඔබට ටිකක් පැහැදිලි ඇති. ටෙක්ස්ට් හෝ sms වෙනුවට තාක්ශනය යොදාගෙන තමන්ගේ නිරුවත්, අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මූලික කර ගත් වීඩියෝ, රූප, පනිවිඩ ආදිය (sexually explicit content) තාක්ශණය හරහා හුවමාරු කර ගැනීම තමයි මින් අදහස් වෙන්නෙ.
ඉහත කී සමීක්ශනයට අනුව, වයස අවු 14-17 දක්වා දරුවන්ගෙන් 4 න් 1ට මේ සම්බන්ධව යම් කිසි ආකාරෙක අත්දැකීමක් තියෙනවා. මෙතන ඇත්දැකීමක් ලෙස හැඳින්වූයේ එවැන්නක් එවන්න ඉල්ලීමක් ලැබීම, වෙනත් කෙනෙකු යැවූ එවැන්නක් සංසරනය වෙද්දි දකින්න ලැබීම හෝ දන්නා කෙනෙකුට එවැන්නක් සිදු වූ බව අසන්නට ලැබීම වැනි කාරනා. නමුත් ඇත්තටම තමන්ගේ නිරුවත් රූපයක් වෙන අය වෙත යැවූ බවට පිලිගෙන ඇත්තේ 14-17 වයස් කාන්ඩයේ දරුවන්ගෙන් 5% පමනයි, නමුත් ඒ දරුවන් 90% විශ්වාස කර තිබෙන්නේ මෙය ඔවුන්ගේ සමවයසේ සාමාන්‍යයෙන් ප්‍රචලිතව සිදුවන බවයි.

මෙහි භයානක කාරනාව මෙයයි. මේ ප්‍රවනතාවයේ අවධානම ගැන සහ ඉන් ඔවුන්ගේ ජීවිතයට දිගුකාලීන විය හැකි බලපෑම ගැන ඔවුන්ව දැනුවත් කල යුතු වන්නේ එනිසයි.

නීතිමය පැත්තෙන් ගත්තොත් වයස අවුරුදු 18ට අඩු කෙනෙක්ගෙ නිරුවත් රූප හෝ වීඩියෝ කෙනෙක් සන්තකයේ තබා ගැනීම වැටෙන්නේ Child Pornography ආශ්‍රිත අපරාධයක් විදියට. බාල වයස්කාරයෙක් වුනත් ඉන් ගැලවීමක් නැහැ.
නෛතිකමය කාරනා පැත්තකින් තිබ්බත්, සයිබර් අවකාශය හරහා මෙවැන්නක් මුදා හැරියාට පසුව එය ප්‍රතිනිර්මානය වෙමින්, නැවත නැවත අන් අය අතට යන එක පාලනය කිරීම කල නොහැක්කක්. එවැනි රූප ආදිය යොදා ගනිමින් අන්තර්ජාලය හරහා එයට ගොදුරු වූවනට නිරන්තර්‍යෙන් අපහාස/උපහාස    විඳින්නට සිදු වෙනවා. මෙය හඳුන්වන්නේ Image Based Abuse නමින්.
විශේෂයෙන්ම, මෙම සමීක්ශනයට අනුව, මෙලෙස රූප වීඩියෝ එවන ලෙසට ඉල්ලීම් වැඩිපුර ලැබෙන්නෙ ගැහැනු දරුවන්ට. ඔවුන් ඉල්ලීමක් නොකරත් ඔවුන් වෙතට අසැබි රූප/වීඩියෝ ලැබීමෙත් වැඩි ප්‍රවනතාවයක් තියෙනවා. වයස 15-17 අතර ගැහැනු දරුවන්ගෙන් 15% මෙලෙසින් Image Based ABuse වලට නතු වී ඇති බව ඔබ දන්නවාද?

යම් හෙයකින් සෙක්ස්ටින් ආශ්‍රිතව දරුවා දැනටමත් Image Based Abuse වීමකට ලක් වීමක් වෙලා තියෙනවා නම්, දරුවාට වැඩි වැඩියෙන් ආදරයෙන් උපකාර කලයුත්තේ එවිටයි. ඔවුන්ව තනි නැති බව පෙන්වා රජයෙන් එවැනි දරුවන් වෙනුවෙන් පිහිටවා ඇති image based abuse portal එක හරහා එම ගැටලුකාරී රූප හෝ වීඩියෝ ඉවත් කිරීමත්, පීඩනය එල්ල කරන පාර්ශව වෙත නීතිය ක්‍රියාත්මක කිරීමත් වෙනුවෙන් උපකාර ලබා ගැනීමත් කල හැකියි


මේ වයස ලිංගිකත්වය ගැන ඔවුන් විමසිලිමත් වෙන, තමන්ගේ ශරීරය ගැන උනන්දු වෙන වයස. එනිසා sexting ඔවුන් ඒ ආශ්‍රිත නිදහසේ නිම්වළලු පුලුල් කරන දෙයක් ලෙස  දකිනවා ඇති.
එනිසා වැඩිහිටියන් විදියට මේ ගැන ඔවුන් එක්ක කලින්ම කතා කිරීම ඉතා වැදගත්.
මේ ගැන අසා තිබුනේ නැහැ කියා ඔබට තවදුරටත් කියන්න බැහැ දැන්. එනිසා දැනුවත් වෙන්න. දැනුවත් කරන්න.
මේ මාත්ෘකාව සංස්කුතිකව අපට අපහසු බව ඇත්ත, නමුත් කරන්න දෙයක් නැහැ කාලයත්, තාක්ශණයත් අපට බල කර මතක් කරනවා, තරුන වයසේ දරුවන් එක්ක මේ කතිකාව අද දිනයේ අප කල යුතුම බව..


Sources



Episode 37: වරදින්නේ නැති රස්සාව කාලෙකට...

Broadcast on 3ZZZ radio on 3 Feb 2019

පාසල් යන වයසේ දරුවෙක් ඔබෙන් ඇහුවොත්, රැකියා සුරක්ශිතභාවය වැඩිම රස්සාවක් කියන්න කියලා ඔබ යෝජනා කරන්නේ කුමන රැකියාවද? සමහර විට වෙනත ක්ශේස්ත්‍රයක දැනට රැකියාව කරන කෙනෙක්ට තමන්ගේ රැකියාව වෙනස් කරලා අලුත්ම ක්ශේස්ත්‍රයක රැකියාවක කරන්නට හිතුනොත්, ඒ සඳහා ඉතා හොඳ ප්‍රතිලාභ සහ සුරක්ශිතභාවයක් තියෙන රැකියාවක් නම් කරන්න ඔබට පුලුවන්ද?
මේ මොහොත වෙනකොට, සමහර දරුවන් ඉගෙන ගන්නා දේවල් පවා ඔවුන් රැකියාවක් කරන විට අවලංගු වෙන තත්ත්වයක් තුල, ඉතා ශීග්‍රයෙන් සමහර අලුත් රැකියා නිර්මානය වෙන පසුබිමක මෙවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සැපයීම පවා ඉතා අසීරු නොවෙදැයි ඔබ සමහර විට නැවත ප්‍රශන කරන්නට ඉඩ තියෙනවා.
ඒක ඇත්ත, නමුත් මේ අවිනිශ්චිත බව තුලින්ම ආශිර්වාදය ලැබූ, පුහුණු ශ්‍රම බලකායක් අවශ්‍ය ප්‍රමානයට නොමැති නිසාම ඉතා දීප්තිමත් අනාගතයකට හිමි කම් කියන ක්ශේස්ත්‍රයක් තියෙනවා.. ඒ තමයි Cyber Security අවකාශය..
කෙනෙක් මේ ක්ශේස්ත්‍රය පිවිසීමට කැමැත්තෙන් සිටිනවා නම්, අනිවාර්‍යෙන්ම ඒ වෙනුවෙන් දිරි ගන්වන්න..
ඇයි මම එහෙම කියන්නෙ?

ලොව වටා මේ ක්ශේස්ත්‍රයේ, ප්‍රමාණවත් සුදුසුකම් නැතිකම නිසා පුරවා ගත නොහැකි වූ රැකියා සංක්‍යාව (cybersecurity skills gap) මිලියන තුනට ලඟා වෙලා තියෙනවා. ඔස්ට්‍රේලියාවෙ පමණක් ප්‍රමානවත් ව්ෘත්තිකයන් නොමැතිකමින් වූ පාඩුව වසරකට ඩොලර් මිලියන් 400ක් බවට ගණනය කරලා තියෙනවා.
ඉතා මෑතක සිට විශ්ව විද්‍යාල සහ ව්ෘත්තීය පුහුණු ආයතන පරිගණක ආරක්ශණයට අදාල පාඨමාලා වැඩි කලේ මේ නිසයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල, රැකියා ස්ථාන සමග සමීප සම්බන්ධතාවයන් දැන් දැන් පවත්වන්න ගන්නවා ඔවුන්ගේ පාඨමාලාවලට වඩාත් උචිත සහ වැඩි වශයෙන් අවශ්‍ය වෙන විෂය කරුනු එකතු කරන්න.

මීට මාස කිහිපයකට කලින්, අපගේ සේවා ස්ථානයට RMIT විශ්ව විද්‍යාලයට පැමිණ ශිෂ්‍යයන් අමතන්න ඇරයුමක් ලැබුනා. එයට මා ඇතුලුව තුන් දෙනෙක් සහභාගි වුනා.
අපි එදා ඔවුන්ට කරුනු සහිතව පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ Cyber Security ක්ශේස්ත්‍රයේ ඇති වී තිබෙන ඉතා විශාල ඉල්ලුම සහ එය ඇති වෙන්නට බලපා ඇති හේතු.
ඉන්පසුව අපි පැහැදිලි කරලා දුන්නා මේ මොහොතේ ඉතා දැඩි ඉල්ලුමක් ඇති නිපුනතා (skills in high demand)මොනවාද ආදියත්, තාක්ශණික හැකියාවන්ට අමතරව ම්ෘදු හැකියාවන් (soft skills) ආදිය ඉතා වැද්ගත් වෙන ආකාරයත්.
උදාහරණයක් විදියට මේ ක්ශේස්ත්‍රයේ අපි නිතර දකින දෙයක් තමා මෙවැනි තාක්ශණික කරුනු, තාක්ශණික වටපිටාවක නොමැති බොහෝ විට ඉහල නිල හොබවන අයට ඉතා සරලව පැහැදිලි කරන්නට සිදු වීම, මෙවනි අවස්ථාවල මෙම සන්නිවේදන හැකියාව සාම්ප්‍රදායික IT ක්ශේස්ත්‍රයේ එතරම් අවශ්‍ය නොවූ නමුත් Cyber Security ක්ශේස්ත්‍රයට අදාල වෙන එක් soft skill එකක්.

ඉන්පසු ව අප පැහැදිලි කලේ ඒ සඳහා දැනට තියෙන අධ්‍යාපන අවස්ථා සහ උනන්දුවක් තියෙන අයට බොහෝ විට ස්ව්‍යං හැදැරීම හරහා ලබා ගත හැකි ව්ෘත්තීමය සහතිකකරනයන්හි (Industry Certifications) වැදගත්කම.
ඒ සමගම ඉතා අධික වේගයෙන් වෙනස් වෙන ක්සේත්‍රයක් නිසා එහි යාවත්කාලීනව සිටීම වෙනුවෙන් ඉතා සක්‍රියව ව්ෘත්තීමය සංවර්ධනය (Professional Development) වෙනුවෙන් උනන්දුවිය යුතු බවත් අපි මතක් කලා.

අපගේ එදා දුන් පනිවිඩය ඉතා පැහැදිලි එකක්. සයිබර් සටහන් අසන ඔබටත් මම දෙන්නෙ ඒ පනිවිඩයමයි.

Cyber Security ක්ශේස්ත්‍රයට ප්‍රමානවත් ව්ෘත්තියන් හිඟය, අදට වඩා හෙට තදින් දැනේවි.. එනිසා උනන්දුවක් තියෙන අයට ඒ සඳහා අදම ලෑස්ති වෙන්නයි මතක් කරන්න.. ඔවුන් හෙට ඔබව ක්ෘතවේදීව සිහි කරනවා නොඅනුමානයි..

Episode 36:දරුවන් වෙනුවෙන් හැඳිගාන සයිබර් හොද්ද හෙවත් Parental Controls


මගේ පුතාට වයස 14යි..
ඔහු teenager කෙනෙක් වුනාට පස්සෙ තමන්ටම කියලා ස්මාට්ෆෝන් එකක් තබා ගන්න ඔහුට අවසර ලැබුනා..නමුත් කොන්දේසි කිහිපයක් එක්ක. ඒ කොන්දේසි මූලිකවම කේන්ද්‍ර ගත වුනේ ඔහුගේ ාඅරක්ශාවට කියලා ඔහුට මුලින්ම පැහැදිලි කරලා දුන්නා.. එහි ප්‍රධානම කොන්දේසියක් වුනේ උපාංගයේ ආරක්ශාව වෙනුවෙන් ඇන්ටි -වයිරස් ඇප් එකක් සහ ඔහුගේ තිර කාලය අදීක්ශණ‍ය වෙනුවෙන් Parental Control Software භාවිතා කිරීමට ඔහුගේ කැමැත්ත ලබා ගැනීම.

ඔව්.. අපි අද කතා කරමු Parental Control Software ගැන..

මුලින්ම කියන්න ඕනෙ මෙය සංකීර්ණ ක්‍රියාවලියක් නොවේ එලෙස ඔබ සමහර දෙනෙකුට හැඟුනත්. මෙය ඉතා පහසුවෙන් install කර, තමන්ට කැමති ආකාරයෙන් එය සීරු මාරු කිරීමට අව්ශ්‍ය පහසුකම් සහිතව ඉතා හොඳ මට්ටමේ Parental Control Software වෙළඳ පොලේ තියෙනවා. එය විවිධ මිල ගනන්වලට වගේම නොමිලේ පවා ලබා ගන්න පුලුවන්. නමුත් මම යෝජනා කරන්නෙ නම්, ාන්තර්ජාලයේ ඇති reviews කිහිපයක් පරිශීලනය කරලා තමන්ගෙ පවුලට සුදුසු යැයි හැඟෙන, ප්‍රධාන පෙලේ සමාගමක paid software එකක් භාවිතා කිරීම වඩා සුදුසු බවයි. ඩොලර් 50-100 අතර ඉතා හොඳ මට්ටමේ software ඔබට ඉතා පහසුවෙන් සොයා ගන්නට පුලුවන්.

මේ අතරම මතක් කරන්න ඕනෙ ඇපල් උපාංග භාවිතා කරන දරුවන්ගේ තිර කාලය පාලනය කරන්නට සහ අනාරක්ශිත වෙබ් අඩවි වලට යාම පාලනය කරන්නට අවශ්‍ය මූලික මට්ටමේ parental controls දැනටමත් එහි නොමිලේම අන්තර්ගතව තියෙනවා. එය Screen Time settings හරහා ඔබට සක්‍රිය කර ගන්න පුලුවන්. වින්ඩෝස් පරිගණක වලත් මෙලෙසින්ම නොමිලේ මූලික මට්ටමේ parental controls අඩංගුව තිබෙනවා.
නමුත් අද දවසේ බොහෝ දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමා දරුවන් විවිධ උපාංග භාවිතා කිරීම, උදාහරනයක් විදියට මගේ පුතා වින්ඩෝස් පරිගණකයක්, අයිපෑඩ් එකක් සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක් භාවිතා කරනවා දිනපතා. මේ උපාංග වලට වෙන වෙනම parental controls භාවිතා කිරීම කිසිසේත් ප්‍රායෝගික නැහැ. මේ නිසා තමයි විවිධ මෙහෙයුම් පද්ධති හරහා එක විදියටම යොදා ගන්න පුලුවන් ම්ෘදුකාංග (cross-platform software) අපෙ පිහිටට එන්නෙ.

මම භාවිතා කරන software එකේ නම මම හෙලි කරන්නෙ නැහැ මොකද එය සන්නාම ප්‍රවර්ධනයක් (brand promotion) වෙන්න පුලුවන් නිසා. නමුත් එහි මූලික අංග ටිකක් මෙහි සඳහන් කරන්නම් - එය ඔබට බොහෝ විට ප්‍රයෝජනයක් වේවි මෙහි ක්‍රියාකාරිත්වය තේරුම් ගන්න. එය මූලිකවම cross-platform - එනම් ඔහු භාවිතාකරන සියලුම Windows, Apple, Android උපාංග ඉන් අදීක්ශණය වෙනවා. එය මූලිකවම Anti-virus software එකක්.. එනිසා ඉන් ඔහුගේ උපාංග සියල්ල ආරක්ශා වෙනවා.
එලෙසම ඉන් ඔහුට සමහර අවදානම් ගැන දැනුවත් කිරීම කරනවා.. උදාහරනයක් විදියට අනාරක්ශිත Wifi networks සමග නොදැනුවත්ව සම්බන්ධ වෙන්නට උත්සාහ කිරීමේදී ඒ සම්බන්ධව අදාල සොෆ්ට්වෙයාර් එකෙන් ඔහුට alert කිරීම සම්බන්ධව ඔහු කතා කලේ බොහෝ ප්‍රසාදයෙන්.

අපිට දරුවන් යන හැම වෙබ් අඩවියකටම ඇහැ ගසා ගෙන ඉන්න බැහැ.. ඔවුන්ට නුසුදුසු වගේම malware අඩංගු වෙබ් පිටු මිලියන ගනනින් අන්තර්ජාලයේ තියෙනවා.. Web Blocking හරහා මෙවැනි වෙබ් අඩවි වලටා යාම නවතනවා පමනක් නොවේ ඒ සම්බන්ධව දෙමාපියන් දැනුවත් කරනවා.
මීට අමතරව Instant Messaging, Social Networking අදීක්ශනය කිරීම,  excessive screen time වලකමින්    Time Limits ක්‍රියාත්මක කිරීම, Game blocking, Email Blocking, Program Blocking හරහා දෙමාපියන්ට අවැසි පරිදි, දරුවන්ට අවදානමින් තොර සහ සමබරතාවයකින් යුත් තිර කාලයක් ලබා දෙන්නට පුලුවන්. curfew times හරහා දවසේ යම් වේලාවකට පසු කිසිම උපාංගයක් භාවිතා කිරීම වැලැක්විය හැකියි. ඒ එක්කම Location Tracking හරහා දරුවා සිටින ස්ථානය බලා ගැනීමට හැකියාවත් මෙම සොෆ්ට්ව්‍යා බොහොමයකින් ලබා දෙන තවත් පහසුකමක්.

නමුත් එක් දෙයක් පැහැදිලිවම කියන්න ඕනෙ. තාක්ශණයට හැම දේම කරන්න බැහැ.. මේ තාක්ශණය යොදා ගත් පමනින් ආරක්ශාව සහත්‍යිකයි කියන්නත් බැහැ.. අප cyber security රැකියාවේදී, නිතර සඳහන් කරන එකිනෙකිට බැඳුනු අංග තුනක් තියෙනවා, ඒ තමයි People, Process and Technology. Technology, ඒනයින් ඒ තුනෙන් එකක් පමනයි, සියල්ල නෙවෙයි. මෙය නිවසටත් අදාලයි.
දරුවා එක්ක මූලිකව මේ ගැන සාකච්ඡා වෙන්න ඕනෙ.. ඒක අමාරුයි.. ඇත්ත.. නමුත් එය ඉතා වැදගත්. මෙය ඔවුන්ගේ ආරක්ශාවට මිස ඔවුන්ව පීඩනයට ලක් කිරීමට සහ ඔවුන්ගේ නිදහස සීමා කිරීමට ගෙනා දෙයන් නොවන වග ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනෙ. තියෙන සියලුම features ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය නැහැ.. උදාහරනයක් විදියට මෙම පුතාගේ වයසට අදාලව සිස්ටම් එකෙන් ලබා දුන් screen time restrictions සහ curfew times මම ලිහිල් කලේ ඔහු ඉදිරියෙමයි.. ඒ සමග මෙය ක්‍රියාත්මක කිරීමට ඔහුගෙ විශ්වාසයත්, සක්‍රිය දායකත්වයත් මට ලැබෙනවා.. ඒ තමයි Technology සාර්ථක කරන්න උවමනා වෙන People/Process උත්ප්‍රේරකය.

දරුවන් අපට වඩා තාක්ශනයට ලඟයි.. එනිසා තාක්ශනය හරහා රිංගා යාමට තාක්ශනයම යොදා ගන්න එක ඔවුන්ට අපහසු කාර්‍යයක් නොවේ..
දරුවන් පාලනය කර, තර්ජනය කර මේ හානියෙන් ඔවුන් බේරා ගන්නවා වෙනුවට, ඔවුන්ට කරුනු වටහා දී ඔවුන්ගේ සහයෝගයත් සමඟ වඩා යහපත් සයිබර් අත්දැකීමක් ලබා දීම අපගේ අරමුණැ විය යුත්තේ එනිසයි.

Episode 35: නිතර නිතර ෆෝන් එක චෙක් කරනවා නම් ඔබට තියෙන්නෙ අසහන‍යක්!

Broadcast on 3ZZZ radio on 25 Nov 2018

ටැබ්ලට් එකක් හෝ ස්මාට් දුරකථනයක් අතැතිව සිටින දරුවෙක් දෙස මද වේලාවක් බලා සිටින්න. එම තිරයෙන් එන ආලෝකයේ නිමග්න වෙලා තමන්ගේ දල්වා ගත් ඇස් ඉතා වේගයෙන් තිරය මත දුවමින්, ඇඟිලි තුඩු මඟින් තිරය සමඟ ගනු දෙනු කරමින් වෙනම ඩිජිටල් ලෝකයක සිරව සිටිනා ඔවුන් ගැන ඔබට කුමක්ද හිතෙන්නේ?
ලැබෙන හැම මොහෙතෙම ස්මාට් දුරකථනය වෙතට එබිකම් කරනා, සමාජ ජාල හෝ වෙබ් අඩවි මත ඉහල පහල යන ඔබත්, මාත් ඒ දරුවන්ට වඩා වෙනස් වන්නේ කොපමනකින්ද? තිර මතට යොමු වුන බාල, තරුන, මහලු සැමගේ සාමාන්‍ය අවධාන කාල පරාසය (attention span) තත්පර 8ක් දක්වා අඩු වී ඇති බව ඔබ දන්නවාද? එය සත්ත්ව ලෝකයේ එම අගය අඩුවෙන් තිබූ ගෝල්ඩ්ෆිශ්ව පවා තත්පරයකින් පරාද කිරීමක්.

මෙම ඩිජිටල් ඇබ්බැහිය එක්ක එන දිගු කාලීන හානිය පර්‍යේශන මඟින් ඔප්පු කරන්නට ප්‍රමානවත් කාලයක් තාම ගෙවිලා නැහැ මොකද ඒ වෙනුවෙන් අඩු ගානෙ අවුරුදු 25කවත් විධිමත් ව එකතු කරපු දත්ත තියෙන්න ඕනේ... නමුත් ඔබ දන්නවා මේ නව ප්‍රවනතාවය, විශේෂයෙන්ම අතේ ගෙන යා හැකි ස්මාට් උපාංග දියුනුවත් සමඟ පැමිණි ාලුත් තත්ත්වය මතු වෙලා තවම අවුරුදු 10-15ක් වගේ කාලයක්.
නමුත් මේ ගැන පර්‍යේශන පවත්වන ප්‍රවීනයන්ට අනුව මින් වෙන හානිකර තත්ත්ව ගැන දැනටමත් සොයා ගත් කරුණු නම් අතිශය බිය ගන්වන සුලුයි.

සිඩිනි විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය ලින් ග්‍රිබල් මහත්මිය සම්මානනීය ලේඛිකාවක් සහ මේ ක්ශේස්ත්‍රයේ ප්‍රවීනියක්. ඇය මෑතක ප්‍රසිද්ධ දේශනයකදී සඳහන් කලේ නිතර, නිතර මෙම උපාංගවලට ආසක්තව සිටීමෙන් මානසික අසහනය වැඩි වෙන බව. අපි ඇයට මොහොතකට සවන් දෙමු.

"If you are a person who constantly checks your phone, here is some really bad news. It's increasing your anxiety. We also what happens is that often people check their phones because it makes them feel busy. Because we can't actually do 2 things at once.."


ඩිජිටල් ඇබ්බැහිය සමඟ එන ඇය ඉහත සඳහන් කරන මානසික ආතතිය ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්. මින් වැඩිම හානියක් වෙන්නෙ තරුණ වයසෙ දරුවන්ට.
ඕනෑම ඇබ්බැහියකට අවශ්‍ය මූලික කාරනා කිහිපයක් තියෙනවා.. ඉන් මූලිකම වන්නේ ශීග්‍රයෙන් ලැබෙන ප්‍රමෝදය (rapid rewarding). facebook, Instagram, Snapchat ආදියේ likes, shares, comments ආදිය මත ඒ අය යැපෙන්න ගන්නෙ මේ නිසයි.. මේ මොහොතේ මොළයේ නිපදවෙන dopamine රසායනිකය, සූදුව සහ මත් ද්‍රව්‍ය ආදිය භාවිතයේදී ඇතිවන රසායනිකයමයි. ඇබ්බැහිය ඇති කරන මූලිමක සංඝටකයක් dopamine.
ඒ වගේම නිතරම සමාජ ජාලා තුල තමාව ඉස්මතු කරමින් අන් අයගේ අවධානය අනිසි ලෙස ගැනීම narcissism කියන මානසික තත්වයේ මූලික රෝග ලක්ශණයක්.

මේ ඇබ්බැහියේ අවසානය වන්නේ සාමාජීය, ආර්ථික කාරනාවලට අමතරව මානසිකවත් පිරිහීම. තිරයෙන් එපිට ලෝකයත් එක්ක මානුශික සම්බන්ධතා නැති පතුලක් රහිතව ඉහල පහල යන feed එකක් විසින් සිතට උරුම කල අත්ෘප්තියක්, හිස්බවක් සහ අසහනයක්.

මේ වෙනුවට ඇය විසඳුමක් යෝජනා කරනවා. ඒ තමයි දුරකථනයෙන් ඈත් වෙලා විනාඩි විස්සක්, තෝරා ගත් එක දෙයක් කිරීම. එය පොතක් කියවීම, චිත්‍රයක් ඇඳීම, සංගීතය, ගායනය, භාවනාව හෝ සමහර විට එලි මහනෙ ඇවිදීම වගේ දෙයක් වෙන්න පුලුවන්.. එම කාලය තුලදී, ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වය පණ ගැන්වී, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරනය කුලු ගැන්වෙන ආකාරය ඔබව මවිත කරාවි යැයි ඇය සඳහන් කරනවා. ඔබත් සූදානම්ද ඇයගේ මෙම විනාඩි 20 අභියෝගය භාර ගන්න.

තාක්ශණයේ දියුණුව විශ්මිතයි, ඉන් අපිට ඈත් වෙන්නට බැහැ කිසි ලෙසකින්. ගැටලුව තියෙන්නෙ එහි භාවිතයේ නොවේ. එහි සීමාවන් නොදැන, තාක්ශණය හිලෑ කර ගැනීම වෙනුවට තාක්ශණයේ ගොදුරු බවට තමන්ම පත් වීමයි.


මූලාශ්‍ර


Episode 32 - උදව්වට එන විදියට එන පිල්ලි..

Episode 32 - Broadcast on 3ZZZ radio on 22 Sep 2018

පරිගණක ආශ්‍රිත අපරාධ වලින් ඔබට වැඩිම හානියක් කරන්න පුලුවන් ඔබේම උදව්වෙන් බව ඔබ දන්නවාද? මෙය හඳුන්වන්නේ Social Engineering attacks කියලා. බොහෝ විට දුරකථන මාර්ගයෙන් හෝ ඊමේල් මා‍ර්ගයෙන්, ඔබව රැවටීමට ලක් කර ඔවුන්ට දත්ත සොරකමකට හෝ මුදල් සොරා ගැනිමට වැනි කටයුත්තකට ඔබේ උදව් ලබා ගැනීම තමයි මෙහිදී සිදු වන්නේ.
මෙලෙස එක සාර්ථක දුරකථන ඇමතුමක් හරහා ඉතා පහසුවෙන් ලබා ගත හැකි විස්තර, ඔවුන් හැකින් ක්‍රම මගින් පමණක් ලබා ගන්නට උත්සාහ දරන්නේ නම් සමහර විට මාස ගණනක්, විශාල මුදලක් වැයවෙන ප්‍රයත්නයක් වෙන්න පුලුවන්.. එනිසයි ඔවුන් වැඩි වැඩියෙන් මේ ක්‍රමයෙන් ඔබව රැවටීමට උත්සාහ ගන්නේ.
ඔබ මේ ගැන දැනුවත් නොවී සිටියහොත් ඔබගේම උදව්වෙන් ඔබට එරෙහිව ඔවුන් ක්‍රියාත්මක වෙනවා.

ඔස්ටේලියානු රජය මේ දිනවල එවැනිම දුරකථනය හරහා එන උවදුරක් ගැන ජනතාව දැනුවත් කරනවා. අපි අද ඒ ගැන කෙටියෙන් කතා කර මේ Social Engineering Attacks එකක වෙන්නෙ කුමක්ද සහ ඉන් ගැලවෙන්නෙ කොහොමද කියලා අවබෝධයක් ගනිමු.

රජය දැනුවත් කරන පරිදි, මේ ස්කෑම් එකේදි ඔවුන් ඇමතුම දෙන්නෙ Telstra, NBN, Microsoft වගේ ප්‍රසිද්ධ සමාගමකින් හෝ සමහර විට පොලීසියෙන් විදියට. ඔවුන් එහිදී ඉතා විශ්වසනීය විදියට ඔබට පවසන්නේ ඔබගේ පරිගණකය වෙනත් ස්කෑම් සඳහා පාවිච්චි වෙන වගට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවත්, ඒ ගැන වැඩි විස්තර සොයා බලා එය නිවැරදි කිරීමට ඔබේ සහය අවශ්‍ය බවත්‍ ය. එයට එකඟ නොවන අය ඔවුන් බිය ගන්වනවා, එනම් මේ කටයුතුවලට උදව් කිරීමට ඔබ නීතියෙන් බැඳී සිටින වග වැනි කරුණු දක්වමින්. ඒ නිසා දැනුවත් බාවයක් නැති බොහෝ දෙනෙක් මින් රැවටීමට පත්වෙනවා.
ඊට පසුව ඔවුන් ඔබගේ පරිගණකයට සම්බන්ධ වීමට අවශ්‍ය විස්තර ලබා දෙනවා. මේ ආකාරයෙන් ඔවුන්ට ඉතා කෙටි කාලයකින් ඔබගේ පරිගනකය අන්තර්ජාලය හරහා දුරස්ථ පාලනයට (Remote Control)නතු කර ගන්න පුලුවන්. මෙලෙසින් පාලනයට නතු වෙන පරිගණකය හරහා ඔවුන් මුදල් හුවමාරු කිරීමක් කරනවා එම ස්කෑම් සම්බන්ධ අධීක්ශණ කටයුතුවලට බව පෙන්වමින්. නමුත් ඇත්තටම මුදල් යන්නේ මේ කූට පරිගණක අපාරධ කරන කල්ලිය වෙතටයි.

මෙවැනි උවදුරුවලින් ඔබට ගැලවෙන්න පුලුවන් කොහොමද?
මූලිකවම දුරකථනය හරහා එන ඇමතුමකින් ඔබගේ පරිගණකයට සම්බන්ධ වෙන්න අවශ්‍ය බවට ඉල්ලීමක් ලැබුනොත් වහාම එම ඇමතුම විසන්ධි කරන්න. කිසි ලෙසකින් ඔබගේ පරිගණකයයට ඔවුන්ට දුරස්ථව සම්බන්ධ වෙන්න දෙන්න එපා. එලෙසින්ම ඔබගේ බැංකු ගිනුම් හො ක්‍රෙඩි කාඩ් විස්තර කිසි විටක නොදන්නා පාර්ශවයකට ලබා දෙන්න එපා.
එසේ ලබා දී තිබේ නම් වහාම අදාල බැංකුවට හෝ මූල්‍ය ආයතනයට ඒ ගැන සැල කර සිටින්න.

දැන් ඔබට පැහැදිලි ඇති මේ කරුනු ගැන ඔබ දැනුවත් බාවයකින් නොසිටියහොත්, සයිබර් සොරුන්ට ඔබේ උදව්වෙන්ම ඔබේ පරිගණකය තුලට ගොස්, ඔබේ තොරතුරු හෝ මුදල් සොරා ගන්නට ඔබම සහය වෙන හැටි.

Episode 30 - පවුල් බැම්ම කඩා දමන අන්තර්ජාල කල්ට්

Episode 30 - Broadcast on 3ZZZ radio on 12 Aug 2018

මේ කියන්න යන දේ ඔබ බොහෝ දෙනෙක් අසා වත් නැති වග මම දන්නවා. මෙය එක්තරා විදියකට ඔබ ව භීතියකට පත් කරන පුවතක් වේවි. නමුත් අපි සයිබර් අවකාශයේ වෙන අහිතකර දේ ගැන නෑසූ කනින් සිටි පමණින්, ඒවා නැති වෙන්නෙ නැහැ. අහිතකර දේ ගැන සබුද්ධික වීමෙන් තමයි එයට එරෙහිව අපි කෙලෙස ක්‍රියාත්මක විය යුත්තේද කියලා යම්කිසි දැණුවත්භාවයකට එන්න පුලුවන් වෙන්නෙ.

මම මේ කතා කරන්න යන්නෙ අන්තර්ජාල කල්ට් ගැන - ඒ කියන්නෙ අසම්මත විශ්වාසයන්, ජීවන රටාවන් වෙත, විශේෂයෙන්ම තරුණ දරුවන් ආකර්ශනය කර ඔවුන්ගේ ජීවිත අඳුරට පත් කරන අන්තර්ජාල පිලිලයන් ගැන.
මේ සත්‍ය කතාවට මොහොතක් සවන් දෙන්න.

මෙහි කතා නායිකාව මරිසා ඕකොනර්. පවුලේ එකම දරුවා. මේ වෙද්දි ඇයට වයස 21යි. ජීවිතේ ගැන ටිකක් විතර අලුත් මානයකින්, ටිකක් රැඩිකල් විදියට හිතන වයස. දෙමාපියන් එක්ක මත ගැටුම් හැල හැප්පීම් එන්න එන්න වැඩි වුනා. එක දවසක් ගෙදර ලියුම් පෙට්ටියෙ වාක්‍ය තුන, හතරක ලිපියක් ලියා තියලා ඇය අතුරුදහන් වුනා.

ලිපියේ තිබුනේ මෙන්න මෙහෙම.
"Hello, Dad, I have decided to take an indefinite break from our relationship. Please do not try to contact me. I will contact you if and when I decide to resume our relationship. Sincerely, Marisa."

මෙම ලිපියම ඇය අම්මටත් යවලා තිබුනා. මේ සමග මයික් සහ ජැකී ඕකොනර් යුවල කෙතරම් කලබල වුනාදයි කියන්න අවශ්‍ය නැහැනෙ. දරුවාට කරදරයක්ද, ඇය හොඳින් ඉන්නවද, ඉන්නෙ කොහේද කා සමගද කියා දැන ගන්නට ඔවුන් අනේක විධ උත්සාහයන් ගත්තත් එය සාර්ථක වුනේ නැහැ. මින් ඔවුන් දෙදෙනාම ඉතා විශාල ලෙස මානසිකවා කඩා වැටීමකට ලක් වුනා.

ඔවුන් ඒ වෙන කොට දැන සිටියෙ නැහැ, මරිසා අන්තර්ජාල කල්ට් එකක ගොදුරක් වෙලා තිබුනා කියලා. කැනඩාවේ සිට ක්‍රියාත්මක වෙන, දාර්ශනිකයෙක් ලෙස පෙනී සිටින ස්ටෙෆාන් මොලිනෝ කියන පුද්ගලයා ඔහුගේ මතභේදාත්මක අදහස් freedomainradio.com සහ ඔහුගේම යූටියුබ් නාලිකාවක් හරහා සමාජගත කරමින් ඉන්නවා. ඔහු මේ මොහෙතෙත් ක්‍රියාත්මක්‍යි. ඔබට එම වෙබ් අඩවියට හෝ යූටියිබ් නාලිකාවට ගොස්, එහි ඇති වැඩසටහන් බලන්නට පුලුවන්. අන්තර්ජාලයට දහස් ගණනින් ඔහුගේ රේඩියෝ වැඩසටහන් සහ වීඩියෝ ඔහු මේ වෙනවිට මුදා හැර තිබෙනවා. ඒවාට ආකර්ශනය වෙන තරුණ කොටස් ඒවා අසන්නේ එක්තරා ආකාරෙක ඇබ්බැහියකින් වගේ. ඔහුට නිත්‍ය ප්‍රේක්ශකයන් ඒ කියන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා 650,000 පමණ ඉන්නවා.. ඔහුගේ දේශන ඔවුන් අසා ඇති වාර ගනන එකතුව මිලියන 185ක් පමණ.

සෙටෙෆාන්ට අනුව දෙමාපියන් දරුවන්ව වහල් කරගෙන, ඔවුන් මත ආදිපත්‍යය පතුරවා ගෙන සිටිනවා හරියට පීඩකයන් වගේ. තමන්ගෙ නිදහස වෙනුවෙන් පවුලෙන් සදාකාලිකව ඉවත් විය යුතු වෙනවා. මේ ඔහුගේම වචන.
A child is a complete slave to the parents, and it's the greatest power disparity in the world.
Life is short, and if you can't get people around you to treat you well, then don't bother being around them, and this is the deFOOing process.

මෙතන ස්ටෙෆාන් ඩිෆූ කියලා අදහස් කරන්නෙ පවුල සමග සියලු සම්බන්ධතා අත හැරීම. මේ වචනෙ එන්නෙ ෆූ - කියන යෙදුමෙන් - F-O-O  Family of Origin - deFoo
- එනිසා ඒ වචනේ ඉදිරියට ඩි කියන ප්‍රත්‍යය යොදලා කියන්නෙ තමන්ගේ පවුල හෝ ඉතා සමීප හිත මිතුරන් සියල්ල අත හැර මෙම FreeDomainRadio (FDR) community එකට 
එකතු වීම.
මරිසා කරෙත් මෙයයි. ඇය ස්ටෙෆාන්ගෙ මෙම කල්ට් එකට නතු වුනා.. ගෙදර අය අත හැරලා කවුරුත් නොදන්න තැනක සැඟවිලා අන්තර්ජාලය හරහා මෙම කල්ට් එකේ අනික් අය එක්ක පමණක් සම්බන්ධතා පැවැත්වුවා.. ඒ හැමෝගෙම වීරයා වුනේ ස්ටෙෆාන්. පැය දහස් ගනනින් ඔහුගේ කතා අසන්නට ඔවුන් මාස් පතා අන්තර්ජාලය හරහා ඔහුට ගෙවීම් කලා. ඔවුනුත් එවැනිම අන්තර්ජාල නාලිකා පටන් අරගෙන ස්ටෙෆාන්ගෙ පනිවිඩය අනෙක් තරුණ කොටස් අතර ගෙන යන්නට ක්‍රියාත්මක වුනා. ඒ නිසා තමන්ගේ නායකයාගෙන් එපිටින් තියෙන ලෝකයක් දෙස විව්ෘතව බලන්නට මේ සාමාජිකයන්ට අවස්ථාවක් තිබුනේ නැහැ.

නමුත් මරිසාට මේ වැඩේ ලේසි වුනේ නැහැ. අවුරුදු හතරක් මෙහෙම ගෙවෙද්දිත් මරිසට ගෙදර අමතක කරන්න බැරි වුනා. ඔය අතරෙ ඇය දන්න කෙනෙක් මේ කල්ලිය අත හැර ගියා. කල්ට් නායක ස්ටෙෆ්ෆන් තම්න්ගෙ කල්ලියෙන් යන අයට විරුද්ධව ඉතා දරුනු පුද්ගලික මට්ටමේ පහර දීම් කරනවා.. නමුත් මරිසා දකිනවා ඒ ඉවත් වුනු පුද්ගලයා තමන්ගෙ පවුල සමග නැවත සම්බන්ධ වී ඉතා සතුටින් ජීවත් වෙන හැටි. මෙයින් ඇ‍ය වටහා ගන්නවා ඇය නොදැනුවත්වම ඇය සෙට්ෆාන්ගෙ කල්ට් එකට හසු වීම නිසා තමන්ට ආදරය කල පවුලේ අයට වරදක් කල වග. ඔය අතරෙ මරිසගෙ මල්ලි ඇයගෙ බ්ලොග් පිටුවට පනිවිඩයක් එවනවා. ඔවුන් මරිසා ගැන දැණ ගන්න එකම තැන මේ බ්ලොග් අඩවිය. මරිසා ඊට පිලිතුරු දෙනවා. මේ විදියට ඕකොනර් පවුල නැවත එකතු වෙනවා.
තමන්ගෙ අතින් වුනු වැරදිවලට දෙමාපියන් ඇයගෙනුත්, ඇය දෙමාපියන්ගෙනුත් සමාව ගන්නවා.පවුල දෙකඩ කරන්න උදව් වුන අන්තර්ජාලයම, ඒ පවුලට එකතු වෙන්න උදව් කරෙ එහෙමයි.


අපේ කතාවෙ කතා නායිකාවට නැවත දෙමාපියන් වෙත එන්න හැකියාව ලැබුනත්, හැමෝම එතරම් වාසනාවන්ත නැහැ. එනිසයි කල්ට් එකකට හසු වෙන්න කලින්, ඉන් වැලකෙන්න උත්සාහ කිරීම වැදගත් වෙන්නෙ.

මෙය අවසන් කිරීමට මරිසගෙ පියා සඳහන් කල යමක් මෙතනට එකතු කිරීම සුදුසුයි කියලා හිතුනා.

"මම හිතාගෙන හිටියා, කල්ට් එකක් කියන්නෙ කෙනෙක්ව එලියට අරන් ගිහින්, තම් ගාව තියාගෙන මොළේ වෙනස් කරලා තමන්ගෙ පැත්තට නම්ම ගන්න කල්ලි වලට කියලා. දැන් එයාලට ඒක ස්ක්‍ර්‍රින් එකක් හරහා කරන්න පුලුවන්;
තව දුරටත් එලියට රැගෙනයන්න අවශ්‍ය නැහැ.
තාක්ශණය හරහා මේ කල්ලිවලට ගෙදර ඇතුලෙ ඉන්න කෙනාගෙ ඔලුවටම රිංගන්න පුලුවන්"




Tuesday, December 17, 2019

පොඩි පෝස්ට් සුනාමියක්.. මේ පාර ඇත්තටමයි!!

ඔව්.. මේ පාර නම් ඇත්තටමයි.. මේ බ්ලොග් එකේ publish කර ගන්න වෙලාව නැතිව තියා ගෙන හිටපු නමුත් ගුවන් විදුලියේ විකාශය වුන posts 15ක් විතර තියෙනවා..
දැන් ඒව ඔක්කොම ලෑස්තියි.. මම ඒවා එක පාරටම මුදා හරිනවා.. සමා වෙන්න ඊමේල් notifications ගොඩක් එක පාරටම ආවොත්..
අලුත් අවුරුද්දට යද්දි මේ වගේ පරන ඒවා ලොකු backlog එකක් නැතුව ගියොත් හොඳයි කියලා හිතුනා..

ආ.. තව කාරනයක්.. මගේ podcast එකත් දැන් ලොකු platforms වලත් list වෙලා තියෙන්නෙ..

දැනට තියෙන ඒවා පල්ලෙහා.. තව එකතු වුනොත් පස්සෙ එකතු කරන්නම්..

1. Apple iTunes - can be listened via any Apple device

2. Google Podcasts - can be listened via any Android device


3. Tunein


4. Spotify (pending)

Sunday, November 17, 2019

BREAKING NEWS: සයිබර් විපරම podcasts අවකාශයට

ඊයේ සයිබර් සටහන 50 වෙනි විකාශය ගුවන් විදුලියේ ගියා.. ඒ සමඟම මම හිතුවා මේ දක්වා කරපු හැම එපිසෝඩ් එකක්ම පොඩ් කාස්ට් අවකාශයට එකතු කරන්න..
ලංකාවෙ පොඩ්කාස්ට් තාම එතරම් ජනප්‍රිය නොවුනත්, මේ වගේ දැනුම ප්‍රචාරය කරන්න ඉතාමත් හොඳම මාධ්‍ය තමා පොඩ් කාස්ට්.
මේක හරියට තමන්ගෙම රේඩියෝ එකක් වගේ (වීඩියොත් පුලුවන් නමුත් වීඩියෝ පැත්ත යූටියුබ් කප් ගහල ඉන්නෙ)
කාර් එකේ යද්දි, ගෙදර වැඩක් කරන ගමන් අහද්දි, ජංගම දුරකථන පාවිච්චි කරලා, ඉතාම දුර්වල අන්තර්ජාල සම්බන්ධතාවයක් එක්ක වුනත්, වැඩිය data භාවිතා නොකර අහන්න, ඉතා පහසුවෙන් ස්මාජ ජාලා එක්ක බෙදා ගන්න, මෙන්න මේ පහල තියෙන විදියට stand alone player එකක් විදියට ඔබගේ web අඩවියට හෝ blog එකට එකතු කර ගන්න පුලුවන්..

මේ වෙලාව වෙන කොට එකතු කරලා තියෙන්නෙ, මුල් එපිසෝඩ් 20 විතරයි.. පුලුවන් ඉක්මනටම ඉතිරි ටිකත් එකතු කරනවා.. (ඒවත් එකතු කරා)

අහලා බලන්න.. යෝජනා, විවේචන තියේ නම් කියන්න..

ඔබට පේනවා ඇති, මේ බ්ලොග් එක එක තැන වගේ තිබුනට මම රේඩියෝ එකේ මේ වැඩේ දිගටම කරගෙන ගියා කියලා.. නමුත් ඒ අත හැරුනු හැම එපිසෝඩ් එකම මම මේ බ්ලොග් එකටත් එකතු කරනවා මොකද සමහරු ආස අහන්න, සමහරු ආස කියවන්න, සමහරු ආස යූ ටියුබ් හරහා අහන්න, සමහරු ආස පොඩ්කාස්ට් විදියට අහන්න..
මගේ අභියෝගෙ තමා ඔය හැම වේදිකාවටම මේ දේවල් දීල, මේ දන්න දෙයින් කරන්න පුලුවන් සේවයක් කරන්න.. ඉතින් ඒකට මට හයියට ඉන්නෙ මේක කියවන ඔබ..

එකතු වෙලා යමක් කරමු...
සුබ අනාගතයක්!


Sunday, December 30, 2018

දරුවට ස්මාට්ෆෝන් දෙන්න හොඳම වයස..

ඔබේ දරුවටම කියලා ස්මාට් ෆෝන් එකක් දෙන්න සුදුසුම වයස මොකක්ද?
මම දන්නවා මේක ගොඩාක් දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම සම වයසේ අනෙක් දරුවන් එම උපාංග භාවිතා කරද්දි, තමන්ටත් එවැන්නක් අවශ්‍ය බවට දරුවන්ගෙ පැත්තෙන් දෙමාපියන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා. මෙතනදි බොහොමයක් දෙමාපියන් පත් වෙන්නෙ උභතෝකෝටික ගැටලුවකට.

තාක්ශණය සහ දරුවන්ට වෙන බලපෑම සම්බන්ධව, දශකයක් පමණ කාලයක් පර්‍යේශන කරලා, ඒ සමබන්ධ ග්‍රන්ථ පවා පළ කරපු මේ ක්ශේස්ත්‍රයේ ප්‍රවීනයන් කිහිප දෙනෙක් දක්වපු අදහස් හරහා මේ ප්‍රශ්නෙට ඔබ වෙනුවෙන් එක්තරා ආකාරෙක පිලිතුරක් මම සම්පින්ඩනය කරන්න බලාපොරොත්තු වෙනවා.

තමන්ටම කියලා දරුවෙක් අතට ස්මාට් ෆෝන් එකක් දෙනවා කියලා කියන්නෙ දරුවාට වෙනම ලෝකෙකට යතුරු භාර දෙනවා වගේ වැඩක්.. ඒ නිසා ඒ එක්ක නිසඟයෙන්ම ඒ දරුවන්ට අති විශාල වගකීමක් පැවරෙනවා.

මේ තිර හරහා ඔවුන්ට ඇති කරන අවධානය රඳවා ගැනීමේ අපහසුතා (distractions), සමාජ ජාලා ආශ්‍රිතව හෝ අසැබි වෙබ් අඩවි (pornography) ආශ්‍රිත ඇබ්බැහිවීම්, cyber bullying හරහා එන මානසික සංකූලතා, උපාංගය ආශ්‍රිත විනෝදාස්වාදය සහ අධ්‍යාපන කටයුතු හා ක්‍රීඩා කටයුතු ආදිය සමතුලිතව පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රමානවත් ලෙස ඔබේ දරුවා මුහුකුරා ගොස් ඇතැයි ඔබ සිතනවාද?
පිළිතුර 'නැත' නම් තාම ඔහු හෝ ඇය මෙවැනි වගකීමක් භාර දෙන්න තරම් සුදුසු වන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මේ සඳහා සුදුසු වන්නේ අට වන ශ්‍රේණිය හෝ ඊට පසු වයසේ දරුවන් බවයි බ්ලේක් ස්නෝ පවසන්නෙ . නමුත් තවත් මේ සම්බන්ධව ප්‍රවීනියක් වෙන ඩයනා ග්‍රේබර් පවසන්නේ, දරුවන් එකිනෙකා වෙනස් නිසා, එය එක්තරා නියමිත වයසකට වඩා ඉහත සඳහන් කල වගකීම් ප්‍රශස්තව භාරගත හැකි වයසක් වෙන තුරු හැකි තරම් එය ප්‍රමාද කල යුතු බවයි. දරුවාට ෆෝන් එක අවශ්‍ය නම් ඇමතුම් සහ පනිවිඩ පමනක් ලබා ගත හැකි දුරකථන වෙලඳ පොලේ තියෙනවා. Light phone එයට හොඳ උදාහරනයක්.


මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙක් වෙන කෙන්ටරො ටොයාමා, දශකයක පමණ කාලයක් ගත කලේ පරිගණක විද්‍යාඟයෙක් ලෙස අද්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ශේස්ත්‍ර වෙනුවෙන් තාක්ශනය භාවිතා කිරීම සමබ්න්ධ පර්‍යේශන කිරීමටයි. ඔහු පවසන්නේ මෙතරම් දියුනු තාක්ශණික අවදියක වුවත් සමාජ ප්‍රගමනය රඳා පවතින්නේ මානුශික ක්‍රියාකාරකම් මත මිස ගැජට් මත නොවන වගයි. තමන්ගේ පර්‍යේශනවලට අනුව, ස්මාට් ෆෝන් හිමි වීම, දරුවන්ගේ අද්‍යාපනික ප්‍රගමනයට කිසිම සම්බන්ධයක් නැති බව මහාචාර්‍ය ටයෝමා සඳහන් කරනවා.

හොඳයි, දැන් අපි හිතමු, ඔබ ඔබේ දරුවාට අවසානයේ ස්මාට් දුරකථනයක් ලබා දෙන්න තීරනය කල වග හෝ දැනටමත් ලබා දීලා තියෙන්නෙ කියලා. එහි අනතුරු කලාපෙන් ඉවත්ව ඉන්නට, ඔබට කොහොමද දරුවාට උදව් කරන්න පුලුවන් වෙන්නෙ.

මූලිකවම එය භාවිතය සම්බන්ධ එකඟතාවකට එන්න. බොහෝ දෙමාපියන් දරුවන් එවැනි ලිඛිත එකඟතාවකයට අත්සන් කරවා ගන්නවා. ඔබට මෙවැනි නීති මාලාවන් පහසුවෙන්ම සොයා ගන්න පුලුවන් Smartphone use contracts කියලා අන්තර්ජාලයේ search කලා නම්..
අනෙක් වැදගත් දේ තමයි parental control applications. වසරකට ඩොලර් 30-50ක් වගේ මුදලකට ඉතාම හොඳ මෙවැනි Apps දැන් වෙලඳපොලේ තියෙනවා. මේ හැම එකකම වගේ නුසුදුසු වෙබ් අඩවි වාරනය, තිර කාලය පාලනය, භාවිතා කල හැක්කේ මොන Appsද, කොපමන කාලයකටද පමනක් නොවේ දරුවන් සිටින ස්ථානය බලා ගැනීම (Geo-tracking)හා ඔවුන්ගේ තිරය මතට කෙලින්ම පනිවිඩ එවීමටත්, එයට ප්‍රතිචාර දෙන තුරු තිරය ක්‍රියාවිරහිත කිරීමට පවා පුලුවන්.

කොහොම වුනත්, මෙම එකඟතා සහ තාක්ශණික ක්‍රම වේදයන භාවිතා කරත්, සත්‍ය වශයෙන්ම වැදගත් වෙන්නේ දරුවන් සමග කරන අවංක සාකච්චාව බවත් කියන්නම ඕනෙ. මේ සියලු දේ ඔවුන්ගේ ආරක්ශාව වෙනුවෙන් හේතුවක් ඇතිව කරන දේ මිස ඔවුන්ගේ නිදහ්සට වැට නොබැඳීමක් බව ඔවුන්ට තේරුම් ගැන්වුවහොත් පමණයි, මේ සීමා තුලින් රිංගා යාම මඟින් අනතුරේ වැටීමෙන් ඔවුන් ගලවා ගත හැකි වන්නේ.

Broadcast Date: 15th July 2018
YouTube Video

ඇස් දෙක වගේ දරුවන්ගෙ ඇස් දෙකට ආදරේ නම්..


(6 minutes read)
අවිදුර ද්‍ර්ශ්ටිකත්වය එහෙම නැත්නම් දුර නොපෙනීම (shortsightedness or myopia) වසංගතයක් විදියට මෑත කාලයක සිට දරුවන් අතර දකින්නට ලැබීම පිළිබඳව පැහැදිලිවම ඇඟිල්ල දිගු වුනේ ටීවී, ගේම්ස් හෝ ටැබ්ලට් ආදී දරුවන් වැඩි වශයෙන් ඇස් යොමා සිටින තිරවලට.
නමුත් ඔස්ට්‍රේලියාවේ සිදු කරන ලද අලුත්ම පර්‍යේශණ්‍යකින් සොයා ගෙන තියෙනවා මේ රෝගී තත්වය දරුවන් අතර වැඩි වශයෙන් පැතිර යාමට හේතු වෙලා තියෙන්නෙ ඔවුන්ට ප්‍රමාණවත් ළෙස ඇස් වලට හිරු එලිය නොලැබීම කියන කාරනය කියලා. දරුවන් වැඩි වශයෙන් නිවෙස් තුලට වී, මෙම ඩිජිටල් උපාංග වලට ඇලි ගැලී විසීම තුල ඔවුන්ගේ ඇස් වලට ලැබිය යුතු අවම හිරු එලිය ප්‍රමානය නොලැබීම මත ඇස් වල වර්ධනය සාමාන්‍ය ප්‍රමාණ්‍ය ඉක්මවා යාම නිසා, myopia තත්ත්වය වර්ධනය වෙනවා. එනිසා අඩුම තරමේ දවසකට පැයක්වත් දරුවන් එලි මහනේ ස්වභාවික හිරු එළිය ලැබිය යුතු බවයි මේ පිළිබඳ ප්‍රවීනයන් පවසන්නෙ.

මේ කරුනු හෙලි වුනේ පසුගිය අඟහරුවාදා එස්බීඑස් රූපාවාහිනී සේවයේ විකාශය වූ ඉන්සයිට් වැඩසටහනේ.
පාසල් වල වැඩි වැඩියෙන් යොදා ගන්න තාක්ශණය ගැනයි එදින කතා වුනේ Screens at school යන තේමාව යටතේ.

පාසල් අධ්‍යාපනය වෙනුවෙන්, ලැප්ටොප්, ටැබ්ලට් ආදි උපාංග වැඩි වශයෙන් හඳුන්වා දිම ලොව පුරා සිදුවෙනවා. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේද අභියෝගයට ලක් කරමින් මේ අලුත් උපාංග සමග දරුවන් තමන්ගේ ඉගෙනීමේ කටයුතු අලුත් මානයකට අරන් යද්දි, ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කාර්‍යයේදි ඔවුන්ට තිබෙන අභියෝග, දරුවාගේ මානසික සහ කායික සෞඛ්‍යය සම්බන්ධ අභියෝග ගැන මෙහිදී කතා වුනා.

මේ සම්බන්ධ කතිකාවට විවිධ වයස්වල දරුවන්, දෙමාපියන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ මේ විෂයේ ප්‍රවීනත්වය ඇති මහාචාර්‍යවරුන් පවා සම්බන්ධ වුනා.
දරුවන් සම්බන්ධ වීම ඉතා වැදගත්.. මේ සම්බන්ධ වැඩියෙන්ම වැදගත් තොරතුරු සපයන්නෙ ඔවුන් නිසාවෙන්.

වැඩසටහන මෙහෙය වුනේ එක්තරා ආකාරෙක සංවාදාත්මක මුහුනුවරකින්.. තාක්ශණය වැඩි වශයෙන් යොදා ගන්නා පාසල් සහ සීමා සහිතව තාක්ශණය් යොදා ගන්නා පාසල් යන දෙපිරිසම මේ සම්බන්ධව අදහස් දක්වපු නිසා.
වැඩි වශයෙන් පංති කාමර වලට තාක්ශණය හඳුන්වා දෙන පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන් දරුවන්ගේ ඉගෙනීමේ ක්‍රියාවලියට මෙයින් ඇති වී තිබෙන සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. එහිදී හෙලි වුනේ වයස අවුරුදු අට වැනි කුඩා දරුවන්ට අලුත්ම තාක්ශනික නැඹුරුතා වන blockchain, bitcoin, virtual reality, augemented reality පවා එම පාසල්වල අධි-තාක්ශණික පංති කාමරවල දැනටමත් උගන්වන බවයි. පැය විසි හතරෙම දරුවන්ට සම්බන්ධ විය හැකි ලොව වටා එවැනි වෙනත් පාසල්
සමග ජාල ගත කර ඇති interconnected class rooms වලට, දරුවන්ට පාසල් කාලයෙන් පරිබාහිරවත් සම්බන්ධ විය හැකි බව අදාල තාක්ශණික ගුරුවරයා ආඩම්බරයෙන් මෙන් සඳහන් කලා.

නමුත් මෙලෙසින් තාක්ශණයට වැඩි වැඩියෙන් අවධනය යොමු කරවීම තුල ඉන් අපේක්ශිත ප්‍රතිපල ලැබී තිබේ දැයි අනෙක් ගුරුවරුන් ප්‍රශ්න කලා.
2000 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ දරුවන්ගේ කියවීමෙ හැකියාව පහත වැටිලා තියෙනවා. මෙයට හේතුව පංති කාමරවලට වැඩි වැඩියෙන් එකතු වෙන මේ තාක්ශණ උපාංග නිසා දරුවන්ගේ අවධානය කියවීමෙන් දුරස්ථ වීමද? මෙම තාක්ශණික උපාංග පංති කාමරවල ගැවසීම නිසා, ගුරුවරුන්ට දරුවන්ගේ අවධානය රඳවා තබා ගැනීමට අපහසු වීම නිසා ඔවුන්ට ඇති වී තිබෙන අලුත් අභියෝග ජයගන්නේ කෙසේද?

ඒ වගේම මේ සම්බන්ධව විවිධ වයස් මට්ටම්වල දරුවන්ගේ අදහස් ඔවුන් ඉදිරිපත් කලා. එහිදී පැහැදිලි වුනේ වයසින් වැඩි දරුවන් අතර මේ ගැන අවබෝධයෙන් ස්වයං නියාමනයක් ඇති දරුවන් සිටියත්, සෑම වයස් කාන්ඩයකම දරුවන්ට මේ අභියෝග ජයගන්න පාසල සහ නිවස වෙතින් වැඩි සහයෝගයක් සහ මඟපෙන්වීමක් අවශ්‍ය බවයි. එසේ නොවුනහොත් තම්න්ට පනවා ඇති තාක්ශනික බාධක තුලින් තාක්ශනය තුලින්ම රිංගා යාම ඔවුන්ට පහසු කාරනයක්. උදාහරනයක් විදියට, මෙම වැඩසටහනේදී දරුවෙක් තම මිතුරන් පාසලේ ඇති අන්තර්ජාල භාවිතයේ පනවා ඇති වාරණයන් mobile hotspot තාක්ශනය හරහා මඟ හරින ආකාරය හෙලි කලේ එහි සිටි විදුහල්පතිවරුන් පවා අපහසුතාවයට ලක් කරමින්.
නමුත් මැකිනන් විද්‍යාලයේදී පාසල් කාලයේදී ජංගම දුරකථන තහනම් කිරීම සම්බන්ධව මුලදි අප්‍රසාදයෙන් කතා කල දරුවන්ම, ඒ හේතුව නිසා තමන්ගේ අවධානය එක තැන තබා ගන්නට සහ මිතුරන් සමග වැඩි වැඩියෙන් මුහුනට මුහුන කතා කරන්නට ලබා දුන් තල්ලුව සම්බන්ධයෙන් පසුව තමන්ගේ පාසල ප්‍රශංසාවට ලක් කලා.

මෙම සංවාදයට විද්වතුන් අදහස් දක්වමින් පැහැදිලි කලේ මේ සම්බන්ධව දැනට ඇති විද්‍යාත්මක පර්‍යේශනවල ප්‍රාථමික බවයි. උදාහරනයක් විදියට මුල්ම අයිපෑඩය නිර්මාණය වී තවම වසර අටක් පමණයි. එනිසා ඉන් ඇතිවන දිගු කාලීන බලපෑම අද්‍යයනය කිරීමටවත් අවශ්‍ය කාල පරාසයක් තවම ගෙවී නැහැ.
නමුත් දැනට තහවුරු කරගත් කාරනා වශයෙන් ඔවුන් පැවසූවේ වයස අවුරුදු 1 සිට පහ දක්වා දරුවන්ගේ මොළයේ වර්ධනයට  මෙවැනි උපාංගවල තිර පැහැදිලි බලපෑමක් කරන බවය. මොළයේ සන්වේදන සහ චාලක කලාපයන් (Sensory and Motor parts of the brain) අවවර්ධනයට ලක් වූ දරුවන් දැන් දැන් වැඩි වශයෙන් පෙර පාසල් වල දකින්නට ලැබෙන්නේ මේ හේතුව නිසා බවයි ඔවුන්ගේ අදහස. ඒ සමගම පාසල් වයසේ දරුවන්ට මෙම තිර සහ විශේෂයෙන්ම සමාජ ජාල විසින් ලබා දෙන උත්තේජන නිසා (dopamin hits) ඔවුන් නිරන්තර අත්ෘප්තියකින් (feeling of insufficiency)   පෙළෙන වගට ඔවුන් අනතුරු අඟවනවා. මෙය ඔවුන්ගේ අද්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උනන්දුවට සහ ගුරුවරුන් වෙත දක්වන අවධානයට කෙලින්ම බලපාන බව ඉතා පැහැදිලියි.s

මෙහිදී හැම දෙනාම වගේ එකඟ වුනේ පාසල සහ නිවස තුල තාක්ශනය සම්බරතාවයෙන් භාවිතා කල යුතු බවයි. පාසල තුල තාක්ශණය, පුහුණුව ලත් ගුරුවරුන්, එළි මහනේ ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් ආදී සියල්ල සමතුලිත කල Total Learning Eco-System වෙත යා යුතු බවයි ඔවුන් අවධරණය කලේ.

තාක්ශණය හීලෑ කරගෙන ඉන් ප්‍රතිපල ගන්නවා විනා, එහි වහලෙකු වී විනාශ නොවිය යුතු වග අපගේ දරුවන්ට අප ආදර්ශයෙන් පෙන්වා දිය යුතුව තියෙනවා.


Source:
Insight Program on SBS TV


Episode 28 -  6 minutes
Broadcast Date: 17th June 2018

Full Program on YouTube


පොඩි සුනාමියක්..සමා වන්න!

කෙලකෝටියක් වැඩ අස්සෙ සයිබර් සටහන රේඩියෝ ප්‍රෝග්‍රැම් එකට මම අමාරුවෙන් වෙලාව හොයා ගන්නෙ..
සතිපතා පටන් ගත්ත වැඩේ, සති දෙකට තුනට සැරයක් ගානට වැටිලා නවත්වන ගානට එද්දි, එය අහන අයගෙ ප්‍රතිචාර අහන්න ලැබුනාම මේක නතර නොකර කරගන්න යන්න ඕනෙ මානසික උත්ප්‍රේරකය ලැබෙනවා..
ලියන්න මාත්ෘකා නම් ඕනෙ තරම්.. එකම ප්‍රශ්නෙ තියෙන්නෙ වෙලාව ..
කොටින්ම මේ දක්වා කෙරුනු හැම episode එකක්ම මම බ්ලොග් එකේ පල කරලත් නැහැ..
පස්සෙ කරනවා කියලා කල් දාලා තියෙන episodes ගාන 10ක් විතර..

එනිසා මම තීරනය කරා මේ විදියට බ්ලොග් සහ යූටියුබ් අවකාශයට එකතු නොකරපු සයිබර් සටහන එපි කිහිපය හෙට 2019 ලබන්න කලින් එකතු කරන්න.. පරන අවුරුද්දෙ වැඩ මොකට අලුත් අවුරුද්දට අරන් යනවද නේද?

එනිසා ඔන්න එකපාරටම පෝස්ටු සුනාමියක් එයි.. දැන් ඒකට හේතු දන්නවනෙ..
ලබන අවුරුද්දෙවත් මෙහෙම වැඩ ගොඩ ගැහෙන කං ඉන්නෙ නැතුව කරන්න බලාපොරොත්තු වෙනවා.. (හීනෙන් තමයි.. ඒත් බලමු.. කව්ද දන්නෙ මේ කම්මැලි සරීරය එක පාරට පණ ගහලා ආවොත්)

ඒ එක්කම තව ලොකු ආරංචියක් තියෙනවා.. රජය පැත්තෙන් මාව සම්බන්ධ කර ගන්න කර්තව්‍යක් වෙනුවෙන් යම්කිසි දෙයක් මේ වෙලාවෙ සාකච්ඡා මට්ටමෙන් යනවා.. ඒ ගැන විස්තර නව වසර මුල් හරියෙම දැනුම් දෙන්න පුලුවන් සාකච්චා සාර්ථක වුනොත්...

එහෙමනම්, ඔබ සැමට සාමය, සෞභාග්‍යය සපිරි සයිබර් උවදුරුවලින් තොර වූ වාසනාවන්ත නව වසරක් වේවා යැයි සයිබර් විපරම වෙනුවෙන් මම ඔබට සුබ පතනවා!

එහෙමනම් පොඩි පෝස්ට් සුනාමියක් එවන්න අවසර...

Thursday, December 27, 2018

හැම මඟුලම ස්මාට් වීමේ උන්මාදය හෙවත් ලඟ ලඟ එන IoT ව්‍යසනය

++ 4 minutes read. Broadcast on 29th April on 3ZZZ Radio ++

Internet of things (IoT) ගැන ඔබ සමහර විට අසා නැතිව ඇති. නමුත් මට හොඳටම සහතිකයි ඔබ මේ තාක්ශණය අඩුවැඩි වශයෙන් දැනටමත් භාවිතා කරනවා ඇති කියලා.
Internet of Things කියන්නෙ, පරිගණක, දුරකථන ආදියෙන් ඔබ්බට ගිහිල්ලා,  අපි එදිනෙදා භාවිතා කරන උපාංග අන්තරජාලය හා සම්බන්ධ වීමේ සංසිද්ධිය. බොහෝ විට 'ස්මාට්' උපාංග ලෙස නම් වෙන්නේ මේ දේවල්.

උදාහරනයක් විදියට,  අලුතෙන් එන ස්මාට් රූපවාහිනිවලට පුලුවන් අන්තර්ජාලයට ඔබව ගෙන යන්න.  එයට පුලුවන් එහි තියෙන කැමරාව යොදාගෙන ඔබව ලංකාවෙ ඉන්න නෑ හිත මිතුරන් එක්ක Video Conference හරහා සම්බන්ධ කරන්න. 
ඔබගේ කුස්සියෙ ශීතකරනය ස්මාට් නම් එහි කිරි, බිත්තර අඩුවෙද්දි ඔබගේ ජංගම දුර්කථනය හරහා ඒ බව ඔබව දැනුවත් කරන ගමන්,  අවශ්‍ය නම් ඒ දේවල් ඔබ වෙනුවෙන් ඇනවුම් කරන්නත් ඊට පුලුවන්.

ඔබගේ ගෙදර ආරක්ශක පද්ධතිය (home cctv and alarm systems)  සහ දරුවා ඉන්න කාමරයේ කැමරා (baby monitors) ආදිය ස්මාට් දුරකථනය හරහා නරඹන්න පුලුවන් වීම ගැන සමහර විට ඔබ බොහොම ආඩම්බරයෙන් ඔබගේ මිතුරන්ට පෙන්වනවත් ඇති. ඔබගේ අලුත්ම කාර් එක සම්පූර්ණයෙන්ම  අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකයක් විදියට ඔබට  වාහනය  පහසුවෙන් පැදවීමේ පහසුකම එක්ක  එහි අමතර ආරක්ශාවක් සලසනවා.
මේ විදියට වෙලඳ පොලට අලුතෙන්ම  එකතු වෙන උපාංග ප්‍රමානය මිලියන ගනනක්.. එය ලඟදිම බිලියනය පසු කරනවා. මේවා අතිශය ජනප්‍රිය වුනත්,  කණගාටුයි කියන්න, ඒවයේ ඇති අවදානම ගැන භාවිතා කරන්නන්ගෙ අවබෝධය සහ එහි ආරක්ශාව සම්බන්ධව මෙම උපකරණවල නිශ්පාදකයින් දක්වන උනන්දුව තියෙන්නෙ ඉතාම අඩු මට්ටමේ.
උදාහරණයක් විදියට පසු ගිය වසරේ ජර්මනි රජය එක්තරා ළමා සෙල්ලම් බඩුවක් තහනම් කරේ එහි නිශ්පාදකයින් ඒවා භාවිතා කරන අයගේ විස්තර අන්තර්ජාලයේ ගබඩා වෙද්දි ඒවා ආරක්ශා කරන්න ප්‍රමාණවත්  ආරක්ශක විධි විධාන යොදා නොගත් නිසා.
 ගිය වසරේම, cloudpets නම් ස්මාට් ටෙඩි බෙයා කෙනෙක් හරහා දරුවන්, දෙමාපියන් අතර පටිගත් දෙබස් කොටස් මිලියන දෙකක් අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට අසන්නට පුලුවන් විදියට ඉතාම අනාරක්ශිතව ගබඩා වෙලා තිබී පර්‍යේශකයන්  සොයා ගත්තා.
මෙය තමයි මේ IoT ක්‍රේශ්ත්‍රයේ තියෙන ලොකුම අභියෝගය.  මේ ක්‍රේශ්ත්‍රය පුපුරා යමින් මිලියන ගනනින් අන්තර්ජාලය හා දේවල් සම්බන්ධ වුනත් එහි ආරක්ශාව සහ එයත් එක්ක එන නියාමනය (regulation) තවමත් තියෙන්නෙ ඉතා නොමේරූ තත්ත්වයේ.
හැක් කිරීමට ලක් වෙන ස්මාට් රූපවාහිනී යන්ත්‍රවල  කැමරාව හරහා නිදන කාමර වල දර්ශන  දුරස්ථව පටිගත කල කල හැකි බව, හැක් කිරීමට ලක් වෙන වාහනවල පාලනය රියදුරුගෙන් උදුරා ගෙන වාහනය හැකර්ට අවශ්‍ය ලෙස පදවා යාමට, තිරිංග යෙදීමට, airbags මුදා හැරීමට  හැකි බව,  හෘදය වස්තුවට සම්බන්ධ කොට ඇති pace makers නම් උපකරණ එහි wireless සම්බන්ධතාවය හැක් කිරීම මඟින් බාහිර පාර්ශවවලට පාලනය කල හැකි බව,  නිවසේ උශ්ණත්වය නිවසේ වාසය කරන්නන්ගේ පාලනයෙන් තොරව අඩු වැඩු කිරීමට හැකි වීම ආදී අතිශය හානිකර කාරණා පර්‍යේශකයන් විසින් සාක්ශි සහිතව පෙන්වා දී තිබෙනවා.

මින් අදහස් කරන්නේ සෑම IoT උපාංගයක්ම අනතුරු දායක බව නොවේ..
ඒවාට cyber security පැත්තෙන් අවශ්‍ය පරිචය (maturity) සහ නියාමනය (regulation) එහි සංක්‍යාවෙන් සහ ව්‍යාප්තියේ  පුපුරා යාමට සාපේක්ශ්ව ඇති නොමේරූ කම නිසා එහි ඇති අවධානම පැහැදිලි කිරීමයි මෙහි අරමුණ.
එවිට ඔබ දරුවාට තෑග්ගක් ලෙස  ඉතා ලාබදායී අන්තර්ජාලයට සම්බන්ධ බෝනික්කෙක් අරන්  දෙනවා වෙනුවට,  ඔබට සෑහිය හැකි ලෙස ඒවායේ ආරක්ශාව වැඩි වෙන තුරු ස්මාට් නොවන සෙල්ලම් බඩුවක් දරුවාට දී සැනසීමෙන් සිටිය හැකි වෙනු ඇත.

IoT වලට සාපේක්ශව ඉතා ඉහල ආරක්ශාවක් තියෙන පරිගණක, ස්මාට් දුරකථනයක් හරහා ඔබට වැඩිම වුනොත් නැතිවෙන්නේ ඔබේ දත්තයි.
නමුත්  ඒවා එක්ක cyber security පැත්තෙන් ඉතා පහල තැනක ඉන්න අන්තර්ජාලයට සම්බන්ධ වාහන, සෞඛ්‍ය උපකරණ ආදිය සම්බන්ධ හෙලි වූ කරුනු එක්ක  ඉතා පැහැදිලියි,  එහිදී නැතිවීමේ අවදානම දත්තවල ඉඳලා ජීවිත ආරක්ශාව දක්වා පොලා පනින වග.
  එනිසයි හැල්මේ රැල්ලට ස්මාට් උපාංග වලටම ඇදෙනවා වෙනුවට ටිකක් විමසිල්ලෙන් සහ ඉවසිල්ලෙන් සිටීම ඊට වඩා සමහර විට 'ස්මාට්' තීරණයක් විය හැකිවන්නේ.

Radio Episode on YouTube

Wednesday, October 3, 2018

ලොව ධනවත්ම පුද්ගලයා මවිත කල ශ්‍රී ලාංකීය ගණන් කාරයා


Aired on 3ZZZ Community Radio on 30th September 2018 - 4 mins

ජෙෆ් බේසොස් කියන්නෙ ලොව ධනවත්ම පුද්ගලයා. වසර ගණනාවක් මේ කිරුල හිමි කරගෙන සිටි Microsoft ආයතනයේ බිල් ගේට්ස්ට පලමු තැන අහිමි කරමින් ජෙෆ් ඉදිරියට
පැමිනියේ මේ වසරෙ මුල් කාර්තුවේ. වාර්තාගත ඉතිහාසය තුල පලමුවෙන්ම ඇමරිකානු ඩොලර් බිලියන් 100 ඉක්ම වූ පුද්ගලයා එනම් First ever centi-billionaire බවට ජෙෆ් මේ එක්කම පත් වුනා.
ජෙෆ් Blue Origin සහ Washington Post ආයතනවල හිමිකාරත්වය දැරුවත් ඔහුව ප්‍රධන වශයෙන්ම මෙතරම් සාරථකත්වයට පත් කලේ ඊ-කොමර්ස් වෙබ් අඩවි වල දැවැන්තයා වෙන Amazon ව්‍යාපාරය හරහාය.







පසුගිය සතියේ ජෙබ් බේසොස් එක්තරා සම්මුඛ සාකච්චාවදී ඔහුට විශ්ව විද්‍යාලයේදී හමු වූ අපූරු ශ්‍රී ලාංකිකයෙක් ගැන මතක් කරනවා. එම සිදුවීම ජෙෆ්ගේ ජීවිතයේ එක හැරුම් ලක්ශ්‍යක් වුන බව ඔහු කියනවා, කොටින්ම ජෙෆ් බේසොස් Amazon අඩවිය ආරම්භ කොට ලොව විශාලම ධන කුවේරයා වීම පිටි පස සිටියේ ශ්‍රී ලාංකිකයෙක්..

ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙදි, තම මිතුරෙක් එක්ක පැය ගන්න උත්සාහ කරත් විසඳා ගන්න බැරි වුන ඉතා අමාරු ගණිත ගැටලුවක්, විශ්ව විද්‍යාලයේ හිටි බුද්ධිමත්ම ශිෂ්‍යයා ලෙස ජෙෆ් නම් කරන යසන්ත වෙත ඔවුන් ගෙන යනවා. යසන්ත ගණිත ගැටලුව දෙස මොහොතක් බලා පිලිතුර පවසන්නේ ම්තුරන් දෙදෙනා විමතියට පත් කරමින්. එය විසඳුවේ තනිකරම හිතෙන්දැයි ඔවුන් අසනවා. එම ගැටලුව වසර ගනාවකට පෙර තමා විසඳූ වෙනත් ගැටලුවක් සමග සමපාත කරමින්, සිතෙන් පිලිතුර සොයා ගත් ආකාරය, පිටු තුනක් පුරා ලියවුනු වීජ ගනිතය සටහන් හරහා යසන්ත පැහැදිලි කර තිබෙනවා.
මේ මොහොතේ ජේෆ් තීරනය කර තිබෙනවා තමාට තව දුරටත් න්‍යායික භෞතික විද්‍යාව පැත්තෙන් ඉදිරියට යන්න බැරි වග.
ඔහු පරිගණක විද්‍යාව පැත්තට ‍යොමු වී ඇමසන් හරහා ධන නිධානයක් මතු කර ගැනීම පිටුපස මේ මොහොත තීරණාත්මක වන්නේ එලෙසයි.

කව්ද මේ යසන්ත? 
අද ඔහු සිටින්නෙ කොහිද? මේ සිදුවීම සම්බන්ධව ඔහුගේ මතකය කෙලෙසද?


 ඔහු නමින් යසන්ත රාජකරුණානායක.
අන්තරජාලය හරහා මේ කතාව ලැව් ගින්නක් සේ පැතිර යද්දි, එය නෙත ගැටුනු යසන්ත

එය සම්බන්ධව තම මවිතය පල කරමින් twitter පනිවිඩයක් එකතු කරලා තිබුනා. ඇත්තටම ඔහුට ආ ඊමේල් සහ පනිවිඩ ගනන එක්වරම ඉහල යාම නිසා, යසන්ත තමන්ගේ ගිනුම හැක් වීමකට ලක් වුනාදයි මුලදී තැති ගත් බව පසුව පවසා සිටියා.
ජෙෆ්ට තරම් විචිත්‍රවත් ව මතක නැතත්, මේ සිදුවීම 1985 වසරේ සිදු වූ වග යසන්ත සඳහන් කරනවා.

යසන්ත මේ වන විට කැළිෆෝනියාවේ මීඩියා ටෙක් නැමති සමාගමක ඉහල දූරයක් දරන අතර, තාක්ශණික අංශයෙන් ඔහු සතුව තිබෙන පේටන්ට් බලපත්‍ර ගනන 54ක්.. තවත් 40ක් වෙනුවෙන් ඔහු ඉල්ලුම් කරලා තිබෙනවා..
ඔහු පල කර තිබෙන පර්‍යේශන නිබන්ධන ගනන 50ට වැඩියි.

ජෙෆ් මතක් කල පරිදිම, මෙතරම් බුද්ධියකට හිමිකම් කියුවත් යසන්ත කියන්නෙ ඉතා නිහතමනි පුද්ගලයෙක්. ඒ ගුණය ඔහු ලඟ තාම තියෙන බව පසක් වෙන්නෙ, මෙලෙසින් ඔහු වෙත ළඟා වෙන අන්තර්ජාතික අවධානයට ඔහු ප්‍රතිචාර දක්වන නිවුනු ස්වභාවයෙන්.

ඔහු ලැබු ගණිතමය හැකියාවෙ හිමිකරුවා, ලංකාවෙදි උසස් පෙළ වෙනුවෙන් ඔහුට ගණිතය ඉගැන්වූ ගුරුතුමා නිසා කියන්නට තරම් මුල මතක තියෙන යසන්ත, Amazon නිර්මාණය වෙනුවෙන් ඔහුගේ උසස් පෙල ගණිත ගුරුවරයාත් ඒ ආකාරයෙන් දායක් වී ඇති බව පවසනවා.
යසන්ත ඔහුගේ මුහුණු පොතේ මේ ගැන සඳහන් කරන්නෙ මෙහෙමයි.

"It’s the butterfly effect, and cause and effect is a chain. Everything we do could matter!"

යසන්ත, ඔබගේ බුද්ධියත්, නිහතමානීකමත් හරහා ඔබ ඔසවා තැබුවේ ලක් මෑනියන්ගේ අභිමානයයි! මෙල්බර්න් ගුවන් විදුලි තරංග මාලා හරහා මෙලෙසින් ඔබට අපගේ ප්‍රනාමය පුද කර සිටිමු!




The radio program aired on 30th September 2018 - Episode 33 (4 mins)


Sources
Main: The video segment
1. Yasantha's interview with ThePrint
2. Yasantha's facebook page
3. Yasantha's linkedin profile
4. Yasantha's twitter page


Tuesday, June 5, 2018

නවත්ත ගන්න බැරි ලෙඩේ - "Stopping Cue"

++ Episode 27 ++
අපේ කුඩා කාලයේ අපි හැමෝම වගේ බොහොම ආස කල දෙයක් තමයි කැසට් පට.. එහි ඇති පටය කරකැවෙද්දි කැසට් යන්ත්‍රය හරහා සංගීතය ඇසෙන්නට පටන් ගැනීම් අපිට ඒ කාලයේ ඉන්ද්‍රජාලයක් වගේ. මේ කැසට් පට ධාවනය වෙද්දී එහි අවසානයට මොහොතකට පෙර. පටියේ අවර්ණ කොටස එනවත් සමඟ කැසට් යන්ත්‍රය එය ධාවනය කිරීම නතර කරන්නේ කොහොම්ද කියලා මට ඒ කාලයේ පොඩි කුතුහලයක් තිබුනා.. ඊට ටික කාලෙකට පස්සෙ මම දැනගත්තා, කැසට් පටයේ අවසානය ඒ කියන්නේ End of Tape (EOT) දිහා බලා ගෙන එන්න EOT sensor එකක් විසින් එය සැනින් කැසtයන්තරයට දැනුම් දීම මඟින් ධාවන හිස ටේප් එකෙන් ඉවත් කර ගන්න බව. ඒ කියන්නෙ එතන වෙන්නේ අවසානය ගැන ඉඟියක් හිසට ලැබීම මගින් කැසට් පටය ධාවනය වීම අවසන් වෙන එක.

මට මේ සිද්දිය මතක් වුනේ මීට ටික දවසකට කලින් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්‍ය වරයෙක්, වසර පහක පමණ කාලයක් උපාංග ආශ්‍රිත තිර මඟින් මිනිස් මොළයට කරන බලපෑම ගැන කල අධ්‍යයනයක් සම්බන්ධව කල කෙටි දේශනයකට ඇහුම්කන් දීමෙන්. ඔහුගේ නම මහාචාර්‍ය ඇඩල් ඇල්ටර්. ඔහු මේ සම්බන්ධව ලියපු 'Irressitable' නම් වූ ග්‍රන්ථය ඉතා ජනප්‍රිය වුනා.


ඔහු හරි අපූරු දෙයක් සඳහන් කරනවා - Stopping Cue - ඒ කියන්නෙ යමක් නතර වෙන්න ඕනෙ කියල මොලයට එන සඤ්ඤාවක් - ඔහුට අනුව විසි වෙනි ශතවර්ෂය කියන්නෙ මෙවැනි ස්ටොප්පින් කිව් බහුලව තිබුන කාලයක්..අපි පත්තරයක් ගත්තත්, පත්තරය බලලා ඉවර වෙලා එන නවලා පැත්තකින් තියලා වෙන වැඩකට යනවා..පොතක් බලද්දි වුනත් එහෙමයි..එහි අන්තිම පිටුව කියවද්දි එහි නිමාව කියන මොළයට පනිවිඩය ගිහිල්ල ඉවරයි. චිත්‍රපටියක් වගේම ටෙලි නාට්‍යයක වුනත් එහි මේ සතියෙ කොටස අවසන් වෙලා අපි තව සතියක් අනෙක් කොටස එනකන් වෙන වැඩවල නිරත වෙනවා. ෆිල්ම් රීල් යොදාගත්තු කැමරාවක් ගත්තත්, අපි දන්න්වා ඡායාරූප ගන්න පුලුවන් උපරිම ගනන.. අදාල චායාරූප ගනන ගත් පසු, එය මුද්‍රනය වෙන තුරු අපි බලා ඉන්න පුරුදු වුනා.. කොටින්ම ඊමේල් වුනත් අපිට අලුතින් ආපු ඊමේල් කිහිපය බලලා අපි පරිගණකය වසා දමා වෙනත් කාර්‍යවල නිරත වෙන්න පුරුදු වෙලා තිබුනා.

නමුත් අද දවසේ තත්වය කොහොමද කියලා අවංකවම අපි හිතලා බලමුද?
විශේෂයෙන්ම සමාජ ජාලා හරහා අපි ඉදිරියේ නිමක් නැති විස්තර ඇල්ලක් ගලා යනවා හා සමානයි නේද?
පරිගනක තිරයක් හෝ ස්මාට් දුරකථන තිරයක් හරහා අපි ෆේස්බුක් වගේ පිටුවක පල්ලෙහාට scroll කරද්දි එය ඇත්තටම පතුලක් නැති (bottomless) ගමනක් වග අමතක වෙනවා. ෆේස්බුක් පමනක් නෙවෙයි, යූටියුබ් වැනි මාධ්‍යක පවා ඔබ දන්නවා ඔබ එක වීඩියෝවක් නරඹා අවසන් වෙන විට ඊට සමාන වෙනත් වීඩියෝ ඒ අසලින් ලස්සනට පෙල ගස්වලා තියෙනවා. මේ මහාචාර්‍යවරයා කියන්නේ මේ අලුත් ප්‍රවනතාවය නිසා වෙනදා අපේ මොලයට ගිය stopping cue එක දැන් නැතිවෙලා ගිහින් කියලා.. අවසන් ප්‍රතිපලය මිනිසුන් පැය ගනනක් ඒ වගේ තිරවලට ඇලි ගැලී විසීම.

මහාචාර්‍යවරයාට අනුව මේකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා. එකක් තමා තාක්ශනයේ ජංගම බව (mobility).. වෙනදා පරිගණකයෙන් ඉවතට යද්දි stopping cue එක ලැබුනත් දන් ඔහුගේ පරිගනකය ජංගම දුරකථනය නිසා එය ඔහු යන එන හැම තැනම ඔහු එක්කම ගමන් කරනවා. අනික් කාරනය මිනිස් මනසේ තියෙන ලක්ශණයක්, ඒ තමයි සමාජ ශීලි සත්ත්වයෙක් විදියට ලැබෙන ප්‍රතිචාර වලට තියෙන කැමැත්ත.. මේ සමාජ ජාලා පිටුපස සිටි සැලසුම් ශිපීන් මෙම දුර්වලතා ඉතා සූක්ශම විදියට භාවිතා කරන බව දැන් ප්‍රසිද්ධ රහසක්.

මින් අපිට ඉතා වැදගත් කාරනයක් සිහිපත් කරනවා.. මේ තාක්ශනික දියුනුවත් එක්ක වැඩි වැඩියෙන් මේ උපාංග අපි භාවිතා කරද්දි, අපි දැනුවත් නොවුනහොත් ඉන් අප්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වෙන්න පුලුවන් වග.

මම කියන්නෙ නැහැ අපි මෙම උපාංග භාවිතය අද සිට නතර කල යුතුයි කියලා.
එය ප්‍රායෝගික නැහැ. මේ තාක්ශණික දියුනුව නිසා අපිට ලැබෙන ප්‍රයෝජන අති මහත් පැහැදිලිවම. ඉන් නිසි පල ගන්න අතරේ අපිට සමබරතාවය පවත්වා ගන්නෙ කොහොමද්කියන එක තමයි වැදගත්.
එනිසා මම යෝජනා කරනවා අපි අමතක කරපු stopping cue එක වෙත නැවත යමු කියලා.. ඒ කියන්නෙ අපිම අපිට stopping cue පනවා ගන්න පුරුදු කර ගමු.
උදාහරනයක් විදියට දවසේ රාත්‍රී කෑම මේසෙදි පරිගනක තිර වාරනයක් පනවා ගන්න පුලුවන්. දිම්‍රිය මගියෙක් නම්, සමාජ ජාලා භාවිතය කෝච්චි ගමනට පමනක් සීමා කරන්න පුලුවන්, එහෙම වුනාම ගම්නාන්තයත් එක්ක නොදැණම අපට stopping cue එකක් එනවා.
මේ ගැන අපි හිතන්න ගත්තොත්, අපි නොදැනම අපේ stopping cue හදා ගන්නවා.
එක දිගට පරිගනක තිරයක් දිහා බලා ඉද්දි, ඔබට එක වරම ඔබෙන්ම ඉඟියක් ලැබෙයි, දැනට ඔය ඇති..දැන් පොඩ්ඩක් එලියට ගිහින් හිරු රැස්, සුලග විඳින්න ඇවිදින්න යන්න කියලා.. ඒ ඉඟියම ඔබට කියයි ඇවිදින්න යද්දි ෆෝන් එක නම් ඈතින්ම තියලා යන්න කියලා..

**********
අදාළ වීඩියෝව

Thursday, May 31, 2018

HACKED by Tamil Eelam Cyber Force

මැයි 18 ශ්‍රී ලංකාවට වැදගත් දිනයක් වූයේ දශක තුනක් පුරා පැවති යුද්ධය අවසන් වීමේ නමවන සංවත්සරය නිසා. මේ එක්ක එහි සැමරුම් සම්බන්ධව උතුරේ සහ දකුණේ දේශපාලනයය උණුසුම් වෙද්දි, සයිබර් අවකාශයටත් එහි කම්පන තරංග එකතු වුනා. බලාපොරොත්තු වූ විදියටම සමා ජාලා මේ ගැන සක්‍රිය වුනා. 

නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටි දෙයක් සිද්ධ වුනා සයිබර් අවකාශයේ,  ඒ තමයි රජයට සම්බන්ධ  වෙබ් අඩවි කිහිපයක් 'Tamil Eelam Cyber Forces' නම් කන්ඩායමක් විසින් හැක් කිරීමට ලක් කිරීම.


ඔවුන් විසින් හැක් කිරීමට ලක් කල අඩවි වල ප්‍රධාන පිටුව පුරා ඔවුන් තමන්ගේ පනිවිඩයක් අලවා තිබුනා, මෙයට සාමාන්‍යයෙන් කියන්නෙ website defacement කියලා. මේක අනුන්ගෙ බිත්ති, තාප්ප graffiti රූප වලින් අනවසරයෙන් කුරුටු ගා දමනවා  වගේ දෙයක්. එනිසා Electronic Graffiti එකක් වගේ දෙයක් කියලත් කියන්න පුලුවන් කෙනෙකුට.බොහෝ විට ලොව වටා ආගමික හෝ රජයේ අඩවිවලට මේ ප්‍රහාර එල්ල වෙනවා මොකද මේ අඩවි ඉලක්ක කරන අයගෙ අභිප්‍රාය දත්ත සොරකමක හෝ අඩවිය අකර්මන්‍ය කිරීමකට වඩා දේශපාලනික අරමුනක් හෝ පනිවිඩයක් දෙමින් ඉලක්කගත වෙබ් අඩවියට අසීරුතාවයකට පත් කිරීම. මෙලෙසින් විරෝධාකල්පමය ආකාරයෙන් කරන සයිබර් ප්‍රහාර වැටෙන්නෙ hacktivism වර්ගීකරනයට.

ඉහත සඳහන් කරපු රජයේ වෙබ් අඩවිවල, හැකර් කන්ඩායම අලවා තිබූ පනිවිඩයෙන් කියවුනේ, ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් යුද්ධය අවසානය වෙද්දි  ජන සංහාරයක් සිදු කර ඇති බවත්, දමිළ ජනතාව ඔවුන් දැනටත් පීඩාවට පත් කරන බවත්.   යුද්ධ සමයේ සිවිල් ජනතාව සිටි රෝහල් වලට පවා ප්‍රහාර එල්ල වූ බවත්, දමිළ කාන්තාවන් ලිංගික හිංසනයට පවා නිරන්තරයෙන් ලක් වුන බවත්  එම පනිවිඩයේ තව දුරටත් සඳහන් වුනා. මෙය ඔවුන් විසින් කරන ලද්දේ, උතුරු පළාත් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ජන සංහාර සතිය'ට ප්‍රචාරයක් ලබා ගන්නා අටියෙන් බව පැහැදිලියි. 
මෙලෙස හැක් කිරීමට ලක්වූ අඩවි ලෙස ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය, මඩකළපුව මහ නගර සභා වෙබ් අඩවිය, කොළඹ පිහිටි කේරල කොන්සියුලර් ජෙනරාල් වෙබ් අඩවිය ආදියයි. ඉතා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට ගොදුරු වූ බවට මුලින් වාර්තා වුනත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT ආයතනය) සඳහන් කලේ හානියට ලක් වුනේ වෙබ් අඩවි කිහිපයක් පමණක්  බවත් ඒ සියල්ල ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කල බවත්.

මෙවැනි ප්‍රහාර මීට පෙර වසරෙදිත් සිදු වුන නිසා මේ ගැන CERT සංසදය රජයේ ආයතනවලට කලින්ම අනතුරු හඟවා තිබුනා. ාප බොහෝ දුරට දකින දෙයක් තමයි රජයේ වෙබ් අඩවිවල ආරක්ශිත පැත්ත ගැන තියෙන අඩු සැලකිල්ල සහ තාක්ශණික පැත්තෙන් තියෙන ප්‍රාථමික බව. මෙයට බොහෝ දුරට හේතු වී තියෙන්නේ සයිබර් අවදානම (Cyber threats and risks) ගැන මුල් පුටු හොබවන අය තුල තියෙන නොසැලකිල්ල සහ අඩු අවබෝධය.උදාහරණයක් විදියට, ඉහත හැක් වීමට ලක් වූ එක් ප්‍රධාන වෙබ් අඩවියට එදිනම අදාල දෙපාර්තමේන්තුවේ විශය භාර ඇමතිවරයාගෙන් ඩේලි මිරර් පුවත්පතෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ එදින සිකුරාදා දිනයක් නිසාත්, තමා ඒ මොහොතේ අමාත්‍යංශයේ නොසිටිය නිසාත් ඒ ගැන කිසිවක් කල නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඊට පසු සතියේ සඳුදා දින සොයා බලන බවත්. ඉන් පසු ඩේලි මිරර් පුවත්පත CERT සංසදයෙන් මේ ගැන දැනුවත්දැයි අසන විට තමන්ට අමාත්‍යංශයෙන් තවමත් නිල දැනුම් දීමක් නොලැබුනු බවත් මාධ්‍ය සහ වෙනත් පාර්ශව වලින් මේ ගැන දැනුවත්වීම කර ඇතැයි ඔවුන් පවසා තිබෙනවා. මෙයින් ඔබට පැහැදිලි වෙනවා ඇති මෙවැනි රජයේ අඩවිවලට ප්‍රමානවත් ආරක්ශාවක් සපයාදීමට අවශ්‍ය මගපෙන්වීම සහ අනුග්‍රහය වෙනුවෙන් ඇති ජාතික මට්ටමේ අභියෝගය.

අද ලොව පුරා අපි කාටවත් ඇස් පනාපිට නොපෙනුත් බලගතු රටවල් මූලික වී එකිනෙකා අතර දැවැන්ත සයිබර් යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් අතිශය විශාල මුදලක් වැය කරනවා. අනාගතයේ ආයුධවලින් කරන සටනකට වඩා විශාල හානියක් සතුරාට කිරීමට හැක්කේ සයිබර් ප්‍රහාර මගින් බව ඔවුන් විශ්වාස කරනවා. ලංකාව වැනි පරිධියේ රටකට එවැනි රාජ්‍ය විසින් මෙහෙයවන ප්‍රහාර (Nation Sponsored Cyber Attacks) එල්ල නොවුනත්, ඊට වඩා සාපේක්ශව ඉතා අඩු මට්ටමේ මෙවැනි ප්‍රහාරයකටවත් අවශ්‍ය මූලික සූදානමක් නැති කම ඇත්තටම අතිශය අවදානම් තත්ත්වයක්. ඒ ගැන බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වසර කිහිපයක සිට ඉතා සාධනීය පරිචයක් ලබමින් තිබෙන බවත් මෙහිදී සඳහන් කල යුතුයි. උදාහරණයක් විදියට, පසුගිය නොවැම්බර් 28 සහ 29 යන දිනයන්හි ශ්‍රී ලංකා සංඥා බලකාය තම 75 වන සංවත්සරය සැමරුවේ සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින්.

එහිදී හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේහි සංඥා සම්බන්ධතා, විද්‍යුත් සංග්‍රාමික කටයුතු, තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂාව යන අංග ඔස්සේ සංඥා බලකාය වෙත පැවරෙන වඩාත් වූ භාරදුර වගකීම ගෙනහැර දක්වා තිබෙනවා. ඔහු සඳහන් කලේ ගොඩබිම, මුහුද සහ ගුවන ආවරණය කරන පැරණි යුධ කලාව අතික්‍රමනය කරමින් නවීන යුධවේද සංකල්පය තුලට පස්වන මානය නැතහොත් 5th dimension of war වශයෙන් සයිබර් ක්‍රියාකාරකම් එක් වී ඇති වකවානුවක තාක්ශණික දියුනු හමුදාවන්හි ක්‍රියාකාරිත්වය ජාතික ආරක්ශාව වෙනුවෙන් දැනටමත් යොදා ගනිමින් සිටින වගයි.

මූලාශ්‍ර
Tourism Ministry website hacked by Tamil Eelam Cyber Force
ශ්‍රී ලංකා සංඥා බලකාය සයිබර් තර්ජනයන්ට එරෙහිව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණට - යුද්ධ හමුදාධිපති පවසයි


Saturday, May 19, 2018

"කාගෙ කාගෙත් ෆයිල් මං ගාව, ඔයාල ෆේස්බුක් හිටියත්, නැතත්!" - මාක් සකර්බර්ග්

Episode 25 - Aired on 3ZZZ Melbourne Radio on 20th May 2018Duration: 7 mins

Facebook එකේ තියෙන්නෙ Facebook ඉන්න අයගෙ විස්තර විතරද?


ඔබ Facebook කවදාවත් භාවිතා නොකරත්, ඔබ ගැනත් ෆයිල් එකක් බොහෝ විට Facebook පද්ධතියෙ තියෙනවා කියලා මම කිව්වොත්, ඔබ බොහෝ විට එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් එය සත්‍යයක්.

Facebook ආයතනය මේ ගැන ප්‍රසිද්ධියේ පිලි නොගෙන සිටියත්, වසර කිහිපයක සිට මේ ගැන Privacy ක්ශේෂ්ත්‍රයේ විශේෂඤයන් සැක පහල කරා. පසුගිය අප්‍රේල් මාසෙ, ඇමෙරිකාවෙ කොන්ගරස් මන්ඩලය ඉදිරියේ දින දෙකක් පුරා මාක් සකර්බර්ග් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වෙද්දී, මේ Shadow Profiles සම්බන්ධ කාරනයත් මතු වුනා. එතනදි එය ගැන නොදන්නා බව පෙන්වීමට ඔහු උත්සාහ කරත්, නැවත නැවත ප්‍රශ්න කිරීමේදී ඔහු එයට කෙලින් පිලිතුරක් නොදී ප්‍රශ්නය මග හැරියා.

මෙම කොන්ග්‍රස් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කාරනා දෙකක් ලෝකය දැන ගත්තා.
පලවෙනි එක තමයි, මේ සම්බන්ධ නීති සම්පාදනය කරන් ආයතනවල මුල් පුටු හොබවන මේ කොන්ග්‍රස් සභිකයන් අන්තරජාල සම්බන්ධව කෙතරම් අඩු දැනුමක සිටියාද කියන කාරනය. මාක්ට වැඩි වේලාවක් අන්තර්ජාලය සම්බන්ධ පාඩම් කියා දෙන්නට සිදු වීම ඒ දිනවල, සයිබර් අවකාශයේ හාස්‍යයට පවා ලක් වුනා. ඇත්තටම ප්‍රයෝජනවත් ප්‍රශ්න ඇසුවේ කිහිප දෙනයි.
ඉන් කෙනෙක් බෙන් ලුජාන්. ඔහු ඇසුවෙ ඉහත සඳහන් කරපු Shadow Profiles සම්බන්ධ ප්‍රශ්නය. එය තමයි මම සඳහන් කරපු දෙවැනි කාරනය.

මොකක්ද මේ Shadow Profiles  කියන්නෙ?

Facebook ගිනුමක් නැති අයගේ විස්තර කොහොමද Facebook එකේ තියෙන්නෙ?

මෙය තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා කෙටියෙන් පැහැදිලි කර ගන්න අපි ාන්තර්ජාලයේ සැරිසරද්දි ඒ වෙබ් අඩවි හරහා අපට පෙන්වන Ads එතනට එන විදිය තේරුම් ගන්න. මෙය වෙන්නෙ අපි වෙබ් අඩවියක් බලද්දි හෝ ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක් හරහා Search කරද්දි, තිරය පිටුපස cookie  කියලා file එකක් නිර්මානය වීමෙන් - මෙහි තියෙන්නෙ අපි ගැන, අපේ තෝරා ගැනීම් (preferences) ගැන විස්තර ටිකක්.. මේක තියෙන්නෙ අපේම හොඳට. මොකද අපි යම් පිටුවක් බලද්දි සිංහල තෝරා ගත්තොත් භාශාව විදියට, පස්සෙ දවසක ඒ වෙබ් අඩවියට යනකොට භාශාව නැවත තෝරන්න වෙන්නෙ නැතිව සිංහලම තියෙනවා නම් ඒක අපිට පහසුවක්.

Cookies තේරෙන සිංහලෙන්..

උදාහරනයක් විදියට ඔබේ ප්‍රියතම ආපන ශාලාවට වගේ යනකොට, එහි ඉන්න සේවකයා ඔබ දුටු සැනින් ඔබ සාමාන්‍යයෙන් ප්‍රිය කරන ජනේලේ ගාව තිබෙන මේසය ලෑස්ති කරලා, ඇන්වුම් කරන්නත් කලින් ඔබ කවදත් බොන අඩු සීනි තේ එක ඔබ වෙනුවෙන් සූදානම් කරනවා කියා සිතන්න. මෙයට අපිට කියන්න පුලුවන්න customised experience කියලා.
cookies  වලින් කරන්නෙත් අන්න ඒ වගේ දෙයක්. ඔබ එම අඩවියට එනකොට, එම කුකී එක මගින් අඩවියට මතක් කරනවා ඔබේ කලින් වතාවල තෝරා ගැනීම්.

මේ cookies වලට ඇහැ ගහ ගෙන ඉන්නෙ වෙලඳ දැන්වීම මෙහෙයවන අඩවි (Advertisers). මොකද මේ තියෙන විස්තර ඔවුන්ට ඉතා වැදගත්. ඔවුන් වෙබ් අඩවි වල ඉඳගෙන, එම cookies ඔබගේ පරිගනකයේ ගබ්ඩා නොකර තමන්ගේ ගාව තියා ගන්නවා. මේවට අපි කියන්නෙ Third Party Cookies කියලා. මේකෙ වාසිය තමයි ඔවුන්ට පුලුවන් ඔබ වෙනත් වෙබ් අඩවියකට ගියත්, ඔවුන් ඒ වෙබ් අඩවියෙත් ඇඩ්ස් පෙන්වනවානම්, ඔබව අඳුරගෙන ඔබට අදාලම වෙලඳ දැන්වීම් පමණක් ඉදිරිපත් කරන්න. මේකට අපි කියන්නෙ Re-targeting with relevant ads කියලා.

කලින් උදාහරනයෙන්ම කියනවා නම්, අපි කැමති ආපන ශාලාවේ ඉන්නවා කියලා හිතන්න සිසිල් බීම දෙන කෙනෙක්.. දැන් එයා මේ ආපන ශාලාවෙ කෙනෙක් නොවෙයි. එයා  සිසිල් බීම සමාගමේ සේවකයෙක්.. නමුත් එයා දන්නවා ඔබ කැමති බීම වර්ගය. එයා ඒ වග සිසිල් බීම සමාගමට දන්වනවා. දැන් ඔබ මේ ආපන ශාලවට කිසිම සමබන්ධයක් නැති ලී බඩු කඩයකට ගියා කියලා සිතන්න ටිකක් අව්ව තියෙන දවසක. ඒ ලී බඩු සමාගම ඇතුලෙ තියෙන සිසිල් බීම් කඩේ ඔබ කැමතිම බීම වර්ගය ඔබට හොඳට පේන්න තියල තියෙනවා, ඔවුන් දන්නවා ඔබ අනිවාර්‍යෙන්ම එය මිලදී ගන්නවා කියලා. මෙය ඔවුන් කරේ ඔබේ කැමැත්ත ගැන අර ආපන ශාලාව තුලදි ලබා ගත් තොරතුරු, ඉන් පිටතදිත් යොදා ගැනීම මගින්.

දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි සමහර වෙබ් අඩවි වලට පලවෙනි පාරට ගියත්, එහි පැත්තකින් ඔබට අදාලම ඇඩ්ස් පේන්න පටන් ගන්නෙ කියලා. තිරය පිටුපස Third Party Cookies ඔබව follow කිරීමක් කරනවා කියලා පැහැදිලියි.

දැන් අපි නැවත Facebook පැත්තට හැරෙමු.

ඔබ Facebook භාවිතයක් නැහැ, නමුත් ඔබේ මිතුරෙක් Facebook ගිනුමක් විව්ෘත කරනවා. Facebook එකට ඕනෙ පුලුවන් තරම් එයාට යාලුවො සම්බන්ධ කරලා දෙන්න., ඉතින් Facebook එකෙන් එයාට කියනවා අපිට දෙන්න ඔයාගෙ යාලුවො හැමෝගෙම email addresses, phone numbers එහෙම. ‍යාලුවා කැමැත්ත දෙනවා.
 දැන් යාලුවගේ ෆෝන් එකේ තියෙනවා ඔබේ නොම්බරේ සහ ඊමේල් ඇඩ්‍රස් එක. Facebook එක කරන්නෙ ඒ විස්තර ටිකත් එක්ක කාටවත් නොකියා රහසිගත තැනක හදනවා ඔබට profile එකක්..ඒකට තමයි ඔබගේ shadow profile එක කියන්නෙ. මේකට ඔබේ නොවන ඔබේම ගිනුමක් කියා කියන්නත් පුලුවන් :)

ඇයි ඔබට නොකියා ඔවුන් මේ Profile එක හදලා තියා ගන්නෙ?
හිතන්න හෙට දවසේ ඔබත් Facebook ගිනුමක් විව්ෘත කරනවා කියලා. දැන් ඔවුන් ඒ වෙනකොටත් ඔබට හදලා තිබුනු shadow profile එක හරහා ඔබ දෙනවට අමතරව සෑහෙන විස්තර දැනටමත් දන්නවා, විශේෂයෙන්ම Facebook තියෙන ඔබේ අනික් යාලුවො කව්ද ආදිය. එනිසා ඔවුන්ට පුලුවන් ඔබව සැනින් ඔවුන්ට සමබන්ධ කරවන්න.
යාලුවො විතරක් නෙවෙයි, අර මම ඉහත කියපු cookies සහ වෙනත් විවිධ ක්‍රම මගින්, ඔබ ෆේබුක් වලට එන්නත් කලින් ඔබ ගැන සෑහෙන විස්තර shadow profile වල ගබඩා වෙලා තියෙන්නෙ.

මෙය පැහැදිලිවම ඔවුන් කරන්නෙ ඉතාම කාර්‍යක්ශමව මිනිසුන් එකිනෙකා සමග ජාල ගත කරවන්න. Facebook ඉන්න අයගෙ විස්තර Facebook තිබෙන එකේ ගැටලුවක් නැහැ මොකද අපි කැමැත්තෙන් ඒ දත්ත බෙදා ගන්න නිසා. නමුත් Facebook ගිනුම් නැති අයගෙ විස්තර ඔවුන් ගාව තියා ගන්නෙ මොන එකඟතාවයක් යටතෙද? මේ තමයි Facebook එක ලොකු අසීරුතාවයකට ලක් කරපු ගැටලුව.



අපිට කරන්න පුලුවන් දෙයක් තියෙද මේකට?

දැන් ඔබට ගැටලුවක් එනවා ඇති ඔබේ පැත්තෙන් යමක් තියෙද මේ සමබන්ධව කරන්න කියලා. cookies හරහා ඔබේ විස්තර වෙබ් අඩවියෙන් අඩවියට යන එකේ ලොකු ගැටලුවක් නැහැ.. එය හැම වෙබ් අඩවියකම වගේ වෙනවා. නමුත් එලෙසින් තම්න්ට targeted ads එනවට අකමැති අයට පුලුවන් බ්‍රව්සර් එකේ third partry cookies නවත්තන්න බොහොම පහසුවෙන්. ඒ එක්කම Ad-blocker කියලා බ්‍රව්සර් එකට එකතු කරගන්න පුලුවන් add-on extensions  තියනව.

Facebook පැත්තෙන් ඔවුන් දැන් සෑහෙන උත්සාහයක් ගන්නවා කියලා පේනවා ඒ අයගෙ පැත්තෙන් වුන අඩු පාඩු හදා ගන්න. ඒ සමගම අපි දකිනවා අලුත් නීති වලින් Facebook පමනක් නොවෙයි, අනෙක් සමාජ ජාල සහ වෙබ් අඩවිත් නියාමනයකට ලක් වෙනවා. උදාහරනයක් විදියට මැයි 25දා යුරෝපා සංගමය General Data Protection Regulations බලාත්මක කරනවා.

ඔබේ පැත්තෙන් කරන්න පුලුවන් වැදගත්ම කාරනය මේ ගැන දැනුවත් වෙන එක.
ඒ දැනුවත් වීම තුලින් තමයි එම හානිකර තත්වයන් මහ හැර, සමාජ ජාල ඇතුලු අනිකුත් සයිබර් සේවාවලින් ප්‍රයෝජන ගත හැකි වන්නේ.

Wednesday, May 16, 2018

ක්‍රිප්ටො මයිනින් තේරෙන සිංහලෙන්..

ලොව වටා දහස් ගණනක් වෙබ් අඩවි crypto-mining වයිරසයකට ගොදුරු වුනා බ්‍රව්සලවුඩ් නම් වැඩසටහනක් නිසා. ඔස්ට්‍රේලියාව ඇතුලුව මෙලෙස හානිඅය්ට ලක් වූ වෙබ් අඩවි ගැනන් 4,275 ක්.

දැන ඔබට ප්‍රශ්නයක් එනවා ඇති මොනවද මේ crypto-mining කියන්නෙ කියලා.. දැන් දැන් ඉතා වේගයෙන් පැතිර යන මෙම හානිකර malware එක ගැන දැන ගැනීම ඉතාමත් වැදගත්.



නිකමට හිතන්න ඔබ ගෙදර හොංදට යතුරු දාලා යනවා නිවාඩුවට ලංකාවට.
ඔබ ලංකාවට ගිහින් එද්දි කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔබට සතුටුයි. ඔබ ගෙදර නොසිටපු කාලෙට අදාලව දැන් ඔබට එනවා ගෑස්, වතුර සහ විදුලිය බිල්පත්. ඒවාට අනුව පැහැදිලි වෙනවා ඔබේ ගෙදර බඩු කිසිවක් හොරකම් නොකරත් කිසිවෙකු විසින් ඔබගේ සම්පත් පරිහරණය කර ඇති වග.
දැන් ඔබට හිතෙනවා හොරකමක් කියන්නෙතට අසු වෙන ද්‍රව්‍ය හෝ මුදල් නැතිවීමම නොවන වග. ඔබගේ ජලය, විදුලිය, ගෑස් වැනි දේත් කෙනෙකුට හොරකම් කරන්න පුලුවන්.

crypto-mining කියන්නෙත් ඒ වගේ දෙයක්. එය පරිගනකයට හෝ ස්මාට් දුරකථනයකට ඇතුලු වුනාම එය සොරකම් කරන්නෙ දත්ත නෙවෙයි.. පද්ධතියෙ සම්පත් ඒ කියන්නෙ මෙහෙයුම් පද්ධතියට අදාල memory එක සහ මෙහෙයුම් ශක්තිය, අපි එයට කියනවා processing power එක කියලා.. ඔබට ඔබේ වැඩක් කරගන්නත් බැරි තරමට මින් පද්ධතිය කාර්‍ය බහුල වෙනවා..ස්මාට් දුරකථනයක් නම් එය බලා සිටිද්දී රත්වී ඉතා ඉක්මනින් බැටරි විසර්ජනය වෙනවා.


මෙලෙස සම්පත් හොරා ගැනීමෙන් හැකර්ට වෙන වාසිය කුමක්ද?
ඔබ බොහෝ විට අසා ඇති බිට් කොයින් ගැන, බිට් කොයින් කියන්න්ෙ Crypto Currency එකක් ඒ කියන්නෙ නිර්නාමික විදු‍යුත් මුදල් ඒකකයක්.. බිට් කොයින් වගේ තවත් එවනි මුදල් ඒකක් දැන් බිහි වෙනවා.
එහි ඩොලර් අගය දැන් ඉතා ශීග්‍රයෙන් ඉහල යනවා.. මේ හේතුව නිසා හැකර්ලා ඉතා විශාල ප්‍රමාන්‍යක් දැන් යොමු වෙලා තියෙනවා මෙම මුදල් ඒකකය mine කරන්න ඒ කියන්නෙ කැනීම් කටයුතු කරන්න.
ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණැය වෙන ආකාරය cryptography හා සම්බන්ධ ඉතා සන්කීර්ණ තාක්ශනික කාරනාවක් වුනත් අපිට එය සරලව තේරුම් ගන්න පුලුවන් මෙන්න මේ විදියට.

අලුතෙන් හැදෙන හැම බිට්කොයින් ඉතාම සුලු කොටසක් දිනා ගන්න ඉතා සංකීර්ණ ගණිතමය ගැටලුවක් විසඳීම වෙනුවෙන් තරඟයක් යනවා - මේ තරඟයේ ඉන්න අයට කියන්නෙ මයිනර්ස්ලා කියලා.. පිලිතුර කලින්ම ගන්න කෙනාට අර මුදල් ලැබෙනවා තෑග්ගක් විදියට. මේක ගණිත ගැටලුවක් කිව්වට එය විසඳන්න ඕනෙ බුද්ධිය නෙවෙයි.,. අතිශය වේගයෙන් විවිධ අගයන් අනුමාන කරමින් කරන කාලය සමග කරන සටනක්.. එනිසා පිලිතුර හැමෝටම හොයාගන්න පුලුවන් - එය මුලින්ම සොයා ගැනීම තමයි මෙතන ජ‍යග්‍රහනය තීරනය කරන්නෙ. එයට අතිශය විශාල මෙහෙයුම් ශක්තියක් ඕනෙ.. ඒ සඳහා ඔවුන් සුපිරි පරිගනක භාවිතා වෙනවා.. තරඟය තියුනු වෙද්දි එයත් දැන් මදි වෙලා ඔවුන් බලනවා අනුන්ගෙ පරිගණක සහ ස්මාට් දුරකථන පද්ධතිවල ශක්තියත් හොරකම් කරගෙන මේ තරඟය ජය ගන්න අමතර ජවයක් ගන්න.
දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි මේ උවදුර වැඩි වශයෙන් පැතිරෙන්නෙ පටන් අරන් තියෙන්නෙ කියලා..

මම මුලදිම සඳහන් කල browsealoud වැඩසටහන හදලා තිබුනෙ වයසක හෝ ද්ෘශ්‍යාබාධ තියෙන අයට පරිගනක තිරයක් භාවිතා කරන්න හදපු අකුරු ශබ්දය බවට පෙරලන වැඩසටහනක්. ඒ වගේ අයව ගොදුරු කර ගන්න පහසු‍යි මොකඩද ඒ අය තාක්ශනික පැත්තෙන් ලොකු දැනුමක් තියෙන අය නෙවෙයි.. බොහෝ විට පද්ධතියෙ Anti-virus වැඩසටහන හෝ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන එහෙම නැත්නම් updateවත් කරලා නැති වෙන්න පුලුවන් බොහෝ දුරට. එනිසා ඔවුන් මේ ප්‍රහාරය දැනුවත්වම එල්ල කලේ ඉතාම අසරණ කන්ඩායමකට.

අපගේ දත්ත විතරක් නෙවෙයි සම්පත් පවා සොරකම් කරන තැනකට ඩිජිටල් සොරුන් දියුනු වෙද්දි, අපි මතක තියා ගන්න ඕනෙ අඩු තරමෙ අපගේ මෙහෙයුම් පද්ධති සහ anti-virus පද්ධති යාවත්කාලීන් කරලා තියා ගන්න. ඒ සමගම මේ ව්‍යසන ගැන්දැනුවත් වී සිටීමෙනුත් හැකර්ස්ලාගේ පහසු ගොදුරු වීමෙන් වැලකී සිටිය හැකි වෙනවා..