Tuesday, July 14, 2020

Episode 62: කොරෝනා මේ පාර නම් ගහන්නෙ ඔලුවටමයි..



ජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගර
ය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. 
මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයර‍යේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සි‍ර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ  අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි..


මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට නැවත මේ සීමා කිරීම් දක්වා යන්නට සිදු වුනා. මේ අතර අනෙක් ප්‍රාන්ත වික්ටෝරියානුවන්ට තමන්ගේ ප්‍රාන්තයට පැමිනීම තහනම් කරලා
එනිසා ප්‍රාන්තයක් විදියටත්, මෙල්බර්න් නගරයේ නම් පවුල් විදියටත් මේ මොහොතේ අපට දැනෙන්නේ හුදකලා වූ, සමාජ ජීවිතයෙන් දුරස්ථ වූ මානසික තත්වයක්.
මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දෙන්නේ මෙම අලුත් තත්වය නිසා ඉතා විශාල ලෙස මානසික සෞඛ්‍යයට හානි සිදු විය හැකි බවයි.

සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොලය සහ මනස කේන්ද්‍රයේ මහාචාර්‍ය ඉයන් හිකී මහතාට අනුව, මෙම දෙවන වර සීමා කිරීම් මානසිකව අතිශය හානිකර වෙනු ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යට මෙන් නොව ඔස්ට්‍රේලියාවෙ තත්වය යහ්පත් යැයි සිතා නැවත සාමාණ්‍ය ජන ජීවිතයට එන්නට ජනතාව සූදානම් වෙනවාත් සමඟම රැකියා විරහිතවීම්, අවිනිශ්චිත ආර්ථික කාරනා  සහිතව, නැවත නිවෙස් තුල සිර වෙන්නට සිදු වීම කොහෙත්ම ලේසි නැති බවයි මහාචාර්‍යවරයා පවසන්නෙ.

කොරෝනා වසංගත තත්වය උද්ගත වීමෙන් පසුව Lifeline වෙත ලැබුනු දුරකථන ඇමතුම් සංක්‍යාවේ වැඩිවීම 25%. Lifeline යනු සියදිවි නසා ගැනීමට තරම මානසික බිඳ වැටීමට ලක් වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන ජාතික සහන සැයපුම් සේවාවයි.
එලෙසින්ම, Depression මානසික තත්ව‍යෙන් පීඩා විඳින්නන්ට සහනය සපයන Beyond Blue වෙත ලැබුනු ඇමතුම් සංඛ්‍යාවේ වැඩිවීම 40% කි. මින් ඔබට පැහැදිලි ඇති මේ මොහොතේ මානසික සෞඛ්‍ය සම්බන්ධව ජාතික මට්ටමෙන් ඇති වී තියෙන භයානක නැඹුරුව..
Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.

මහාචාර්‍යවරයා මතක් කර දෙන්නේ විවිධ ප්‍රජාවන් ඉලක්ක කරගෙන චෝදනා එල්ල කිරීම මේ තත්වය බැරෑරුම් කරන බවයි.  ඉන්ග්‍රීසි කතා නොකරන සමහර ප්‍රජාවන් කොවිඩ් ව්‍යාප්තියට දායක වූ බවට කෙරෙන චෝද්නා වෙනුවට එවැනි ප්‍රජාවන් දෙස මානුශිකව කටයුතු කරමින් ඔවුන්ට සහය දැකිවීමේ කාලීන් අවශ්‍යතාවය ඔහු තව දුරටත් පෙන්වා දෙනවා. මෙම ප්‍රජාවන් එක්ක එකතු වී කටයුතු කිරීම විනා ඔවුන් ඉලක්ක කරනා බව හැඟවෙන සීමා කිරීම් අතිශය හානිකරයි.


Former national mental health commissioner Ian Hickie.
"We can cope with this collectively, we can't if we start pointing the finger."  - Professor Ian Hickie
 Black Dog ආයතනයේ පර්‍යේශිකාවක් වෙන ආචාර්‍ය ඇලිසා වෙර්නර් පෙන්වා දෙන්නේ - දෙවන වර සීමා කිරීම් වෙත යාමේදී වඩා අපහසු වෙන්නේ  anticipatory anxiety ටහ්ත්වය නිසයි. ඉන් අදහස් වෙන්නේ - Anticipated එනම් 'වෙන්න තියෙන දේ අවිනිශ්චිතතාවය, අසරණබව හා    සබැඳි මානසික ආතතික තත්ත්වයයි.  ඇය පෙන්වා දෙන්නේ මෙවැනි අරබුධකාරී මොහොතක ඔවුන්ට  අවශ්‍යම වෙන සමාජීය ක්‍රියාකාරිත්වය (social interactions) සඳහා වැට බැඳීමක් මෙම සීමා කිරීම් නිසා සිදුවෙන නිසා තත්වය වඩාත් බැරෑරුම් වෙන වගයි. 

යම් කිසි අපහසුතාවයක් ඇත්නම්, කිසිම පැකිලීමකින් තොරව දුරකතන මාර්ගයෙන් හෝ තමන්ගේ වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන, ඒ හරහා අවශ්‍ය නම් මානසික සෞක්‍ය ව්ෘත්තිකයන්ගේ සහය ලබා ගන්නට සැමවිටම අප උත්සුක විය යුතු බව ඇය මතක් කර සිටිනවා. 

අපි කතා කරන්න  අකමැතිම තත්වයක් තමයි මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු. බොහෝ විට ආකල්පමය පැත්තෙන් අපේ තියෙන්නෙ ඒ සම්බන්ධව බොහොම අඳුරු චිත්‍රයක්. නමුත් යහපත් මානසික තත්වයෙන් ඉන්න කෙනෙක් පවා මේ පවතින තත්වයන් එක්ක තාවකාලිකව අභියෝගයට ලක් විය හැකියි, එවැනි විටෙක සහය ලබා ගැනීම ලජ්ජවට කාරනයක් නොවන වග අප මතක තබා ගත යුතුයි.

තමන්ගේ දිවි තොර කර ගැනීම වැනි තැනකට යොමු විය හැකි කෙනෙක් වෙතොත් ඔවුන්ව වහාම Life Line වෙත යොමු කරවන්න. දුරකථන අංකය 13 11 14
අන්තර්ජාලය හරහා නම් lifeline.org.au and  Beyond Blue.org.au   හරහා මෙම සහන සේවාවන් ලබා ගත හැකියි.

සයිබර සටහන වෙනුවෙන් අප මතක් කර දෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කිරීමේදීත් ඔබගේ මානසික තත්වයට උචිත දේ තෝරා ගන්න. හිත සැනසෙන, චිත්ත ප්‍රීතිය, දැනුම සතුට ලබා දෙන දේ ඕනැ තරම් අන්තර්ජාලයේ තියෙනවා. එලෙසම හිත තව තවත් අඳුරට යොමු කරවන, පීඩාවට පත් කරන  වාද විවාද, වෛරී ප්‍රකාශ, ආදිය විශේෂයෙන්ම සමාජ ජාලා හරහාත් නිතර දකින්නට ලැබෙනවා.
ස‍යිබර් අවකාශයේදි අපගේ මානසික සහනය හෝ අසහනය හෝ තීරනය වෙන්නෙ අපි මෙලෙසින් උදේ හවා ගනු දෙනු කරනා අපේම තෝරා ගැනීම් එක්කයි..

මේ දේ ගැන සබුද්ධික නොවුනොත් වෙන්නෙ  අහක යන ඩිජිටල් නයි, ඔලුව අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියමින් මානසික ව ලතවෙන්නයි.


Monday, July 13, 2020

Episode 61: Black Lives Matter වෙත සයිබර් ප්‍රහාර

<< Broadcast on 3ZZZ Radio on 21st June 2020 >>

  Date: මැයි 25 දා
Place:  MineaPolis, Monesota, USA
අමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.
කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. 
Standing for George Floyd • Jim Hightower
මේ තත්වය  ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා.

කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි.

මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා.
Hacktivist group Anonymous hack police website & demand Justice ...


Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා.  ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා.
මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා.

ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා.
ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා.
Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්.  Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්.

මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.

මේ ව්‍යාපෘතියට සහයෝගය දෙන ප්‍රධාන පෙලේ වෙබ් අඩවි සියල්ලටම පෙර නොවූ විරූ තරමින් මේ දිනවල සයිබර් ප්‍රහාර එල්ල වෙන වග ඒ සම්බන්ධ විශේෂ විශ්ලේශන කරන cloudfare ආයතනය පවසනවා. ඒ නිසා වීදියේ මුහුනට මුහුන බාධා නැතිවුනත් ඉතාමත් සංවිධානාත්මකව මෙම ජනතා අරගලයට සම්බන්ධ වෙබ් අඩවි වලට DDOS ප්‍රහාර එල්ල වෙනවා.
DDOS කියන්නෙ Distributed denial of service - මෙතනදි ඔවුන් කරන්නෙ, විසිරුනු ජාලයක් හරහා   ඔවුන් ඉලක්ක කරන වෙබ් අඩවියට දරා ගත නොහැකි ප්‍රමානයෙන් සම්බන්ධතා එක මොහොතෙ එල්ල කරමින් එම අඩවිය අඩපන කිරීම හෝ සම්පූ‍ර්ණයෙන්ම ක්‍රියා විරහිත කිරීම.
Cloudfare ආයතනය පවසන පරිදි මැයි මාසෙ සති අන්තයක පමනක්, මෙම වෙබ් අඩවි ඉල්ලක්ක කරගෙන ආ සම්බන්ධතා මිලියන 120ක් ඔවුන් නවතා,ෙම වෙබ් අඩවි වලට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්නට  උදව් කරලා තිබෙනවා. මේ කාර්‍ය කෙතරම් පැතිරිලාද කියනවා නම් ඔවුන් මෙලෙසින් ඉලක්ක වෙන සාමාන්‍ය වෙබ් අඩවි බේරා ගන්නට Project Galileo නම් ක්‍රියාන්විතයක් ආරම්භ කරලා තියෙනවා.

ඔය අතරෙ මේ අරගලය වෙනුවෙන් උනන්දු වෙලා, සයිබර් අවකාශයෙ ක්‍රියාත්මක අය ඉලක්ක කරගෙන ඉතා භයානක scam එකක් දැන් පැතිරෙන්න අරන්.
මෙහිදී වෙන්නෙ,  මේ අරගලයට සහය වෙන්න එක්තරා document එකක විවෘත කරන්න ඉල්ලා සිටිමින්. නමුත් එය විවෘත කරොත් වෙන්නෙ TrickBot කියන භයානක වෛරසය install වෙන එක. මෙය හරහා RYUK නැමැති ඉතා විනාශකාරී කප්පම් වෛරසය පවා ජාලවලට එකතු වෙන්න පුලුවන් අවදානමක් තියෙනවා.

දැන් ඔබට පැහැදිලි ඇති අපි මේ මහ පාරෙ දකින්නෙ මේ අරගලයේ බොහොම පොඩි කොටසක්. සයිබර් අවකාශයේ මේ වෙද්දි ගල උඩ සටන ආරම්භ වෙලා තියෙන්නෙ.
එනිසා... ඔබ දේශපාලනිකව මේ තත්වය ගැන මොන මතයේ සිටියත්, ඔබ සයිබර් ආරක්ශාව ගැන වෙනදටත් වඩා විමසිලිමත්ව ඉන්න..
මොකද මේ වගේ ගිනි කෙලිවලදී, මේ ගැන සබුද්ධික නැති අය ඔය මැද්දට ගියහම, cross fire එකට අහු වෙන්න ඉඩ තියෙන නිසා.





Wednesday, June 3, 2020

Episode 60: කරටි කඩන Working From Home


Broadcast on 3ZZZ Radio on 31st May 2020

නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය.


ACA Working From Home With Proper Posture (Video)නමුත් මේ හැම දේකටම කලින් අපට දැනෙන හානියක් තියෙනවා නිසි විදියට සැලකිලිමත් නොවුනොත්..ඒ තමා ගෙල, පිට සහ කොන්ද ආශ්‍රිතව, වැරදි ඉරියව්වේ  දිගටම යෙදීම නිසා වන කශේරුකා අස්ථි ආශ්‍රිත ගැටලු. 
මේ සම්බන්ධව ඉතා මෑතක රෝගීන් බොහෝ දුරට කශේරු අස්ථි විශේෂඤ්ඤයින් වෙත යොමුවු බව Australia Chiropracters Association (ACA) ආයතනය වාර්තා කරනවා. 

එනිසා අද අපි කතා කරමු, නිවසේ සිට පරිගණක ආශ්‍රිතව වැඩ කිරීමේදී (Working From Home) අප කොහොමද පරෙස්සම් වෙන්නෙ කියලා.


අපි බොහෝ දෙනෙක්, මේ covid normal තත්වයත් එක්ක ඇපේ දෛනික වැඩ කරන විදිය උඩ යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයිනේ..
උදේම ඇඳෙන් බැස්ස ගමන්, තේ එකත් එක්ක අපි ලැප්ටොප් එක අරගෙන යන්නෙ එක්කො coffee table එකට, එහෙමත් නැත්නම් සුව පහසුව වැඩ කරන්න sofa එකකට.
මේ විදියට අපි පැය ගානක් එක දිගට ගත කරද්දි අපේ බෙල්ල පිටුපසින් දැනෙන තද ගතිය (strain) හෝ උර්හිස හරහා යන වේදනවාට  හේතු කුමක් විය හැකිද?
ඒ අපේ වැරදි චර්‍යාවන්. (Improper ergonomics)

අපිට මේ සම්බන්ධව බොහොම සරලව ක්‍රියාත්මක කරන්න පුලුවන් කාරනා කිහිපයක් ACA ආයතනය පෙන්වා දෙනවා.

මූලිකව පරිගණක තිරය තියෙන්න ඕනෙ ඔබේ ඇස් මට්ටමේමයි. සාමාන්‍යයෙන් අතේ දුරින් තියෙන්නත් ඕනෙ.  
පුටුවක හෝ sofa එකක පරිගනක තිරය බලද්දි අපි බොහෝ විට හිස පහතට හරවාගෙන, අත් හිරකරගෙන පැය ගානක් වැඩ කරන්නෙ. එනිසා අපේ අස්ථි සෞඛ්‍ය ගැන හිතලා අපි වහාම මේක වෙනස් කරන්න ඕනෙ.


කොහොමද මේක කරන්නෙ?

ඔබ භාවිතා කරන්නේ ලැප්ටොප් එකක් නම් තිරය ඇස් මට්ටමට ගේන එක ප්‍රායොගික නැහැ keyboard එක එවිට ඉහලට එසවෙන නිසා. එනෙක laptop keyboard භාවිතාවෙන් උරහිස් වේදනාවන් ඇති වෙනවා.
මේ සඳහා  ඔවුන් නිර්දේශ කරන්නෙ keyboard සහ mouse වෙනම සම්බන්ධ කරන්න laptop keyboard එක භාවිතා නොකර. එවිට keyboard සහ mouse මේසය මත තබා laptop එක ආධාරකයකින් ඔසවා ඇස් මට්ටමට ගේන්න පුලුවන්. 
මේකට විශාල ගනකම් තියෙන පොත් කිහිපයක් එක මත තැබුවත් ඇති.
අන්තර්ජාලයේ බොහොම අඩු මුදලකට මෙලෙසින් මේසයක් මත තැබිය හැකි laptop stands ඔබට ඇනවුම් කරන්නටත් පුලුවන්.

එතකොට මේසෙ උස මොන වගේ විය යුතුද? 
ඔබ අසුන් ගෙන සිටින විට වැලමිට මට්ටමට මේසය උස වෙන්න ඕනෙ. එවිට අතේ බර මේසයට ලැබෙන නිසා අතේ පේශි වලට එන විඩාව (fatigue) අඩුවෙනවා. 

ඒ එක්කම අපි තෝරා ගන්න පුටුව ඉතා වැදගත් මොකද එය තමයි අපේ පිටේ බර සම්පූර්ණයෙන්ම දරා ඉන්නෙ සහ අපේ back posture එක රඳවා ගෙන ඉන්නෙ.
ඔවුන් පුටුවෙ උස විදියට මතක් කරන්නෙ දෙපතුල් පොලොවෙ හෝ foot rest එකක් මත රඳවන්න පුලුවන් උසක්. 
කකුලක් පිට කකුලක් දමා වැඩ කිරීම කොන්දේ ආබාධ ඇති කරනවා. 

 ඔබට මිලදී ගන්න පුලුවන් standing desk. ඒවායෙ desk උස වෙනස් කරන්න පුලුවන්. අපට සේවා ස්ථානයේදී   නම් උපදෙස් දීල තියෙන්නෙ විටින් විට විනාඩි 20ට පමණ සිට ගෙන පරිගනකයේ වැඩ කරන්න කියලා. 

Mobile Standing Computer Workstation with Keyboard Tray | Stand Up ...
අනෙක් කාරනය තමා එක දිගට පරිගනකයේ වැඩ කරන්නෙ නැතිව නිරන්තර කෙටි විවේක (regular breaks) ගැනීම.
විශේෂ්ඤ්ඤ උපදෙස නම් සෑම විනාඩි 30-40 ට සැරයක් විනාඩියක දෙකක විවේකයක්.එහිදී ඔවුන් මතක් කරන්නේ බෙල්ල ආශ්‍රිත ,මෘදු stretching exercises කරන්න කියලා. අඩුම ගානෙ පොඩ්ඩක් එහේ මෙහේ ඇවිදින්න කියලා. 

මේ වෙනුවෙන් ඉතා වටින app එකක් තියෙනවා, straighten up කියලා.
එම ඇප් එක විසින් ඔබට කෙටි විවේකයක් ගන්න, අවශ්‍ය ප්‍රමානෙට ජලය පානය කරන්න එහෙම  මතක් කරන අතරේ, ඔබ කල යුතු stretching exercise ආදිය පෙන්වා දෙනවා. 


මා මේ සඳහන් කල කාරනා සරල වුනත් මේ කතා කරන මාත් පහසුව වෙනුවෙන් මේ බොහෝ උපදෙස් පිලිපැදීම අතපසු කරන බව අවංකවම පිලි ගන්න වෙනවා.. 

නමුත් මම දැන් වඩා සුදුසු working space එකක් වෙනුවෙන්, standing desk එකක් අන්තර්ජාලයෙන් ඇනවුම් කරලා තියෙන්නෙ. ඒක අද හෙටම ලැබේවි. 

ඔබත් මේ ගැන හිතන්න. කශේරුව හොඳට තියෙන වෙලේ, ඒ ගැන පිට කොන්දක් ඇතිව තීන්දුවක් ගන්න.

Sources
https://www.chiro.org.au/patients/campaigns/working-from-home/ 

ප.ලි:
අර order කරපු standing desk    එක ආවා.. පුදුම පහසුවක් දැන් තියෙන්නෙ..
ජනේලෙන් එලියත් පේන හොඳ තැනක් තෝර ගත්තා. ඩෙස්ක් එක මෙ තියෙන්නෙ වාඩි වෙන ඉරියව්වට.. ඒකෙ ඔය තියෙන ලෙවල් දෙක වෙන වෙනම් උඩට පල්ලෙහාට ගන්න පුලුවන්..



Tuesday, May 26, 2020

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් හරහා අපේ ප්‍රජා වගකීම මතක් කරන්නට වරම් ලැබුනා..



Braodcast on SBS Sinhala service on 26th May 2020.



SBS සිංහල සේවයෙන් ඇමතුමක් ලැබුනා අපගේ සාමාජීය වගකීම ගැන කෙටියෙන් අදහසක් ප්‍රකාශ කරන්න කියලා..
මේ එම වැඩසටහන..

මම pitch කරේ " With great freedom comes great responsibility" කියන කාරනය මොකද මේ කරපු ඔක්කොම කැපවීම වතුරේ නීති ලිහිල් කරද්දි ආපහු හැල්මෙ දුවන්න පටන් ගත්තොත්..


"ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්අපත් සමග කතා බහට එක් වුයේ ඇඩිලේඩ් හි වෛද්‍ය සරත් සේනාදීර , ක්වීන්ස්ලන්තයේ මහාචාර්ය ජේ වීරවර්ධන , NT හි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ සභාපතිනි ඉනෝකා පින්තූ , මෙල්බන් නුවරින් චම්පික යටගම , සිඩ්නි නුවරින් කැලුම් ඉනාමලුව"

වැඩසටහන් සම්පාදනය: චරිතා අධිකාරි

Friday, May 22, 2020

Episode 59: තණමල්විල කොල්ලෙක් සහ Virtual Autism

<<Broadcasted on 3ZZZ Radio on 17th May 2020>>

මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. '
ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ ,  වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්‍යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස චිත්‍රනය කරනවා.
කතා නායකයා, කොලඹ සිට යුරෝපයට සංක්‍රමනය වෙන්නේ ඉතා සාර්ථක කලා කරුවෙක් විදියට- ඔහුට එතනට එන්නට ඔහු මහ පොලොවේ කල සටනත්, තමාගේ ආදරණිය පවුල විසින් ඔහු වෙනුවෙන් කල කැපවීම සහ ආදරය පදනම සැපයූ අයුරුත් එහි  අපි දකිනවා.

අද සයිබර් සටහනට මම කතා කරන්න යන්නෙ මේ ටෙලි නාට්‍යය ගැන නම් නොවේ.. අද දවසෙ මම කතා කරන්න යන ප්‍රස්තුතයට මේ කතාව හරහා ප්‍රවේශයක් ගත්තා පමණයි. 

මම  අද කතා කරන්නෙ ඔබ බොහෝ දෙනෙක් අසාවත් නැති, ලෙඩක් ගැන - ඒකට කියන්නෙ Virtual Autism කියලා. 

ඔබ Autism හෙවත් Autistic Spectrum Syndrome (ASD) ගැන සහ එහි රෝගී ලක්ශණ ගැන හොඳටම දන්නවා.. එනිසා ඔබ කල්පනා කරනවා ඇති මොකක්ද මේ අලුත් Virtual Autism ලෙඩේ කියලා.
Virtual Autism” May Explain Explosive Rise in ASD DiagnosesThe testimony of two families that have escaped Virtual Autism


සරලව කිවහොත් වයස අවුරුදු 4ට අඩු දරුවන්, ඉතා වැඩි වේලාවක් ඉලෙක්ට්‍රොනික තිර වෙතට යොමු  වී සිටීම නිසා ඔවුන්ගේ මොළයේ වර්ධනයත්, සමාජීය හැකියාවන් වර්ධනය නොවීමත් නිසා නිසා ඒ දරුවන් Autism වලට සමාන රෝග ලක්ශණ පෙන්වන්නට ගැනීම තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ ගැන මේ මොහොත වෙනකොට වසර ගණනාවක් පුරා රටවල් කිහිපයක සිදු කරන ලද අධ්‍යයනයන් වල වාර්තා ලැබෙනවා. ඒ හැම දේකින්ම අපේ අනාගත දරු පරපුර ඉදි‍රියේැථි භයානක ව්‍යසනය ගැන අනතුරු හඟවනවා.

කොහොමද තිර නිසා බිළින්දන් මේ තත්වයට ගොදුරු වෙන්නෙ?
තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ ඒ තරුණ කැල ජීවිතය ඉගෙන ගන්නෙ වැටී වැටී, වැරදි වැරදි.. ඒ තුලින් ඔවුන් ජීවිතය පරිචය ලබා ගන්නවා. අපි හැමෝම එහෙමයි.. හැමදාම.

නමුත් බිලිඳෙකුගේ මුල අවුරුදු කිහිපය මේ ක්‍රියාවලියේ අතිශය වැදගත්ම අවධිය.. 
How To Entertain Your Kids Without Screens - everymum
දේවල් අතට අරගෙන, ඒ දේවල් නිරීක්ශනය කරන එක, ඒවා එක මත එක තබද්දි ඒවා කැඩෙන හැටි, වැටෙන හැටි  දකිද්දි, පැන්සලක් අතේ රුවා ගෙන යමක් අඳින විටදී  ඔවුන්ගේ චාලක හැකියාවන් (motor skills) මොළයේ වර්ධනය වෙනවා..
තවත් අය එක්ක ඇසට ඇස බැලීම, දුක සතුට තරහා ආදී සංවේදනයන් ප්‍රකාශ කිරීම හරහා ඔවුන් සාමාජීය සත්ත්වයෙක් වෙන්න ඉගෙන ගන්නවා.. 
ඔවුන් වැඩුනු දරුවන් වෙන්න, පසුව අංග සම්පූර්ණ මිනිසුන් වෙන්න මේ වේදනාකාරී, වැරදි වැරදි ඉගෙනා ගන්නා ක්‍රමවේදයන් මූලික අඩි තාලම දමනවා..
ස්ක්‍රීන් වෙත දවසේම මුහුන හොවාගෙන වැඩෙන දරුවන්ට මේ අත්‍යාවශ්‍ය පදනම වැඩෙන්න අවස්ථාවක් ලබන්නෙ නැහැ.
Virtual Autism ගැන අද ඊයෙ කතා කරත්, අතීත දත්ත බලද්දි, ළමා වෛද්‍ය විශේෂඥඥයින් පවසනෙ පසු ගිය දශක ගනනාවක් පුරා ASD ආශ්‍රිත දරුවන් ප්‍රමාණයේ ඝාතීය වර්ධනයට මෙම ඉලෙක්ට්‍රොනික තිර සම්බන්ධ වෙන හැටි දැන් ඉතා පැහැදිලි කියලා.
1975 දි ඇමරිකාවට පලවෙනි VCR එනම් වීඩියෝ තිර එද්දි,  ASD රෝග අනුපාතය දරුවන් 5000 ට එකයි.  2016 වෙද්දි ලමයි 68ට එක ලමයෙක් දක්වා ඒ අගය අඩු වෙලා.  2018 වෙද්දි එය ලමයි 40 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දක්වා අඩු වෙලා. කොරෝනා වසංගතය නිසා ඇති කල තත්වය තුල මෙය අනිවාරයෙන්ම ඉතා භායනක අගයක් දක්වා අඩු වී ඇතැයි අපට සැක කරන්න පුලුවන්.
මේ සම්බන්ධව පසුගිය් වසර 5 තුල පර්‍යේශන කල ප්‍රංශයේ වෛදය වෘත්තිකයන් දෙදෙනෙක්, වර්චුවල් ඕටිසම් සම්බන්ධව සුවිශේෂ දැණුවත් කිරීමක් මේ කාලෙ වෙන කොට කරන ගෙන යනවා.  ඔවුන්ගේ නිරීක්ශණ යුටියුබ් හරහා ඔවුන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ ගැන ලොව වටා දෙමාපියන් දැනුවත් කිරීමටයි. 

දෙමාපියන්ට මේ ගැන කුමක්ද කල හැක්කේ?
මේ සම්බන්ධ පර්‍යේශනවලදී සොයා ගත් දේ තමා මෙම තිර ඉවත් කර සති කිහිපයක් ඇතුලත ඔවුන්ගේ රෝගී තත්වයේ පැහැදිලි අඩුවක් තියෙන වග.  දරුවන් ඒ සම්බන්ධව මුලදී ඉතා කලබල වෙනු ඇත, විටෙක ප්‍රචන්ඩ වෙනු ඇත. නමුත් ඔවුන්ගේම හොඳට ඔවුන්ගෙන්, විශේෂයෙන්ම බිලිඳන්ගෙන් මෙම තිර ඈත කර තබන්නම වෙනවා. 
අපි දන්නවා බොහෝ දෙමාපියන් තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න මෙම තිර දරුවන් අතට දෙනවා බොහෝ විට එය නැවත ලැබෙන්නේ උපාංගයේ බැටරිය සම්පූර්ණයෙන්ම බැස ගියාටත් පසුවයි.  උදේ වරුවම එකක් පස්සෙ එකක් කාටුන් බලන්නට සමහර නිවෙස්වල රූපවාහිනිය ක්‍රියාත්මකයි. දැන් ඒ රූපවාහිනි තිරත් බිත්තියම ප්‍රමානෙටම විශාලයි.
ඔබට වැටහෙනවා ඇති බිලිඳන් මේ උවදුරට යොමු කරන්නෙම වැඝිටියන් වෙන අපි.
දරුවන් එක්ක චිත්‍ර අඳින්න, Play Doh හෝ වැලි වගේ දේවලින් නිර්මාන කරන්න, HAnd Paint කරන්න, පොත් කියවන්න හෝ දරුවා එක්ක එලිමහනේ ඇවිදිමින්  අවට ලෝකය පෙන්වන්න අපිට පුලුවන්. අප ඒ ලේසි වැඩ ටික කරොත් ස්වාභාව ධර්මය දරුවා බලා ගනීවි.


තණමල්විල කොල්ලෙක් ටෙලි නාටකයේ තේමාව තමා 'යෞවනයේ අප්‍රකාශිත පරිච්චේදය'. අපි අද දවසේ මේ ගැන ක්‍රියාත්මක නොවුනහොත්, අප මේ ගෙවන්නේ අපේ දරුවන්ගේ අඳුරු අනාගතයක අප්‍රකාශිත වත්මන් පරිච්චේදයයි..



sources
https://durablehuman.com/virtual-autism-new-threat-toddlers-too-much-screen-time/
 https://www.sciencedirect.com/science/article/abs/pii/S2211949319300109?via%3Dihub

Episode 58: රූපයක් open කලා විතරයි, මගෙ කම්පැනියම හාන්සියි!



<<Broadcast on 3ZZZ Radio on 10th May>>

Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූප‍යක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතන‍යේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.
මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින්  Microsoft Teams කියන  Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන. 
Your Whole Company's Microsoft Teams Data Could've Been Stolen ...
මීට මාස 4ට විතර කලින්  Zoom, Webex වගේ Video Conferencing Platform අහලවත් තිබ්බෙ නැති අය, දැන් රැකියාව, අධ්‍යාපනික කටයුතු වලට ඒවා භාවිතා කරන්නෙ දෛනික චර්‍යාවේ අත්‍යවශ්‍ය අංගයක් විදියට..  Microsoft Teams කියන්නේ මේ තාක්ශණයෙ ඉදිරියෙන්ම ඉන්න දැවැන්තයෙක්..
 Teams බොහෝ විට භාවිතා වෙන්නෙ විශාල සේවා ආයතනවල හෝ  අද්‍යාපනික ආයතනවල සමස්ත ජාලයේම අයව වීඩියෝ හරහා සම්බන්ධ කර ගත හැකි  Enterprise Solution වෙන ලෙසින්..

Cyber Ark ආයතනයේ පර්‍යේශයකයන් මේ ලඟකදි හොයා ගත්තා මේ පද්දතියෙ ලොකු සිදුරක්.. ඒ කියන්නෙ vulnerability එකක්.. ඒ තමයි බොහොම අහිංසක ලෙස පේන animated රූපයක් හරහා හැකර් කෙනෙකුට අදාල පරිගණක ජාලයට ඇතුලු වෙන්න හැකි බව. 

මෙතනදි තාක්ශණික පැත්ත ඉතා සරලව කිව්වොත් වෙන්නෙ මේ වගේ දෙයක්.
ඕනෑම පද්ධතියක අදාල කෙනාව අඳුර ගන්න ක්‍රමවේද තියෙනවා. මෙහිදී භාවිතා වෙන ක්‍රම වේදය තමා authentication token..  මගේ authentication token එක කියන්නෙ මගේ යතුර කියලා ගත්තොත් හැකර් කෙනෙකුට අවශ්‍ය වෙන්නෙ මේ යතුර මගෙන් හො‍රකම් කරන්න. මේක හොරකම් කරන්න පුලුවන් සාම්ප්‍රදයික ක්‍රමය තමා ඊමේල් එක. නමුත් ඒ සමබන්ධ දැණුවත් බාවයත්,  තාක්ශනිකව ඒ වගේ සැක කට‍යුතු ඉමේල් බ්ලොක් වෙන නිසාත් මේ පර්‍යේශයකයන් අලුත් දෙයක් අත් හදා බැලුවා.
ඒ අය කරේ ඩොනල්ඩ් ඩක්ගෙ රූප‍යක් GIF එවා, එය විවෘත කරද්දි ඔබ නොදැණුවත්වම ඔබගේ පද්ධතිය ඔවුන් ඒ වෙනකොටත් hijack කරලා තියෙන Microsoft Team subdomain එකකට ඔබව සමබන්ධ කරලා ඔබේ token එක සොරකම් කරන එක. 
Lavi Lazarovitz on Twitter: "An evil gif 😈 within @MicrosoftTeams ...
ඉතාම සරලව කියනවා නම් රූපය බලද්දි ඔබට හොරා ඔබේ යතුර හොරකම් කරනවා වගේ වැඩක් මේක. 

මේක ආරම්භය පමනයි. මොකද මෙලෙසින් token එක හොරකම් කරාට පස්සෙ, මේ රූපය ස්ව්‍යංක්‍රීයව ඔබේ ජාලයේ පැතිරෙමින් අනෙක් ගිනුම්වල විස්තර එකතු කිරීමත් එය විසින් කරනවා. මෙලෙස ස්ව්‍යංක්‍රීයව පැතිරිමට අපි කියන්නෙ worm behaviour කියලා.. එය අතිශයින් විනාශකාරී මොකද කොරෝනා වසංගතය පැති‍රෙනවා වගේම, මෙහිදිත් මෙයට ගොදුරු වූ ගිනුම්  ආයතනයේ අනෙක් Teams ගිනුම් සවයංක්‍රීයව සොයා යමින්, ඒවා ගොදුරු කර ගැනීම නිසා ඉතා කෙටි කාලයක් ඇතුලත, සමස්ත ආයතනයේම Teams ගිනුම්වලට අදාල විස්තර, ඒවායේ passwords, පුද්ගලික විස්තර, ආයතනයේ රහසිගත විස්තර ආක්‍රමනිකයා අතට යනවා. 
ඒ විතරක් නෙවෙයි, ටෝකන්  සියල්ලම වගේ සොරකම් කල කෙනාට පුලුවන් ආයතනයටම බොරු පනිවිඩ යවන්න ඒ ඕනෑම ගිනුමකින් එන විදියට, මෙහි භයානක කම ගැන ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.
Your Whole Company's Microsoft Teams Data Could've Been Stolen ...

නමුත් වෙලාවට මේ අඩු පාඩුව හැකර්ස්ලාට කලින් පර්‍යේශකයන් සොයා ගත් නිසා ඒ අය ඒ සමබන්ධ සියලු විස්තර Microsoft ආයතනයට ලබා දුන්නා (Responsible Disclosure). 
වහාම ක්‍රියාත්මක වූ Microsodt ආයතනය, මාර්තු 23 දා මෙලෙසින් ඔවුන්ගේ subdomain hijack කිරීමේ හැකියාව ඉවත් කර මේ අනතුර නිශ්ක්‍රීය කලා. එලෙසින්ම අප්‍රේල් 20 මේ වෙනුවෙන් ස්ථිර patch එකක් නිකුත් කර ඒ සිදුර වසා දැම්මා.

ඒ නිසා ඒ කරදරෙත් ඉවරයි කියා සිතුවොත් ඔබ ඉක්මන් වැඩි‍යි. මින් අපිට ඉගෙන ගන්න දේවල් කිහිපයක් තියෙනවා අනාගතයේ එන මෙවැනි සයිබර් උවදුරුවල නොවැටී ඉන්න.
කිසි විටෙක ඔබ නොදන්නා කෙනෙක් එවන link එකක්, වීඩියෝ එකක් පමනක් නොවේ රූපයක් වත් විවෘත නොකරන්න. මෙය Email, message පමනක් නොව දැන් වැඩි වැඩියෙන් chat හරහා එන බවත් මතක තබා ගන්න. ඒවා සැනින් මකා දමන්න.
අනෙක මේ තාක්ශන භාවිතා කරන්නෙ නම්, ඒවායේ updates නිකුත් වූ විගස install කර ගන්න, මෙලෙසින් හඳුනා ගත් සිදුරු වසා දමනා ක්‍රියාවලය එය නිසාවෙන්, එය අතිශය වැදගත් කාරනාවක්.

මේ කාරනා නිසා අනවශ්‍ය ලෙස කලබල වී මෙම තාක්ශනයන් භාවිතයෙන් ඈත් වීම නොවේ සිදු විය යුත්තේ..
අනවශ්‍ය කලබලයත්, නොසැලකිල්ල වගේම හානිකරයි. 
අවශ්‍ය වන්නේ අවදානමක් ඇති වග තේරුම් ගෙන, ඒ ගැන නිරන්තර දැනුවත්බවෙන් හා විමසිල්ලෙන් සිටීමයි.

Source: Forbes

Saturday, May 9, 2020

Episode 57: COVIDSafe Australia App: දා ගම්දෝ නොගම්දෝ කියලා සිතුනා අයට!

Coronavirus: Employers want power over COVIDSafe app

අප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත ‍යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.

මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්ති‍ය (community transmission)  හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.

ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?
ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථන‍යේ සටහන් වෙනවා.

දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද?
නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට  ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා.

මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ?
අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස.  ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න.
මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව. 
මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.

මේ ඇප් එක මෙච්චර හොඳ නම්, ඇයි හැමෝම ඉන්ස්ටෝල් කර ගන්නෙ නැත්තෙ කියල හෝ ඇයි රජයට මේක අනිවාර්‍ය කරන්න බැරි කියලා ඔබට සමහරවිට හිතෙන්න පුලුවන්.

බටහිර රටවල civil liberty කියන කතිකාව තුල රජයක් විසින් මහජනතාවගෙ කටයුතු ගැන උකුසු ඇස් ගසා ගෙන සිටීම ගැන එනම් state surveillance ගැන තියෙන්නෙ දැඩි විවේචනයක්.
ඇම‍රිකාවේ NSA රහස් ඔත්තු සේවය ‍කාලයක් තිස්සේ ජනතාවගේ දුරකථන ඇම්තුම් සම්බන්ධ විස්තර, අන්තර්ජාල භාවිතය සම්බන්ධ  තොරතුරු රහසේ එකතු කිරීම් සම්බන්ධව 2014 වසරේදී  Edward Snowden නම් NSA ආයතනයේම සේවය කල පුද්ගලයා  මතභේදාත්මක හෙලිද‍රව්වක් කලා. මේ හරහා  රාජ්‍යයක් විසින් ජනතාවගේ පුද්ගලිකත්වයට කරන ලද බලපෑමේ අදුරු පැථි කඩක් එදා හෙලි දරව් වුනා.
Snowden claims NSA hacking computers in Asia - CBS News

ගිනි පෙනෙල්ලෙන් බැට කෑ කෙනා කණා මැඳිරි එලියටත් බයයි කිව්වා වගේ, ‍රජයක් විසින් රෝගය මර්ධනය වෙනුවෙන් පවා ගෙනෙන  පුද්ගලික විස්තර එකතු කරන ඇප් එකක් දිහා, පුද්ගලිකත්ව අයිතීන් වෙනුවෙන් සංවේදී බටහිර ජනතාව කුකුසකින් යුතුව බැලීමේ සාධාරණ‍යක් තියෙනවා. ඒ සමඟම දුර්වල ආරක්ශක ක්‍රම වේද නිසා පද්ධතිය හැක් වීමකට ලක් වුනහොත් ඉන් වෙන හානිය ගැනත් ඔවුන් විමසිලිමත් වෙනවා.
නමුත් මේ ඇප් එක හරහා අත‍යවශ්‍ය තොරතුරු පමණක් එකතු වෙන ලෙසින් එය සැලසුම් කරන ලද බව රජය පෙන්වා දුන්නා. එලෙසම එහි ආරක්ශණ ක්‍රම වේද සම්බන්ධව ඉතා ඉහල ප්‍රමිතියකින් පරීක්ශන කරන Australian Signals Directorate හි අනුමැතියද එයට ලැබී තිබෙනවා. ඇප් එක තාක්ශණිකව ක්‍රියාත්මක වන්නේ Bluetooth හරහා වෙන Digital Handshake ලෙසින් නිසා අතිශය සංවේදී පුද්ගලික කාරනාවක් වෙන අප යන එන ස්ථානය (Location)  මේ හරහා ගබඩා කිරීමක් වෙන්නෙ නෑ. අනික මේ දත්ත මධ්‍යම ගබඩාවට යන්නෙ භාවිතා කරන්නගේ අනුමැතිය (consent) ඇතිව පමනයි. එලෙස යන දත්තවල පවා අඩංගු වන්නේ  දුරකථනන අංකය, නම හෝ අන්වර්ථ නාමය, වයස් කාන්ඩය සහ suburb එකත් අප සමීපයට ආ අයගෙ ඇප් එකට පමනක් අදාල  'encrypted reference code' ත්   පමනයි.

මේ සම්බන්ධව විස්තර කිසිම ලෙසක මධ්‍යම රජයට හෝ ඇමරිකාව වැනි ලෝක බලවතෙකුට   කිසිම දිනෙක ලබා ගත නොහැකි ලෙසට දැනට නීති පවා සම්පාදනය වෙමින් පවතිනවා. ඔවුන් අවධරණයෙන් කියා සිටින්නේ මෙම දත්ත බලන්නට අවසර ඇත්තේ අදාල ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සෞඛ්‍ය අංශවලට පමනක් බවයි. එයත් contact tracing purposes වෙනුවෙන් පමණයි.
 ඒ සමඟම මේ ඇප් එකේ  අන්තර්ගතය ඕනෑම කෙනෙකුට බැලිය හැකි ලෙස එහි සම්පුර්ණ කේතය හෙවත් source code එක පවා නුදුරේම තාක්ශනික ක්ශේස්ත්‍රයේ අය වෙනුවෙන් පාර්ද්ෘශ්‍යභාවයේ අංගයක් ලෙසින් ඔවුන් එලි දක්වන බවට පොරොන්දු වී තිබෙනවා. 
දැනටත් තාක්ශනික සේවයේ මේ සම්බන්ධව ඉතාමත් සක්‍රිය සවාද විශ්ලේශන සිදු වෙනවා. 


මේ ගැන Cyber Safety විශ්ලේශකයන් සමඟ මා ව්ෘත්තීය මට්ටමෙන් කල සාකච්ඡාවලදී ඔවුන් වැඩි දෙනා සිටියේත් මා සිටින මතයේම තමයි. එනම්, ඇප් එකේ Security සහ Privacy යන කාරන සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමක සැලකිලිමත් වීමක් (due diligence) නිර්මාපකයන් පෙන්නුම් කර තිබෙන බවත්, මේ ඇප් එක විසින් ඉදිරියේදී කරන සේවයට සාපේක්ශව මේ පුද්ගලිකත්ව කාරනා නොගිනිය හැකි තරමින් අල්පතර බවත්. (Health benefits outweigh the privacy related concerns).
අනෙක අප විහිලුවට කතා වුනෙත්, මේ ඇප් එකෙන් එකතු කර ගන්නවට වඩා විස්තර ගූගල් සහ ෆේස්බුක් හරහා අපේ කැමැත්තෙන්ම, නිරන්තරයෙන් කොහොමත් ගබඩා කරන්න අපි ඉඩ දිල තියෙනවා නේද කියලා.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදියට Covidsafe App ඇප් එක install කිරීම් හෝ නොකිරීම ඔබේ අයිතියක්. වැදගත් වන්නේ ඔබ මොන තීරනය ගත්තත්, හොඳින් කරුනු සොයා බලා ඔබටත්, සමස්ත මානව ප්‍රජාවටත් වඩා යෝග්‍ය ආස්ථානයක සිට ඒ තීන්දුව ගැනීමයි.

sources:
https://www.health.gov.au/resources/apps-and-tools/covidsafe-app
https://www.gizmodo.com.au/2020/04/how-australias-covidsafe-app-actually-works/

Wednesday, April 29, 2020

Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!




කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.
රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ  සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.
කොරෝනා සම්බන්ධව ම අපි  උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදි‍රියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..

දවස පුරා ස්මාට් දුරකථනයක් හෝ පරිගණක, රූපවාහිනී තිර වෙත නෙත් යොමාගෙන සිටීම නිසා ඇස් නිරන්තරයෙන්  ද්ෘශ්‍ය ආතතියකට (Digital eye strain) ලක් වෙනවා.. මේකට හේතුව අඩු දුරක් වෙත ඇසේ කාචිය නාභිගත කරන්නට පැය ගානක් තිස්සේ ගන්නා වෙහෙස නිසා අක්ශි පේශි විඩාවට පත් වීම.  මෙයින් ඇසේ දැවිල්ල, වියලි බව, තෙහෙට්ටුව සහ ඇස් බොඳ වීම ඇති වෙන බව වෛද්‍යවරුන් පවසනවා. 
මේ බොහෝ තිරවලින් නිකුත් වෙන නිල් ආලෝකය හඳුන්වන්නේ High Energy Visible Light Wavelength - එය කාලාන්තරයක් තිස්සේ ඇසට වැටුනොත්, විශේෂයෙන්ම අඳුරේ මේ තිර දෙස නිතර බලන්නේ නම්, ඒ නිසා ද්ෘශ්ටි විතානයට ස්ථිර හානි හා අන්ධභාවය පවා ඇති කල හැකි බව පරීක්ශන වලින් සොයා ගෙන තිබෙනවා. 
නිදිමත ඇති කරන මෙලටොනින් හෝමෝනයට  නිල් ආලෝකය නිසා කරන බලපෑම නිසා නිදිමත නැති වී, අනේක විධ සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. 
ඒ සමඟම ති‍ර දෙස නිමග්න වෙන දෑස් වල ඇසි පිය ගසන සාමාන්‍ය වේගය අඩකින් පමන අඩු වීමෙන් ඇස් වල තෙතමනය නැති වී ඇස් ඉතා ඉක්මනින් වියලී ගොස් ඇස් රතු වීම, බොඳ වීම, දැවිල්ල ආදී රෝග ලක්ශන මතු කරනවා. 

මේ සියල්ලටම වඩා භයානක වන්නේ, අවිදුර ද්‍රිශ්ටිකත්වය හෙවත් myopia රෝගී තත්වයෙන් පීඩා විදින මිනිස් පරම්පරාවක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පැවතීම. Short-sightedness කියන්නෙත් මේ තත්ත්වයමයි. මෙය අලුත් රෝගී තත්ත්වයක් නොවේ, නමුත් වත්මනේ මේ ද්‍ර්ශ්‍යාබාධ තත්වයේ ශීග්‍ර වර්ධන්‍යක් තියෙනවා.
එයට ප්‍රදාන හේතුවක් විදියට අනුමාන කරන්නේ ඇස්වලට ස්වභාවික ආලෝකයට වෙනුවට මෙලෙස තිරවලින් ලැබෙන ආලෝකය මතින් අඩු දුරක් නිතර නාභිගත කිරීමට සිදුවන නිසා, දුර නොපෙනී යාම වේගවත් වීමයි. මෙය ඇස් වලට දීර්ඝකාලීන් බලපෑමක් කලහොත්, දුර සම්පූර්ණයෙන්ම නොපෙනී ගොස්  ඉතා ලඟ දේව්ල් පමණක් පෙනීම දක්වා මෙය අහිතකර වෙනවා. මෙය හඳුන්වන්නේ myopic shift නමින්. 

එනිසා මෙය ඉතා භයානක නැබුරුවක් බව කියන්න අවශ්‍ය නැහැනෙ.
මින් වැලකෙන්න අපි මොනවද කල යුත්තේ?

මේ computer vision syndrome එකට සරල ප්‍රතිකර්මයක් අක්ශි වෛද්‍යවරුන් යෝජනා කරනවා, එයට කියන්නෙ 20-20-20 rule කියලා.

ඔබ විනාඩි 20ක් තිරයක් වෙත එක දිගට ඇස් යොමා ගෙන සිටියහොත්, අඩි 20ක් ඈතින් තියෙන දෙයක් දෙස බලන්නට  ඇස් අඩුම ගානෙ තත්පර 20 යොමු කරවන්න. මින් ඒ අක්ශි පේශි ලිහිල් වීමක් කරන බව ඔවුන් පෙන්වා දෙනවා. 
ඒ සමඟම එලි මහනේ, ස්වභාවික ආලෝකය විඳිමින් ඇවිද යාමෙන්  මේ තිර වලින් ඇස් වලට හැකි සෑම විටම විවේකයක් දෙන්න. ඔබ තට්ටු නිවාසෙක සිටිනවා නම්, විශේෂයෙන්ම ඔබේ දරුවන් මේ අක්ශි ව්‍යායාමයට යොමු කරවීමට ඔබට පුලුවන් ඔවුන් සමඟ මේ වගේ ගේම් එකක් කරන්න, නිතර එලිමහන යෑම ප්‍රායෝගිකව අපහසු නිසා. - ඔබට දරුවාගෙන් අහන්න පුලුවන් ඈත පාරෙ නවත්වා තියෙන වාහනවල පාට කියන්නට හෝ නොම්බර තඩු කියවීමට හැකිද කි‍යලා.  ඔවුන් iPad එක නිතර ඉලා සිටිනවා නම්, එහි කොන්දේසියක් විදියට මෙවැනි ක්‍රියාකාරකමක් එක් කරන්නට පුලුවන්.
නිවසේ රූපවාහිනිය මීටර් තුනක් වත් ඈතින් තබන්න, ප්‍රායෝගිකව එය අපහසු නම්, දිග හරින ලදතේ දුරින්වත් රූපවාහිනී තිරය තිබිය යුතුයි.

  මේ ඉලෙක්ට්‍රොනික තිර වලින් තොර අනාගත‍යක් නැහැ, ඒවා අතිශය ප්‍රයෝජනවත් සහ ජීවිතේ අත්‍යවශ්‍ය අංග වෙලා. නමුත් අපි වග බලා ගමු භාවිතය තුල බුද්ධිමත් වී නිසි සීමා පනවා ගන්නට.

කොරෝනා වලට බෙහෙතක් සොයා ගත් පසු හෝ සියලුම රෝගීන් සුව වූ පසු ඒ වසංගතය අවසන් වේවි.
හැබැයි,  අපි ආරක්ශාකාරී නොවුනහොත්,  ඒ වෙද්දි මුලු මහත් මිනිස් සංහතියේම ඊලඟ පරම්පරාවෙ ඇස් සුව කල නොහැකි උවදුරක හෙලා තමයි කොරෝනා කවද හරි යන්නෙ..



  

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.


iTunes 
Google Podcasts




Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්..





කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා..
මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා කරන මොහොතෙත් වෙහෙසෙන බව අපි සැම ගෞරව පූර්වක ක්ෘත්වේදීත්වයෙන් සිහි කරන්න ඕනෙ.

ඒ මානව ගුණාංගයන්ගෙන් පිරිපුන්, මනුශ්‍යත්වයේ සුවඳ වහනය වෙන උදාර මිනිසුන් වගේම මේ ඛේදවාචකය තුලින් ඇති කල අලුත්ම තත්වය යොදාගෙන, සයිබර් අවකාශය හරහා මිනිසුන් අමාරුවේ දමන අයත් සිටින වගත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් මොනවාද යන්නත්, එයින් ඔබට ගැලවිය හැක්කේ කෙලෙසද යන්නත් කෙටියෙන් හෝ අද දවසේ සයිබර් සටහන තුලින් සාකච්ඡා කලහොත් එය මේ සයිබර් විනයන්ගෙන්ොබට පරෙස්සම් වෙන්නට උදව්වක් වේ යයි මම සිතුවා.

පසුගිය සතියේ, රජයේ staysmartonline වෙබ් අඩවිය මේ සම්බන්ධ ඉහල අවධානම් අනතුරු ඇඟවීමක් (High Alert) ප්‍රකාශයට පත් කරා. ඉන් මූලිකව උදාහරණ සහිතව පෙන්වා දුන්නේ විශේෂයෙන්ම කෙටි පනිවිඩ ඊමේල් හරහා සයිබර් හොරුන් ඔබව රවටන ආකරයයි. ඔවුන්ට මේ තොරතුරු සපයන්නේ මා ඇතුලුව සයිබර් ආරක්ශණ ක්ෂේස්ත්‍රයේ මෙවැනි කාරනා සම්බන්ධව විවිධ ආයතනවල දිනපතා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන ව්ෘත්තීකයන් විසිනි. එනිසා මේ මා කතා කරන්නේ අපි දිනපතා දකින එවැනි ඇත්තම සිදුවීම් පාදක කරගෙනයි.

 මේ අපරාධය කරන අය ඉලක්ක කරන්නේ මින් අසරණම වූ මිනිසුන්. තම රැකියාව අහිමි වූ හෝ ජීවනෝපාය අගතියට පතු වූ මිනිසුන්ට රජයෙන් ඒ සම්බන්ධව සහන මුදලක සපයන බවට ප්‍රකාශ වෙන දවසෙම SMS පනිවිඩ‍යක් ලැබෙනවා GOV ලෙස සටහන් වෙන ආයතනයකින්.




තවත් එවැණි පනිවිඩයකින් කියවුනේ කොරෝනා වෛරසයට අදාල පරීක්ශන කටයුතු කෙරෙන ස්ථාන සම්බන්ධව. මෙය රජයෙන් එවූ නිල පනිවිඩ ලෙස සිතන අති බහුතරය එහි ඇති ලින්ක් එක හරහා ඇත්තටම යන්නෙ ඔබගේ පුද්ගලික විස්තර සහ, සමහරවිට, ක්‍රෙඩිට් කාඩ් විස්තර ආදිය හොරකම් කරන ස්කෑම් වෙබ් අඩවි වෙතයි. එනිසා ඔබ ලින්ක් එකක් හරහා ව්බ් අඩවියකට පිවිසීමට පෙර එය ඇත්තටම රජයේ හෝ පිලිගත් ආයතනයක වෙබ් අඩවියක්දැයි හැම විටම විමසිලිමත් වෙන්න.මෙය ඊමේල් වලටත් අදාලයි. ඉන් එක ඊමේල් එකක කියවුනේ කොරෝනා රෝගීන් වැඩිපුර සිටින රටවල් වලට  අදාල travel advisory වෙනුවෙන් අදාල වෙබ් අඩවියක් වෙත පිවිසෙන ලෙසයි. මෙම වෙබ් අඩවිය පවා එක්වරම රජ‍යේ වෙබඩ්වෛයක් ලෙස පෙනෙන පරිදි වෙස් ගන්වා තිබෙන අයුරු අදාල රජයේ නිවේදනයේ පෙන්වා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එවන් ඊමේල් එකක් ලෙසත් සමහර විට ඔවුන් පෙනී සිටිනවා. මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයත් තම වෙබ් අඩවියේ අනතුරු අඟවා තිබෙනවා. මේ කාලයේ හැමෝටම ඕනෙ කොරෝනාව සම්බන්ධ තොරතුරු. එනිසා ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධනය ලෙස තමන්ව හඳුන්වා ගන්නා ඊමේල් ලිපිනයකින් එන, රෝගය සම්බන්ධ ලිපියක් ලෙසින් සැඟවී එන පරිගණක වයිරසය ඔබ නොදැණුවත්වම එම ලිපිය විව්ෘත කිරීමේදී පරිගණකයේ ස්ථාපිත වෙනවා. බොහෝවිට මෙවැනි මැල්වෙයා එකකින් කරන්නේ පරිගණකයේ පාලනය සයිබර් අපරාධකරුවාට හිමිවීම. කප්පම් වයිරස හරහා හෝ වෙනත් ක්‍රමවලින් ඔවුන්ට ඔබව ඔවුන්ගේ කූට සැලසුමට නතු කර ගන්න පුලුවන් වෙනවා.

තවත් එක් උදාහරනයකට අනුව රජයේ සහන ලබාගැනීමට පවසා එවන ලද ඊමේල් එකෙක ඉල්ලුම් පත්‍රයක් අනතර්ගතව තිබුනි. එය විව්ෘත කරද්දී පසුබිමෙන්, හානිකර ම්ෘදුකාංගයක් පරිගනකයේ ස්ථාපිත වේ.එනිසා ඊමේල් හරහා එන ලින්ක්ස් සහ ඇටෑච්මන්ට්ස් ගැන අතිශය පරෙස්සම් වෙන්න.
ඒ සමඟම කොවිඩ් සම්බන්ධ ඕනෑම ඇප්ින්ස්ටෝල් කර ගැනීමේදීත් විමසිලිමත් වෙන්න. මෑතක ඇන්‍ඩ්‍රොයිඩ් උපාන්ඟ වෙනුවෙන් නිපද වූ, තමා අවට සිටින් කොරෝනා රෝගීන් ගැන විස්තර දෙනවා යැයි කියූ ඇප් එකක් ඇත්තටම කර තිබුනේ ෆෝන් එකේ කප්පම් වයිරසයක් ස්ථාපනය කිරීමයි.

මේ දිනවල් බොහෝ දෙනා අන්තරජාලය හරහා රැකියා ස්ථානයේ වැඩ කිරීම, අධ්‍යයන කටයුතු කිරීම නිසා Skype, Zoom වැනි Video Conferencing ඉතා ජනප්‍රිය වුනා. කිසි දිනක එවැනි තාක්ශන භාවිතා කිරීම තබා ඒවායේ නමවත් දැන නොසිටි බොහෝ දෙනා දැන් එම සේවාවන් භාවිතා කරන්නට මේ පෙර නොවූ විරූ තත්ත්වය විසින් බල කෙරුනා.මින් අතිශය ජනප්‍රිය වුනේ Zoom තාක්ශනය. නමුත් දැන් පර්‍යේශයයන් එම තාක්ශනය හරහා පවා පිටස්තර පුද්ගලයන්ට සම්බන්ධ විය හැකි අවධනමක් ගැන අනතුරු අඟවනවා.

මේ සියල සඳහන් කලේ ඔබව මේ සම්බන්ධව අනිසි බියකට පත් කිරීමට නොවේ. මේ සම්බන්ධව අවධානම පෙන්වා දීමට පමනයි.නමුත් අපට මේවායින් ඉතා පහසුවෙන් ගැල වී සිටීමට හැකියි. මා කලින් සඳහන් කල පරිදි මූලිකවම එන ඊමේල් සහ කෙටි පනිවිඩ දෙස සැකයෙන් බලන්න පුරුදු වන්න. එවිට එහි සැක කටයුතු ලින්ක් එකක් හෝ ඇටෑච්මන්ට් එකක් තිබේ නම් හෝ එය එවා ඇති ලෙස සඳහන් වන නාමයේ අඩුපාඩුවක් තිබේ නම් එය ඔබට පහසුවෙන් හසු කර ගත හැකි වෙනු ඇත. එය ඔබ දන්නා ආයතනයකින් කියා සටහන් වන්නේ නම්, එහි සඳහන් අංකයට නොව එහි නිල වෙබ් අඩවියේ සම්බන්ධ අංකයට කතා කොට එය සහතික කර ගන්න. කොරෝනාව සම්බන්ධ විස්තර රජයේ හෝ වෙනත් වෙබ් අඩවි වලින් පමණක් ලබා ගන්න. බැංකු වැනි බොහෝ ආයතනවල ඔවුන්ගේම නිල ඇප් එකක් තියෙනවා. හැකි තරම් එවැනි ඇප් භාවිතා කරන්න.

Zoom වැනි වටිනා Video Conferencing සේවාවක් මා ඉහත සඳහන් කල කාරනය නිසා භාවිතාවෙන් ඈත් කරන්න එපා. ඔවුන්ගේ බ්ලොග් පිටුවල ආරක්ශිතව සම්බන්ධ වෙන අයුරු සහ පිටස්තරයන් ඈත් කර තබා ගන්නා අයුරු ගැන ඉතා සරලව විස්තර සඳහන් වෙනවා. එනිසා ඒ ගැන කියවන්නට විනාඩි කිහිපයක් වැය කිරීමෙන් මේ අවධානම් වලින් පහසුවෙන් මිදී හිත සැනසිල්ලෙන් ඒ සේවාවන් ලබා ගන්න ඔබට පුලුවන්. බැංකු, රජයේ ආයතන, ඔස්ටේලියා පොස්ට් වැනි විශාල ආයතනවල මෙම ස්කෑම් ගැන දැනුවත් කරන වෙබ් පිටු තියෙනවා. සැක සහිත පනිවිඩයක්. ඊමේල් එකක් ලැබුනේ නම් එම පිටුවට ගොස් එය තහවුරු කර ගන්න පුලුවන්. එම පිටුව මතකයේ තබා ගන්නට අවශ්‍ය නැහැ. අන්තර්ජාලයේ  Google වැනි සෙවුම් යන්තරය්ක් හරහා අදාල පිටුව තට්පර ගානකින් සොයා ගන්න පුලුවන්. ඔබට දැන් අවශ්‍ය නම් Australia Post scam යන වචන තුන Google කරන්න. සෙවුම් ප්‍රතිපලවල උඩින්ම දිස් වන්නේ අප ආයතනයේ නිල Scam Alerts පිටුවයි. එය නිරතුරුව  යාවත්කාලීන් කරන්නට අපි දැඩි වෙහෙසක් ගන්නේ  සයිබර් හොරුන්ගෙන් හැකි පමණින් ජනතාව බේරා ගන්නටයි..

කොරෝනාව නම් රූස්ස ගසෙන් වැටෙන අයට අනින්නට තිරිසන් ගොන්නු අවශ්‍ය නැත. අවැසිව ඇත්තේ එකම මිනි පවුරක් ලෙසින් අපි එකිනෙකාව ආදරයෙන් රැක බලා ගැනීම වේ.. එනිසා මේ දැනුවත්කමේ පනිවිඩය හැකි පමනින් බෙදාගෙන, අපි සයිබර් හොරුන්ට  පෙන්වා දෙමු... මේ මිනිසත්කමේ හෝරාව බව!

https://www.staysmartonline.gov.au/alert-service/widespread-reports-covid-19-malicious-scams-being-sent-australians

https://blog.zoom.us/wordpress/2020/03/20/keep-the-party-crashers-from-crashing-your-zoom-event/

https://www.itnews.com.au/news/zoom-for-windows-leaks-network-credentials-runs-code-remotely-545883

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.

iTunes 
Google Podcasts



Thursday, March 19, 2020

Episode 54: Coronavirus සහ Working From Home



(Broadcast on 3ZZZ Melbourne Community Radio on 15th March.  Stats mentioned were accurate at the time of recording the episode)

කොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්.  ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.
පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා. 
Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.
නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක්  ගෙන එන අයුරු ගැන..
අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන..
Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ.

නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්.. 
අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing  අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.
උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා. 
මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා. 
විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍ය‍යන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.
මා දන්නා එක් පාසලක,  බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි.

සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ. 
එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න.

ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්. 
නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්.  මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.
ඒ අවකාශයම අඳුරු බලවේග නි‍ර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු.

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.

iTunes 
Google Podcasts



Episode 53: ඔලු ගෙඩි පලන ටික් ටොක් පිස්සුව


"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..
තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ    තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්.

අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශ‍යේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන 
මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා. 
මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා. 
ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා. 
පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්. 
අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩි‍යෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය. 

මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා,   ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම ව‍ර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි.

දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්‍යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්‍රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ..

පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන.
නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි  Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා. 
මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි.. 
ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදර‍යෙන් ම  මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න. 
හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි  මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.



Monday, February 10, 2020

පොඩිම දරුවන් අන්තර්ජාල ඇබ්බැහියෙන් බේර ගන්න ඕනෙද?


Image result for safer internet day

අද ඔස්ට්‍රේලියාවෙ Safer Internet Day. ඒ වෙනුවෙන් අපගේ රැකියාවෙ කාරයභාරයක් විදියට අපි විවිධ දැනුවත් කිරීම් කරනවා. මේ වෙලාවෙ ඒ වෙනුවෙන් රාජ්‍ය නායකයාගෙ ප්‍රදානත්වයෙන් ජාතික මට්ටමේ සම්මේලනයකුත් Canberra නගරයෙ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ පැවැත්වෙනවා.

මේකට සමගාමීව, රජයේ eSafety දෙපාර්තමේන්තුව වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට උපකාරි වන්නේ කෙසේද යන තේමාව යටත්වේ පොත් පිංචක් නිකුත් කරලා තියෙනවා..

ඒ නිසා අද දවසෙ වැදගත්කම මතක් කරන අතරේ ඔබ සැම එක්ක ඒ පොත භාගත කර ගත හැකි ලින්ක් එක බෙදා ගන්න හිතුවා..

එය ඉතා සරල උප්දෙස් වලින් සමන්විතයි.. ඒ නිසා මම ඒක කියවලා අන් අය එක්ක බෙදා ගන්න කියලා රෙකමදාරු කරනවා

>>>>>>>  link  <<<<<<


Monday, January 27, 2020

Episode 52: හදිස්සිද?.. මම ටැක්සියක් අරන් උඩින් එන්නම්!


අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක  අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි.
Image result for roads where we're going memeඅතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කියූ ප්‍රසිද්ධ කියමන මෙහිදී මතක් වෙනවා.. 
"Roads... where we're going, we don't need roads"
චිත්‍රපටයේ ඔවුන් දුටු 2015 ඔක්තෝම්බර් 21 දා ඉක්ම ගිහිල්ලත්, එදා ඔවුන් අනාවැකි කියූ ගුවනින් යන කාර් ඇත්ත වුනේ නැහැ නේද? ඔව්. නමුත් එය 2020 වසරේ සත්‍ය වෙන හැඩයි. අද අපි කතා කරන්නෙ අහසින් යන කාර් ගැන.

ලොව අති නවීනතම තාක්ශයන් හඳුන්වා දෙන, ඇමරිකාවෙ ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු   Consumer Electronics Show හිදී අහසින් යන්න පුලුවන් ටැක්සි සේවාවක් ගැන, මීට සති කිහිපයකට කලින් අහන්න ලැබුනා. 
මෙහි වැදගත්ම පනිවිඩය තමා මේ ගුවන්  ටැක්සි සේවාව 2023 වෙන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසරේදී නගර තුනක නියමු ව්‍යාප්ෘති ගුවන් ගමන් පවත්වන්න සැලසුම් කිරීම.  ෙම නගර තමයි ලොස් ඇන්ජලිස්, ඩැලස් සහ මෙල්බර්න්.  ඒ කියන්නෙ ඇමරිකාවෙන් පිට,  මේ වසරේම, මෙවැනි ගුවන් ටැක්සියක් පියාසර කරනවා දකින්නට ලැබෙන්නෙ මෙල්බර්න් අහසේ පමණයි.

මේ සේවාවා හඳුන්වා දෙන්නෙ ඔබ බොහෝ දෙනෙක් දන්න ටැක්සි සේවාවක් වෙන Uber. ඇත්තටම Uber හඳුන්වන්න වෙන්නෙ Cyber based ride-sharing සේවාවක් විදියට මොකද ටැක්සි සේවාවක තියෙන කේන්ද්‍රගත සැකැස්ම වෙනුවට මෙහිදී වෙන්නේ වෙබ් අඩවියක් ගෝ ඇප් එකක් හරහා, ඒ ආසන්නයේ මෙම සේවාවා ලබා දෙන වෙනත් කෙනෙක්ගෙ වාහනය හරහා තමන්ගේ ගමන ගොස් ඇප් එකෙන්ම ගනුදෙනුව නිමා කිරීම. සමහර විට නොදන්න කිහිප දෙනෙකුට වුනත්, ඇප් එක හරහා අදාල මුදල බෙදා ගෙන එකට ගමන යන්න පුලුවන්. මින් ඔබට පැහැදිලි ඇති, දුරකථන ඇමතුමක්වත් නොදී, ඇප් එකක් හරහා, තමා අවට මේ සේවාව සපයන්න එකඟ වෙන ඕනෑම ඌබර් වාහනයක සේවාව ලබා ගැනීමට හැකි වීම ඇත්තටම සාම්ප්‍රදායික ටැක්සි සේවාවන් අර්බුධයට යැවීමක්.

මේ ride sharing සේවාවේ ලොව දැවැන්තයා තමා Uber. මහා මාරගය ජයගත් ඔවුන්, ගුවන ජය ගන්න Uber Elevate කියලා තවත් ආයතනයක් පිහිටවූවා. Hyundai මෝටර් සමාගම සමග එකතු වී මේ සඳහා යොදා ගැනීමට ඔවුන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන  විශේෂ ගුවන් ටැක්සිය තමයි ඔවුන් එදා මුල් වතාවට ජනතාවට පෙන්වුයේ. 

The Jetsons-style vehicle will put Melbourne commuters in the air. Picture: Supplied.
S-A1
කෙලින්ම ඉහලට සහ පහලට යා හැකි ලෙස නිම වෙන මේ විශේෂ කුඩා ගුවන් යානවලට කියන්නේ ' Personal Air Vehicle' කියලා - මේ පලමු නිර්මානයට ඔවුන් දීලා තියෙන නම S-A1. එයට මීටර් 600ක් ඉහල අහසේ පැ.කි.ම් 290 කුපරිම වේගයක් සමඟ කි.මී 100ක් දක්වා පියාසර කරන්න පුලුවන්. එක වරකට හතර දෙනෙකුට මෙහි ගමන් ගන්න පුලුවන්. මුලදී නියමුවන් සහිතව මෙම යාන ගුවන් ගත වුනත් පසු කාලෙක නියමු රහිත යාන ලෙස යානා නිර්මානය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. 
Hyundai has created a full-scale “air taxi” for Uber’s upcoming Air service. Picture: Supplied
මෙල්බර්න් නගරයේ මෙය මුලින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ නගරය සහ ටලමරින් ගුවන් තොටපල අතරයි. දැනට පැයක ගමනක් වෙන මේ දුර ගුවනින් විනාඩි 10ක් දක්වා අඩු වෙනු ඇත. 
මෙම ආයතනය පවසන්නේ, ඉදිරියේදී අදාල නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ එක්ව නව launch pads සහ ගමන් මාර්ග ස්ථාපිත කිරීමටත්, ඊට අදාල යටිතල පහසුකම් සහ රෙගුලාසිමය කටයුතු නුදුරු අනාගතයේම සිදු වෙන බවත්ය.
මෙය ඉතා මිල අධික  ගුවන් ගමනක් වේ යැයි දැන ඔබ සිතනවා ඇති. Uber Elevate ආයතනයට අනුව, මෙම ගමනේ ගාස්තුව, UberX Luxury කාර් එකක ගමනක් වෙනුවෙන් වැය වන මුදලම පමනයි. කටයුතු එසේ සිදු වේ නම්, මෙම ගුවන් ගමන් සාමාන්‍ය ජනතාවට ඉතා පහසු මිලට, ඉතා අඩු කාලෙකින්, පරිසර හානිය අවම වූ, සන්සුන් ගමනකට මඟ විවර කරන විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.

අපිට කොතනට හරි ඉතා ඉක්මනින් එන්න කියලා ඉල්ලීමක් එද්දි, ප්‍රායෝගිකව එය පහසු නොවෙනකොට, කතා ව්‍යවහාරයේදී කියවෙන ප්‍රකාශයක් තියෙනවා "උඩින් එන්න කියලද කියන්නෙ" කියලා? 


කාරනා කටයුතු සිද්ධ වෙන විදියට, නුදුරු අනාගතයෙදි, මේ කතාව මෙන්න මේ විදියට වෙනස් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ.
An early artists impression of how the flying Uber would look in the sky.
"පොඩ්ඩක් ඉන්න.. මම ටැක්සියක් අරං උඩින් එන්නම් මේ දැන්ම"



sources:
https://www.news.com.au/technology/uber-reveals-details-of-melbournes-new-flying-taxi/news-story/501147a7d8c5f31590e21851656d4901

https://www.uber.com/au/en/elevate/uberair/

Cyber Wiparama දැන් පහත ඕනෑම Podcast App එකක් හරහා ශ්‍රවණය කල හැකිය.


iTunes 
Google Podcasts