Tuesday, June 5, 2018

නවත්ත ගන්න බැරි ලෙඩේ - "Stopping Cue"

++ Episode 27 ++
අපේ කුඩා කාලයේ අපි හැමෝම වගේ බොහොම ආස කල දෙයක් තමයි කැසට් පට.. එහි ඇති පටය කරකැවෙද්දි කැසට් යන්ත්‍රය හරහා සංගීතය ඇසෙන්නට පටන් ගැනීම් අපිට ඒ කාලයේ ඉන්ද්‍රජාලයක් වගේ. මේ කැසට් පට ධාවනය වෙද්දී එහි අවසානයට මොහොතකට පෙර. පටියේ අවර්ණ කොටස එනවත් සමඟ කැසට් යන්ත්‍රය එය ධාවනය කිරීම නතර කරන්නේ කොහොම්ද කියලා මට ඒ කාලයේ පොඩි කුතුහලයක් තිබුනා.. ඊට ටික කාලෙකට පස්සෙ මම දැනගත්තා, කැසට් පටයේ අවසානය ඒ කියන්නේ End of Tape (EOT) දිහා බලා ගෙන එන්න EOT sensor එකක් විසින් එය සැනින් කැසtයන්තරයට දැනුම් දීම මඟින් ධාවන හිස ටේප් එකෙන් ඉවත් කර ගන්න බව. ඒ කියන්නෙ එතන වෙන්නේ අවසානය ගැන ඉඟියක් හිසට ලැබීම මගින් කැසට් පටය ධාවනය වීම අවසන් වෙන එක.

මට මේ සිද්දිය මතක් වුනේ මීට ටික දවසකට කලින් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්‍ය වරයෙක්, වසර පහක පමණ කාලයක් උපාංග ආශ්‍රිත තිර මඟින් මිනිස් මොළයට කරන බලපෑම ගැන කල අධ්‍යයනයක් සම්බන්ධව කල කෙටි දේශනයකට ඇහුම්කන් දීමෙන්. ඔහුගේ නම මහාචාර්‍ය ඇඩල් ඇල්ටර්. ඔහු මේ සම්බන්ධව ලියපු 'Irressitable' නම් වූ ග්‍රන්ථය ඉතා ජනප්‍රිය වුනා.


ඔහු හරි අපූරු දෙයක් සඳහන් කරනවා - Stopping Cue - ඒ කියන්නෙ යමක් නතර වෙන්න ඕනෙ කියල මොලයට එන සඤ්ඤාවක් - ඔහුට අනුව විසි වෙනි ශතවර්ෂය කියන්නෙ මෙවැනි ස්ටොප්පින් කිව් බහුලව තිබුන කාලයක්..අපි පත්තරයක් ගත්තත්, පත්තරය බලලා ඉවර වෙලා එන නවලා පැත්තකින් තියලා වෙන වැඩකට යනවා..පොතක් බලද්දි වුනත් එහෙමයි..එහි අන්තිම පිටුව කියවද්දි එහි නිමාව කියන මොළයට පනිවිඩය ගිහිල්ල ඉවරයි. චිත්‍රපටියක් වගේම ටෙලි නාට්‍යයක වුනත් එහි මේ සතියෙ කොටස අවසන් වෙලා අපි තව සතියක් අනෙක් කොටස එනකන් වෙන වැඩවල නිරත වෙනවා. ෆිල්ම් රීල් යොදාගත්තු කැමරාවක් ගත්තත්, අපි දන්න්වා ඡායාරූප ගන්න පුලුවන් උපරිම ගනන.. අදාල චායාරූප ගනන ගත් පසු, එය මුද්‍රනය වෙන තුරු අපි බලා ඉන්න පුරුදු වුනා.. කොටින්ම ඊමේල් වුනත් අපිට අලුතින් ආපු ඊමේල් කිහිපය බලලා අපි පරිගණකය වසා දමා වෙනත් කාර්‍යවල නිරත වෙන්න පුරුදු වෙලා තිබුනා.

නමුත් අද දවසේ තත්වය කොහොමද කියලා අවංකවම අපි හිතලා බලමුද?
විශේෂයෙන්ම සමාජ ජාලා හරහා අපි ඉදිරියේ නිමක් නැති විස්තර ඇල්ලක් ගලා යනවා හා සමානයි නේද?
පරිගනක තිරයක් හෝ ස්මාට් දුරකථන තිරයක් හරහා අපි ෆේස්බුක් වගේ පිටුවක පල්ලෙහාට scroll කරද්දි එය ඇත්තටම පතුලක් නැති (bottomless) ගමනක් වග අමතක වෙනවා. ෆේස්බුක් පමනක් නෙවෙයි, යූටියුබ් වැනි මාධ්‍යක පවා ඔබ දන්නවා ඔබ එක වීඩියෝවක් නරඹා අවසන් වෙන විට ඊට සමාන වෙනත් වීඩියෝ ඒ අසලින් ලස්සනට පෙල ගස්වලා තියෙනවා. මේ මහාචාර්‍යවරයා කියන්නේ මේ අලුත් ප්‍රවනතාවය නිසා වෙනදා අපේ මොලයට ගිය stopping cue එක දැන් නැතිවෙලා ගිහින් කියලා.. අවසන් ප්‍රතිපලය මිනිසුන් පැය ගනනක් ඒ වගේ තිරවලට ඇලි ගැලී විසීම.

මහාචාර්‍යවරයාට අනුව මේකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා. එකක් තමා තාක්ශනයේ ජංගම බව (mobility).. වෙනදා පරිගණකයෙන් ඉවතට යද්දි stopping cue එක ලැබුනත් දන් ඔහුගේ පරිගනකය ජංගම දුරකථනය නිසා එය ඔහු යන එන හැම තැනම ඔහු එක්කම ගමන් කරනවා. අනික් කාරනය මිනිස් මනසේ තියෙන ලක්ශණයක්, ඒ තමයි සමාජ ශීලි සත්ත්වයෙක් විදියට ලැබෙන ප්‍රතිචාර වලට තියෙන කැමැත්ත.. මේ සමාජ ජාලා පිටුපස සිටි සැලසුම් ශිපීන් මෙම දුර්වලතා ඉතා සූක්ශම විදියට භාවිතා කරන බව දැන් ප්‍රසිද්ධ රහසක්.

මින් අපිට ඉතා වැදගත් කාරනයක් සිහිපත් කරනවා.. මේ තාක්ශනික දියුනුවත් එක්ක වැඩි වැඩියෙන් මේ උපාංග අපි භාවිතා කරද්දි, අපි දැනුවත් නොවුනහොත් ඉන් අප්ගේ මානසික සෞඛ්‍යයට විශාල හානියක් වෙන්න පුලුවන් වග.

මම කියන්නෙ නැහැ අපි මෙම උපාංග භාවිතය අද සිට නතර කල යුතුයි කියලා.
එය ප්‍රායෝගික නැහැ. මේ තාක්ශණික දියුනුව නිසා අපිට ලැබෙන ප්‍රයෝජන අති මහත් පැහැදිලිවම. ඉන් නිසි පල ගන්න අතරේ අපිට සමබරතාවය පවත්වා ගන්නෙ කොහොමද්කියන එක තමයි වැදගත්.
එනිසා මම යෝජනා කරනවා අපි අමතක කරපු stopping cue එක වෙත නැවත යමු කියලා.. ඒ කියන්නෙ අපිම අපිට stopping cue පනවා ගන්න පුරුදු කර ගමු.
උදාහරනයක් විදියට දවසේ රාත්‍රී කෑම මේසෙදි පරිගනක තිර වාරනයක් පනවා ගන්න පුලුවන්. දිම්‍රිය මගියෙක් නම්, සමාජ ජාලා භාවිතය කෝච්චි ගමනට පමනක් සීමා කරන්න පුලුවන්, එහෙම වුනාම ගම්නාන්තයත් එක්ක නොදැණම අපට stopping cue එකක් එනවා.
මේ ගැන අපි හිතන්න ගත්තොත්, අපි නොදැනම අපේ stopping cue හදා ගන්නවා.
එක දිගට පරිගනක තිරයක් දිහා බලා ඉද්දි, ඔබට එක වරම ඔබෙන්ම ඉඟියක් ලැබෙයි, දැනට ඔය ඇති..දැන් පොඩ්ඩක් එලියට ගිහින් හිරු රැස්, සුලග විඳින්න ඇවිදින්න යන්න කියලා.. ඒ ඉඟියම ඔබට කියයි ඇවිදින්න යද්දි ෆෝන් එක නම් ඈතින්ම තියලා යන්න කියලා..

**********
අදාළ වීඩියෝව

Thursday, May 31, 2018

HACKED by Tamil Eelam Cyber Force

මැයි 18 ශ්‍රී ලංකාවට වැදගත් දිනයක් වූයේ දශක තුනක් පුරා පැවති යුද්ධය අවසන් වීමේ නමවන සංවත්සරය නිසා. මේ එක්ක එහි සැමරුම් සම්බන්ධව උතුරේ සහ දකුණේ දේශපාලනයය උණුසුම් වෙද්දි, සයිබර් අවකාශයටත් එහි කම්පන තරංග එකතු වුනා. බලාපොරොත්තු වූ විදියටම සමා ජාලා මේ ගැන සක්‍රිය වුනා. 

නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටි දෙයක් සිද්ධ වුනා සයිබර් අවකාශයේ,  ඒ තමයි රජයට සම්බන්ධ  වෙබ් අඩවි කිහිපයක් 'Tamil Eelam Cyber Forces' නම් කන්ඩායමක් විසින් හැක් කිරීමට ලක් කිරීම.


ඔවුන් විසින් හැක් කිරීමට ලක් කල අඩවි වල ප්‍රධාන පිටුව පුරා ඔවුන් තමන්ගේ පනිවිඩයක් අලවා තිබුනා, මෙයට සාමාන්‍යයෙන් කියන්නෙ website defacement කියලා. මේක අනුන්ගෙ බිත්ති, තාප්ප graffiti රූප වලින් අනවසරයෙන් කුරුටු ගා දමනවා  වගේ දෙයක්. එනිසා Electronic Graffiti එකක් වගේ දෙයක් කියලත් කියන්න පුලුවන් කෙනෙකුට.බොහෝ විට ලොව වටා ආගමික හෝ රජයේ අඩවිවලට මේ ප්‍රහාර එල්ල වෙනවා මොකද මේ අඩවි ඉලක්ක කරන අයගෙ අභිප්‍රාය දත්ත සොරකමක හෝ අඩවිය අකර්මන්‍ය කිරීමකට වඩා දේශපාලනික අරමුනක් හෝ පනිවිඩයක් දෙමින් ඉලක්කගත වෙබ් අඩවියට අසීරුතාවයකට පත් කිරීම. මෙලෙසින් විරෝධාකල්පමය ආකාරයෙන් කරන සයිබර් ප්‍රහාර වැටෙන්නෙ hacktivism වර්ගීකරනයට.

ඉහත සඳහන් කරපු රජයේ වෙබ් අඩවිවල, හැකර් කන්ඩායම අලවා තිබූ පනිවිඩයෙන් කියවුනේ, ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් යුද්ධය අවසානය වෙද්දි  ජන සංහාරයක් සිදු කර ඇති බවත්, දමිළ ජනතාව ඔවුන් දැනටත් පීඩාවට පත් කරන බවත්.   යුද්ධ සමයේ සිවිල් ජනතාව සිටි රෝහල් වලට පවා ප්‍රහාර එල්ල වූ බවත්, දමිළ කාන්තාවන් ලිංගික හිංසනයට පවා නිරන්තරයෙන් ලක් වුන බවත්  එම පනිවිඩයේ තව දුරටත් සඳහන් වුනා. මෙය ඔවුන් විසින් කරන ලද්දේ, උතුරු පළාත් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ජන සංහාර සතිය'ට ප්‍රචාරයක් ලබා ගන්නා අටියෙන් බව පැහැදිලියි. 
මෙලෙස හැක් කිරීමට ලක්වූ අඩවි ලෙස ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය, මඩකළපුව මහ නගර සභා වෙබ් අඩවිය, කොළඹ පිහිටි කේරල කොන්සියුලර් ජෙනරාල් වෙබ් අඩවිය ආදියයි. ඉතා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට ගොදුරු වූ බවට මුලින් වාර්තා වුනත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT ආයතනය) සඳහන් කලේ හානියට ලක් වුනේ වෙබ් අඩවි කිහිපයක් පමණක්  බවත් ඒ සියල්ල ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කල බවත්.

මෙවැනි ප්‍රහාර මීට පෙර වසරෙදිත් සිදු වුන නිසා මේ ගැන CERT සංසදය රජයේ ආයතනවලට කලින්ම අනතුරු හඟවා තිබුනා. ාප බොහෝ දුරට දකින දෙයක් තමයි රජයේ වෙබ් අඩවිවල ආරක්ශිත පැත්ත ගැන තියෙන අඩු සැලකිල්ල සහ තාක්ශණික පැත්තෙන් තියෙන ප්‍රාථමික බව. මෙයට බොහෝ දුරට හේතු වී තියෙන්නේ සයිබර් අවදානම (Cyber threats and risks) ගැන මුල් පුටු හොබවන අය තුල තියෙන නොසැලකිල්ල සහ අඩු අවබෝධය.උදාහරණයක් විදියට, ඉහත හැක් වීමට ලක් වූ එක් ප්‍රධාන වෙබ් අඩවියට එදිනම අදාල දෙපාර්තමේන්තුවේ විශය භාර ඇමතිවරයාගෙන් ඩේලි මිරර් පුවත්පතෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ එදින සිකුරාදා දිනයක් නිසාත්, තමා ඒ මොහොතේ අමාත්‍යංශයේ නොසිටිය නිසාත් ඒ ගැන කිසිවක් කල නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඊට පසු සතියේ සඳුදා දින සොයා බලන බවත්. ඉන් පසු ඩේලි මිරර් පුවත්පත CERT සංසදයෙන් මේ ගැන දැනුවත්දැයි අසන විට තමන්ට අමාත්‍යංශයෙන් තවමත් නිල දැනුම් දීමක් නොලැබුනු බවත් මාධ්‍ය සහ වෙනත් පාර්ශව වලින් මේ ගැන දැනුවත්වීම කර ඇතැයි ඔවුන් පවසා තිබෙනවා. මෙයින් ඔබට පැහැදිලි වෙනවා ඇති මෙවැනි රජයේ අඩවිවලට ප්‍රමානවත් ආරක්ශාවක් සපයාදීමට අවශ්‍ය මගපෙන්වීම සහ අනුග්‍රහය වෙනුවෙන් ඇති ජාතික මට්ටමේ අභියෝගය.

අද ලොව පුරා අපි කාටවත් ඇස් පනාපිට නොපෙනුත් බලගතු රටවල් මූලික වී එකිනෙකා අතර දැවැන්ත සයිබර් යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් අතිශය විශාල මුදලක් වැය කරනවා. අනාගතයේ ආයුධවලින් කරන සටනකට වඩා විශාල හානියක් සතුරාට කිරීමට හැක්කේ සයිබර් ප්‍රහාර මගින් බව ඔවුන් විශ්වාස කරනවා. ලංකාව වැනි පරිධියේ රටකට එවැනි රාජ්‍ය විසින් මෙහෙයවන ප්‍රහාර (Nation Sponsored Cyber Attacks) එල්ල නොවුනත්, ඊට වඩා සාපේක්ශව ඉතා අඩු මට්ටමේ මෙවැනි ප්‍රහාරයකටවත් අවශ්‍ය මූලික සූදානමක් නැති කම ඇත්තටම අතිශය අවදානම් තත්ත්වයක්. ඒ ගැන බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වසර කිහිපයක සිට ඉතා සාධනීය පරිචයක් ලබමින් තිබෙන බවත් මෙහිදී සඳහන් කල යුතුයි. උදාහරණයක් විදියට, පසුගිය නොවැම්බර් 28 සහ 29 යන දිනයන්හි ශ්‍රී ලංකා සංඥා බලකාය තම 75 වන සංවත්සරය සැමරුවේ සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින්.

එහිදී හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේහි සංඥා සම්බන්ධතා, විද්‍යුත් සංග්‍රාමික කටයුතු, තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂාව යන අංග ඔස්සේ සංඥා බලකාය වෙත පැවරෙන වඩාත් වූ භාරදුර වගකීම ගෙනහැර දක්වා තිබෙනවා. ඔහු සඳහන් කලේ ගොඩබිම, මුහුද සහ ගුවන ආවරණය කරන පැරණි යුධ කලාව අතික්‍රමනය කරමින් නවීන යුධවේද සංකල්පය තුලට පස්වන මානය නැතහොත් 5th dimension of war වශයෙන් සයිබර් ක්‍රියාකාරකම් එක් වී ඇති වකවානුවක තාක්ශණික දියුනු හමුදාවන්හි ක්‍රියාකාරිත්වය ජාතික ආරක්ශාව වෙනුවෙන් දැනටමත් යොදා ගනිමින් සිටින වගයි.

මූලාශ්‍ර
Tourism Ministry website hacked by Tamil Eelam Cyber Force
ශ්‍රී ලංකා සංඥා බලකාය සයිබර් තර්ජනයන්ට එරෙහිව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණට - යුද්ධ හමුදාධිපති පවසයි


Saturday, May 19, 2018

"කාගෙ කාගෙත් ෆයිල් මං ගාව, ඔයාල ෆේස්බුක් හිටියත්, නැතත්!" - මාක් සකර්බර්ග්

Episode 25 - Aired on 3ZZZ Melbourne Radio on 20th May 2018Duration: 7 mins

Facebook එකේ තියෙන්නෙ Facebook ඉන්න අයගෙ විස්තර විතරද?


ඔබ Facebook කවදාවත් භාවිතා නොකරත්, ඔබ ගැනත් ෆයිල් එකක් බොහෝ විට Facebook පද්ධතියෙ තියෙනවා කියලා මම කිව්වොත්, ඔබ බොහෝ විට එය විශ්වාස කරන එකක් නැහැ. නමුත් එය සත්‍යයක්.

Facebook ආයතනය මේ ගැන ප්‍රසිද්ධියේ පිලි නොගෙන සිටියත්, වසර කිහිපයක සිට මේ ගැන Privacy ක්ශේෂ්ත්‍රයේ විශේෂඤයන් සැක පහල කරා. පසුගිය අප්‍රේල් මාසෙ, ඇමෙරිකාවෙ කොන්ගරස් මන්ඩලය ඉදිරියේ දින දෙකක් පුරා මාක් සකර්බර්ග් දැඩි ප්‍රශ්න කිරීමකට ලක් වෙද්දී, මේ Shadow Profiles සම්බන්ධ කාරනයත් මතු වුනා. එතනදි එය ගැන නොදන්නා බව පෙන්වීමට ඔහු උත්සාහ කරත්, නැවත නැවත ප්‍රශ්න කිරීමේදී ඔහු එයට කෙලින් පිලිතුරක් නොදී ප්‍රශ්නය මග හැරියා.

මෙම කොන්ග්‍රස් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කාරනා දෙකක් ලෝකය දැන ගත්තා.
පලවෙනි එක තමයි, මේ සම්බන්ධ නීති සම්පාදනය කරන් ආයතනවල මුල් පුටු හොබවන මේ කොන්ග්‍රස් සභිකයන් අන්තරජාල සම්බන්ධව කෙතරම් අඩු දැනුමක සිටියාද කියන කාරනය. මාක්ට වැඩි වේලාවක් අන්තර්ජාලය සම්බන්ධ පාඩම් කියා දෙන්නට සිදු වීම ඒ දිනවල, සයිබර් අවකාශයේ හාස්‍යයට පවා ලක් වුනා. ඇත්තටම ප්‍රයෝජනවත් ප්‍රශ්න ඇසුවේ කිහිප දෙනයි.
ඉන් කෙනෙක් බෙන් ලුජාන්. ඔහු ඇසුවෙ ඉහත සඳහන් කරපු Shadow Profiles සම්බන්ධ ප්‍රශ්නය. එය තමයි මම සඳහන් කරපු දෙවැනි කාරනය.

මොකක්ද මේ Shadow Profiles  කියන්නෙ?

Facebook ගිනුමක් නැති අයගේ විස්තර කොහොමද Facebook එකේ තියෙන්නෙ?

මෙය තේරුම් ගන්න අපිට සිද්ධ වෙනවා කෙටියෙන් පැහැදිලි කර ගන්න අපි ාන්තර්ජාලයේ සැරිසරද්දි ඒ වෙබ් අඩවි හරහා අපට පෙන්වන Ads එතනට එන විදිය තේරුම් ගන්න. මෙය වෙන්නෙ අපි වෙබ් අඩවියක් බලද්දි හෝ ගූගල් හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක් හරහා Search කරද්දි, තිරය පිටුපස cookie  කියලා file එකක් නිර්මානය වීමෙන් - මෙහි තියෙන්නෙ අපි ගැන, අපේ තෝරා ගැනීම් (preferences) ගැන විස්තර ටිකක්.. මේක තියෙන්නෙ අපේම හොඳට. මොකද අපි යම් පිටුවක් බලද්දි සිංහල තෝරා ගත්තොත් භාශාව විදියට, පස්සෙ දවසක ඒ වෙබ් අඩවියට යනකොට භාශාව නැවත තෝරන්න වෙන්නෙ නැතිව සිංහලම තියෙනවා නම් ඒක අපිට පහසුවක්.

Cookies තේරෙන සිංහලෙන්..

උදාහරනයක් විදියට ඔබේ ප්‍රියතම ආපන ශාලාවට වගේ යනකොට, එහි ඉන්න සේවකයා ඔබ දුටු සැනින් ඔබ සාමාන්‍යයෙන් ප්‍රිය කරන ජනේලේ ගාව තිබෙන මේසය ලෑස්ති කරලා, ඇන්වුම් කරන්නත් කලින් ඔබ කවදත් බොන අඩු සීනි තේ එක ඔබ වෙනුවෙන් සූදානම් කරනවා කියා සිතන්න. මෙයට අපිට කියන්න පුලුවන්න customised experience කියලා.
cookies  වලින් කරන්නෙත් අන්න ඒ වගේ දෙයක්. ඔබ එම අඩවියට එනකොට, එම කුකී එක මගින් අඩවියට මතක් කරනවා ඔබේ කලින් වතාවල තෝරා ගැනීම්.

මේ cookies වලට ඇහැ ගහ ගෙන ඉන්නෙ වෙලඳ දැන්වීම මෙහෙයවන අඩවි (Advertisers). මොකද මේ තියෙන විස්තර ඔවුන්ට ඉතා වැදගත්. ඔවුන් වෙබ් අඩවි වල ඉඳගෙන, එම cookies ඔබගේ පරිගනකයේ ගබ්ඩා නොකර තමන්ගේ ගාව තියා ගන්නවා. මේවට අපි කියන්නෙ Third Party Cookies කියලා. මේකෙ වාසිය තමයි ඔවුන්ට පුලුවන් ඔබ වෙනත් වෙබ් අඩවියකට ගියත්, ඔවුන් ඒ වෙබ් අඩවියෙත් ඇඩ්ස් පෙන්වනවානම්, ඔබව අඳුරගෙන ඔබට අදාලම වෙලඳ දැන්වීම් පමණක් ඉදිරිපත් කරන්න. මේකට අපි කියන්නෙ Re-targeting with relevant ads කියලා.

කලින් උදාහරනයෙන්ම කියනවා නම්, අපි කැමති ආපන ශාලාවේ ඉන්නවා කියලා හිතන්න සිසිල් බීම දෙන කෙනෙක්.. දැන් එයා මේ ආපන ශාලාවෙ කෙනෙක් නොවෙයි. එයා  සිසිල් බීම සමාගමේ සේවකයෙක්.. නමුත් එයා දන්නවා ඔබ කැමති බීම වර්ගය. එයා ඒ වග සිසිල් බීම සමාගමට දන්වනවා. දැන් ඔබ මේ ආපන ශාලවට කිසිම සමබන්ධයක් නැති ලී බඩු කඩයකට ගියා කියලා සිතන්න ටිකක් අව්ව තියෙන දවසක. ඒ ලී බඩු සමාගම ඇතුලෙ තියෙන සිසිල් බීම් කඩේ ඔබ කැමතිම බීම වර්ගය ඔබට හොඳට පේන්න තියල තියෙනවා, ඔවුන් දන්නවා ඔබ අනිවාර්‍යෙන්ම එය මිලදී ගන්නවා කියලා. මෙය ඔවුන් කරේ ඔබේ කැමැත්ත ගැන අර ආපන ශාලාව තුලදි ලබා ගත් තොරතුරු, ඉන් පිටතදිත් යොදා ගැනීම මගින්.

දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි සමහර වෙබ් අඩවි වලට පලවෙනි පාරට ගියත්, එහි පැත්තකින් ඔබට අදාලම ඇඩ්ස් පේන්න පටන් ගන්නෙ කියලා. තිරය පිටුපස Third Party Cookies ඔබව follow කිරීමක් කරනවා කියලා පැහැදිලියි.

දැන් අපි නැවත Facebook පැත්තට හැරෙමු.

ඔබ Facebook භාවිතයක් නැහැ, නමුත් ඔබේ මිතුරෙක් Facebook ගිනුමක් විව්ෘත කරනවා. Facebook එකට ඕනෙ පුලුවන් තරම් එයාට යාලුවො සම්බන්ධ කරලා දෙන්න., ඉතින් Facebook එකෙන් එයාට කියනවා අපිට දෙන්න ඔයාගෙ යාලුවො හැමෝගෙම email addresses, phone numbers එහෙම. ‍යාලුවා කැමැත්ත දෙනවා.
 දැන් යාලුවගේ ෆෝන් එකේ තියෙනවා ඔබේ නොම්බරේ සහ ඊමේල් ඇඩ්‍රස් එක. Facebook එක කරන්නෙ ඒ විස්තර ටිකත් එක්ක කාටවත් නොකියා රහසිගත තැනක හදනවා ඔබට profile එකක්..ඒකට තමයි ඔබගේ shadow profile එක කියන්නෙ. මේකට ඔබේ නොවන ඔබේම ගිනුමක් කියා කියන්නත් පුලුවන් :)

ඇයි ඔබට නොකියා ඔවුන් මේ Profile එක හදලා තියා ගන්නෙ?
හිතන්න හෙට දවසේ ඔබත් Facebook ගිනුමක් විව්ෘත කරනවා කියලා. දැන් ඔවුන් ඒ වෙනකොටත් ඔබට හදලා තිබුනු shadow profile එක හරහා ඔබ දෙනවට අමතරව සෑහෙන විස්තර දැනටමත් දන්නවා, විශේෂයෙන්ම Facebook තියෙන ඔබේ අනික් යාලුවො කව්ද ආදිය. එනිසා ඔවුන්ට පුලුවන් ඔබව සැනින් ඔවුන්ට සමබන්ධ කරවන්න.
යාලුවො විතරක් නෙවෙයි, අර මම ඉහත කියපු cookies සහ වෙනත් විවිධ ක්‍රම මගින්, ඔබ ෆේබුක් වලට එන්නත් කලින් ඔබ ගැන සෑහෙන විස්තර shadow profile වල ගබඩා වෙලා තියෙන්නෙ.

මෙය පැහැදිලිවම ඔවුන් කරන්නෙ ඉතාම කාර්‍යක්ශමව මිනිසුන් එකිනෙකා සමග ජාල ගත කරවන්න. Facebook ඉන්න අයගෙ විස්තර Facebook තිබෙන එකේ ගැටලුවක් නැහැ මොකද අපි කැමැත්තෙන් ඒ දත්ත බෙදා ගන්න නිසා. නමුත් Facebook ගිනුම් නැති අයගෙ විස්තර ඔවුන් ගාව තියා ගන්නෙ මොන එකඟතාවයක් යටතෙද? මේ තමයි Facebook එක ලොකු අසීරුතාවයකට ලක් කරපු ගැටලුව.



අපිට කරන්න පුලුවන් දෙයක් තියෙද මේකට?

දැන් ඔබට ගැටලුවක් එනවා ඇති ඔබේ පැත්තෙන් යමක් තියෙද මේ සමබන්ධව කරන්න කියලා. cookies හරහා ඔබේ විස්තර වෙබ් අඩවියෙන් අඩවියට යන එකේ ලොකු ගැටලුවක් නැහැ.. එය හැම වෙබ් අඩවියකම වගේ වෙනවා. නමුත් එලෙසින් තම්න්ට targeted ads එනවට අකමැති අයට පුලුවන් බ්‍රව්සර් එකේ third partry cookies නවත්තන්න බොහොම පහසුවෙන්. ඒ එක්කම Ad-blocker කියලා බ්‍රව්සර් එකට එකතු කරගන්න පුලුවන් add-on extensions  තියනව.

Facebook පැත්තෙන් ඔවුන් දැන් සෑහෙන උත්සාහයක් ගන්නවා කියලා පේනවා ඒ අයගෙ පැත්තෙන් වුන අඩු පාඩු හදා ගන්න. ඒ සමගම අපි දකිනවා අලුත් නීති වලින් Facebook පමනක් නොවෙයි, අනෙක් සමාජ ජාල සහ වෙබ් අඩවිත් නියාමනයකට ලක් වෙනවා. උදාහරනයක් විදියට මැයි 25දා යුරෝපා සංගමය General Data Protection Regulations බලාත්මක කරනවා.

ඔබේ පැත්තෙන් කරන්න පුලුවන් වැදගත්ම කාරනය මේ ගැන දැනුවත් වෙන එක.
ඒ දැනුවත් වීම තුලින් තමයි එම හානිකර තත්වයන් මහ හැර, සමාජ ජාල ඇතුලු අනිකුත් සයිබර් සේවාවලින් ප්‍රයෝජන ගත හැකි වන්නේ.

Wednesday, May 16, 2018

ක්‍රිප්ටො මයිනින් තේරෙන සිංහලෙන්..

ලොව වටා දහස් ගණනක් වෙබ් අඩවි crypto-mining වයිරසයකට ගොදුරු වුනා බ්‍රව්සලවුඩ් නම් වැඩසටහනක් නිසා. ඔස්ට්‍රේලියාව ඇතුලුව මෙලෙස හානිඅය්ට ලක් වූ වෙබ් අඩවි ගැනන් 4,275 ක්.

දැන ඔබට ප්‍රශ්නයක් එනවා ඇති මොනවද මේ crypto-mining කියන්නෙ කියලා.. දැන් දැන් ඉතා වේගයෙන් පැතිර යන මෙම හානිකර malware එක ගැන දැන ගැනීම ඉතාමත් වැදගත්.



නිකමට හිතන්න ඔබ ගෙදර හොංදට යතුරු දාලා යනවා නිවාඩුවට ලංකාවට.
ඔබ ලංකාවට ගිහින් එද්දි කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔබට සතුටුයි. ඔබ ගෙදර නොසිටපු කාලෙට අදාලව දැන් ඔබට එනවා ගෑස්, වතුර සහ විදුලිය බිල්පත්. ඒවාට අනුව පැහැදිලි වෙනවා ඔබේ ගෙදර බඩු කිසිවක් හොරකම් නොකරත් කිසිවෙකු විසින් ඔබගේ සම්පත් පරිහරණය කර ඇති වග.
දැන් ඔබට හිතෙනවා හොරකමක් කියන්නෙතට අසු වෙන ද්‍රව්‍ය හෝ මුදල් නැතිවීමම නොවන වග. ඔබගේ ජලය, විදුලිය, ගෑස් වැනි දේත් කෙනෙකුට හොරකම් කරන්න පුලුවන්.

crypto-mining කියන්නෙත් ඒ වගේ දෙයක්. එය පරිගනකයට හෝ ස්මාට් දුරකථනයකට ඇතුලු වුනාම එය සොරකම් කරන්නෙ දත්ත නෙවෙයි.. පද්ධතියෙ සම්පත් ඒ කියන්නෙ මෙහෙයුම් පද්ධතියට අදාල memory එක සහ මෙහෙයුම් ශක්තිය, අපි එයට කියනවා processing power එක කියලා.. ඔබට ඔබේ වැඩක් කරගන්නත් බැරි තරමට මින් පද්ධතිය කාර්‍ය බහුල වෙනවා..ස්මාට් දුරකථනයක් නම් එය බලා සිටිද්දී රත්වී ඉතා ඉක්මනින් බැටරි විසර්ජනය වෙනවා.


මෙලෙස සම්පත් හොරා ගැනීමෙන් හැකර්ට වෙන වාසිය කුමක්ද?
ඔබ බොහෝ විට අසා ඇති බිට් කොයින් ගැන, බිට් කොයින් කියන්න්ෙ Crypto Currency එකක් ඒ කියන්නෙ නිර්නාමික විදු‍යුත් මුදල් ඒකකයක්.. බිට් කොයින් වගේ තවත් එවනි මුදල් ඒකක් දැන් බිහි වෙනවා.
එහි ඩොලර් අගය දැන් ඉතා ශීග්‍රයෙන් ඉහල යනවා.. මේ හේතුව නිසා හැකර්ලා ඉතා විශාල ප්‍රමාන්‍යක් දැන් යොමු වෙලා තියෙනවා මෙම මුදල් ඒකකය mine කරන්න ඒ කියන්නෙ කැනීම් කටයුතු කරන්න.
ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණැය වෙන ආකාරය cryptography හා සම්බන්ධ ඉතා සන්කීර්ණ තාක්ශනික කාරනාවක් වුනත් අපිට එය සරලව තේරුම් ගන්න පුලුවන් මෙන්න මේ විදියට.

අලුතෙන් හැදෙන හැම බිට්කොයින් ඉතාම සුලු කොටසක් දිනා ගන්න ඉතා සංකීර්ණ ගණිතමය ගැටලුවක් විසඳීම වෙනුවෙන් තරඟයක් යනවා - මේ තරඟයේ ඉන්න අයට කියන්නෙ මයිනර්ස්ලා කියලා.. පිලිතුර කලින්ම ගන්න කෙනාට අර මුදල් ලැබෙනවා තෑග්ගක් විදියට. මේක ගණිත ගැටලුවක් කිව්වට එය විසඳන්න ඕනෙ බුද්ධිය නෙවෙයි.,. අතිශය වේගයෙන් විවිධ අගයන් අනුමාන කරමින් කරන කාලය සමග කරන සටනක්.. එනිසා පිලිතුර හැමෝටම හොයාගන්න පුලුවන් - එය මුලින්ම සොයා ගැනීම තමයි මෙතන ජ‍යග්‍රහනය තීරනය කරන්නෙ. එයට අතිශය විශාල මෙහෙයුම් ශක්තියක් ඕනෙ.. ඒ සඳහා ඔවුන් සුපිරි පරිගනක භාවිතා වෙනවා.. තරඟය තියුනු වෙද්දි එයත් දැන් මදි වෙලා ඔවුන් බලනවා අනුන්ගෙ පරිගණක සහ ස්මාට් දුරකථන පද්ධතිවල ශක්තියත් හොරකම් කරගෙන මේ තරඟය ජය ගන්න අමතර ජවයක් ගන්න.
දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ඇයි මේ උවදුර වැඩි වශයෙන් පැතිරෙන්නෙ පටන් අරන් තියෙන්නෙ කියලා..

මම මුලදිම සඳහන් කල browsealoud වැඩසටහන හදලා තිබුනෙ වයසක හෝ ද්ෘශ්‍යාබාධ තියෙන අයට පරිගනක තිරයක් භාවිතා කරන්න හදපු අකුරු ශබ්දය බවට පෙරලන වැඩසටහනක්. ඒ වගේ අයව ගොදුරු කර ගන්න පහසු‍යි මොකඩද ඒ අය තාක්ශනික පැත්තෙන් ලොකු දැනුමක් තියෙන අය නෙවෙයි.. බොහෝ විට පද්ධතියෙ Anti-virus වැඩසටහන හෝ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන එහෙම නැත්නම් updateවත් කරලා නැති වෙන්න පුලුවන් බොහෝ දුරට. එනිසා ඔවුන් මේ ප්‍රහාරය දැනුවත්වම එල්ල කලේ ඉතාම අසරණ කන්ඩායමකට.

අපගේ දත්ත විතරක් නෙවෙයි සම්පත් පවා සොරකම් කරන තැනකට ඩිජිටල් සොරුන් දියුනු වෙද්දි, අපි මතක තියා ගන්න ඕනෙ අඩු තරමෙ අපගේ මෙහෙයුම් පද්ධති සහ anti-virus පද්ධති යාවත්කාලීන් කරලා තියා ගන්න. ඒ සමගම මේ ව්‍යසන ගැන්දැනුවත් වී සිටීමෙනුත් හැකර්ස්ලාගේ පහසු ගොදුරු වීමෙන් වැලකී සිටිය හැකි වෙනවා..

ඇක්සිඩන්ට් වෙන්න කලින්

මීට සති කිහිපයකට කලින් අපි වාහන අනතුරකට මුහුන දුන්නා. කාටවත් කරදරයක් නැහැ.. නමුත් අපගේ වාහනයටත්, ඒ හා ගැටුනු අනෙක් වාහනයටත් තරමක හානි සිද්ධ වුනා.
සුපුරුදු පරිදි දෙපාර්ශවය, වාහන රක්ශණ කටයුතු වෙනුවෙන් එකිනෙකාගෙ තොරතුරු බෙදා ගත්තා. ගැටුනු අනෙක් වාහනයේ කාන්තාවගෙන් රියදුරු බලපත්‍ර අංකය ඉල්ලා සිටි විට ඇය කීවේ ඇගේ රියදුරු බලපත්‍රයේ චායාරූපයක් ගන්නා ලෙසයි. එම චායාරූපය තුල ඇයගේ වාහන බලපත්‍ර අංකයට අමතරව, ඇයගේ චායාරූපය, උපන් දිනය, ලිපිනය සහ අත්සන යන සියලුම දේ අඩංගු වුනා. එම මොහොතේ හමු වුන ආගන්තුකයෙක්ගෙ දුරකථනය තුල තමාගේ පුද්ගලික විස්තර ඇයගේ කැමැත්තෙන්ම ගබඩා වුනේ ඔන්න ඔය විදියටයි. ඒ සිදුවීම එතනින් අවසන්.

දැන් අනෙක් සිදුවීම. පලමු සිදුවීමට සතියකට, දෙකකට පස්සෙ අපගේ වාහනය අලුත්වැඩියා වීම අහවර නිසා එය නැවත භාර ගන්නා ලෙස
රක්ශණ සමාගමෙන් කැඳවීමක් ලැබුනා. එම ස්ථානයට ලඟා වෙනවාත් සමග මට වැටහී ගියේ රියදුරු බලපත්‍රය රැගෙන ඒමට අමතක වූ වගයි. ඔවුන් වෙත ගොස් මගේ අමතක වීම ගැන සමාව ඉල්ලා, මගේ ජංගම දුරකථනයට අමතා මගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න ලෙස ඉල්ලා සිටි‍යා. මාව පුදුමයට පත් කරමින් ඔවුන් කීවේ, "අපට ඔබගේ උපන්දිනය සහ ලිපිනය නිවැරදිව සඳහන් කිරීම වාහනය ලබා දීමට ප්‍රමාණවත් බවයි". එම ප්‍රශ්න දෙකට පිලිතුරු දුන් සැනින් මට මගේ වාහනයේ යතුර ලැබිණ. මේ පිළිතුරු දැන ගෙන සිටි වෙනත් කෙනෙකුටත් පහසුවෙන් මගේ අනණ්‍යතාවයෙන් පෙනී සිටීමේ හැකියාව තිබුනා.

පලමු සිද්ධියෙන් පැහැදිලි වෙනවා බොහෝ දෙනෙක් කෙතරම් පහසුවෙන්, විමසිල්ලෙන් තොරව තමන්ගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවවලට ලබා දෙනවාද කියලා.
දෙවන උදාහරණයෙන් පැහැදිලි වෙනවා, අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඒ පුද්ගලික තොරතුරුම තීරණාත්මක කාර්‍යභාරයක් සිදු කරනා බැවින්, එම කරුණු අප කෙතරම් පරෙස්සමෙන් රැක ගත යුතුද කියලා. බොහෝ දුරට දුරකථන මාරගයෙන්, හෝ අන්තර්ජාල සේවා වෙනුවෙන් අනණ්‍යතාවය තහවුරු කර ගන්න ඔවුන් බොහෝ විට විමසන්නේ මෙම විස්තරමය.




මේ ගැන අද දවසේ මතක් කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා.
අද සිට පුරා සතියක්, එනම් මයි 13 සිට 19 දක්වා කාලය, ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නේ Privacy Awareness Week නමින්. මේ සම්බන්ධව ජාතික මට්ටමේ දැනුවත් කිරීම් විශාල ප්‍රමානයක් Office of the Australian Information Commissioner දෙපාරතමේන්තුව හරහා සිද්ධ වෙනවා. පුද්ගලිකත්වය සම්බන්ධ නීතිමය රාමුව සපයන පුද්ගලිකත්ව පනතට (Privacy Act) මේ වසරට හරියටම අවුරුදු 30 ක්.
සයිබර් අවකාශය හරහා අතිශය් ශීග්‍රයෙන් පුද්ගලික තොරතුරු සංසරණය වීමත්, එම තොරතුරු අනිසි ලෙස අන් සතු වීම (Privacy Breach)මගින් ජනතාව ආරක්ශා කරගැනීම වෙනුවෙන් මෙම පනත නිරන්තරයෙන් සංශෝදනයට ලක් වුනා. දත්ත සොරාගැනීම් සම්බන්ධව ගෙවිය යුතු විශාල වන්දි මුදල් (penalties) සහ එවැනි සිද්ධි සම්බන්ධව නොසඟවා, විනිවිදව ජනතාවට කරුනු හෙලි කිරීමට අදාල ආයතනවලට බල කෙරෙන Notifiable Data Breaches (NDB scheme) හරහා ඔවුන් මෙම පනත තදින් ක්‍රියාත්මක කරන තැනකට පැමිණ තියෙනවා.

අපගේ ාඅරක්ශාවට මෙම නීති තිබුනත් පලක් නැහැ අපි අපගේ අයිතීන් ගැන, වගකීම ගැන් අවබෝධයක් නැත්නම්.
කිසියම් රජයේ හෝ පුද්ගලික ආයතනයක් හරහා ඔබගේ පුද්ගලිකත්වයට හානියක් වීනම් හෝ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා ඔබගේ පුද්ගලික විස්තර අන් සතු වුනේ නම්, ඒ ගැන ඔබට ඉහත සඳහන් කල Privacy Commissioner වෙබ් අඩවිය හෝ hotline හරහා කෙලින්ම පැමිණිලි කල හැක.
***
ඔබගේ පුද්ගලික තොරතුරු දෙන සෑම අවස්ථාවකම එය ඇත්තටම ඔවුන්ට අවශ්‍ය දැයි ඔබට ප්‍රශ්න කරන්නට පුලුවන්. පුරුද්දක් විදියට අසා තිබෙන සෑම පුද්ගලික තොරතුරක්ම සපයන්නට එපා එය ඔවුන්ට ඇත්තටම නිල කාරනාවකට අවශ්‍ය නම් හැර. උදාහරනයක් විදියට, ඔබ අන්තරජාල සේවාවක් ලබා ගැනීමේදී ඔවුන් ඔබගේ උපන් දිනය අසන විට ඒ කුමන කාරනාවක් වෙනුවෙන්දැයි දැන ගැනීමේ අයිතිය ඔබ සතුය. පුද්ගලික තොරතුරු එකතු කරන සෑම ආයතනයක්ම Privacy Policy එකක් හරහා ඔවුන් දත්ත එකතු කරන්නේ කෙසේද, ඒවා වෙනත් පාර්ශව සමග බෙදා ගන්නවාද, එසේ බෙදා ගනී නම් ඒ කුමන කොන්දේසි මතද ආදිය ගැන ලිඛිතව සේවා දායකයන්ට ලබා දෙන්නට නීතියෙන් බැඳී සිටිනවා.
***
පරිගණකය, ස්මාට් දුරකථනය ආදියේ ආරක්ශාව වෙනුවෙන් Security Software භාවිතා කිරීම, ඒවා Auto-update වීමට සකස් කර තිබීම වැනි අපි කවදත් මතක් කරන තාක්ශණික කාරනා වගේම ඔබව රවටා ඔබෙන් තොරතුරු ලබා ගන්නා Scam Emails වලට හසු නොවීම සහ සමාජ ජාල හරහා පුද්ගලික තොරතුරු බෙදා ගැනීමේදී ඒ ගැන විමසිලිමත් වීම විශේෂයෙන්ම ඒවා තමන්ගේ මිතුරන්ගෙන් පරිබාහිර අයට පරිශීලනය නොකල හැකි ලෙස සකසා තිබීම අතිශය වැදගත්.

***
ලාංකීය ප්‍රජාව Privacy සම්බන්ධයෙන් ලොකු තැකීමක් කරන්නෙ නැහැ සාමාන්‍යයෙන්. ඔබට බොහෝ විට සමාජ ජාලා වල විශේෂයෙන්ම දකින්න පුලුවන් බොහෝ විට තමන්ගේ පමනක් නොවෙයි අනුන්ගේ පුද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පත් පවා අඩංගු චායාරූප නිතර හුවමාරු වෙන අයුරු. ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වුන ගමන් බොහෝ දෙනෙක්ට තමන්ගේ CV එකේ කරන්න වෙන මූලික වෙනසක් තමා පුද්ගලික තොරතුරු සීමා කරන එක. එහි උපන්දිනය, ස්ත්‍රී පුරුශ භාවය පමණැක් නොව චායාරූපයක් පවා බොහෝ විට ඇතුලත්.
අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ සම්බන්ධ තොරතුරු වලින් පැහැදිලි වෙනවා මෙම පුද්ගලික තොරතුරු ආදි‍ය යොදා ගෙන සිදුවන එයට ගොදුරු වෙන අයට වෙන මූල්‍යමය හානිය.
***

ඔබට ඔබේ නිවසට ඇතුලු වෙන කෙනෙක්, ගෙදර වටිනා දෙයක් හොරකම් කරගෙන ගියහොත්, සිදුවන පාඩුව මිල කල හැකියි. ඔබට නැවත එය මිලට ගත හැකියි.
නමුත් කෙනෙක් ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කලහොත් ඔබට එම පාඩුව මිල කල හැකිද? සොරා ගත් අනන්‍යතාවය නැවත ලබා ගත හැකිද? කෙසේවත් නොහැක.
හේතුව ඔබේ අනන්‍යතාව්‍ය, ඔබම නිසා!

Tuesday, April 24, 2018

මාක් සකර්බර්ග් ඇමරිකානු කොන්ග්‍රසය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමක..

Aired on 3ZZZ Radio on 15th April 2018
Duration: 3:39

මීට සති කිහිපයකට කලින්, ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 85ක ගෙ පුද්ගලික විස්තර ඔවුන්ගේ අනුමැතියකින් තොරව, දේශපාලනික ප්‍රචාරන කටයුතු වෙනුවෙන් Cambridge Analytica නම් සමාගමක් විසින් භාවිතා කර බවට කරුනු හෙලිවීම නිසා ෆේස්බුක් සමාගම දැඩි අපහසුතාවයකට පත් වුන බව ඔබ දන්නවා.

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දත්ත, වෙළඳ දැන්වීම් යොදා ලාභ ලබන චේතනාවකින් ප්‍රයෝජනයට ගන්නවා විනා, ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ශා කරන්නට අවශ්‍ය මූලික ක්‍රමෝපායන්වත් ක්‍රියාත්මක නොකිරීම පිලිබඳව ෆේස්බුක් ආයතනයට එල්ල වුනේ ප්‍රබල විවේචනයක්. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු ආරක්ශා කිරීමෙහි ලා තමන් අතින් වැරදි සිදුවී ඇති බවත්, කඩිනමින් එම වැරදි නිවැරදි කර ගන්නා බවත් ෆේස්බුක් ආයතනය   මුලදීම සමාව ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කරා.

කෙසේ නමුත්, ඇමරිකානු ජනතාවගේ දත්ත මෙලෙසින් විදෙස් රටවල සමාගම් සහ ඇමරිකාවට හිතවාදී නොවන බලවේග වල ග්‍රහනයට ලක් වීම පිලිබඳව ඉතා තදින් සිටි ඇමරිකානු කොන්ග්‍රසය ෆේස්බුක් ප්‍රදානී මාක් සකර්බර්ග් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ශී ලබා දීමට කැඳෙව්වා.. මුලදී මේ ගැන නිහඬව සිටි මාක් පසුව තමා එයට සූදානම් බව  ඔහු පැවසූවා.
මෙහි ප්‍රතිපලයක් ලෙස, පසු ගිය අඟහරුවාදා සහ බදදා දින දෙකේ, පැය දහයකට අධික කාලයක් දැඩි ප්‍රශ්න කිරීමකට ඔහු ලක් වුනා.

නමුත් මෙහිදී බොහෝ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් අදාල මූලික තාක්ශණික කාරනාවත් නොදැන ප්‍රශ්න කිරීම නිසා, මාක් ට සිදු වුනා ඔවුන්ට සරල බසින් සමාජ ජාලා ක්‍රියා කරන ආකාරයත්, එහි එකතු වෙන දත්ත ඔවුන් භාවිතා කරනා ආකාරයත් පැහැදිලි කරන්නට. මෙනිසා තාක්ශණික ප්‍රවීනයන්ගෙ දෝශ දර්ශනයනට කොන්ග්‍රස් සභිකයින් සමහරක් ලක් වුනා, ඔවුන් අදාල 'ගෙදර වැඩ' නොකර මෙම ප්‍රශ්න කිරීමට සමබන්ධ වීම පිළිබඳව.
සම්පූර්ණ ප්‍රශ්න කිරීම තුල මාර්ක් ඉතා සැහැල්ලුවෙන් සහ කලබලයෙන් තොරව පිලිතුරු දීම කැපී පෙනුනා. දෙවන දිනය වෙන විට ඔහුට අධික ලෙස බාධා කිරීම් එල්ල වෙද්දිත් ඔහු ඉතා ඉවසීමෙන් පිලිතුරු දීම දකින්නට ලැබුනා.

නමුත් මාක් ප්‍රශ්න සියල්ලටම පිලිතුරු දුන්නෙ නැහැ. ප්‍රශ්නවලට පිලිතුරු නොදන්න බව සහ පසුව ඒ ගැන සොයා බලා කරුනු දක්වන්නට බලාපොරොත්තු වෙන බව දක්වමින් සමහර ප්‍රශ්න ඔහු මග හැරියත්, එය සැම විටම පහසු නොවුනේ ඔවුන් දිගින් දිගටම කෙලින් පිලිතුරු බලාපොරොත්තු වු නිසා.


මින් ඉතාම තීරනාත්මක ප්‍රශ්නය එල්ල කලේ බෙන් ලුජාන් විසිනි, ඒ Shadow Profiles සම්බන්ධයෙනි. Shadow Profiles කියන්නෙ ෆේස්බුක් භාවිතා නොකරන අයගෙ විස්තර එකතු කර ෆේස්බුක් ඒ ඒ අය සම්බන්ධව තනා ගත් පුද්ගලික විස්තරයි. මේ කරුනු හෙලි වීමත් එක්ක, මාක් පුන පුනා කියා සිටි "ඔබට ඔබගේ දත්ත ගැන පූර්ණ අයිතිය තිබෙනවා" කියූ කාරනය අභියෝගයට ලක් වුනා. ෆේස්බුක් නැති අයගෙ විස්තරත් ඒ අයගෙ අනුමැතියක් නොමැතිව එකතු කරන්නෙ කුමන එකඟතාවයක් යටතේදැයි ලුජාන් මාක් ගෙන කෙලින්ම ප්‍රශන කරද්දී,  විවිධ හේතු මත එලෙසින් දත්ත එකතු කරන බව පිලිගන්නට මාක්ට සිද්ධ වුනා.

ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරන්නට කිසිවෙක් අපට බල කර නැහැ. ෆේස්බුක් එය භාවිතා කරන්නන්ට නොමිලේ එම සේවය ලබා දෙන්නේ වෙලඳ දැන්වීම හරහා ඔවුන්ගෙ ලාභය ලබා ගැනීමට කියන එක රහසක් නෙවෙයි. එනිසා සමාජ ජාලා තුල අපි දෙයක් විකුනන්නේ නැති නම්, විකිනෙන්නේ අපි බව පැහැදිලියි. නමුත් ඉන් එම සමාජ ජාලාවලට නිසඟ අවසරයක් ලැබෙන්නේ නැහැ ඔවුන් වෙත තබා තිබූ විශ්වාසය වැරදි ලෙස යොදා ගන්නට.
ෆේස්බුක් පසු ගිය සති කිහිපයේ ටිකක් විතර තිත්ත කසාය බොමින් ඉගෙන ගත්තේ ඒ පාඩමයි.



Saturday, April 7, 2018

ඇට්ලැන්ටා නගරයට සයිබර් ප්‍රහාරයක්

Transcript: (Duration 3.5 mins)
පසුගිය සතියේ ඇමරිකාවේ ඇට්ලැන්ටා නගරයට කප්පම් වයිරස් ප්‍රහාරයක් එල්ල වුනා.
එහි නගර සභා පද්ධති කිහිපයක් සයිබර් සොරුන් විසින් වයිරස මගින් අගුලු දමා, ඒවා නැවත විව්ෘත කිරීමට නම් එක පද්ධතියකට ඩොලර් 6800 බැගින් හෝ සමස්ත පද්ධතිය වෙනුවෙන් ඩොලර් 51,000 බිට් කොයින් නැමැති නිර්නාමික ඩිජිටල් මුදල් ඒකක ලෙස කප්පම් ඉල්ලා තිබෙනවා. මෙම කප්පම් මුදල් ගෙවනවාද යන්න සම්බන්ධව බලධරීන් තවම ප්‍රකාශයක් කර නැහැ.


ඇට්ලන්ටා නගරාධිපතිය මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ online
bills  සම්බන්ධ ගෙවීම් ආදිය ගැන බැංකු ගිනුම් වල වාර්තා පරීක්ශා කර බලන ලෙසයි. මෙම සයිබර් ප්‍රහාරය ගැන  FBI ආයතනය විශේෂ විමර්ශනයක් මේ වෙන විට පවත්වනවා.  Microsoft සහ Cisco සමාගම්වල තාක්ශණික ප්‍රවීනයන් ද මෙම ප්‍රහාරයෙන් පද්ධති ගොඩ ගන්නට තාක්ශණික පරිශ්‍රමය සපයනවා. 

පසුගිය  22 දා එනම් බ්‍රහස්පතින්දා  උදෑසන  5.40 ට  මේ ප්‍රහාරයේ ලකුණු  ඔවුන්ට මුලින්ම දැක ගන්නට ලැබුනත්, දිවා රෑ මහත් පරිශ්‍රමයෙන් පසුවත් ඊට පසු සතියේ අඟහරුවාදා වෙන විටත් යථා තත්වයට පත් නොවූ  සේවා කිහිපයක්ම පැවතුනා. 
 ලොව කාර්‍ය බහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන  ඇට්ලැන්ටා ගුවන් තොටුපලේ නොමිලේ ලබා දෙන  WiFi අන්තර්ජාල පහසුකම් දින ගණනාවක් යනතුරු අත් හිටුවා තියෙනවා.  ප්‍රහාරයට ගොදුරු වූ ඇට්ලැන්ටා  සිටි පරිගණක ජාලයට කෙලින්ම සම්බන්ධ නැතත්, මෙය,  එවැනි ප්‍රහාරයක් ගුවන් තොටුපල පද්ධතියට එල්ල නොවීම පිණිස බලධාරීන් ගත් සුපරික්ශාකාරී පියවරක්. මෙයින් ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙනවා ඇති මෙම ප්‍රහාරයේ හානිය පිළිබඳව.

නගරයක්, රටක් මේ විදියට කලබගෑනියකට පත් කරන්න පුලුවන් මෙවැනි කප්පම් වයිරසයක් කොහොමද මෙවැනි පද්ධතියක් තුලට එවන්නෙ?
 සැක නොහිතෙන විදියට හදපු ඊමේල් එකක් හරහා, එහි තිබෙන යම් දිගුවක් එහෙමත් නැත්නම් ලින්ක් එකක් ක්ලික් කිරීමට සලස්වා ඉන් පද්ධතිය encrypt කල හැකි මෘදුකාංගයක්   අදාල මෙහෙයුම් පද්ධතියේ ස්ථාපනය වීමට සලස්වනවා. මෙය ඔබේ ගෙදරදි වුනොත් ඔබේ නිවසේ පරිගණකය කප්පම් වයිරසයට ගොදුරු වී, ඒ අගුල් වැටුනු ඔබේම දත්ත නැවත ලබා ගන්නට හැකර්ට කප්පම් ගෙවන්න සිද්ධ වෙනවා. 

මෙය ඔබේ සේවා ස්ථානයේ වුනොත්, එහි පරිගණක ජාලයත් මෙම ඉරණමටම ගොදුරු වෙනවා. එනිසා මේ තරම් විශාල ප්‍රහාරයට ඉඩ සලසා දුන්නේ, ඇට්ලන්ටා නගර සභා සේවකයයෙක් වැරදීමකින් ඊමේල් ලින්ක් එකක් ක්ලික් කිරීම විය හැකියි. ඩොලර් මිලියන ගනනක් තාක්ශනික උපාංගවලට වැය කරත්, එක සේවකයෙකුගේ නොදන්න කම නිසාම එක සමාගමක් නොවෙයි, විසල් නගරයක් හෝ රටක්ම එවැනි ප්‍රහාරවලට ගොදුරු විය හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
එනිසා අන්තර්ජාල ආරක්ශනය සම්බන්ධ තාක්ශණික මෙවලම් දින දින දියූනු වුනත් ඊට සමගාමීව අන්තර්ජාල  සේවාවන් භාවිතා කරන අයගේ දැනුවත්භාවය වැඩි කිරීමටත් දැන් දැන් ලොකු පොඩි හැම සමාගමක්ම වැඩි ආයෝජනයක් කරනවා.
End Transcript

Wednesday, March 21, 2018

Facebook Profiles මිලියන් 50ක දත්ත සොරකම කල "ජෙහාන්"


Facebook ආයතනය බිත්තියටම හේත්තු කරමින්, Facebook භාවිතා කරන්නන් මිලියන 50කගේ දත්ත, Cambridge Analytica නම් වූ දත්ත ඉංජිනේරු සමාගමක් විසින් ඉතා සූක්ශම විදියට සොරාගෙන ඒවා දේශපාලනික ව්‍යාප්ෘතියක් දිනවීම වෙනුවෙන් භාවිතා කල අයුරු ගැන කරුණු මේ දිනවල මාධ්‍ය මගින් අනාවරනය කරනවා.

මෙම කරුණු අදාළ වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණය ආශ්‍රිතව වුවත්, ඒ සම්බන්ධ ගවේශනාත්මක කටයුත්තේදී එක් මාධ්‍ය ආයතනයක් ලංකාවේ නමත් භාවිතා කරනවා ඇමක් විදියට. ඒ විස්තර පසුවට.

මෙම හෙලි කිරීමත් එක්ක ෆේස්බුක් ආයතනයේ කොටස් වෙළඳ පොල අගය දැවැන්ත කඩා වැටීමකට ලක් වෙන්නේ සතියක් ඇතුලත ආයතනයට ඩොලර් බිලියන 47 ක පාඩුවක් සිදු කරමින්. දින 5ක් මේ සමබන්ධව නිහඬව සිටි Facebook ප්‍රධානී මාක් සකර්බර්ග්, ඊයේ දිනයේදි පලමු වරට ප්‍රකාශයක් කරමින් දත්ත ආරක්ශා කිරීම සම්බන්ධයෙන් ඔවුන් අතින් අඩු පාඩු වී ඇති බව පිළිගත්තා. ඉදිරියේදී ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවත් සඳහන් වුනා.
මේ එක්කම Cambridge Analytica ප්‍රධානියාගෙ වැඩ තහනමකට ලක් වෙනවා. Facebook ආයතනය අදාල සමාගමත් එක්ක තියෙන සම්බන්ධතවය අත් හිටුවනවා.
දේශපාලනික ලොව උඩු යටිකුරු කල මෙම හෙලි කිරීම පිටුපස නිධාන කතාව කුමක්ද?

මෑතකදී අවසන් වුන කූඹියෝ ටෙලි නාට්‍යය අතිශය ප්‍රේක්ශක ප්‍රතිචාර වලට භාජනය වූ එක් ප්‍රධාන කාරනයක් වුනේ, දේශපාලනික බල පෙරලිවල තිරය පිටුපස වෙන සිදුවෙන 'ගේම්' ගැන ඉතා නිර්මාණාත්මකව සහ නිර්භයව කතාව තුල ප්‍රතිනිර්මානය වීමය. එනිසා ඇත්තටම එලියේ වෙන සිදුවීම් එක්ක කතාවේ පෙන්වන සංසිද්ධීන් බද්ධ වෙන අයුරු ප්‍රේක්ස්කයාට නැවුම් අත්දැකිමක් වුනා. ඉහත Facebook දත්ත මංකොල්ලයට යම්තාක් දුරට සමාන දෙයක් කූඹියෝ නාට්‍යයේත් අඩංගු වුනා.

ජෙහාන් ගේම් කාරයෙක්.
පාතාලය, ඉහළ දේශපාලනික ප්‍රභූ චරිත එක්ක කටයුතු කරන ඔහු එකවරම අලුත් වැඩකට අත ගසනවා. එය Software එකක්. මිනිසුන්ගේ ජීවන දත්ත එකතු කර මිනුසුන්ට
තමන්ගෙ ඊලඟ ඉලක්කය කුමක් විය යුතුදැයි පෙනවා දෙන මෙම Software එක, සෑම ආයතනයක් තුලම තිබිය යුතු දෙයක් බවට ආයතන ප්‍රධානීන්ට පවා ඒත්තු ගන්වන්නට ඔහුට පුලුවන් වෙනවා.
ඔහු ඉතා වැදගත් වැඩක් කරනවා කියා තම පෙම්වතියට සහ අතිජාත මිත්‍රයාට හඟවන අතරේ ඔහු මෙම Software එක යොදා ගත්තේ වෙනම කූට වැඩකට වග අපට පසුව අනුමාන කරන්නට සිද්ධ වෙනවා.
මේ Software එකට දෙන දත්ත හරහා ජෙහාන් මුලින්ම පාතාල කල්ලි සමාජිකයන් පිළබඳ විස්තර ලබා ගෙන ඔවුන් බිඳවන්නට කටයුතු කරනවා. ඔහුගේ ගමනාන්තය වෙතට යද්දි, ඔහුට එරෙහි විය හැකි සෑම කෙනෙකුගෙම පුද්ගලික විස්තර ඔවුන්ටම එරෙහිව යොදවාගත හැකි වෙන පරිදි ඒ සියල්ල තුරුම්පු විදියට ජෙහාන් ලඟ තියා ගන්නවා

Facebook ආයතනය අමාරුවේ වැටුනෙත් මෙවැනි ජෙහාන් කෙනෙක් නිසා. ඔහුගේ නම ඇලෙක්සැන්ඩර් කෝගන්.

ඔහු Cambridge විශ්ව විද්‍යායලයේ පර්‍යේශකයෙක්. ෆේස්බුක් ආයතනයෙන් ඔහුට අවසර ලැබෙනවා පර්‍යේශන කටයුතු වෙනුවෙන් Personality Quiz App එකක් හරහා හදන්න. මේ ඇප් එකේ නම "ThisisYourDigitalLife".  (ජෙහාන්ගෙ Software එක වගේම මිනිස්සුන්ගෙ පුද්ගලික විස්තර එකතු කරන App එකක්).
මේ හරහා එකතු කරන දත්ත ඒ කටයුත්ත හැර වෙන කිසිම දෙයකට භාවිතා කරන්න බැහැ Privacy Law අනුව වගේම ෆේස්බුක් ආයතනය එක්ක තියෙන ගිවිසුම අනුවත්. නමුත් කෝගන් මේ එකතු කර ගත්ත අයගෙ මිලියන 50ක දත්ත දේශපාලනික ව්‍යාප්ෘති වෙනුවෙන් සමාජ ජාලා මෙහෙයවන දැවැන්තයෙක් වෙන Cambridge Analytica ආයතනයට ලබා දෙනවා. කෝගන් කියන්නෙ එතනදි  ඔහුව රැවටීමකට ලක් වුනා කියලා.
නමුත් මනෝවිද්‍යා ක්ශේස්ත්‍රයේ මහචාර්‍ය වරයෙක් සහ විශාල දත්ත පද්ධති (datasets) එක්ක වැඩ කරන ප්‍රවීනයෙක් මෙම මූලික කාරනාව නොදැන සිටියා සිතන්න අසීරු කාරනයක්.

මේ දත්ත අරන් Cambridge Analytica ආයතනය කරපු වැඩේ හෙළි කරේ එම ආයතනයේම කලින් වැඩ කරපු කෙනෙක්. ඊට පසුව undercover මාධ්‍යවේදියෙක් මේ ආයතනයේ ප්‍රධානීන් රහසේ හමු වෙනවා සුඛෝපභෝගී හෝටල්වල. එතනදි තමයි ඔහු ලංකවේ නම විකුණන්නෙ. තමා ලංකාවෙ මැතිවරණයක් වෙනුවෙන් මෙම ආයතනයේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙන බවත්, ඒ අයට ඒ වෙනුවෙන් ෆේස්බුක් හරහා කරන්න පුලුවන් දේ අහනවා.
අර හොරකම් කරපු දත්ත අරගෙන ඇමරිකාවෙ ජනාධිපතිවරනෙදි කරපු වැඩ ගැන මේ ප්‍රදානීන් දෙදෙනා 'කයිවාරු' ගසද්දි ඔවුන් නොදැන සැඟවු කැමරාවලින් ඒවා පටිගත වුනා. ඔවුන් හෙළි කල කරුනු අතිශය භයානකයි.

මිනිසුන්ගෙ like එකක් පවා යොදාගෙන, ඒ අයගේ රුචි අරුචිකම් සහ පුද්ගලික විස්තර එක්ක ගොඩ නගන කරුනු හරහා, ඉතා සූක්ශම දත්ත පීරා යාමකින් (data mining) දේශපාලනික නැබුරුව (පැත්තක් තෝරා ගෙනද, තාමත් වැට උඩද ආදී) සහ පුද්ගලික චර්‍යා (සමලිංගිකද, ආගමික ද ආදී) වැනි රටාවන් හරහා තෝරාගත් කොටස් වෙන වෙනම ඉලක්ක ගත කරමින් (macro-targeting) දැවැන්ත චන්ද ව්‍යාපාරයක් කල ආකාරය හෙලි දරව් වුනා. මෙහි ඔවුන් සඳහන් කරේ, මිනිසුන් Facebook හරහා බොරුව වුනත් නිතර, ලොකුවට දකින්න ගත්තොත් ඔවුන් එය විශ්වාස කරන බවයි. කරුණුවලට වඩා හැඟීමට (emotion instead of facts) වැඩි දෙනෙක් අල්ලාගන්න පුලුවන් බව සහ ඒ අය ඊට සරිලන ලෙස සකස් කල පෝස්ටුවලට වැඩිපුර නිරාවරන කිරීම මගින් ඔවුන්ගේ මතයට ඉතා ප්‍රබල බලපෑමක් කල හැකි බවය.

මේ සම්බන්ධ තව බොහෝ සිද්ධි අනාවරනය වෙමින් පවතිනවා. නයිජීරියාවෙ මැතිවරනෙදි ඔවුන් ක්‍රියා කල ආකාරය ගැනත් දැන් වාර්තා වෙනවා.

මේ එක්ක අපි වැඩි අවධනයක් යොමු කරන්න වෙනවා අපගේ Facebook Profiles හරහා අප බෙදා ගන්න අපගේ පුද්ගලික තොරතුරු ප්‍රමානය ගැන.

විශේෂයෙන්ම Location Service එක Facebook වලට වහන එක තමයි හොඳ. අපි ඉන්න තැන,  kAmma kana  තැන ආදිය එක්ක Facebook එක හරහා ad වලට අපි ඉල්ක්ක වෙන්න අවශ්‍ය නැහැනෙ. (ඉතා පහසුවෙන් පුලුවන් Settings හරහා Facebook වලට විතරක් Location Service එක වහන්න)
අනික් කාරනේ, ඔය 3rd Party Apps.. ගොඩ දෙනෙක් විනෝදයට වගේ ඒවා භාවිතා කරාට මෙම කතාවෙන පැහැදිලි වෙනවා ඇති ඒ පසුපස තියෙන දැවැන්ත ජාවාරම.  Facebook Apps භාවිතය අවම කරන්න. හැකි නම් Apps කොටසට ගිහිල්ලා අනවශ්‍ය Apps ඉවත් කරන්න. ඒවා මොන මොන ඔත්තු බලනවද කියල කව්ද දන්නෙ?

ඔබගේ පුද්ගලික විස්තර Profile එකෙන් ඉවත් කරන්න හැකි තරම. උදාහරනයක් විදියට උපන්දිනය දාන්න ඕනෙ තැන ඇයි අවුරුද්දත් එකතු කරන්නෙ? උපන්දිනය නොදාම ඉන්න එක තමයි හොඳ නමුත් උපන් දින සුභ පැතුම් යාලුවන්ගෙන් ගෙන්න ගන්න ඕනෙම නම් ඉතින් අවුරුද්ද නැතුව දාන්න. :)

තවත් පරික්ශාකාරි වෙන්න ඕනෙ තැනක් තමයි Privacy Settings. පුද්ගලික විස්තර අඩංගු වෙන පෝස්ට් විශේෂයෙන් පවුලේ ඡායාරූප ආදිය Public තියන්නෙ නැතුව Friends Only තියන එක තමයි උචිතම.

මේ කෙටියෙන් සඳහන් කලේ. මේ ගැන සවිස්තරව මේ බ්ලොග් එකේ වෙනත් පෝස්ටුවල කරුනු අන්තර්ගත වෙනවා. ඒවා ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්. දකුණු පැත්තෙ තියෙන Follow බොත්තම හරහා Subscribe වෙන්න.








මූලාශ්‍ර:
https://www.theverge.com/2018/3/20/17140422/facebook-personal-data-deletion-how-to-cambridge-analytica-privacy-scandal-trump-campaign

https://www.wired.com/story/cambridge-analytica-50m-facebook-users-data/

https://motherboard.vice.com/en_us/article/mg9vvn/how-our-likes-helped-trump-win


අදාල රහසේ පටිගත කල වීඩියෝව

කරුණු හෙලිකරන ආයතන සේවකයා




Saturday, March 17, 2018

කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික්


Duration: 4.53 mins
Broadcast Day: 18th March 2018
Transcript:
මේ දිනවල ලංකාවේ ටිකක් වෙනස් මාදිලියේ ටෙලි නාට්‍යයක් වෙත ප්‍රේක්ශක අවධානය යොමු වෙලා තියෙනවා. සති අන්තයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුන මේ කතාවෙ නම කූඹියෝ.  

ඊයේ රාත්‍රියේ එහි අවසාන කොටස විකාශය වුනත්, එතෙක් මෙතෙක් ටෙලි නාට්‍යයක් සම්බන්ධව ඇතිවුන විශාලම ප්‍රේක්ශක කතිකාව සමාජ ජාලා හරහා නම් තව කාලයක් පවතීවි.

ඇයි කූඹියෝ මෙතරම් ජනප්‍රිය වුනේ. එහි  තිර රචනය, රඟපෑම, චරිත තෝරා ගැනීම, දෙබස්, කැමරා කෝණ, ආදී සියල්ල ඉතා විශිශ්ට මට්ටමේ තිබුනාට අමතරව එහි කතා තේමාව සම්ප්‍රදායික තේමාවෙන් බැහැරව අලුත් ඉසව්වක් අතික්‍රමනය කරන්න තරම් නිර්භීත වීමත් ඊට බලපෑ ප්‍රධාන සාධකයක්.

මෙහි කතා නායකයාගෙ නම ජෙහාන් ප්‍රනාන්දු.
ඔහු කොන් ආටිස්ට් කෙනෙක්, තේරෙන භාශාවෙන් කියනවා නම් ගේම් කාරයෙක්. ඔහුගේ තියුණු සහ සට කපට බුද්ධිය යොදා ගෙන ඔහු රවටන්නේ තමා සමග එකට සිටින අය පමණක් නොවේ, පක්ශ නායකයින්, විසල් ආයතන ප්‍රධානීන්,  පාතාල කල්ලි නායකයින් සහ රටේ පාලන තන්ත්‍රයට පවා සම්බන්ධ ප්‍රභූ චරිත. කතාවේ පෙන්වන හැටියට ජෙහාන් ඉන් ලබන්නේ, මූල්‍යමය හෝ දේශපාලනික උවමනාවකට එහා ගිය එක්තරා වියරු ප්‍රමෝදයක්.

ජෙහාන් ගැන  අද මේ විස්තර ටික කිව්වෙ,   ලෝක මට්ටමෙන් මහත් ප්‍රසිද්ධියක් ලැබූ, fbi's most wanted hacker විදියට හැඳින්වූ කෙවින් මිට්නික් ගැන කියන්න ප්‍රවේශයක් විදියට. 

කෙවින් මිට්නික් මේ සෙල්ලම්  පටන් ගත්තෙ අවුරුදු 13 දි, ඒ ඔහුගේ පාසල් යන බස් රථයේ ටිකට් මැශිම අධ්‍යයනය කරලා හැමදාම සල්ලි නොගෙව යන්න ක්‍රමයක් හදාගෙන. 
ඉදිරි වසර 25 කාලය තුල ඔහු අතින් හැක් වීමට ලක් වුන සමාගම් ගණන තිහකට අධිකයි; මොටොරෝලා, Sun microsystems,  නොකියා, Novell software ආදී සමාගම් ඒ අතර ප්‍රධාන කිහිපයක් පමණයි. 

ඔහු මේ වෙනුවෙන් මුලදී දෙවතාවක් අත් අඩංගුවට පත් වුනත්  නැවත නැවත ඒ ක්‍රියාව වෙත යොමුවෙනවා. ඔහු පසු කලෙක සඳහන් කලේ මේ නරක සෙල්ලමෙන්  ලබන විනෝදයෙන් ඔහු එයට ඇබ්බැහි වී සිටි වගයි.

කෙවින්ගේ ලොකුම ආයුධය වුනේ දුරකථනය හරහා මිනිසුන් රැවටීම මගින් ඔවුන්ගෙන් ඉතා වටිනා අභ්‍යන්තර තොරතුරු  ලබා ගැනීමේ සියුම් හැකියාවයි. ඒ ලබා ගන්නා තොරතුරු හරහා තමයි ඔහුට පුලුවන් වුනේ හිතා ගන්නවත් බැරි තරම් ප්‍රබල ආරක්ශිත රැහැන් අස්සෙන් රිංගා ගොස් මෙවැනි විශාල සමාගම්වල දත්ත හොරකම් කරන්නට. 

කෙසේ වෙතත්, අවසානයේ FBI ආයතනය ඔහුව වසර දෙකක් තිස්සෙ ලුහු බඳින්නවා. වෙනස් වෙනස් අනන්‍යතා එක්ක, තැනින් තැනට පැන යමින් හැංගිලා හිටියත් ඔහු 1995 දි නීතියේ රැහැනට හසු වෙනවා. වසර පහක් හිරේ සිටින්නටත්, ඊට පස්සෙ පරිගණකයක් අල්ලන්නෙවත් නැතුව තව වසර 3ක පරිවාස කල්ලයක් ගෙවන්නටත් ඔහුට නියම වෙනවා.

නමුත් ෆෙඩරල් රජයට ඔහු නැතිව බැරි වෙනවා. හිරෙන් මිදී ආ පසු, පරිවාස කාලය තුලදීම ඔවුන් ඔහුගෙන් අහනවා අපේ රජයේ ආයතනවල තියෙන පරිගණක පද්ධතිවල දුර්වලතා (vulnerabilities) හඳුනාගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. ඔහු ඊට කැමති වෙනවා. රජය හොරු අල්ලන්නට හොඳම හොරෙක් බඳවා ගන්නෙ ඔය ආකාරයෙන්.

එතන සිට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. 
දැන් ඔහු අන්තර්ජාල ආරක්ශණය සම්බන්ධව   දේශන  පවත්වනවා, විශාල ආයතනවලට උපදෙස් දෙනවා.  එම ආයතනවල අවසරය ඇතිව එම පද්ධති හැක් කරනවා එහි අඩුපාඩු සොයාදෙන්නට (Ethical Hacking)
ආයතනවල සේවකයන්ට ඔහුගේ ආයතනය හරහා මෙවැනි වංචනිකයන්ට හසු නොවන ආකාරය ගැන පුහුණු වැඩසටහන් (Security Awareness trainings) පවත්වනවා.  
ඒ සමගම ඔහු ග්‍රන්ථ කතුවරයෙක්ද වෙනවා. තමාගේ ජීවිත කතාව ලියු Ghost in the wires කෘතිය ඔය අතරින් ඉතා ජනප්‍රිය වුනා. එහිදී ඔහු සැඟ වී සිටි කාලයේ ඔහු විසින් කරන ලද හැකින් සම්බන්ධව සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා.

කෙවින්ගේ ප්‍රධානම අවිය වුනේ රැවටීම, ඔහු පවසන්නෙ දවස්, මාස ගණන් වෙහෙස වෙලා ක්‍රැක් කිරීමකින් තාක්ශණික පරිශ්‍රමයක් යොදා  සොරා ගන්නා විස්තරවලට වඩා දෙයක් එක දුරකථන ඇමතුමකින් ගන්න පුලුවන් වග. මිනිසුන් ස්වභාවිකවම තව කෙනෙක් විශ්වාස කරනවා. ඒ දුර්වලතාවය තමා සයිබර් අපරාධකරුවන් යොදා ගන්නෙ ඉතාම ආරක්ශිත පද්ධතියක් තුලට පහසුවෙන් රිංගා ගන්න. මේ ක්‍රමයෙන් තොරතුරු සොරා ගැනීමට කියන්නෙ social engineering කියලා..

එනිසා ඔබට ලැබෙන ඇමතුම්, ඊමේල් ගැන සැලකිලිමත් වෙන්න. Microsoft ආයතනයෙන් හෝ ටැක්ස් දෙපාර්තමේන්තුවෙන් හෝ බැංකුවෙන් හෝ කියා ඔබ හරහා තොරතුරු ලබා ගැනීමට හෝ  පරිගණකය ආශිත ක්‍රියාකාරකමක් කරවා ගැනීමට ඔබව පොළඹවන්නේ ජෙහාන් කෙනෙක් හෝ කෙවින් කෙනෙක් විය හැකියි.

End Transcript

Friday, March 9, 2018

VPN තේරෙන සිංහලෙන්!!

Duration: 4:53 mins
** Transcript**මීට දවස් කිහිපයකට කලින්, ශ්‍රී ලංකා රජය විසින්  Facebook, whatsapp, viber ඇතුලු සමාජ මාධ්‍ය වාරනයක් ඇති කලා. රට තුල උද්ගත වී ගෙන ආ නොසන්සුන් වාතාවරනය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සංසරනය වීම වැලැක්විමට මෙම පියවර ගත් බවයි රජය ප්‍රකාශ කලේ.
නමුත් තරුණ කොටස් මෙම වාරණයෙන් ගැලවෙන්නට අලුත් උපක්‍රමයක් යොදා ගත්තා.  ඒ තමයි VPN තාක්ශණය. 


මෙය කෙතරම් පුලුල් ලෙස ඔවුන් යොදා ගත්තාද කිවහොත්, මෙම සතිය තුල අන්තර්ජාලය තුල එම වචනය ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතර ලංකාව 
ලොව පලමුවෙනි ස්ථානය ගත් බව ගූගල් නැබුරුතා (Google Trends) පිටුවේ සඳහන් වුනා.
















ඇත්තටම මොකක්ද මේ VPN කියන්නෙ? 

VPN අකුරුවලින් කියන්නෙ Virtual Private Network කියන එක - ඒ කියන්නෙ අන්තර්ජාලය තුලම තමා වෙනුවෙන් නිමැවෙන එක්තරා ආකාරෙක පුද්ගලික ජාලයක්. කොහොමද මෙය සිද්ධ වෙන්නෙ. අපි සරලව පැහැදිලි කර ගමු.

හිතන්න අපි ගෙදර ඉඳලා ශොපින් සෙන්ටර් එකට යනවා කියලා වාහනේකින්..දැන් වාහනය අන්තර්ජාලය හරහා යන දත්ත පැකට්ටුවක් කියලා හිතුවොත් එයට ඔය තියෙන වංගුවලින්, හැරි හැරි යන්න එයා යන ලිපිනය, ඒ කියන්නෙ ශොපින් සෙන්ටර් එකේ ලිපිනය ඕනෙ. ඉන් බඩු අරගෙන ආපහු එන්න ආපු ලිපිනයත් එහි සටහන් වෙලා තියෙනවා. ඉතින් පාරෙ එයා පහු කරන හැම වන්ගුවකම ඉන්න අයට මේ වාහනේ පරීක්ශා කරලා කියන්න පුලුවන්, එන්නෙ කොහේ සිටද, යන්නෙ කොහේටද කියලා? ඒ කියන්නෙ මේ ගෙදර අය බඩු ගන්න යන ශොපින් සෙන්ටර් එක මොකක්ද, මොන වෙලාවටද යන්නෙ, මොන වාහෙනෙන්ද යන්නෙ, මේ හැමදේම එලියෙ ඉන්න අයට දැනගන්න පුලුවන්. ඉතින් ඉලක්කගත වෙලඳ දැන්වීම්, අනන්‍යතා සොරකම් කරන අයට, ඒ විතරක් නෙවෙයි ඔත්තු බලන අයට මේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි.
මේ විදියට අන්තර්ජාලයටම අඬබෙර නොගහා, අපිට ශොපින් සෙන්ටර් එකට යන්න විදියක් ඇත්තෙම නැද්ද?
ඒක තමයි මේ VPN එක කියන්නෙ?


එතනදි මොකද වෙන්නෙ?


අපි මේ පාර කෙලින්ම ශොපින් සෙන්ටර් එකට යන්නෙ නෑ.. අපි VPN Service එකකට සම්බන්ධ වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදියට අපේ ගෙදර ඉඳලා ඒ ගොඩනැගිල්ලට අපි කියමු උමගක් සකස් වෙනවා.. ඒකට ඇත්තටම කියන වචනෙ ටනල් - ඒකට එහෙම කියන්නෙ අපි සහ VPN provider එක්ක වෙන සන්නිවේදනය End to End Encrypt වී ඇති නිසා පිටින් බලද්දි ඒ තුල යන වාහන, ඒ කියන්නෙ දත්ත පේන්නෙ නෑ. ඒ අර්ථයෙන් තමයි ඔය ටනල් කියන වචනය ඔතනට එන්නෙ. ඔය මම සඳහන් කර ලිපිනය අන්තර්ජාලය තුල හැදින්වෙන්නෙ ජාලයට සම්බන්ධ උපාංගයට අයිති IP Address එක විදියට.





දැන් අපේ කතාවට ආපහු එමු. අපේ ගෙදර ඉඳලා මේ උමග හරහා අපි ඉස්සෙල්ල යනවා අර VPN network ගොඩනැගිල්ලට. ඒකෙන් මට දෙනවා අලුත් IP Address එකක් එක්ක අලුත් වාහනයක්. ඒ වාහනේ මට දුන්නෙ කියලා දන්නෙ ඒ අය විතරයි. එනිසා ඒකෙ යන්නෙ මම කියලා වෙන කවුරුවත් දන්නෙ නැහැ. දැන් මම ඒ වාහනෙන් ශොපින් සෙන්ටර් එකට ගිහිල්ල බඩු අරගෙන ඒ වාහනෙන්ම ආපහු අර අලුත් ලිපිනයට ගිහිල්ලා, මම ආපු වාහනෙන් අර ටනල් එක දිගේ ගෙදර එනවා. දැන් මම ශොපින් සෙන්ටර් එකට කෙලින්ම නොගියට, අර VPN ගොඩනැගිල්ල හරහා කාටවත් නොපෙන්නෙන්ට ඒ ගමන ගිහින් ආවා.


Geo-Block Spoofing
ලංකාවේ මේ මොහොතේ Facebook වාරනය කර ඇතත් බොහෝ දෙනා VPN හරහා පිටරටක තියෙන server මැදින් ටනල් එකක් හදාගෙන ඒ හරහා Facebook වෙත යනවා. මේකට කියන්නෙ භූගෝලීය- වාරණයන් එනම් Geo-Block මග හැරීම කියා. රාජ්‍යය විසින් අන්තරජාල වාරණයන් පනවා ඇති රටවල ජනතාව, මාධ්‍යවේදීන් එම තහනම් කරන ලද අඩවිවලට පිවිසෙන්නෙත්, සමහර රටවලට පමණක් ලබා දෙන චිත්‍රපටි ආදී අන්තර්ජාල සේවාවන් එම අදාල රටේ VPN server හරහා වෙනත් රටවල අය ලබා ගන්නෙත් මේ ක්‍රමයෙනි. නමුත් මේ එක ප්‍රයෝජනයක් විතරයි.

Using VPN for Privacy and Security

VPN එකේ ලොකුම ප්‍රයෝජනය මම මුලින්ම කිව්ව වගේ තමන්ගේ දත්ත ආරක්ශිතව අන්තර්ජාලය හරහා සන්සරනය කරන එක, විශේශයෙන්ම නිවසෙන් බැහැරව ඔබ වෙනත් නොමිලේ දෙන අන්තර්ජාල පහසුකම භාවිත කරන තැනකදි, උදාහරනයක් විදියට ගුවන් තොටුපලක, හොටෙල් කාමරයක හෝ වෙනත් පොදු ස්ථානවල සපයන Free Wi-Fi ජාල භාවිතා කරද්දි කිසිම දිනක බැන්කු කටයුතු වැනි දේ කරන්න එපා. එසේ කරන්නට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මෙවැනි VPN සේවාවක් භාවිතා කරන්න.


  VPN භාවිතා කිරීම හරිම පහසුයි. විනාඩියක් දෙකක් ඇතුලත ඉතා පහසුවෙන් ඔබගේ පරිගැනකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නොමිලේ  සහ මුදල් ගෙවා ලබා ගත හැකි VPN සේවාවන් තියෙනවා. VPN කියන්නෙ කිසිම් අයුරකින් තහනම් දෙයක් නොවේ.. (සමහර රටවල් කිහිපයක් හැර)


හැබැයි, පරෙස්සමෙන්!

මෙතනදි මට වැදගත් උපදෙසක් දෙන්න තියෙනවා. සයිබර් අවකාශයේ ඇති දහස් ගණනක් VPN නිශ්පාදන අතරින් ඔබ තෝරා ගන්න සේවා ගැන තරමක් හොයලා බලන්න, මොකද මෙය විශ්වාසය මත පදනම් වෙන වැඩක්. ඉහත උදාහරනයෙන් වුනත් ඔබට පැහැදිලි ඇති ාන්තර්ජාලයෙන් සැඟවෙන්න ඔවුන් හරහා යද්දි, ඒ සැඟවූ
තොරතුරු සියල්ල ඔවුන් දන්නා වග. මේ අයට පුලුවන් ඒ තොරතුරු වෙන අයට විකුනන්න. එනිසයි බොහෝ විට ෆ්‍රී සේවාවන්වලට වඩා, විශ්වාසනීය සහ ප්‍රකට සන්නාම නාමයන් (trusted and reputed brand names) සහිත මිලෙන් අඩු සේවාවන් සඳහා බොහෝ අය යොමුවන්නෙ.  


එනිසා මා නැවත අවධරණය කරන්නේ VPN යනු අන්තර්ජාලය හරහා ඔබගේ අනන්‍යතාවය සහ දත්ත ආරක්ශා කර ගැනීමට ඉතා පහසුවෙන් භාවිතා කල හැකි, නොමිලේ පවා ලබා ගත හැකි තාක්ශණයක්. 

අන්තර්ජාලය හරහා අප කරන් දෙයින් අපට සඟවන්න දෙයක් නැති වුනත්, අප කරන දෙයට ඇස් ගසා ගෙන සිටින කිසිවෙක් එසේ කරන්නෙ අපට ආදරයට නම් නොවේ, එනිසයි අපි මෙවැනි තාක්ශනික ක්‍රමවේද ගැන නිරතුරුව දැණුවත් විය යුතු වන්නෙ..

** End Transcript **

Tuesday, February 27, 2018

ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර තිබුනු iPad එකට වෙච්ච දේ..


Duration: 3:59 mins
Refer Youtube Video below to listen.

** Transcript**
ස්ටීව් ජොබ්ස් වසර 2010 වසරෙදි තමයි මුල්ම iPad එක හඳුන්වා දුන්නෙ.. මේ සමගම Touch Screen ටැබ්ලට් ආශ්‍රිත වෙලඳ පොල ඔහු විප්ලවීය වෙනසකට ලක් කල බව අදටත් අවිවාදයෙන් පිලි ගනු ලබනවා.
නමුත් අද මම කතා කරන්නේ iPad ගැනවත්, ජොබ්ස් ගැනවත් නෙවෙයි, මිලියන ගනනින් iPad ලොව වටා උණු කැවුම් වගේ අලෙවි වෙද්දි, ස්ටීව් ජොබ්ස්ගේ ගෙදර iPad එකට තිබුනු තැන ගැන.

Newyork Times පුවත් පතේ මාද්‍යවේදියෙක් මේ කාලයේම ජොබ්ස් සමග සාකච්ඡාවක් පවත්වනවා. ඔහුගේ නම නික් බිල්ටන්  .
iPad ගැන තාක්ශණික පැත්තෙ වචන හුවමාරුවකට පස්සෙ, නික් නිකමට වගේ ජොබ්ස්ගෙන් අහනවා " ඔබේ දරුවන් නම් iPad වලට ආස ඇති නේද?" කියලා.
මුලු ලෝකෙම මේ ඉන්ද්‍රජාලික උපාංගයෙන් වසඟ වෙලා , එහි ශක්‍යතාවයන් ටික ටික හඳුනාගෙන එන මේ කාලයේ, ජොබ්ස්ගෙ ගෙදර කොහොම තියෙන්න ඇතිද කියලා නික්ට කුතුහලයක් එන්න ඇති. නමුත් ස්ටීව් ජොබ්ස්ගෙ පිලිතුරෙන් නික් ගල් ගැසී යනවා.
"නෑ එයාලා iPad පාවිච්චි කරලා නෑ.. අපේ ගෙදර දරුවො තාක්ශණය පාවිච්චි කරන තරම අපි සීමා කරලනෙ තියෙන්නෙ"

මේ හමුව ගැන පසු කාලෙක සිහි කරන නික් පවසනවා, ඔහු සිතා සිටියේ ජොබ්ස්ගෙ ගෙදර යෝධ touch screens සවි කරපු බිත්ති තියෙන, කෑම මේසෙ දිගේ iPads සවි කරපු, iPods චොක්ලට් වගේ එන අමුත්තන්ට පිලි ගන්වන තාක්ශණික පාරාදීසයක් වෙන්න ඇති කියලා.
"නැහැ, ඒ ලඟින්වත් යන්නෙ නෑ කියලා" ජොබ්ස් කියලා තියෙනවා.
මේක ඇත්තටම නික්ට අදහා ගන්න බැරි වුනා. ජොබ්ස්ගෙ ජීවිත කතාව ලිව්වෙ වෝල්ටර් අයිසැක්සන් කියන රචකයා. ඔහු ඒ පොත ලියන්න ස්ටීව් ජොබ්ස්ගෙ ගෙදර නිතරම කාලය ගත කල කෙනෙක්. එනිස ස්ටීව්ගෙ කතාව සහතික කර ගන්න නික් ගියේ වෝල්ටර් ගාවට.
වෝල්ටර් එය සනාථ කරමින් මෙහෙම කියනවා.
"හැම හවසකම ස්ටීව් කියලා තිබුනේ කෑම ගන්න ඕනෙ එකට - ගෙදර තියෙන දිග, විශාල මේසෙ - ඔවුන් පොත් ගැන, ඉතිහාසය ගැන සහ වෙනත් විවිධ මාත්ෘකා ගැන කතා කරනවා. කිසිම දරුවෙක් ඔය වෙලාවට iPad හෝ පරිගනකයක් එලියට ගත්තෙ නෑ... කොටින්ම ඔවුන් මේ වගේ උපාංගවලට කිසිලෙසකින්වත් ඇබ්බැහි වෙලා සිටියෙ නෑ" වෝල්ටර් සිහි කලේ ඒ දරුවන් ගැන විශාල පැහැදීමකින්.

නික්ට ඊට පසුව හමු වුන තාක්ශනික ආයතනවල මුල් පුටු හොබවන නිලදාරීනුත් මීට සමාන ආකල්පයක සිටියේ කියා ඔහු ඔහුගේ ලිපියේ හෙලි කරනවා. ඒ හැමෝම වගේ දරුවන් මෙම උපාංග භාවිතා කරන කාලය දැඩි ලෙස සීමා කරනවා. ඔවුන් සඳහන් කරන්නේ, තමන් තාක්ශණයේ අවදානම ඇස් පනා පිට දකිද්දී, ඔවුන්ගේ දරුවන් ඊට ගොදුරු වෙනවා දකින්න ඔවුන්ට බැහැ යන්නයි.

දරුවන්ට ගැලයෙන තිර කාලය (screen time)  තීරනය වෙන්නෙ වයස අනුව.
සාමාන්‍යයෙන් අවුරුදු දෙකට අඩු දරුවනට මෙම උපාංග භාවිතය හානිකරයි යන්න තමයි විද්වතුන්ගේ මතය. වයස අවුරුදු දෙකේ සිට පහ දක්වා දවසකට පැයකුත්, පහේ සිට 17 දක්වා දවසකට පැය දෙකකුත් තමා ඔවුන් නිර්දේශ කරන්නෙ. මෙය විනෝදාස්වාදයට අදාල කාලය පමනයි, අධ්‍යාපනික හෝ නිර්මාණාත්මක දෙයක් වෙනුවෙන් ගත් කරන කාලය මෙම සීමා කිරීම්වලට වැටෙන්නේ නැහැ.
මේ සීමා කිරීම එක පාරට කරන්න අවශ්‍ය නැහැ. එහෙම උචිතත් නැහැ මොකද හැම පවුලක්ම එකිනෙකිට වෙනස්, එනිසා මේවා තමන්ට අදාල වෙන විදියට මාර්ගෝපදේශ ලෙස පමන්‍යි ගන්න ඕනෙ.
අවශ්‍ය වන්නේ අවබෝධයෙන් හරි සමබරතාවයක් ඇති කර ගන්න එක තමයි.

මුලින් කුඩාවට පටන් අරන්, දිනපතා අදාල තිර කාලයට දරුවන් එක්ක එකඟ වෙන්න. කිසි දිනක් නිදන කාමරයේ මෙම උපාංග තියන්න එපා. එකට එකතු වී පොත් කියවන, චිත්‍ර අඳින, ක්‍රීඩා කරන කාල වෙන් කර ගන්න. ගමන්ක් යද්දි වුනත් ඔවුන්ට ටැබ්ලට් ආදිය වෙනුවට පොත්, සෙල්ලම් බඩු ගෙනි යන්න පොළඹවන්න පුලුවන්.
මින් ඉතාම වැදගත් දේ අපි ආදර්ශමත් වෙන එක. අපගේ ඉලෙක්ට්‍රොනික උපකරන පසෙකින් තියලා ඔවුන් සමග පොත පත කියවන්න, සෙල්ලම් කරන්න, කාලීන මාත්ෘකා ගැන සාකච්ඡා කරන්න, චිත්‍ර, සංගීත ආදියේ පොඩි කාලෙයකට හරි නියැලෙන්න හැකි නම් මේ උවදුරුවලින් ඔවුන් මුදවාගන්න පුලුවන් හොඳම ක්‍රියාමාර්ගය එය බව ඔබත් මාත් වටහා ගන්න ඕනෙ.

** End Transcript***

පසු සටහන: මේ බ්ලොග් එක පටන් ගත්තෙ ලඟදි. මේ ලිපි පිටිපස්සෙ පර්‍යේශන සහ නිර්මාණ පරිශ්‍රමයක් තියෙන වග අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ හරහා යම් දැනුමක් සමාජගත කරන්න කරන මේ උත්සාහය එක්ක ඔබත් එකතු වෙන්න.
මේ ලිපි ප්‍රයෝජනවත් කියලා සිතේ නම් දකුනු පස තියෙන 'Follow' බොත්තම ඔබල Subscribe වෙන්න.
ඔබට සුබ දවසක්!

මූලාශ්‍ර
නික් බිල්ටන්ගේ New York Times ලිපිය
තිර කාලයට අදාල  Guidelines

Wednesday, February 21, 2018

වෙස්ටන් යුනියන් වන්දිය සමහර විට ඔබටත් හිමි ඇති. කියවලා බලන්න..


Duration:  3.36 mins
** Transcript **
පසුගිය වසර 14ක කාලය තුල, ඔබට ස්කෑම් වංචාවකට අහු වෙලා වෙස්ටර්න් යුනියන් හරහා වංචනිකයන්ට මුදල් යවන්න වී තිබේද?   උත්තරය ඔව් නම් මේ තොරතුරු ඔබට බොහෝ විට සුබ ආරංචියක් වේවි.

ඇමරිකානු නීති දෙපාර්තමේන්තුව වෙස්ටර්න් යුනියන් සමාගමට එරෙහිව පැවරූ නඩුවකින් එම ආයතනය පරාජය වුනා. එහි ප්‍රතිපලයක් ලෙස එම සමාගමට සිදු වුනා ඩොලර් මිලියන් 586ක දඩ මුදලක් ගෙවන්න. ඇමරිකානු නීති දෙපාර්ත්මේන්තුව මේ මුදලින් ලොව වටා අගතියට පත් වූ පාර්ශව වලට වන්දි ගෙවන්න තීරනය කරලා තියෙනවා.

මුලින්ම අපි මතක් කර ගමු ස්කෑම් එකක් කියන්නෙ කුමක්ද කියලා? බොහෝ විට ඊමේල් හරහා හෝ අන්තර්ජාල අඩවි හරහා වංචනිකයන් විසින් විවිධ උපක්‍රම යොදාගෙන මුදල් සොරා ගැනීමට උත්සාහ කරනවා. සමහර විට විදෙස් ගත පවුලේ කෙනෙකුට හෝ මිතුරෙකුට කරදරයක් හෝ ඔබට ඇදුනු හදිසි ලොතරැයියක ත්‍යාග මුදල ලබාගැනීමට පෙර කරන ගෙවීමක්, රැකියා අවස්ථා, අන්තර්ජාල ප්‍රේම සම්බන්ධතා (online dating/romance) ආදී ඕනෑම ක්‍රමයකින් ක්ශණික මුදල් හුවමාරුවක් කර ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. මේ සඳහා ඔවුන් බොහෝ දුරට භාවිතා කරන්නේ වෙස්ටර්න් යුනියන් වැනි ආයතනයක් හරහා කරන මුදල් හුවමාරු (wire transfer).
අදාළ නඩුවෙන් වෙස්ට්‍රන් යුනියන් සමාගම පැරදුනේ එලෙසින් මුදල් වංචා කිරීමට එරෙහිව ඔවුන් ප්‍රමාණවත් ආරක්ශණ ක්‍රියාමාර්ග ඔවුන්ගේ පාර්ශවයෙන් ගෙන නැති බවට ඔප්පු වූ නිසා.

ඔස්ට්‍රේලියානු රජය ජනතාවට මතක් කර සිටිනවා 2004 සිට 2017 දක්වා දිනක මෙලෙසින් වෙස්ටර්න් යුනියන් හරහා වංචාකරුවන් විසින් මුදල් සොරා ගත් අය සිටී නම් එම අදාල වන්දි අයදුම්පත මැයි 31ට පෙර යොමු කරන
ලෙස. එම වන්දි අයදුම්පත තැපෑලෙන් හෝ අන්තර්ජාල පෝරමයක් ලෙස යොමු කල හැකියි.
මීට සම්බන්ධ සියලු විස්තර ඔස්ට්‍රේලියාන් රජයේ ස්කෑම් දැනුවත් කිරීම සම්බන්ධ පිටුව වෙන www.scamwatch.gov.au අඩවිය හරහා ඔබට දැනගත හැකිය. නැතහොත් වන්දි ගෙවීම සම්බන්ධයෙන්ම පිහිටුවා ඇති ඇමෙරිකානු වෙබ් අඩවිය වන http://www.westernunionremission.com/ හරහා මීට අදාල සියලු විස්තර ඔබට දැනගත හැකිය.
මතක තබා ගන්න මේ සම්බන්ධ අයදුම්පත භාර ගන්නා අවසාන දිනය මැයි 31 දා. ඔබේ හිත මිතුරනුත් මේ ගැන දැනුවත් කරන්න.

මෙවැනි ස්කෑම් හරහා වසරකට ඩොලර් මිලියන 5ක පමණ මුදලක් ඔස්ට්‍රේලියානුවන් නැති කර ගන්නවා. බලදාරීන් කියන්නෙ බොහෝ දෙනෙක් මෙවැනි සිදුවීම් වාර්තා නොකරන නිසා ඇත්ත පාඩුවට මීටත් ව අති විශාලයි කියලා.
එනිසා අවදියෙන් ඉන්න. ඔබ අපේක්ශා නොකරන ත්‍යාග, ණය දීමනා, රැකියා අවස්ථා, විශාල මිල අඩු කිරීම් සහිත නිශ්පාදන සඳහන් කොට ඒ වෙනුවෙන් ඉල්ලා සිටින ගෙවීමක් හෝ පවුලේ කෙනෙක්ගෙන් එන හදිසි මුදල් අවශ්‍යතාවයක්, පොලීසියෙන් එන දඩ මුදල් ඉල්ලා සිටීමක් වැනි රැවටීම හරහා මුදල් වංචා කිරීම සම්බන්ධව අතිශය පරෙස්සම් වෙන්න.
ඒ නැතිවෙන මුදල් ගියේ කාටදවත් සොයා ගන්න බැහැ මෙවැනි wire transfer හරහා ඔවුන්ට මුදල් ලැබුනු පසු.
මෙවැනි වන්දි වැඩස්ටහනකින් පවා ඔබේ නැති වූ මුදල් සියල්ල ලැබේ යැයි සහතිකයක් නැහැ. එනිසා ඒ ගැන දැනුවත් වී එවැනි වංචාවලට හසු නොවීමට තමයි ඔබ ඉටා ගත යුත්තේ.

End transcript

අදාල සබැඳි..

ඔස්ට්‍රේලියානු රජයේ නිවේදනය

ScamWatch

Western Union Remission page



Tuesday, February 13, 2018

ෆෙස්බුක් බැලීම කුඩු ගැහුවා වගේද?

මේ ලිපිය  සෑහෙන අවධානයක් ගත් බව මට ලැබුනු ප්‍රතිචාරවලින් පැහැදිලි වුනා. ඒකට දිවයින යොදපු ලිපි ශීර්ෂයත් (Title)  බලපාන්න ඇති.

අදාල දිවයින ලිපිය 

ඒ ශීර්ෂයට මගේ එතරම් මනාපයක් නොවුනත්, වැඩි පාඨක අවධානයක් වෙනුවෙන් එය එසේ යොදා ගැනීම ගැන මගේ ගැටලුවක් නොමැත.

මේ එක්ක මගේ මිතුරෙක් මට හෙලිකරා මේ ලිපියම හිරු ගොසිප් එකේ ලිව්වෙ කව්ද කියන්නෙ නැතුවම දාලා කියලා, අඩු ගානෙ දිවයිනේ නමවත් සඳහන් කරන්න තිබ්බනේ.
පැහැදිලිවම අවම මාධ්‍ය සදාචාරයවත් නැහැ.. දිවයිනේ මාධ්‍ය සගයන් කිව්වෙ ඒ අය ඔය නිර්ලජ්ජිත වැඩේ නිතර කරනවා කියලා.. 

මෙන්න හිරු ගොසිප් එකේ ලින්ක් එක