Thursday, December 14, 2017

මොකක්ද මේ Dark Web කියන්නෙ?

මෙ අවුරුද්දෙ ජුලි මාසෙ, ඔස්ට්‍රෙලියානුවන්ගෙ Medicare අංක සොරකමකට ලක් වුනා. ඒ සො‍රාගත් මිලියන ගානක් අංක, එකක් ඩොලර් තිහකට Dark Web එකේ විකුනන්න තියෙනවා කියලා පුවත් පත් වාර්තා කරා. මේ ගැන ඔස්ට්‍රේලියානු රජය කඩිනම් පරීක්ශන අරම්භ කරන්නට ෆෙඩරල් පොලීසියට භාර දෙන අතර මෙම සොරකම තමන් ඉතා බරපතල කාරනයක් ලෙස සලකන බවට ජනතාවට සහතික වුනා.

මේ උත්සාහය එම සිදුවීම ගැන කතා කරන්න නෙවෙයි. එම පුවත්වල සඳහන් වුන ඩාක් වෙබ් (Dark Web) කුමක්ද කතා කරන්න.

ඔබ බොහෝ විට ඩාක් වෙබ් ගැන අහන්නෙ නරක පුවත් විදියට. හොරකමට ලක් වුනු ක්‍රෙඩිට් කාඩ්, නීති විරෝධි මත් ද්‍රව්‍ය, ආයුධ ආදිය වෙළඳාම් කරන අන්තර්ජාලයේ අඳුරු කලාපයක් විදියට. නමුත් ඇත්තටම Dark Web කියන්නෙ ඔය කියන තරම් ඩාක් කලාපයක්ද? එහි ඉන්නෙ අපරාධකරුවන් විතරද? Deep Web සහ Dark Web කියන්නෙ එකමද ආදී මිත්‍යාවන් ගොඩක් තියෙනවා මේ ගැන තියෙන අපැහදිලි කම නිසාම. එනිසා බොහොම සරලව මේ ගැන පොඩ්ඩක් අද කතා කරමු.

****
Radio Segment: Duration - 5 mins


Transcript:

අපි දන්න අන්තර්ජාලයෙ අපි නිතර භාවිතා කරන කොටසට කියන්නෙ Surface Web - අපි ඔය Chrome, Internet Explorer හෝ ජංගම දුරකථන ආදියෙන් අන්තර්ජාලයෙ තියෙන විස්තර සැනින් පරිශීලනය කරන්නෙ ඔය Surface Web එක ඇතුලෙ. නමුත් විශ්වාස කරන්න ඒ අන්තර්ජාලයෙන් 5% පමණයි..ඉතිරි 95% ට කියන්නෙ Deep Web කියල...

Deep Web කියන්නෙ විශේෂ දෙයක් නෙවෙයි, එය සාමාන්‍ය බ්‍රව්සරකට අපි කියනවා crawl කරලා හොයා ගන්න බැරි තත්ත්වෙ ඇති index නොවු ඔනෑම දත්ත‍යක්. උදාරහරනයක් විදියට ඔබගේ බැංකු ගිනුම වෙන කෙනෙකුට Google කරලා හොයන්න බැහැනෙ..එය ඔබට විතරයි විව්ෘත වෙන්නෙ. ඔබේ Facebook ගිනුමත් එහෙම‍යි. කොටින්ම පාස්වඩ් ආදියෙන් ආරක්ශා කරලා තියෙන ඔනෑම එකක් තියෙන්නෙ Deep Web එකෙ..
සමහර අය හිතනවා Deep Web කියන්නෙ Dark Web කියන එකටමයි කියල. කොහෙත්ම නැහැ.. Dark Web කියන්නෙ මේ Deep Web එක තුල තියෙන ඉතා පොඩි කොටසකට - හැබැයි එයට යන්න බැහැ සාමාන්‍ය විදියට. ඒකට විශේෂ ක්‍රම තියෙනවා, ඒ ක්‍රමයෙන් ඒක ඇතුලට ගියාම ඒ යන අයගේ අනන්‍යතාවය හොයා ගන්න බැහැ. එනිසයි එයට Dark Web කියන්නෙ එහෙම නැතුව නරක තැනක් කියන අර්ථෙන් නෙවෙයි.
මේක ඉතා සරලව පැහැදිලි කරන්න මම හිතුවා පොඩි උදාහරණයක් යොදාගෙන.

හිතන්න අන්තර්ජාලය කියන්නෙ ලොකු ගොඩනැගිල්ලක් කියල. ඒකෙ Surface Web එක කියන්නෙ අමුත්තන්ගෙ කලාපය වගේ, එතන එන ඕනෙම කෙනෙකුට දකින්න තියෙන එවා තියෙනවා - එක එක show rooms තියෙනවා, පත්තර, පොත් තියලා තියෙනවා කියවන්න - ඒ තමයි Surface Web එක. ගොඩනැගිල්ලෙ එතනින් එහාට 95% විතර තියෙන්නෙ ලොක් කරපු කාමර. ඔබේ යතුරෙන් විතරක් අරින්න පුලුවන් ඔබේ කාමරෙත් එතන තියෙනවා. නමුත් මේ කාමර ඔක්කොටම කියන්නෙ Deep Web. ඔය දෙකේ එකතුව තමා අපි දන්න අන්තර්ජාලය.

හැබැයි ඔය Deep Web එක ඇතුලෙ, ඒ කියන්නෙ අර ලොක් කරපු කාමර තියෙන පැත්තෙ, එක ලොකු කාමරයක් තියෙනවා - ඒකට අපි කියමු කලුවර කාමරේ කියලා. ඒක ලොක් කරලා නම් නැහැ හැබැයි ඒක ඇතුලට යන්න සාමාන්‍ය විදියට බැහැ. නමුත් එයට ඇතුලු වුනාම ඔබ, ඔබේ මූන වහපු ගෝනි බිල්ලෙක් වගේ වෙනවා කියලා හිතන්නකො. එනිසා එතන වෙන ගනු දෙනුවලදි සම්පූර්ණ රහස්‍යභාවයක් තියෙනවා ඔබේ අනන්‍යතාවය හෙලි නොවෙන නිසා. මේ කාමරේට තමා Dark Web කියන්නෙ.

මම හිතන්නෙ මෙයින් ඔබට යම් අවබෝධයක් එන්න ඇති Surface, Deep සහ Dark Web කියන කොටස් තුන ගැන. කෙටියෙන් කිව්වොත් Deep Web සහ Dark Web කියන්නෙ එකක් නෙවෙයි දෙකක් හැබැයි Dark Web එක තියෙන්නෙ Deep Web එක ඇතුලෙ සහ එයට යන්න සාමාන්‍ය විදියට භාවිතා කරන ඉන්ටර්නෙට් බ්‍රව්සර් වලින් බැහැ. ඒ සඳහා විශේෂ බ්‍රව්සර් තියෙනවා අර නිර්නාමික මැජික් එක කරන.
එයින් අතිශය ජනප්‍රිය බ්‍රව්සරය තමා Tor* කියන්නෙ.

එතකොට Dark Web එක කියන්නෙ අනන්‍යතාවයන් හංගන කලාපයක්. මේ නිසාම තමා මේක නරක වැඩ වලටත් තෝතැන්නක් වෙලා තියෙන්නෙ. Dark Web එක ඇතුලෙ නීති විරෝධී මත් ද්‍රවය, අවි ආයුධ, කුලී ඝාතකයන්, කුලී හැකර්ස්ලා, ළමා අසභ්‍ය අඩවි, සොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් විස්තර, ශරී‍ර අවයව ජාවාර්ම, ත්‍රස්තවාදී කන්ඩායම්වලට අදාල ප්‍රචාරක විස්තර ආද විස්තර හුවමාරු වෙනවා. මේ වගේ ජාවාරම් සම්බන්ධව ප්‍රකටම Dark Web එකේ eBay එක විදියට නම් දරාපු ාඩවියක් තිබුනා Silk Road කියලා, එය අවුරුදු දෙකක් ඇතුලත් වහන්න වුනා එය මෙහෙයවපු කෙනා FBI එකට කොටු වුන නිසා, ඒ කාලය තුල විත‍රක් එහි ආදායම ඩොලර් බිලියන ගානක් වුනා. මේ වෙලඳ පොලේ භාවිතා වෙන්නෙ bit coin කියන crypto-currency එක, ඒ කියන්නෙ එය ඩොලර්වලට පෙරලිය හැකි වුනත් එන්නෙ කොහෙන්ද කියන එක හොයන්න බැහැ (untraceable). දැන් ඔබට පැහැදිලි ඇති මේ වගේ නීති විරෝධි වැඩවලට සහ ගනු දෙනුවලට Dark Web එක තෝතැන්නක් වෙන්නෙ ඇයි කියලා.

නමුත් ඩාක් වෙබ් කියන්නෙ නීති විරෝධි වෙබ් කලාපයක් නෙවේ නීති විරෝධි වැඩවලට එය යොදා ගත්තට. තමන්ගෙ අනන්‍යතාවය රහසක් වෙන නිසාම ඉන් සාධනීය ප්‍රයෝජනත් ඉතා විශාල වශයෙන් තියෙනවා. සමහර රටවල රාජ්‍ය තම වැසියන්ගේ අන්තර්ජාල භාවිතයට ඇහැ ගහගෙන ඉන්නෙ (state surveillance), තවත් සමහර රටවල අන්තර්ජාලයෙ සමහර කොටස් වලට යන්න දෙන්නෙ නැහැ, අදහස් ප්‍රකාශ කිරීම රාජ්‍ය විසින් සීමා කරලා තියෙන්නෙ, ඉතින් ඒ වගේ රටවල ජනතාවට තමන්ගෙ පුද්ගලික රහස්‍යභාවය වෙනුවෙන් Dark Web එක අස්වැසිල්ලක්.
සමහර රටවල ජනමාධ්‍යවේදීන් ඉතා සංවේදී තොරතුරු අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්නෙ මේ ක්‍රමයෙන්. ඔබට මතක ඇති විකිලීක්ස් හරහා අති විශාල ඇමරිකානු රාජ්‍ය රහස් ප්‍රමානයක් ලෝකයට ඔවුන් හෙලි කරා - ඔවුන් ඒ තොරතුරු ලබා ගත්තෙ Dark Web හරහා. ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ  Dark Web අඩවි තියෙනවා වැදගත් තොරතුරු නිර්නාමිකව දීමට අවස්ථාවක් දෙන්න. Facebook අඩවියේ ඩාක් වෙබ් අඩවියක් (facebookcorewwwi.onion) තියෙනවා Facebook තහනම් කර ඇති රටවල අයට සම්බන්ධ වෙන්න පුලුවන් වෙන්න.
ඒ සමගම වෙබ් අඩවි හරහා තමන් ඉලක්ක කරගත් වෙලඳ දැන්වීම් (Targeted ads) වලින් බේරෙන්නත් බොහෝ දෙනා මෙලෙස Dark Web හරහා දෙන අණ්න්‍යතා රහස්භාවය (anonymity) ප්‍රයෝජනයට ගන්නවා.

එනිසා ඔබට පැහැදිලි ඇති Dark Web කියන්නෙ කිසි ලෙසකින්වත් නීති විරෝධි හෝ තහනම් කලාපයක් නොවන වග. නමුත් එහි වෙන භයානක ගනුදෙනු නිසා එය ගැන ගොඩක් දුර්මත ඇතිවෙලා තියෙනවා. ඉදිරියේදී මිනිසුන් වැඩි වශයෙන් Privacy, Freedom of expression, මර්ධනයට එරෙහි විකල්ප දේශපාලනික මතවාද සහ ‍රාජ්‍ය හෝ වෙනත් අධිපති ආයතනවලට එරෙහිව මාධ්‍ය වෙත අදහස් යවන whistleblowers යනාදි කටයුතු වැඩි වෙද්දි, Dark Web එක මීටත් වඩා මිනිසුන් අතර භාවිතා වේවි.

තහනම් කට‍යුතු වලට පැහැදිලිවම යොදා ගත්තත්, මේ කලුවර කලාපයෙන්ම මිනිසුන්ට ආලෝකයකුත් නිකුත් කරන බව ඒ නිසා අපිට පිලි ගන්නට වෙනවා.

**** end  Transcript****

* Blog Exclusive Bonus
Tor නිර්මානය කරෙ ඇමරිකානු නාවික හමුදාව ඔවුන්ගේ මිල්ටරි රහස් අන්තර්ජාලය හරහා යවන්න. එය ඩාක් වෙබ් විතරක් නෙවෙ‍යි, Surface හෝ Deep Web එකේ පවා යොදා ගන්නවා තමන්ගෙ විස්තර හෙලි නොකර අන්තර්ජාලයෙ නිර්නාමිකව සැරි ස‍රන්න.

කොහොමද ටෝර් මේ වැඩේ කරන්නෙ?
ටෝර්ට තියෙනව අති විශාල ජාලයක් (Relay Networks) - තමන් වෙත එන විස්තර මේ හැම එකක් වෙතම අහඹු ලෙස යවලා එය ආරම්භ වූ තැන නිශ්චය කරන්න බැරි කරනවා. උදාහරනයකින් කිව්වොත් කඳු කිහිපයක් ති‍යෙන තැනක එක තැනකින් ඇති කරන ශබ්දය දෝංකාර දෙන්න සැලැස්වුවහම ඒවා එකෙනික වැදිල නැවත් නැවත් දෝංකාර දෙද්දි කිව්ව වචන ඇහුනත් ආවෙ කොහෙන්ද නිගමනය කරන්න බැහැ වගේ, ටෝර් කරන්නෙ පනිවිඩය encrypt කරල එය වෙන අයට බලන්න හෝ වෙනස් කරන්න බැරි කරන අතරෙ, මෙලෙස relay කිරීම මගින් එව්වෙ කව්ද කියල සොයා ගන්න බැරි කරන එක (anonimizing).

Tor නම් එන්නෙ The Onion Router කියන වචන වලින්. අර Relay Network එක හරහා layer එකක් පස්සෙ layer එකක් අතුරලා මුලින් ආපු තැන වැහෙන විදියට (ලූනු ගෙඩියක පොතු වගේ) ක්‍රියාත්මක වෙන නිසයි ඒ නම එන්නෙ.

****
Teaser for social media

"පොඩි එකෝ මම උඹට කොච්චරවත් කියල තියෙද ඔය කලුවරමුල්ලෙ ගුබ්බෑයම් අස්සෙ රිංගන්න එපා කියලා. කුඩු කාරයොයි, රස්තියාදු කාරයොයි, කසිප්පු කාරයොයි, මදාවි ඔක්කොම ටක් ගැහෙන තිප්පොලක් ඔය. පොලිසීය ආපු වෙලාවක උඹවත් කුදලගෙන යාවී, ඔන්න මම නොකිව්වයි කියන්න එපා"

"ඒක මාර කතාවක්නෙ..!! ඔය අපි ඉස්සර ඉඳලා හැංගි මුත්තන් කෙලපු තැනනෙ. ඒකට රිංගලා උන් අසමජ්ජාති වැඩ කරා කියලා අපි මොකටද එතනින් යන්නෙ?"

"ඇයි බොලාට ඔතනම යන්න ඕනෙ, වෙලාවක මැරුම් කන්න වෙන්නෙ බොලා ඔක්කොටම. පලයව් අර දැල්පොත්තෙ වත්තට, එතනත් ඔය පොඩි එවුන් ඉන්නෙ"

"දැල්පොත්තෙ හැංගි මුත්තම් සෙල්ලම් කරන්න පුලුවනැයි අම්මෙ? ඉන්නෙ කොහෙද කියලා හැම එකාටම පේනවනෙ.. එතන හොඳයි මල් කඩන්නයි අල්ලන සෙල්ලම කරන්නයි"

"බොලා එතකොට හැංගි මුත්තන් කෙලිද්දි අරුන්ගෙ ආයුධ ගුබ්බෑයම් අස්සට වැරදිලා ගිහින් මාට්ටු වුනොත් එහෙම?"

"පිස්සුද අම්මෙ, අපි යන්නෙ ටෝර් අයියත් එක්ක.. ඒ මනුස්සය තමයි ඔය වැයික්කියෙ අස්සක් මුල්ලක් නෑර ඔක්කොම දන්නෙ.. පොලිසියෙ මාමලත් පාර අහ ගන්නෙ ටෝර් අයියගෙන්.. අපි හොරකම්, ජඩකම්, වල්කම් කරන්නෙ නැති තාක් කල් බය වෙන්න දෙයක් නැහැ.. අම්ම බය නැතිව ඉන්න, හැංගි මුත්තන් කෙලියා කියලා හිරේ ගිය අය නැහැ"

"දැන් උඹලට අය ඔතනම යන්න ඕනෙ හැංගි මුත්තන් කෙලින්න?

"ඒකනෙ අම්මෙ එතෙන්ට කලුවරමුල්ල කියන්නෙ.. කලුවරේ කාවවත් අඳුර ගන්න බැහැනෙ.. කතා කරත් කන්දෙන් කන්දට වැදිලා කියන එක දෝංකාර දෙනවනෙ, ඉතින් ඉන්න තැන හිතා ගන්න බැහැ කාටවත්..
ඒක වෙනම ආතල් එකක් අම්මේ*"

* - අවසන් වාක්‍යයේ උත්ප්‍රාසය වැටහෙන්න ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය නරඹන්නෙක් විය යුතු වේ. මුලු කතාවම තේර්ම ගන්න ඔබ මෙම බ්ලොග් පිටුව සම්පූර්ණයෙන්ම කිව යුතු වේ..

1 comment: