Wednesday, April 29, 2020

Episode 56: කොරෝනා යන්නෙ කවද හරි ඔබේ ඇස් දෙකටත් විදලා!




කොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.
රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ  සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.
කොරෝනා සම්බන්ධව ම අපි  උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදි‍රියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..

දවස පුරා ස්මාට් දුරකථනයක් හෝ පරිගණක, රූපවාහිනී තිර වෙත නෙත් යොමාගෙන සිටීම නිසා ඇස් නිරන්තරයෙන්  ද්ෘශ්‍ය ආතතියකට (Digital eye strain) ලක් වෙනවා.. මේකට හේතුව අඩු දුරක් වෙත ඇසේ කාචිය නාභිගත කරන්නට පැය ගානක් තිස්සේ ගන්නා වෙහෙස නිසා අක්ශි පේශි විඩාවට පත් වීම.  මෙයින් ඇසේ දැවිල්ල, වියලි බව, තෙහෙට්ටුව සහ ඇස් බොඳ වීම ඇති වෙන බව වෛද්‍යවරුන් පවසනවා. 
මේ බොහෝ තිරවලින් නිකුත් වෙන නිල් ආලෝකය හඳුන්වන්නේ High Energy Visible Light Wavelength - එය කාලාන්තරයක් තිස්සේ ඇසට වැටුනොත්, විශේෂයෙන්ම අඳුරේ මේ තිර දෙස නිතර බලන්නේ නම්, ඒ නිසා ද්ෘශ්ටි විතානයට ස්ථිර හානි හා අන්ධභාවය පවා ඇති කල හැකි බව පරීක්ශන වලින් සොයා ගෙන තිබෙනවා. 
නිදිමත ඇති කරන මෙලටොනින් හෝමෝනයට  නිල් ආලෝකය නිසා කරන බලපෑම නිසා නිදිමත නැති වී, අනේක විධ සෞඛ්‍ය ගැටලු ඇති කරනවා. 
ඒ සමඟම ති‍ර දෙස නිමග්න වෙන දෑස් වල ඇසි පිය ගසන සාමාන්‍ය වේගය අඩකින් පමන අඩු වීමෙන් ඇස් වල තෙතමනය නැති වී ඇස් ඉතා ඉක්මනින් වියලී ගොස් ඇස් රතු වීම, බොඳ වීම, දැවිල්ල ආදී රෝග ලක්ශන මතු කරනවා. 

මේ සියල්ලටම වඩා භයානක වන්නේ, අවිදුර ද්‍රිශ්ටිකත්වය හෙවත් myopia රෝගී තත්වයෙන් පීඩා විදින මිනිස් පරම්පරාවක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පැවතීම. Short-sightedness කියන්නෙත් මේ තත්ත්වයමයි. මෙය අලුත් රෝගී තත්ත්වයක් නොවේ, නමුත් වත්මනේ මේ ද්‍ර්ශ්‍යාබාධ තත්වයේ ශීග්‍ර වර්ධන්‍යක් තියෙනවා.
එයට ප්‍රදාන හේතුවක් විදියට අනුමාන කරන්නේ ඇස්වලට ස්වභාවික ආලෝකයට වෙනුවට මෙලෙස තිරවලින් ලැබෙන ආලෝකය මතින් අඩු දුරක් නිතර නාභිගත කිරීමට සිදුවන නිසා, දුර නොපෙනී යාම වේගවත් වීමයි. මෙය ඇස් වලට දීර්ඝකාලීන් බලපෑමක් කලහොත්, දුර සම්පූර්ණයෙන්ම නොපෙනී ගොස්  ඉතා ලඟ දේව්ල් පමණක් පෙනීම දක්වා මෙය අහිතකර වෙනවා. මෙය හඳුන්වන්නේ myopic shift නමින්. 

එනිසා මෙය ඉතා භයානක නැබුරුවක් බව කියන්න අවශ්‍ය නැහැනෙ.
මින් වැලකෙන්න අපි මොනවද කල යුත්තේ?

මේ computer vision syndrome එකට සරල ප්‍රතිකර්මයක් අක්ශි වෛද්‍යවරුන් යෝජනා කරනවා, එයට කියන්නෙ 20-20-20 rule කියලා.

ඔබ විනාඩි 20ක් තිරයක් වෙත එක දිගට ඇස් යොමා ගෙන සිටියහොත්, අඩි 20ක් ඈතින් තියෙන දෙයක් දෙස බලන්නට  ඇස් අඩුම ගානෙ තත්පර 20 යොමු කරවන්න. මින් ඒ අක්ශි පේශි ලිහිල් වීමක් කරන බව ඔවුන් පෙන්වා දෙනවා. 
ඒ සමඟම එලි මහනේ, ස්වභාවික ආලෝකය විඳිමින් ඇවිද යාමෙන්  මේ තිර වලින් ඇස් වලට හැකි සෑම විටම විවේකයක් දෙන්න. ඔබ තට්ටු නිවාසෙක සිටිනවා නම්, විශේෂයෙන්ම ඔබේ දරුවන් මේ අක්ශි ව්‍යායාමයට යොමු කරවීමට ඔබට පුලුවන් ඔවුන් සමඟ මේ වගේ ගේම් එකක් කරන්න, නිතර එලිමහන යෑම ප්‍රායෝගිකව අපහසු නිසා. - ඔබට දරුවාගෙන් අහන්න පුලුවන් ඈත පාරෙ නවත්වා තියෙන වාහනවල පාට කියන්නට හෝ නොම්බර තඩු කියවීමට හැකිද කි‍යලා.  ඔවුන් iPad එක නිතර ඉලා සිටිනවා නම්, එහි කොන්දේසියක් විදියට මෙවැනි ක්‍රියාකාරකමක් එක් කරන්නට පුලුවන්.
නිවසේ රූපවාහිනිය මීටර් තුනක් වත් ඈතින් තබන්න, ප්‍රායෝගිකව එය අපහසු නම්, දිග හරින ලදතේ දුරින්වත් රූපවාහිනී තිරය තිබිය යුතුයි.

  මේ ඉලෙක්ට්‍රොනික තිර වලින් තොර අනාගත‍යක් නැහැ, ඒවා අතිශය ප්‍රයෝජනවත් සහ ජීවිතේ අත්‍යවශ්‍ය අංග වෙලා. නමුත් අපි වග බලා ගමු භාවිතය තුල බුද්ධිමත් වී නිසි සීමා පනවා ගන්නට.

කොරෝනා වලට බෙහෙතක් සොයා ගත් පසු හෝ සියලුම රෝගීන් සුව වූ පසු ඒ වසංගතය අවසන් වේවි.
හැබැයි,  අපි ආරක්ශාකාරී නොවුනහොත්,  ඒ වෙද්දි මුලු මහත් මිනිස් සංහතියේම ඊලඟ පරම්පරාවෙ ඇස් සුව කල නොහැකි උවදුරක හෙලා තමයි කොරෝනා කවද හරි යන්නෙ..



  

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.


iTunes 
Google Podcasts




Episode 55: කොරෝනාව මත්තෙන් බිලි ඉල්ලන සයිබර් නරුමයන්..





කොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා..
මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා කරන මොහොතෙත් වෙහෙසෙන බව අපි සැම ගෞරව පූර්වක ක්ෘත්වේදීත්වයෙන් සිහි කරන්න ඕනෙ.

ඒ මානව ගුණාංගයන්ගෙන් පිරිපුන්, මනුශ්‍යත්වයේ සුවඳ වහනය වෙන උදාර මිනිසුන් වගේම මේ ඛේදවාචකය තුලින් ඇති කල අලුත්ම තත්වය යොදාගෙන, සයිබර් අවකාශය හරහා මිනිසුන් අමාරුවේ දමන අයත් සිටින වගත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් මොනවාද යන්නත්, එයින් ඔබට ගැලවිය හැක්කේ කෙලෙසද යන්නත් කෙටියෙන් හෝ අද දවසේ සයිබර් සටහන තුලින් සාකච්ඡා කලහොත් එය මේ සයිබර් විනයන්ගෙන්ොබට පරෙස්සම් වෙන්නට උදව්වක් වේ යයි මම සිතුවා.

පසුගිය සතියේ, රජයේ staysmartonline වෙබ් අඩවිය මේ සම්බන්ධ ඉහල අවධානම් අනතුරු ඇඟවීමක් (High Alert) ප්‍රකාශයට පත් කරා. ඉන් මූලිකව උදාහරණ සහිතව පෙන්වා දුන්නේ විශේෂයෙන්ම කෙටි පනිවිඩ ඊමේල් හරහා සයිබර් හොරුන් ඔබව රවටන ආකරයයි. ඔවුන්ට මේ තොරතුරු සපයන්නේ මා ඇතුලුව සයිබර් ආරක්ශණ ක්ෂේස්ත්‍රයේ මෙවැනි කාරනා සම්බන්ධව විවිධ ආයතනවල දිනපතා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන ව්ෘත්තීකයන් විසිනි. එනිසා මේ මා කතා කරන්නේ අපි දිනපතා දකින එවැනි ඇත්තම සිදුවීම් පාදක කරගෙනයි.

 මේ අපරාධය කරන අය ඉලක්ක කරන්නේ මින් අසරණම වූ මිනිසුන්. තම රැකියාව අහිමි වූ හෝ ජීවනෝපාය අගතියට පතු වූ මිනිසුන්ට රජයෙන් ඒ සම්බන්ධව සහන මුදලක සපයන බවට ප්‍රකාශ වෙන දවසෙම SMS පනිවිඩ‍යක් ලැබෙනවා GOV ලෙස සටහන් වෙන ආයතනයකින්.




තවත් එවැණි පනිවිඩයකින් කියවුනේ කොරෝනා වෛරසයට අදාල පරීක්ශන කටයුතු කෙරෙන ස්ථාන සම්බන්ධව. මෙය රජයෙන් එවූ නිල පනිවිඩ ලෙස සිතන අති බහුතරය එහි ඇති ලින්ක් එක හරහා ඇත්තටම යන්නෙ ඔබගේ පුද්ගලික විස්තර සහ, සමහරවිට, ක්‍රෙඩිට් කාඩ් විස්තර ආදිය හොරකම් කරන ස්කෑම් වෙබ් අඩවි වෙතයි. එනිසා ඔබ ලින්ක් එකක් හරහා ව්බ් අඩවියකට පිවිසීමට පෙර එය ඇත්තටම රජයේ හෝ පිලිගත් ආයතනයක වෙබ් අඩවියක්දැයි හැම විටම විමසිලිමත් වෙන්න.මෙය ඊමේල් වලටත් අදාලයි. ඉන් එක ඊමේල් එකක කියවුනේ කොරෝනා රෝගීන් වැඩිපුර සිටින රටවල් වලට  අදාල travel advisory වෙනුවෙන් අදාල වෙබ් අඩවියක් වෙත පිවිසෙන ලෙසයි. මෙම වෙබ් අඩවිය පවා එක්වරම රජ‍යේ වෙබඩ්වෛයක් ලෙස පෙනෙන පරිදි වෙස් ගන්වා තිබෙන අයුරු අදාල රජයේ නිවේදනයේ පෙන්වා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එවන් ඊමේල් එකක් ලෙසත් සමහර විට ඔවුන් පෙනී සිටිනවා. මේ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයත් තම වෙබ් අඩවියේ අනතුරු අඟවා තිබෙනවා. මේ කාලයේ හැමෝටම ඕනෙ කොරෝනාව සම්බන්ධ තොරතුරු. එනිසා ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධනය ලෙස තමන්ව හඳුන්වා ගන්නා ඊමේල් ලිපිනයකින් එන, රෝගය සම්බන්ධ ලිපියක් ලෙසින් සැඟවී එන පරිගණක වයිරසය ඔබ නොදැණුවත්වම එම ලිපිය විව්ෘත කිරීමේදී පරිගණකයේ ස්ථාපිත වෙනවා. බොහෝවිට මෙවැනි මැල්වෙයා එකකින් කරන්නේ පරිගණකයේ පාලනය සයිබර් අපරාධකරුවාට හිමිවීම. කප්පම් වයිරස හරහා හෝ වෙනත් ක්‍රමවලින් ඔවුන්ට ඔබව ඔවුන්ගේ කූට සැලසුමට නතු කර ගන්න පුලුවන් වෙනවා.

තවත් එක් උදාහරනයකට අනුව රජයේ සහන ලබාගැනීමට පවසා එවන ලද ඊමේල් එකෙක ඉල්ලුම් පත්‍රයක් අනතර්ගතව තිබුනි. එය විව්ෘත කරද්දී පසුබිමෙන්, හානිකර ම්ෘදුකාංගයක් පරිගනකයේ ස්ථාපිත වේ.එනිසා ඊමේල් හරහා එන ලින්ක්ස් සහ ඇටෑච්මන්ට්ස් ගැන අතිශය පරෙස්සම් වෙන්න.
ඒ සමඟම කොවිඩ් සම්බන්ධ ඕනෑම ඇප්ින්ස්ටෝල් කර ගැනීමේදීත් විමසිලිමත් වෙන්න. මෑතක ඇන්‍ඩ්‍රොයිඩ් උපාන්ඟ වෙනුවෙන් නිපද වූ, තමා අවට සිටින් කොරෝනා රෝගීන් ගැන විස්තර දෙනවා යැයි කියූ ඇප් එකක් ඇත්තටම කර තිබුනේ ෆෝන් එකේ කප්පම් වයිරසයක් ස්ථාපනය කිරීමයි.

මේ දිනවල් බොහෝ දෙනා අන්තරජාලය හරහා රැකියා ස්ථානයේ වැඩ කිරීම, අධ්‍යයන කටයුතු කිරීම නිසා Skype, Zoom වැනි Video Conferencing ඉතා ජනප්‍රිය වුනා. කිසි දිනක එවැනි තාක්ශන භාවිතා කිරීම තබා ඒවායේ නමවත් දැන නොසිටි බොහෝ දෙනා දැන් එම සේවාවන් භාවිතා කරන්නට මේ පෙර නොවූ විරූ තත්ත්වය විසින් බල කෙරුනා.මින් අතිශය ජනප්‍රිය වුනේ Zoom තාක්ශනය. නමුත් දැන් පර්‍යේශයයන් එම තාක්ශනය හරහා පවා පිටස්තර පුද්ගලයන්ට සම්බන්ධ විය හැකි අවධනමක් ගැන අනතුරු අඟවනවා.

මේ සියල සඳහන් කලේ ඔබව මේ සම්බන්ධව අනිසි බියකට පත් කිරීමට නොවේ. මේ සම්බන්ධව අවධානම පෙන්වා දීමට පමනයි.නමුත් අපට මේවායින් ඉතා පහසුවෙන් ගැල වී සිටීමට හැකියි. මා කලින් සඳහන් කල පරිදි මූලිකවම එන ඊමේල් සහ කෙටි පනිවිඩ දෙස සැකයෙන් බලන්න පුරුදු වන්න. එවිට එහි සැක කටයුතු ලින්ක් එකක් හෝ ඇටෑච්මන්ට් එකක් තිබේ නම් හෝ එය එවා ඇති ලෙස සඳහන් වන නාමයේ අඩුපාඩුවක් තිබේ නම් එය ඔබට පහසුවෙන් හසු කර ගත හැකි වෙනු ඇත. එය ඔබ දන්නා ආයතනයකින් කියා සටහන් වන්නේ නම්, එහි සඳහන් අංකයට නොව එහි නිල වෙබ් අඩවියේ සම්බන්ධ අංකයට කතා කොට එය සහතික කර ගන්න. කොරෝනාව සම්බන්ධ විස්තර රජයේ හෝ වෙනත් වෙබ් අඩවි වලින් පමණක් ලබා ගන්න. බැංකු වැනි බොහෝ ආයතනවල ඔවුන්ගේම නිල ඇප් එකක් තියෙනවා. හැකි තරම් එවැනි ඇප් භාවිතා කරන්න.

Zoom වැනි වටිනා Video Conferencing සේවාවක් මා ඉහත සඳහන් කල කාරනය නිසා භාවිතාවෙන් ඈත් කරන්න එපා. ඔවුන්ගේ බ්ලොග් පිටුවල ආරක්ශිතව සම්බන්ධ වෙන අයුරු සහ පිටස්තරයන් ඈත් කර තබා ගන්නා අයුරු ගැන ඉතා සරලව විස්තර සඳහන් වෙනවා. එනිසා ඒ ගැන කියවන්නට විනාඩි කිහිපයක් වැය කිරීමෙන් මේ අවධානම් වලින් පහසුවෙන් මිදී හිත සැනසිල්ලෙන් ඒ සේවාවන් ලබා ගන්න ඔබට පුලුවන්. බැංකු, රජයේ ආයතන, ඔස්ටේලියා පොස්ට් වැනි විශාල ආයතනවල මෙම ස්කෑම් ගැන දැනුවත් කරන වෙබ් පිටු තියෙනවා. සැක සහිත පනිවිඩයක්. ඊමේල් එකක් ලැබුනේ නම් එම පිටුවට ගොස් එය තහවුරු කර ගන්න පුලුවන්. එම පිටුව මතකයේ තබා ගන්නට අවශ්‍ය නැහැ. අන්තර්ජාලයේ  Google වැනි සෙවුම් යන්තරය්ක් හරහා අදාල පිටුව තට්පර ගානකින් සොයා ගන්න පුලුවන්. ඔබට දැන් අවශ්‍ය නම් Australia Post scam යන වචන තුන Google කරන්න. සෙවුම් ප්‍රතිපලවල උඩින්ම දිස් වන්නේ අප ආයතනයේ නිල Scam Alerts පිටුවයි. එය නිරතුරුව  යාවත්කාලීන් කරන්නට අපි දැඩි වෙහෙසක් ගන්නේ  සයිබර් හොරුන්ගෙන් හැකි පමණින් ජනතාව බේරා ගන්නටයි..

කොරෝනාව නම් රූස්ස ගසෙන් වැටෙන අයට අනින්නට තිරිසන් ගොන්නු අවශ්‍ය නැත. අවැසිව ඇත්තේ එකම මිනි පවුරක් ලෙසින් අපි එකිනෙකාව ආදරයෙන් රැක බලා ගැනීම වේ.. එනිසා මේ දැනුවත්කමේ පනිවිඩය හැකි පමනින් බෙදාගෙන, අපි සයිබර් හොරුන්ට  පෙන්වා දෙමු... මේ මිනිසත්කමේ හෝරාව බව!

https://www.staysmartonline.gov.au/alert-service/widespread-reports-covid-19-malicious-scams-being-sent-australians

https://blog.zoom.us/wordpress/2020/03/20/keep-the-party-crashers-from-crashing-your-zoom-event/

https://www.itnews.com.au/news/zoom-for-windows-leaks-network-credentials-runs-code-remotely-545883

Cyber Wiparama podcast can be listened via any podcast app below. Simply search 'Wiparama' within your favourite App. Subscribe to listen to all future episodes.

iTunes 
Google Podcasts