Showing posts with label Cyber News. Show all posts
Showing posts with label Cyber News. Show all posts

Thursday, December 14, 2017

ලොව මුල්ම ඩිජිටල් ආයුධය StuxNet

Duration: 5 mins

Transcript:
2010 වසරෙ ජුනි මාසෙ ඉරානයේ න්‍යශ්ඨික බලාගාරවලට අභිරහස් ප්‍රහාර මාලාවක් එල්ල වුනා.  න්‍යශ්ඨික ප්‍රතික්‍රියක වලට අවශ්‍ය යුරේනියම් පිරිපහදු කරන සෙන්ට්‍රිෆියුජර්ස් (centrifugers) කියන විශේෂ උපකරණ දහස් ගනනින් එකිනෙක බිඳ වැටෙන්න ගත්තා.

මේ ප්‍රහාරත් එක්ක ඉරානයට තමන්ගේ න්‍යශ්ඨික වැඩසටහන් තාවකාලිකව අකුල ගන්නත් සිද්ධ වුනා. මේ සෙන්ට්‍රිෆියුජර්ස් හිටිහැටියේ  'පාලනයෙන් තොරව විනාශ වෙන තුරු ක්‍රියාත්මක වීමේ' පුවත වැඩි කල් ලෝකයෙන් වසන් කරන්නට ඔවුන්ට බැරි වුනත්, මෙය ඇත්තටම කුමන හේතුවක් නිසාද යන්න මාස ගණනාවක් යන තුරු ලෝකයට රහසක් වෙලා තිබුනා.
සයිබර් ආරක්ශණ ප්‍රජාව මවිත කරමින්,  මේ විනාශය පිටුපස තිබුනේ  එතෙක් මෙතෙක් ලොව දුටු භයානකම වයිරසයක් බවට ටිකෙන් ටික කරුණු හෙලි වුනා.
සාමාන්‍ය වයිරසයක තියෙන කෝඩ් ප්‍රමානය වගේ විසි ගුණයක් විතර තිබුනත්, එය ඉතා සූක්ශමව ඒ වෙන විටත් හෙලි ව නොතිබු වින්ඩෝස් පරිගනක පද්ධතියේ සිදුරු ගණනාවක්  (zeroday vulnerabilities) යොදා ගනිමින් පරිගණක පද්ධති හරහා රිංගා ගියේ ආරක්ශන පද්ධතිවලට කිසිම ලෙසකින් හසු නොවී. මේ පරිගණක පනුවාගේ නම stuxnet.
එය ලොව ප්‍රථම ඩිජිටල් ආයුධය (digital weapon)ලෙසත් හඳුන්වා දෙනවා මොකද පරිගණක වැඩසටහනක් පමනක් යොදාගෙන  සතුරු කඳවුරක පද්ධති අකර්මන්‍ය කිරීමක් මිසක විනාශ කිරීමක් මින් පෙර අප නොදැක තිබූ නිසාවෙන්.








කොහොමද පරිගණක වයිරසයක් මෙතරම් විනාසයක් සිදු කලේ?

මේ වයිරසය ඇතුලු වු පරිගනක ඊට සම්බන්ධ programmable logic controllers (PLC) හරහා ඔය යුරේනියම් පිරිපහදු කරන  සෙන්ට්‍රිෆියුජර්ස් වලට බොරු පනිවිඩ දෙනවා.
සෙන්ට්‍රිෆියුජර් එකක් කරන්නෙ යුරේනියම් නිධි වලින් ගන්න ඛනිජය අධික වේගයෙන් කරකවලා න්‍යශ්ටික බලය උපදවන්න පුලුවන් 1% විතර වෙන U-235 isotope එක වෙන් කර ගන්න එක.. මේවට කියන්නෙ enrichment facilities  කියලා. මේ පිරිපහදු කිරිම අඩාල වුනොත් න්‍යශ්ඨක වැඩ පිලිවෙලත් පිරිසිදු යුරේනියම් නැති කමින් අඩපණ වෙන්නෙ ඒ නිසයි.

 ඒ සෙන්ට්‍රිෆියුජර්ස්වල ආරක්ශාවට එහි උෂ්ණත්වය, කැරකෙන වේගය ආදිය ස්ව්‍යංක්‍රීයව පාලනය වෙන්න තිබුනේ. නමුත් වයිරසයට පුලුවන් වුනා සූක්ශම විදියට මේ PLC වල පාලනය අතට අරගෙන ඒවා කරකැවෙන වේගය ශීග්‍රයෙන් වැඩි කරන ගමන්, පාලක පද්ධතියට කියන්න හැම දේම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා කියලා.
 අවසන් ප්‍රතිපලය වුනේ,  වෙන්නෙ මොකක්ද කියලා අදාල නිලධාරීන්ට හිතා ගන්නත් කලින්, ඉරානයේ නටාන් නගරයේ තිබූ ප්‍රධානම පිරිපහදු මද්‍යස්ථානයේ දහසක් පමණ සෙන්ට්‍රිෆියුජර්ස් එක මොහොතින් විනාශ වෙලා ගිය එක.


මේ ක්‍රියාන්විතය කාගෙද?

එක සොලොදාදුවෙක් වත් සතුරු කඳවුරට එවන්නෙ නැතිව, එක වෙඩිල්ලක්වත් තියන්නෙ නැතිව තනිකරම වයිරසයක් මගින් කරපු මේ වැඩ,  විෂයේ කෙළ පැමිණි ප්‍රවීනයන් වසර ගනනාවක් දැඩි පරිශ්‍රමයක් යොදා ගෙන රාජ්‍ය අනුග්‍රහය යටතේ  කල දෙයක් බව පසුව හෙලි වුනා.
 මෙහි වගකීම නිල වශයෙන් භාර නොගත්තත්,  එය පිටුපස සිටියේ ඊශ්‍රායෙල් මොසාඩ් සහ ඇමෙරිකානු CIA ඔත්තු සේවා බව දැන් ප්‍රසිද්ධ රහසක්.  Operation Olympic Games යන අන්වර්ථ නාමයෙන් හැදින්වුන මේ රහස්‍ය මෙහෙයුමට, බුශ් සහ ඔබාමා  ජනාධිපතිවරුන්ගේ ආශිර්වාදය පවා ලැබුනා.

අන්තර්ජාලයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ, අධි ආරක්ශිත කලාපයක් තුලට ව‍යිරසයක් යැව්වෙ කොහොමද? 

දැනට විශ්වාස කරන විදියට මේ ව‍යිරස් එක අඩංගු USB sticks, ඔත්තු කරුවන් හරහා මේ මූලස්ථානයේ වැඩ කරන සේවකයන්ගේ වාහන අංගන ආදියෙ විසුරවල තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් මෙසේ අහුල ගත්ත USB stick එකක්, එහි අඩංගු මොනවද බලන්න කුතුහල‍යට තමන්ගෙ පරිගණකයට සම්බන්ධ කරන්න ඇති. මොකුත් නැති නිසා සමහර විට විසි කරන්න හෝ තමන්ගෙ පුද්ගලික පාවිච්චියට ගන්න ඇති. නමුත් ඒ තුල සිටි අති විනාශකාරි වයිරසයට ඒ අවසරය ඇති මෙලෙසින් පද්ධතියට ඇතුල් වී බාහිරින් කිසි උදව්වක් නැතිව, තමන්ට භාර දුන් කා‍ර්‍යය අකුරටම සිද්ද කරන්න කාටවත් හසු නොවී.



දැන් තත්ත්වය කොහොමද? 

මේ ප්‍රහාරයත් එක්කම, ඉරානය තමන්ගෙ හොඳම හැකර්ස්ලා එකතු කරලා Iran Revolutionary Guard කියන ලොව දෙවන විශාලතම සයිබර් හමුදාව නිර්මානය කරනවා. එය විසින් ඇමෙරිකාවට විරුද්ධව දැවැන්ත සයිබර් ප්‍රහාර කිහිපයක්ම එල්ල කරනවා. ඔය අතරෙ,  ඊශ්‍රායලය ඇමරිකාවෙ අවසරයකින් තොරව මෙම වයිරස් වැඩසටහන වෙනස් කරලා අන්තර්ජාලයට මුදා හැරීමත් සමග ඉරානයට විරුද්ධව මුලදි නිර්මාණය වුන මුත්   එය redesign කිරීමට ලොව පුරා හැකර්ස්ලට අවස්ථාව ලැබෙනවා. එනිසා මේ වයිරසය  පුරා ‍රටවල්  බොහෝ ගනනක දැන්  දක්නට ලැබෙනවා, ඇමරිකාව ඇතුලුව. මින් වැඩිම අවදානම තියෙන්නෙ විදුලි උත්පාදක මධ්‍යස්ථාන, තෙල් පිරි පහදු මධ්‍යස්ථාන, ට්‍රැෆික් ආලෝක පාලන පද්ධති වගේ, ඉතා විශාල ලෙස ජන ජීවිතය අඩාල කරන්න පුලුවන් මර්මස්ථානවලට.

සීතල යුද්ධය අවසන් වෙලා ගොඩාක් කල්. නමුත් අන්තර්ජාලයේ මතුපිට නිසල වුනත් එහි ගැඹුරේ මේ වෙන කොටත් බලවත් රටවල්  අතර සයිබර් ‍යුද්ධ‍යක් යන බව දන්නෙ, එය කෙතරම් දරුනුද කියලා දන්නෙ මේ ක්‍රේෂ්ත්‍රයේ ඉන්න අය විතරයි. 

නමුත් එහි ප්‍රතිපල අපි හැමෝටම අද නැතත්, හෙට දවසෙ විඳින්න වෙන බව නම් සහතිකයි.

** End of Transcript **

Blog Exclusive: A strongly recommended documentary on this if you are interested. It is close to 2 hours but worth every minute of it.

මොකක්ද මේ Dark Web කියන්නෙ?

මෙ අවුරුද්දෙ ජුලි මාසෙ, ඔස්ට්‍රෙලියානුවන්ගෙ Medicare අංක සොරකමකට ලක් වුනා. ඒ සො‍රාගත් මිලියන ගානක් අංක, එකක් ඩොලර් තිහකට Dark Web එකේ විකුනන්න තියෙනවා කියලා පුවත් පත් වාර්තා කරා. මේ ගැන ඔස්ට්‍රේලියානු රජය කඩිනම් පරීක්ශන අරම්භ කරන්නට ෆෙඩරල් පොලීසියට භාර දෙන අතර මෙම සොරකම තමන් ඉතා බරපතල කාරනයක් ලෙස සලකන බවට ජනතාවට සහතික වුනා.

මේ උත්සාහය එම සිදුවීම ගැන කතා කරන්න නෙවෙයි. එම පුවත්වල සඳහන් වුන ඩාක් වෙබ් (Dark Web) කුමක්ද කතා කරන්න.

ඔබ බොහෝ විට ඩාක් වෙබ් ගැන අහන්නෙ නරක පුවත් විදියට. හොරකමට ලක් වුනු ක්‍රෙඩිට් කාඩ්, නීති විරෝධි මත් ද්‍රව්‍ය, ආයුධ ආදිය වෙළඳාම් කරන අන්තර්ජාලයේ අඳුරු කලාපයක් විදියට. නමුත් ඇත්තටම Dark Web කියන්නෙ ඔය කියන තරම් ඩාක් කලාපයක්ද? එහි ඉන්නෙ අපරාධකරුවන් විතරද? Deep Web සහ Dark Web කියන්නෙ එකමද ආදී මිත්‍යාවන් ගොඩක් තියෙනවා මේ ගැන තියෙන අපැහදිලි කම නිසාම. එනිසා බොහොම සරලව මේ ගැන පොඩ්ඩක් අද කතා කරමු.

****
Radio Segment: Duration - 5 mins


Transcript:

අපි දන්න අන්තර්ජාලයෙ අපි නිතර භාවිතා කරන කොටසට කියන්නෙ Surface Web - අපි ඔය Chrome, Internet Explorer හෝ ජංගම දුරකථන ආදියෙන් අන්තර්ජාලයෙ තියෙන විස්තර සැනින් පරිශීලනය කරන්නෙ ඔය Surface Web එක ඇතුලෙ. නමුත් විශ්වාස කරන්න ඒ අන්තර්ජාලයෙන් 5% පමණයි..ඉතිරි 95% ට කියන්නෙ Deep Web කියල...

Deep Web කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි, එය සාමාන්‍ය බ්‍රව්සරකට අපි කියනවා crawl කරලා හොයා ගන්න බැරි තත්ත්වෙ ඇති index නොවු ඔනෑම දත්ත‍යක්. උදාරහරනයක් විදියට ඔබගේ බැංකු ගිනුම වෙන කෙනෙකුට Google කරලා හොයන්න බැහැනෙ..එය ඔබට විතරයි විව්ෘත වෙන්නෙ. ඔබේ Facebook ගිනුමත් එහෙම‍යි. කොටින්ම පාස්වඩ් ආදියෙන් ආරක්ශා කරලා තියෙන ඔනෑම එකක් තියෙන්නෙ Deep Web එකෙ..
සමහර අය හිතනවා Deep Web කියන්නෙ Dark Web කියන එකටමයි කියල. කොහෙත්ම නැහැ.. Dark Web කියන්නෙ මේ Deep Web එක තුල තියෙන ඉතා පොඩි කොටසකට - හැබැයි එයට යන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට විශේෂ ක්‍රම තියෙනවා, ඒ ක්‍රමයෙන් ඒක ඇතුලට ගියාම ඒ යන අයගේ අනන්‍යතාවය හොයා ගන්න බැහැ. එනිසයි එයට Dark Web කියන්නෙ එහෙම නැතුව නරක තැනක් කියන අර්ථෙන් නෙවෙයි.
මේක ඉතා සරලව පැහැදිලි කරන්න මම හිතුවා පොඩි උදාහරණයක් යොදාගෙන.

හිතන්න අන්තර්ජාලය කියන්නෙ ලොකු ගොඩනැගිල්ලක් කියල. ඒකෙ Surface Web එක කියන්නෙ අමුත්තන්ගෙ කලාපය වගේ, එතන එන ඕනෙම කෙනෙකුට දකින්න තියෙන එවා තියෙනවා - එක එක show rooms තියෙනවා, පත්තර, පොත් තියලා තියෙනවා කියවන්න - ඒ තමයි Surface Web එක. ගොඩනැගිල්ලෙ එතනින් එහාට 95% විතර තියෙන්නෙ ලොක් කරපු කාමර. ඔබේ යතුරෙන් විතරක් අරින්න පුලුවන් ඔබේ කාමරෙත් එතන තියෙනවා. නමුත් මේ කාමර ඔක්කොටම කියන්නෙ Deep Web. ඔය දෙකේ එකතුව තමා අපි දන්න අන්තර්ජාලය.

හැබැයි ඔය Deep Web එක ඇතුලෙ, ඒ කියන්නෙ අර ලොක් කරපු කාමර තියෙන පැත්තෙ, එක ලොකු කාමරයක් තියෙනවා - ඒකට අපි කියමු කලුවර කාමරේ කියලා. ඒක ලොක් කරලා නම් නැහැ හැබැයි ඒක ඇතුලට යන්න සාමාන්‍ය විදියට බැහැ. නමුත් එයට ඇතුලු වුනාම ඔබ, ඔබේ මූන වහපු ගෝනි බිල්ලෙක් වගේ වෙනවා කියලා හිතන්නකො. එනිසා එතන වෙන ගනු දෙනුවලදි සම්පූර්ණ රහස්‍යභාවයක් තියෙනවා ඔබේ අනන්‍යතාවය හෙලි නොවෙන නිසා. මේ කාමරේට තමා Dark Web කියන්නෙ.

මම හිතන්නෙ මෙයින් ඔබට යම් අවබෝධයක් එන්න ඇති Surface, Deep සහ Dark Web කියන කොටස් තුන ගැන. කෙටියෙන් කිව්වොත් Deep Web සහ Dark Web කියන්නෙ එකක් නෙවෙයි දෙකක් හැබැයි Dark Web එක තියෙන්නෙ Deep Web එක ඇතුලෙ සහ එයට යන්න සාමාන්‍ය විදියට භාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රව්සර් වලින් බැහැ. ඒ සඳහා විශේෂ බ්‍රව්සර් තියෙනවා අර නිර්නාමික මැජික් එක කරන.
එයින් අතිශය ජනප්‍රිය බ්‍රව්සරය තමා Tor* කියන්නෙ.

එතකොට Dark Web එක කියන්නෙ අනන්‍යතාවයන් හංගන කලාපයක්. මේ නිසාම තමා මේක නරක වැඩ වලටත් තෝතැන්නක් වෙලා තියෙන්නෙ. Dark Web එක ඇතුලෙ නීති විරෝධී මත් ද්‍රවය, අවි ආයුධ, කුලී ඝාතකයන්, කුලී හැකර්ස්ලා, ළමා අසභ්‍ය අඩවි, සොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් විස්තර, ශරී‍ර අවයව ජාවාර්ම, ත්‍රස්තවාදී කන්ඩායම්වලට අදාල ප්‍රචාරක විස්තර ආද විස්තර හුවමාරු වෙනවා. මේ වගේ ජාවාරම් සම්බන්ධව ප්‍රකටම Dark Web එකේ eBay එක විදියට නම් දරාපු ාඩවියක් තිබුනා Silk Road කියලා, එය අවුරුදු දෙකක් ඇතුලත් වහන්න වුනා එය මෙහෙයවපු කෙනා FBI එකට කොටු වුන නිසා, ඒ කාලය තුල විත‍රක් එහි ආදායම ඩොලර් බිලියන ගානක් වුනා. මේ වෙලඳ පොලේ භාවිතා වෙන්නෙ bit coin කියන crypto-currency එක, ඒ කියන්නෙ එය ඩොලර්වලට පෙරලිය හැකි වුනත් එන්නෙ කොහෙන්ද කියන එක හොයන්න බැහැ (untraceable). දැන් ඔබට පැහැදිලි ඇති මේ වගේ නීති විරෝධි වැඩවලට සහ ගනු දෙනුවලට Dark Web එක තෝතැන්නක් වෙන්නෙ ඇයි කියලා.

නමුත් ඩාක් වෙබ් කියන්නෙ නීති විරෝධි වෙබ් කලාපයක් නෙවේ නීති විරෝධි වැඩවලට එය යොදා ගත්තට. තමන්ගෙ අනන්‍යතාවය රහසක් වෙන නිසාම ඉන් සාධනීය ප්‍රයෝජනත් ඉතා විශාල වශයෙන් තියෙනවා. සමහර රටවල රාජ්‍ය තම වැසියන්ගේ අන්තර්ජාල භාවිතයට ඇහැ ගහගෙන ඉන්නෙ (state surveillance), තවත් සමහර රටවල අන්තර්ජාලයෙ සමහර කොටස් වලට යන්න දෙන්නෙ නැහැ, අදහස් ප්‍රකාශ කිරීම රාජ්‍ය විසින් සීමා කරලා තියෙන්නෙ, ඉතින් ඒ වගේ රටවල ජනතාවට තමන්ගෙ පුද්ගලික රහස්‍යභාවය වෙනුවෙන් Dark Web එක අස්වැසිල්ලක්.
සමහර රටවල ජනමාධ්‍යවේදීන් ඉතා සංවේදී තොරතුරු අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්නෙ මේ ක්‍රමයෙන්. ඔබට මතක ඇති විකිලීක්ස් හරහා අති විශාල ඇමරිකානු රාජ්‍ය රහස් ප්‍රමානයක් ලෝකයට ඔවුන් හෙලි කරා - ඔවුන් ඒ තොරතුරු ලබා ගත්තෙ Dark Web හරහා. ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ  Dark Web අඩවි තියෙනවා වැදගත් තොරතුරු නිර්නාමිකව දීමට අවස්ථාවක් දෙන්න. Facebook අඩවියේ ඩාක් වෙබ් අඩවියක් (facebookcorewwwi.onion) තියෙනවා Facebook තහනම් කර ඇති රටවල අයට සම්බන්ධ වෙන්න පුලුවන් වෙන්න.
ඒ සමගම වෙබ් අඩවි හරහා තමන් ඉලක්ක කරගත් වෙලඳ දැන්වීම් (Targeted ads) වලින් බේරෙන්නත් බොහෝ දෙනා මෙලෙස Dark Web හරහා දෙන අණ්න්‍යතා රහස්භාවය (anonymity) ප්‍රයෝජනයට ගන්නවා.

එනිසා ඔබට පැහැදිලි ඇති Dark Web කියන්නෙ කිසි ලෙසකින්වත් නීති විරෝධි හෝ තහනම් කලාපයක් නොවන වග. නමුත් එහි වෙන භයානක ගනුදෙනු නිසා එය ගැන ගොඩක් දුර්මත ඇතිවෙලා තියෙනවා. ඉදිරියේදී මිනිසුන් වැඩි වශයෙන් Privacy, Freedom of expression, මර්ධනයට එරෙහි විකල්ප දේශපාලනික මතවාද සහ ‍රාජ්‍ය හෝ වෙනත් අධිපති ආයතනවලට එරෙහිව මාධ්‍ය වෙත අදහස් යවන whistleblowers යනාදි කටයුතු වැඩි වෙද්දි, Dark Web එක මීටත් වඩා මිනිසුන් අතර භාවිතා වේවි.

තහනම් කට‍යුතු වලට පැහැදිලිවම යොදා ගත්තත්, මේ කලුවර කලාපයෙන්ම මිනිසුන්ට ආලෝකයකුත් නිකුත් කරන බව ඒ නිසා අපිට පිලි ගන්නට වෙනවා.

**** end  Transcript****

* Blog Exclusive Bonus
Tor නිර්මානය කරෙ ඇමරිකානු නාවික හමුදාව ඔවුන්ගේ මිල්ටරි රහස් අන්තර්ජාලය හරහා යවන්න. එය ඩාක් වෙබ් විතරක් නෙවෙ‍යි, Surface හෝ Deep Web එකේ පවා යොදා ගන්නවා තමන්ගෙ විස්තර හෙලි නොකර අන්තර්ජාලයෙ නිර්නාමිකව සැරි ස‍රන්න.

කොහොමද ටෝර් මේ වැඩේ කරන්නෙ?
ටෝර්ට තියෙනව අති විශාල ජාලයක් (Relay Networks) - තමන් වෙත එන විස්තර මේ හැම එකක් වෙතම අහඹු ලෙස යවලා එය ආරම්භ වූ තැන නිශ්චය කරන්න බැරි කරනවා. උදාහරනයකින් කිව්වොත් කඳු කිහිපයක් ති‍යෙන තැනක එක තැනකින් ඇති කරන ශබ්දය දෝංකාර දෙන්න සැලැස්වුවහම ඒවා එකෙනික වැදිල නැවත් නැවත් දෝංකාර දෙද්දි කිව්ව වචන ඇහුනත් ආවෙ කොහෙන්ද නිගමනය කරන්න බැහැ වගේ, ටෝර් කරන්නෙ පනිවිඩය encrypt කරල එය වෙන අයට බලන්න හෝ වෙනස් කරන්න බැරි කරන අතරෙ, මෙලෙස relay කිරීම මගින් එව්වෙ කව්ද කියල සොයා ගන්න බැරි කරන එක (anonimizing).

Tor නම් එන්නෙ The Onion Router කියන වචන වලින්. අර Relay Network එක හරහා layer එකක් පස්සෙ layer එකක් අතුරලා මුලින් ආපු තැන වැහෙන විදියට (ලූනු ගෙඩියක පොතු වගේ) ක්‍රියාත්මක වෙන නිසයි ඒ නම එන්නෙ.

****
Teaser for social media

"පොඩි එකෝ මම උඹට කොච්චරවත් කියල තියෙද ඔය කලුවරමුල්ලෙ ගුබ්බෑයම් අස්සෙ රිංගන්න එපා කියලා. කුඩු කාරයොයි, රස්තියාදු කාරයොයි, කසිප්පු කාරයොයි, මදාවි ඔක්කොම ටක් ගැහෙන තිප්පොලක් ඔය. පොලිසීය ආපු වෙලාවක උඹවත් කුදලගෙන යාවී, ඔන්න මම නොකිව්වයි කියන්න එපා"

"ඒක මාර කතාවක්නෙ..!! ඔය අපි ඉස්සර ඉඳලා හැංගි මුත්තන් කෙලපු තැනනෙ. ඒකට රිංගලා උන් අසමජ්ජාති වැඩ කරා කියලා අපි මොකටද එතනින් යන්නෙ?"

"ඇයි බොලාට ඔතනම යන්න ඕනෙ, වෙලාවක මැරුම් කන්න වෙන්නෙ බොලා ඔක්කොටම. පලයව් අර දැල්පොත්තෙ වත්තට, එතනත් ඔය පොඩි එවුන් ඉන්නෙ"

"දැල්පොත්තෙ හැංගි මුත්තම් සෙල්ලම් කරන්න පුලුවනැයි අම්මෙ? ඉන්නෙ කොහෙද කියලා හැම එකාටම පේනවනෙ.. එතන හොඳයි මල් කඩන්නයි අල්ලන සෙල්ලම කරන්නයි"

"බොලා එතකොට හැංගි මුත්තන් කෙලිද්දි අරුන්ගෙ ආයුධ ගුබ්බෑයම් අස්සට වැරදිලා ගිහින් මාට්ටු වුනොත් එහෙම?"

"පිස්සුද අම්මෙ, අපි යන්නෙ ටෝර් අයියත් එක්ක.. ඒ මනුස්සය තමයි ඔය වැයික්කියෙ අස්සක් මුල්ලක් නෑර ඔක්කොම දන්නෙ.. පොලිසියෙ මාමලත් පාර අහ ගන්නෙ ටෝර් අයියගෙන්.. අපි හොරකම්, ජඩකම්, වල්කම් කරන්නෙ නැති තාක් කල් බය වෙන්න දෙයක් නැහැ.. අම්ම බය නැතිව ඉන්න, හැංගි මුත්තන් කෙලියා කියලා හිරේ ගිය අය නැහැ"

"දැන් උඹලට අය ඔතනම යන්න ඕනෙ හැංගි මුත්තන් කෙලින්න?

"ඒකනෙ අම්මෙ එතෙන්ට කලුවරමුල්ල කියන්නෙ.. කලුවරේ කාවවත් අඳුර ගන්න බැහැනෙ.. කතා කරත් කන්දෙන් කන්දට වැදිලා කියන එක දෝංකාර දෙනවනෙ, ඉතින් ඉන්න තැන හිතා ගන්න බැහැ කාටවත්..
ඒක වෙනම ආතල් එකක් අම්මේ*"

* - අවසන් වාක්‍යයේ උත්ප්‍රාසය වැටහෙන්න ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය නරඹන්නෙක් විය යුතු වේ. මුලු කතාවම තේර්ම ගන්න ඔබ මෙම බ්ලොග් පිටුව සම්පූර්ණයෙන්ම කිව යුතු වේ..

Tuesday, December 12, 2017

ඇයි මේ නරකම විතරක්!

 අද සයිබර් සටහනෙන් සයිබර් අවකාශයේ ධනාත්මක පැත්ත එහෙමත් නැත්නම් එය තුල නිසඟයෙන්ම ඇති අවස්ථා (opportunities) ගැන කතා කරමු.

Duration: 6 mins

Transcrpt:
ඔබ ආපසු හැරී බැලුවොත් ඔබට පැහැදිලි වේවී අපගේ එදිනෙදා කටයුතු මේ තාක්ශණික උපාංග එක්ක විප්ලවීය වෙනසකට ලක් වෙලා තියෙන හැටි. ඉස්සර ඊමේල් එකක් යැවීම පවා ඉතාමත් තාක්ශණික (technical) කාර්‍යයක් විදියට සලකපු අය දැන් තමන්ගෙ දුරකථනය හෝ පරිගණකය හරහා එසැනින් වෛද්‍යවරු චැනල් කිරීම, අන්තර්ජාලයෙන් දේවල් මිලදී ගැනීම, බැංකු කටයුතු සහ බිල්පත්  ගෙවීම  පවා කරන්නෙ දෛනික කාර්‍යයන් විදියට.

ඒ එක්කම  skype, viber, facetime ආදී තාක්ශණයන් video සන්නිවේදනය,  අන්තර්ජාලය search කිරීමෙන් එසැනින් කරුනු/දැනුම සොයා ගැනීම, හෝ GPS තාක්ශනයෙන්    තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන්ම සහ අවහිර මඟහරවා  ගමන් කල හැකි navigation පද්ධති ආදී මෙකී නොකී අංග ඇතුලත්  ඉතා දිග ලැයිස්තුවක් ඔබේ මතකයට ඒවි.

නමුත් මම අද උත්සාහ ගන්නේ ඔබ කොහොමත් දන්නා ඒ ලැයිස්තුව පුනරුච්චාරනය කරන්න නෙවෙයි.
මේ නැබුරුතාවයන් කෙතරම් දුරට පැවති තත්වයන් පුපුරුවා හැර නව අවස්ථා උදා කරන්නට දායක වුනාද  කියලා රසවත් කරුනු ටිකක් එක්ක අපි කතා කරමු.

කෙනෙකුට තමන්ගේ හැකියාවක් ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය හරහා එලි දක්වන්න මීට ඉහත තිබුනු අවස්ථා මොන වගේද? තමන්ගෙ ගායනයක්, රංගනයක් මාධ්‍ය හරහා එලි දක්වන්නට පමනක් නෙවෙයි, කෙටි කතාවක්, කවියක් වත් පත්තරයක පල කර ගන්න කෙතරම් වෙහෙස වෙන්න වුනාද?.දක්ශතා නොසලකා හැරීම්, කළකිරීම් එක්ක , සමහර වෙලාවට දැන හැඳුනුම්කම් ආදිය එක්ක තමයි කෙනෙකුට ඔය අවස්ථාව හිමි වෙන්නෙ.
නමුත් අද දවසේ  සයිබර් තාක්ශනික අවකාශය මේ අධිකාරී බල රාමු, අපහසුතා පුපුරවා හරින්න කුමන ආකාරයේ දායකත්වයක්ද දක්වන්නෙ?


බ්ලොග් අඩවි හරහා තමන්ට රිසි සේ නිදහස් අදහස් ලියවෙනවා, සමාජ ජාල ආදියේ තම මව් බසින්ම ඉතාමත් නිර්මාණශීලි අදහස්, දැනුම, කලා, කාලීන දේශපාලනික සංවාද සමාජගත වෙනවා.

ගුවන් විදුලි/රූපවාහිනි ගැන තිබුන අධිපති මතවාදය බිඳිමින් ඕනෑම කෙනෙකුට තමන්ටම රූපවාහිනි නාලිකාවක්, ගුවන් විදිලි නාලිකාවක් වෙන්නට මග හසර විව්ෘත වෙලා. උදා හරණයක් විදියට යුටියුබ් නම පවා එන්නෙ 'ඔබ ටීවී' එකක් වෙන්න කියන් අරුතෙන්.. මික්සෙලර් වගේ සේවාවක් ගත්තොත් ඔබට ඔබේ නමින්ම එසැණින් ලෝකය පුරා ඔබේ අසන්නන් වෙනුවෙන්  වැඩසටහන් ඉදිරිපත්  කරන්න පුලුවන් ඔබගේ ජංගම දුරකථනය හරහා. . මේ තාක්ශණය දැනට් මෙල්බර්න් නගරයෙ විහාරස්ථාන ධර්ම දේශනා ප්‍රචාරය කරන්නත්  කරනවා.
එදා දක්ශතාවය තියා ගෙනත්, සම්බන්ධකම් නැති නිසා කැලේ පිපෙන්නට වුන මල් වගේ නෙවෙයි, දැන් එස්මියුල් වගේ තාක්ශණයක් එක්ක ගීත ගයන්නත්, අනෙක් මිතුරන් ගායනයට සම්බන්ධ කර ගන්නත් පුලුවන්. හොඳ කටහඬක් තියෙන කෙනෙක් ජනප්‍රිය වෙන්නෙ එක රැයෙන්..ඒකට හිත මිතුරුකම්, සම්බන්ධකම්  ඕනෙ නෑ..සයිබර් අවකාශයෙ ජනප්‍රියත්වය පාලනය කරන්නෙ ඒ අවකාශයේම හැදෙන ජනතා ගාමක බලවේගයකින්.

යුටියුබ් ගැනත් කෙටියෙන් හරි කියන්න ඕනෙ එය කෙතරම් විකාශනය වෙලාද කියලා වානිජ මට්ටමෙන් අතිශය ලාභ ලබා දෙන විදියට.

2016 අවුරුද්දෙ යුටියුබ් එකේ අංක එක වුන ෆිලික්ස් ජෙල්බර්ග්, තම මිලියන 50ක් වන රසික ජාලය පිනවීම නිසා, ෆෝර්බ්ස් ආයතනයට අනුව වෙලඳ දැන්වීම් වලින් විතරක් එම වසරෙ ලබපු ලාභය ඩොලර් මිලියන් 15ක්. 2010 අවුරුද්දෙ ආර්ථික අපහසුකම් නිසා අද්‍යයන කටයුතු පවා අවසන් කර ගන්න බැරි වුන මේ තරුණයා ‍එදා සුලු රැකියාවක් කරන ගමන් ආරම්භ කරපු යූටියුබ් නාලිකාවෙන්, මේ වෙන විට අන්තර්ජාලය නිසා මිලියන ගනනක් උප‍යනවා - නමුත් එලෙසින්  ඔහුගේ වැඩසටහන් කියා ඉදිරිපත් කරන්නෙ මොනවාද කියා ඔබ දන්නවද? හාස්‍යය, උපහාසය මුසු වුනු ආරකින් පරිගණක ගේම් ආශ්‍රිත වීඩියෝ වැඩසටහන් (ව්ලොග්ස්) ආදිය හරහා මිලියන් ගානනක් පිරිසක් වසඟයට ගැනීම තුලයි ඔහු මේ හාස්කම කරන්නෙ.
මේ එක උදාහරණ්‍යක් පමනයි. මට මෙතන පෙන්නන්ට අවශ්‍ය වුනේ සයිබර් අවකාශය තුල සාර්ථක වෙන්න අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය සහ වෙලඳ පොල ගැන තියෙන ඉව පමණයි කියන කාරනය.

තව උදාහරණයක් ගනිමු.. සාම්ප්‍රදායිකව තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඉස්සර කෙතරම් වෙහෙස වෙන්න වුනාද? ප්‍රචාරක කටයුතු, පුද්ගලික සම්බන්ධතා විතරක් නෙවෙයි, අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය සහ ඒ එක්ක නිතැතින් එන අවදානම ඉතා විශාල වුනා. ඔබ විශ්වාස කරනවද අඩුම ගානෙ තමන්ට කියලා වෙබ් අඩවියක්වත් නැතිව, අන්තර්ජාලයෙ ඊබේ හරහා බඩු විකුනමින් එය තමන්ගේ මූලික ජීවනාලිය කරගත් සයිබර් වෙලෙන්දන් සිටිනා වග. මේ සමහර අය අඩුම ගානෙ ඒ විකුනන දේවල් ගබඩා කරන්නෙ වත් නැහැ.. ඔවුන් කරන්නෙ අතරමැදදෙකුගේ කාරය භාරය.

ඔබට වාහනයක් තිබේ නම්, ඔබේ ස්මාට් දුරකථනයෙ ඌබර් තිබේ නම්, ඔබට අවශ්‍ය වෙලාවට ඔබට කැබ් සේවා සපයන්න පුලුවන් ඔබේම වාහනයෙන්.

ඒ වගේම සුලු පරිමාන ව්‍යාපාරිකයන්ට ඉස්සර වගේ වෙනම පරිගණක ලැබ් ආදිය හදාගෙන, ඒවායේ තාක්ශනික පැත්ත කලමනාකරනය ආදිය කරන්න අවශ්‍ය නැහැ ක්ලවුඩ් කම්පියුටින් තාක්ශනයත් එක්ක. මෙතන වැදගත්ම කාරනේ තමයි මේ සියල්ල එන්න එන්න මිල අඩු වෙන අතරෙ, තාක්ශණික සංකීර්ණතා දිය කරමින් ඕනෑම දැනුම් මට්ටමක කෙනෙකුට මේවා පරිහරණය කරන්න පුලුවන් තරමට මේවා සරල වීම.

ගම් පෙරලියෙ පියල් අලුත් ලෝකෙ අභියෝග ජයගන්න ගමේ ඉඳලා කොළඹ බලා පිටමං වුනාට, අද දවසේ අපිටත්, අපේ දරුවන්ටත් අපි අවට රට විතරක් නෙවෙයි, විශ්වය ජය ගන්නත් ඕන වෙන්නෙ තමන්ගෙ අතේ තියෙන ස්මාට් දුරකථනයට එබෙන්න විතරයි. එය ඒ තරම්ම අවස්ථා සපිරි තෝතැන්නක්.. එහි උවදුරු මග හැරලා, ඒ අවස්ථා දිනා ගන්න  අවැසි වෙන්නෙ විවෘත මනසකින් මේ වෙන පරිනාමය දෙස බලා සුපරීශාකාරීව එහෙත් සුභවාදීව බලන එක.

*** End of Transcript ***
  



KRACK ATTACK

Duration: 4 mins

Transcript:
මීට සති  දෙකකට කලින් ,  හරියටම කිව්වොත් ඔක්තොම්බර් 16 දා, අන්තර්ජාල ප්‍රජාව භීතියට පත් කරන පුවතක් අසන්නට ලැබුනා.
ඒ තමයි wireless ජාල වල භාවිතා වෙන  WPA2 කියන තාක්ශණය (ප්‍රොටෝකෝලය) හා බැඳුනු දුර්වලතාවයක් (vulnerability) පර්‍යේශණ කන්ඩායම් සොයා ගැනීම.  යම් හෙයකින් මේ ක්‍රමයෙන් ඔබේ නිවසේ wireless network එක තුලට කෙනෙක් ඇතුලු වුනොත් ඔබගේ ජාලය හරහා යන සියලු දත්තවලට සවන් දෙන්න (eavesdropping)  පමණක් නොවේ,  දත්ත වෙනස් කරන්න (inject)  පවා හැකියාව තියෙනවා. ලොව පුරා wireless තාක්ශණය භාවිතා කරන මිලියන ගණනක් ස්මාට් දුරකථන සහ වෙනත් wireless උපාංග (gadgets) මේ නිසා අවධානමකට ලක්වෙනවා. එනිසා අද අපි කතා කරමු  මේ උවදුරට අදාල තොරතුරු ටිකකුත්, මෙයින් අපට ආරක්ශා කාරී වෙන්න පුලුවන් ක්‍රම කිහිපයකුත්.


මේ බග් එකට කියන්නෙ KRACK කියලා - Key Re-installation Attack කියන වචන තුනේ අකුරු එකතු කරලා මේ වචනෙ හැදිලා තියෙන්නෙ.  සරල උදාහරනයකින් කිව්වොත් WPA2 කියන්නෙ අපගේ wireless ජාලය ආරක්ශා කරන දැල කියලා හිතුවොත්, මේ ක්‍රැක් එකෙන් කරන්නෙ එම දැල විනිවිද එය තුලට රිංගන එක, ඒකයි එහෙම යන කෙනෙකුට වෙන කෙනෙක්ගෙ ජාලය තුල හුවමාරු වෙන දත්ත හොරෙන් කියවන්නත්, අවශ්‍ය නම් ඒවා වෙනස් කරන්න හෝ වෙනත් විනාශකාරී ක්‍රියා කරන්න පුලුවන් වෙන්නෙ.
මේ හරහා උවදුරට ලක් වෙන උපකරණ අතරෙ වින්ඩෝස් සහ ඇපල් උපකරණ නැහැ.. එනිසා ඇන්ඩ්‍රොයිඩ් උපකරණ භාවිතා කරන අය විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනෙ, අපි හැමදාම මතක් කරනවා වගේ පද්ධතිය හැම තිස්සෙම අප්ඩේට් කරලා තියා ගන්න එක. ඒ වගේම ගෙදර router එකෙත් firmware එක update කර ගන්න මතක ඇතුව. එය ඉතා ලේසියෙන්ම කරන්න පුලුවන්.  ඔබේ router එකට අදාල අත්පොතේ ඒ විස්තර තියෙනව. එය හොයා ගන්න නැත්නම් අන්තර්ජාලයේ අදාල මොඩල් එකේ විස්තර සෙව්වා නම් මෙය කරන ආකාරය හොයා ගන්න පුලුවන්.
ඒ සමගම router එකේ ඇඩ්මින් පාස්වඩ් එකත් වෙනස් කරන්න. අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා එය මිලදී ගන්නකොට තිබුන පාස්වඩ් එකම දිගටම තියාගෙන ඉන්න. මෙය ඇත්තටම අවදානම් ජාලයේ ආරක්ශාවට.
අනික් කාරනයත් ඉතාම වැදගත්. මෙය මේ උවදුර හින්දා නෙවෙයි කවදත් කරන්න පුරුදු වෙන්න ඕනෙ දෙයක්. ඒ තමයි secure web sites හරහා පමනක් online banking, online shopping ආදිය කරන්න.


එතකොට කොහොමද secure websites හඳුනා ගන්නෙ? ඉතාමත්ම පහසුයි. වෙබ්සයිට් එකේ නම තියෙන තැන ආරම්භයේ ඔබ දන්නවා එය සාමාන්‍යයෙන් පටන් ගන්නෙ http කියන අකුරුවලින්,  ආරක්ශිත වෙබ් අඩවි වල ඒ අකුරු හතරට තව secure කියන අර්ථය දෙන්න තව s අකුරක් එකතු වෙලා, ඒ කියන්නෙ ඒ සයිට් පටන්ගන්නේ https කියල.
ඔබගේ ක්‍රෙඩිට් කාඩ්, බැංකු විස්තර හෝ වෙනත් සංවේදී පුද්ගලික කාරනා ගැන ලියවෙන වෙබ් අඩවි වල ලිපිනය ආරම්භයේ https නැත්නම් කිසි දිනක ඒ වෙබ් අඩවිය භාවිතා කරන්න එපා.  එම අඩවිවල ඔය අකුරු පහට අමතරව තව පොඩි ලොක් එකක රූපයකුත් සාමාන්‍යයෙන් තියෙනවා ඒ නිසා ඔබට අතපසු වෙන්න විදියක් නෑ මේ ගැන දැනුවත්නම්.
ඒ සමගම මම කලින් දවසකත් මතක් කරා වගේ ඔය නොමිලේ අන්තර්ජාල සේවා සපයන wifi hot spot ආදිය (airport වල, කැෆේ වල) හැකි තරම භාවිතයෙන් ඈත් කර තබන්න විශේෂයෙන් ක්‍රෙඩිට් කාඩ් ආදිය භාවිතා කරන වෙලාවට.

** End of Transcript **

Saturday, November 4, 2017

Stay Smart Online සතිය


Episode 5 Stay Smart Online Week
Duration: 4 mins 11 sec

ඔක්තොම්බර් මාසෙ අන්තර්ජාල ආරක්ශණය (cyber security) සම්බන්ධව ඉතා වැදගත් මාසයක්. ජාතික මට්ටමේ දැනුවත් කි‍රිම් විශාල ප්‍රමාණයකට රටවල් බොහොමයක් මේ මාසය යොදා ගන්නවා. උදාහරණයක් විදියට ඇමෙරිකාවේ රජය මෙම මාසය හඳුන්වන්නේ National Cyber Security Awareness Month ලෙසින්. යුරොපානු සංගමයේ රටවල මෙම මාසය හඳුන්වන්නේ European Cyber Security Month කියලා.
ඔස්ට්‍රේලියාවෙ ‍රජය මේ සඳහා යොදා ගන්නෙ ඔක්තොම්බර් මාසෙ සතියක්. එය හඳුන්වන්නෙ Stay Smart Online Week නමින්.
එය යෙදිල තිබුනෙ හරියටම මේ සතියෙ, ඒ නිසා සයිබර් සටහනෙත් ඒ ගැන කෙටියෙන් හරි යමක් සඳහන් කිරීම කාලෝචිතයි කියලා මම සිතුවා.
මෙවර තේමාවත් ඉතා වැදගත් - Simple steps to stay smart online.

බොහෝ දෙනෙක් අන්තර්ජාල උවදුරුවලින් ආරක්ශා වෙන එක ගැන හිතන්නෙ තමන්ට ගෝචර නොවෙන, තාක්ශණිකව සංකීර්ණ ක්‍රියාවලි කියලා, මෙය මිත්‍යාවක්. තාක්ශණිකව සංකීර්ණ වෙන්නෙ උවදුරකට ලක්වුනොත් ඉන් වන හානිය කලමනාකරනය කර ගැනීම වගේ දේවල්, නමුත් සතුටු වෙන්න පුලුවන් කාරනේ තමා ආරක්ශාකාරී වෙන්නෙ බොහෝ විට පිලි පදින්න තියෙන්නෙ ඉතා සරල ක්‍රියාවලීන් සහ තාක්ශණික විධි ක්‍රම කියන එක. අද අපි කෙටියෙන් කතා කරමු ඒවයින් කිහිපයක්. 

2016 අවුරුද්දෙ, ඔස්ට්‍රේලියානුවන් හතරෙන් එකක් ස්වකීය හැඳුනුම ආශ්‍රිත සොරකමකට (identity theft) ගොදුරු වෙලා තියෙනවා. මෙවැනි scam වලින් ඔවුන්ට වූ සමස්ත පාඩුව ඩොලර් මිලියන 48ක්.  අවබෝධයෙන් සිටිය නම් ඔවුන්ට බොහොම පහසුවෙන් මේවයින් ගැලවෙන්න තිබුනා. අපි මේ ගැන කප්පම් වයිරස කතා කරද්දි සාකච්චා කරා නමුත් වැදගත් කම නිසා ඒ ගැන නැවත මතක් කරන්නම්.
නොදන්නා හෝ සැක කටයුතු ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීම, එහි තියෙන ලින්ක් ක්ලික් කිරීමෙන් වැලකී සිටීම, පුද්ගලික තොරතුරු දීමෙන් වැලකී සිටීම මින් මූලිකයි.
ඒ සමගම හොඳ anti virus මෘදුකාංගයක් අනිවාර්‍යෙන් භාවිතා කරන්න. පද්ධතිය යාවත්කාලීන (update) වෙන්න සකසා ගන්න අතරෙ වටින ලිපිගොනුවල අමතර බාහිර පිටපතක් (external backup copy එකක්) තබා ගන්න අපි කලින් දවසකත් මතක් කරා වගේ.
ඔස්ට්‍රේලියානුවන් තුනෙන් දෙකක් තමන්ගේ ස්මාට් දුරකථනයට anti-virus ඇප් එකක් භාවිතා කරන්නෙ නෑ. එනිසා නැවතත් අවධරනය කරන්නේ ඔබේ පුද්ගලික තොරතුරු සියල්ල, යන එන තැන පවා, ගබඩා වෙන ජංගම දුරකථනයේ ආරක්ශාව ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනෙ.  එහි anti-virus ඇප් එකක් භාවිතා කිරීමට  අමතරව විශ්වාසදායි ඇප් පමනක් ඉන්ස්ටෝල් කිරීම සහ සියලුම ඇප්ස් අප්ඩේට් වෙන්න සකසලා තියා ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්.
ඔබේ පාස්වඩ් එක ගෙදර දොර වගේ, නමුත් අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා ඉන්නවා එකම ඉතා සරල පාස්වඩ් එකක් හැම තැනකටම පාවිච්චි කරන්න. තත්පරයකට වචන බිලියන 350ක් අනුමාන කරන්න පුලුවන් මෘදුකාංග හැකර්ස්ලා භාවිතා කරන යුගයක ඔබේ පාස්වඩ් එක කෙතරම් ආරක්ශිත දැයි ඔබටම හිතා ගන්න පුලුවන් නේද? පාස්වඩ් මතක තියා ගන්න වෙන්නෙ නැතිව, ඉතා පහසුවෙන් පාස්වඩ් මැනෙජර් එකක් හරහා මෙය ඉතා පහසුවෙන් කරන ආකාරය වෙනම සයිබර් සටහනකින් ඉදිරියේදි කතා කරමු.

ෆේස්බුක් වගේ සමාජ ජාලා භාවිතා කරද්දි, දන්නා අය පමණක් මිතුරන් විදියට එකතු කර ගන්නත්, එකතු කරන පුද්ගලික තොරතුරු මොනවද, ඒවා දකින්න පුලුවන් අය privacy setting හරහා සීමා කරන්නත් වග බලා ගන්න.
අනෙක් වැදගත්ම කාරනය පුලුවන් හැම වෙලාවෙම two factor authentication යොදාගන්න.  ඒ කියන්නෙ පාස්වඩ් එකට අමතරව ජංගම දුරකථනයට එන කෝඩ් එකකුත් එන්ටර් කරන්න වෙනවා තමන් සාමාන්‍යයෙන් භාවිත නොකරන ස්ථානයකින් හෝ උපකරණයකින් ඔබේ ගිනුමට සම්බන්ධ වෙන්න නම්.
පොදු ස්ථානවල තියෙන පරිගණක හෝ පොදු අන්තර්ජාල සම්බන්ධතාවයක් (public wifi hotspot) භාවිතා කිරීමේදී ඔන්ලයින් බැන්කු කටයුතු, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් වගේ කටයුතුවලින් වැලකෙන්න.  
මේ සරල ආරක්ශක විධික්‍රම කිහිපයක් පමණයි.  මීට අමතරව ඔබට පුලුවන් නම්, මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය ජනතාව දැනුවත් කරන්න පිහිටවලා තියෙන නිල වෙබ් අඩවිය වෙන staysmartonline.gov.au වෙත නිරන්තරයෙන් පිවිසෙන්න එහි මා මේ කෙටියෙන් සඳහන් කල කාරනා වලට අදාල වැඩි විස්තරත් අලුත්ම online වංචා (scam) ආදිය  ඉතා සරලව එහි පැහැදිලි කරලා තියෙනවා. මම අද සටහනට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ගත්තෙත් එම වෙබ් අඩවියෙන්.
පසු ගිය මාස තුනට පමනක් ඉස්ට්‍රේලියාවේ වාර්තා වූ සයිබර් අපරාධ ප්‍රමානය 11,000ක්, මෙය වැඩි වෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. අපි ඉදිරි සයිබර් සටහන් වැඩසටහන් වලින් තවත් මේ ගැන සවිස්තරව කතා කරමු.

Wednesday, September 27, 2017

‌ටැබ්ලට් වලට ඇලුනු අපේ දරුවෝ!



අද අපි සයිබර් සටහනෙන් කතා කරන්න යන්නෙ ඉතාමත් කාලෝචිත මාතෘකාවක්.
දරුවෙක් විවිධ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා අන්තර්ජාලයේ ගත කරන කාලය කොපමණ විය යුතුද?

Special extended episode broadcasted on 3ZZZ radio on


සෞඛ්‍ය සේවයේ විද්වතුන් මේ සඳහා ඉදිරිපත් කල, ජාතික මට්ටමෙන් පිලිගත් වාර්තාවක් ඇසුරෙන් තමා අද මම ඔබට මේ දත්ත ඉදිරිපත් කරන්නෙ. මුලින්ම කියන්න ඕනෙ මේ දත්ත ඇත්තටම ඔබව තරමක විමතියට පත් කරාවි කියලා මට සහතිකයි. දරුවාගේ වයස කාන්ඩ තුනක් අනුව, මේ ජාලගත කාලය (online time/screen time) ඔවුන් රෙකමදාරු කරනවා. ඒ දත්ත ඉදිරිපත් කරන්න කලින්, මෙම ජාලගත කාලය දරුවෙකුට කරන බලපෑම, කෙටියෙන් හරි තේරුම් ගන්න ඕනෙ මෙයට ප්‍රවේශයක් විදියට.

ස්මාට් දුරකථනයක් හෝ බොහෝ විට ටැබ්ලට් එකක් දෙස ඇස් ළං කරගෙන එහිම ඇලී කාලය ගත කරන දරුවන් බොහොම සුලභ දසුනක්. බොහෝ විට online games, මිතුරන් සමග චැට් පනිවිඩ හුවමාරුව, ගීත ඇසීම, වීඩියෝ නැරඹීම, සමාජ ජාල ඇප් හරහා විනෝදාස්වාදය ලැබීම ආදී විවිධ කාර්යයන් සඳහා ඔවුන් මෙසේ ඉලෙක්ට්‍රොනික උපාංගවලට ආකර්ශනය වෙනවා. ඔබ ඉතා හොඳින් නිරීක්ශණය කරොත් ඔවුන් මින් දෑස් ඉවතට ගන්නේ එක්කෝ එම උපකරණයේ බැටරිය අවසන් වීමෙන් එය ක්‍රියාවිරහිත වීම නිසා, එහෙමත් නැත්නම් වැඩිහිටියෙක් එය ඔවුන්ගෙන් ඉවතට ගැනීම නිසා. ඒ සමගම අපි බොහෝ විට යොමු වෙලා ඉන්නවා දරුවා නිහඬ කර ගැනීමට හෝ ඔවුන් මොහොතකට හෝ අපේ අවධානයෙන් ඈත් කර ගැනීමට ඔවුන් අතට මෙවැන්නක් ලබා දීමට. එය අතට ගත් සැණින් දරුවා යම් ඉන්ද්‍රජාලයකින් මෙන් බඩගින්න, කම්මැලිකම, කායික වේදනා ආදිය අමතක කරලා තමන්ගේම ලෝකයක් වෙතට තටු ලබනවා. දුර ගමනාන්තයක් වෙත වාහනයක ගමන් කරද්දී හෝ සාදවල වැඩිහිටියන් අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී මෙලෙසින් පැත්තකට වී විද්යුත් උපාංගයක් වටා රංචුවක් ලෙස වට වී හෝ තනි තනිව ඇස් ආසන්න‍යටම ගත් තිරයක් වෙත දැහන්ගත වී සිටින දරුවන් දක්නට ලැබෙනවා. සමහර දරුවන්ට කෑම කවන්න පවා දෙමාපියන් ඔවුන් අතට මෙවැනි උපකරණයක් ලබා දීම අපි බොහෝ විට දකින දසුනක්.

දරුවන් මෙලෙසින් මෙම උපකරණවලට ඇලෙන්නේ ඇයි? පර්යේශනවලින් ඔප්පු කරලා තියෙනවා මෙවැනි ක්‍රියාකාරකම් වෙද්දි ළමා, වැඩිහිටි ඔනෑම මොළයක ඩෝපමීන් කියන රසායනිකය නිශ්පාදනය වෙනවා කියල. ඔය රසායනිකයම තමයි මත්පැන්, මත් ද්‍රව්‍ය පානය කරද්දි, සූදු ක්‍රීඩාවේ නියැලෙද්දි මොළේ නිෂ්පාදනය වෙන්නෙත්.
ඇත්තට මොකක්ද ඩෝපමින් මනසට කරන්නෙ - "ඇබ්බැහිය". වෙන ඕනෙම ඇබ්බැහියක් වගේ මොළයේ තර්කන ශක්තිය අභිබවා, ඒ කාර්යයේම දිගටම නිරත වීම තුලින් ප්‍රමෝද‍යක් ලබන්නට ඉන් බල කෙරෙනවා. දරුවාට මත්පැන්, සූදුව අහිතකර නිසා ඉඩ නොදෙන අපි, අධික භාවිතයෙන් ඊට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති කරන මෙම ඇබ්බැහියට බාධවකින් තොරව ඉඩ දෙනවා.
නමුත් කෙනෙකුට තර්ක කරන්න පුලුවන්, එලෙසින් ඇබ්බැහි වී, වැඩි කාලයක් මෙම උපාංග සමග අන්තර්ජාලයේ ජාලගත වීම හරහා ඇත්තටම එතරම්ම හානියක් වෙන්න පුලුවන්ද කියලා, විශේෂයන්ම මත්පැන් සහ සූදුව සමග මෙය සංසංදනාත්මක පැවසීම නිසා. මෙය තේරුම් ගැනිම වැදගත් මෙහි අවධානම ගැන නිසි තක්සේරුවකට එන්න. මේ සඳහා අපි බලමු ඇබ්බැහියකට ලක් වෙන දරුවෙකුගේ මානසික සහ කායික සෞඛ්‍යයට එය කරන බලපෑම.

මෙය ආරම්භ වෙන්නෙ සමහර Apps හෝ Games වලට ගත කරන කාලය කෙමෙන් කෙමෙන් වැඩි කරන්න ගැනීමෙන්. බොහෝ විට ඒ වෙත සෑහෙන ආසක්ත භාවයක් එහෙමත් නැත්නම් obsession එකක් ඇති කර ගන්නවා. පරිගණකයෙන් හෝ අන්තර්ජාලයෙන් ඈත් ව සිටින වෙලාවලදි නොඉවසිල්ල හෝ එවැනි උපාංගයක් සමග සිටින විට එය ‍‍යමෙක් ඉවතට ගැනිමේදි කෝප ගැනීම දරුවාගේ ඇබ්බැහිය ගැන යම්කිසි ඉඟියක් ඔබට ලබා දෙනවා ඇත. තමන්ගෙ online කාලය වැඩි කි‍රීමත් එක්ක, වෙනත් දරුවන් සමඟ ක්‍රීඩා කරන්න හෝ වෙනත් සමාජ ක්‍රියාකාරකම් වලට දැඩි මැලිබවක් දකින්නට ලැබෙනවා. තනිව හෝ නිහඬව සිටීමට උනන්දුවක් දක්වනවා, බොහෝ විට වෙහෙසකාරී බවක් හෝ හිසරදය, ඇස්වල විඩාව සහ නින්ද සම්බන්ධව පැමිණිලි කරනවා. පාසල් කටයුතු බොහෝ විට අතපසු කරන අතරෙ, ඒ ගැන උනන්දුව ශීඝ්‍රයෙන් අඩු වෙනවා. තමන්ගෙ පුද්ගලික පිරිසිදුභාවය (personal hygiene) පවා උනන්දුව අඩුවෙනවා.

මේ සමහර ලක්ශණ, නව යෞවනය පසු කරන දරුවෙකුගෙ ස්වභාවිකවම එන ලක්ශණ වෙන්නත් පුලුවන්. එනිසා විමසිල්ලෙන් සිටීම වැදගත් වගේම අනවශ්‍ය ලෙස කලබල වී දරුවන් සමග ගැටුම් වලට යාම කිසි කෙනෙකුට සෙතක් ගෙන දෙන්නෙ නැහැ. බොහෝ විට සමාජ ජාලා හරහා, ඔබ නොදැන දරුවා වෙනත් අය විසින් මානසික පීඩාවකට ලක් කරමින් ඉන්න මොහොතක නම් (Cyber Bullying, Cyber Harassment ආදියෙන්), ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වන්නෙ වැඩිහිටි ආදරය සහ සහයෝගයයි.

ඒ ප්‍රවේශයත් එක්ක දැන් මා මුලින්ම සඳහන් කල එක් එක් වයස් කාන්ඩවලට අනුව දරුවන්ට සෞඛ්‍ය ක්ශේස්ත්‍රයේ විද්වතුන් අනුමත කරන තිර කාලය (recommended screen time) කොපමනද? මේ දත්ත මා ගන්නේ ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන්. ඔබ බොහෝ දෙනෙක් පුදුම වෙයි අසන්නට, වයස අවුරුදු 2 ට අඩු දරුවන් කිසිම් ලෙසකින් වත් මෙම උපාංගවලට නිරාවරන‍ය නොවිය ‍යුතු බවට ඔවුන් රෙකමදාරු කරනවා. ස්වභාවිකවම මේ වයසෙ දරුවෙක්, අවට පරිසරයේ දේවල් ස්පර්ශ කර, විශේෂයෙන්ම තමන්ගේ චාලක ස්නායු ආදිය වර්ධනය කර ගන්න අවදියේදි, මෙම තිර වෙත ඇබ්බැහි වීමෙන් එවැනි මූලික චාලක හැකියාවන් වර්ධනය මොට වීමේ අවදානමක් තියෙනවා. ඔවුන් එ සමගම යෝජනා කරනවා වයස 2 සිට 5 දක්වා දරුවන් පැයකට අඩු කාලයකුත්, 5 සිට 17 දක්වා දරුවන් පැය දෙකකට අඩු කාලයකුත් පමනක් විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් මෙම උපාංග සමග ජාල ගත විය යුතු බව.
මම දන්නවා මේ ඉලක්කම් සමග ඔබට බොහෝ ගැටලු එනවා, මෙය ප්‍රායෝගිකද? මගේ දරුවන් දැනටත් මීට වඩා වැඩි කාලයක් පාසලේදිත් මෙම උපාංග සමඟ ගත කරනවා ආදී ලෙස.
මුලින්ම කියන්න ඕනෙ මේ ඉලක්කම් නිර්දේශ පමණයි, එය දරුවාගෙන් දරුවාට, පවුලෙන් පවුලට සුලු සුලු වෙනස්කම් එක්ක තමයි අදාළ වෙන්නෙ. ඒ එක්කම මේ කියන්නෙ විනෝදාස්වාදයට (entertainment) අදාල කාලය, අධ්‍යාපනික කටයුතු වලට අදාළ (academic) කාලය නෙවෙයි.

මේ මොහොතෙ තාක්ශණය අද්‍යාපනය උඩු යටි කුරු කර ඇති ආකාරය රහසක් නෙවෙයි. එනිසා දරුවා අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් මෙලෙසින් තාක්ශණය භාවිතා කිරීම අනුබල දිය යුතු කටයුත්තක්. ඇත්තෙන්ම ඉන් දරුවාගෙ හැදෑරීම් පරාසය පුලුල් වෙනවා සේම, නිර්මාණශිලිත්වය, සාහිත්‍ය, ගණිතය, සාමාන්‍ය දැනුම සමගම විනෝදාස්වාදය ලැබීම තුලින් සමාජ ජීවිතය සමග සමබරතාවයක් ඇති කරගන්නත් එය රුකුලක් වෙනවා. සමබර ආහාර වේලක වැදගත්කම අපි කවුරුත් දන්නවා. එම මූලික සිද්ධන්තය මෙතනටත් වලංගුයි. දරුවා කැමතියි කියලා අපි පැණි රස තුන් වේලටම කන්නෙ දෙන්නෙ නැහැනෙ. ඒ වගේම ජාලගත කාලය විනෝදාස්වාදයට, අධ්‍යාපනික සහ ඉන් පරිබාහිර ක්‍රිඩා, කලා වැනි සමාජශීලි කාර්‍යයන් සමග සමබර කර ගැනීමෙන් ඔබට ඔවුන්ට මෙය අවදානමක් නොවී පෞරුෂ වර්ධන මෙවලමක් විදියට පරිවර්තනය කරන්න පුලුවන්.

අවසාන වශයෙන් අපි කෙටියෙන් හරි කතා කරන්න ඕනෙ මේ සමබරතාවය (right balance) වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්. වැදගත්ම කාරනය තමා මේ ගැන දරුවන් එක්ක කතා කරන්න පුරුදු වෙන එක. ඔවුන් ඔබට වඩා තාක්ශණ‍ය භාවිතයෙන් ආලෝක වර්ෂ ගානක් ඉදිරියෙන් ඉන්න පුලුවන්. නමුත් එහි තියෙන අවදානම ගැන ඔවුන්ට තියෙන්නෙ ඉතාමත් අඩු සංවේදිතාවයක්. එනිසා ඔවුන් සමග සුහදව මේ කරුණු ගැන සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ හැකියාව, ඔවුන්ගේම ආරක්ශාව වෙනුවෙන් ඔබට යෙදවිය හැකි වෙනවා.

ඒ අතරෙම උපාංග භාවිතය පිලිබඳව යම් නීති පැනවීමක් සිදු කරන්නටත් ඔබට සිදු වෙනවා. විශේෂයෙන්ම භාවිතා කරන කාලය සහ එම උපාංග තබා තිබෙන්නෙ කොයි ස්ථානවලද යන කාරනා ගැන. කිසි ලෙසක දරුවාගෙ නිදන කාමරයේ එම උපාංග තියා ගන්නට ඉඩ දෙන්න එපා. මුලු නිවසේම උපකරණ රාත්‍රී කාලයේ පොදු, එකම ස්ථානයක තබන්න හුරු කරවන්න. ඔවුන්ට දෙන කාලය තදින්ම ක්‍රියාත්මක කරන්න, නැතහොත් ඔබ නොදැනුවත්වම ඔවුන් එය ටිකෙන් ටික වැඩි කර ගන්නට උත්සාහ කරනවා.

ඒ එක්කම ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් තොර පවුලේ වේලාවක් ක්‍රියාත්මක කරන්න, එයට ඔබත් අනුගත වන්න. දරුවන්ට ජංගම දුරකථන භාවිතය තහනම් කර, ඔබ ඒ මොහොතේ එවැනි උපාංගයක් භාවිතා කල හොත් එය දරුවන්ට වැරදි ආදර්ශයක් ගෙන දෙන බව ඉතා පැහැදිලියි. සියලු අධ්‍යාපනික වැඩ, සංගීත හෝ වෙනත් කාර්‍ය සියල්ල අවසන් කර පසු ඔවුන්ට ඔවුන්ගේ ජාලගත කාලය ලබා දීම ආදී ක්‍රියාමාර්ග මගින් මේ සමබරගතාවය ඔවුන්ටත් ඔවුන්ගේ දෛනික දින චරියාවෙ පුරුද්දක් බවට පත් කල හැකිය.

කිසිම දරුවෙක්, පවුලක් එක වගේ නැහැ.
එනිසා අවසාන වශයෙන් මේ සියල්ල තමන්ගේ දරුවාට අනුගත වෙන ආකාරය තීරනය කල යුත්තේ ඔබ විසිනුයි. නමුත් ඒ වෙනුවෙන් කිසියම් හරවත් යමක් එකතු කරන්නටයි මේ උත්සාහය ගත්තේ.

Reference: http://www.health.gov.au/internet/main/publishing.nsf/content/health-pubhlth-strateg-phys-act-guidelines