Tuesday, April 24, 2018

මාක් සකර්බර්ග් ඇමරිකානු කොන්ග්‍රසය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමක..

Aired on 3ZZZ Radio on 15th April 2018
Duration: 3:39

මීට සති කිහිපයකට කලින්, ෆේස්බුක් භාවිතා කරන්නන් මිලියන 85ක ගෙ පුද්ගලික විස්තර ඔවුන්ගේ අනුමැතියකින් තොරව, දේශපාලනික ප්‍රචාරන කටයුතු වෙනුවෙන් Cambridge Analytica නම් සමාගමක් විසින් භාවිතා කර බවට කරුනු හෙලිවීම නිසා ෆේස්බුක් සමාගම දැඩි අපහසුතාවයකට පත් වුන බව ඔබ දන්නවා.

ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ දත්ත, වෙළඳ දැන්වීම් යොදා ලාභ ලබන චේතනාවකින් ප්‍රයෝජනයට ගන්නවා විනා, ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ශා කරන්නට අවශ්‍ය මූලික ක්‍රමෝපායන්වත් ක්‍රියාත්මක නොකිරීම පිලිබඳව ෆේස්බුක් ආයතනයට එල්ල වුනේ ප්‍රබල විවේචනයක්. ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ තොරතුරු ආරක්ශා කිරීමෙහි ලා තමන් අතින් වැරදි සිදුවී ඇති බවත්, කඩිනමින් එම වැරදි නිවැරදි කර ගන්නා බවත් ෆේස්බුක් ආයතනය   මුලදීම සමාව ඉල්ලමින් ප්‍රකාශ නිකුත් කරා.

කෙසේ නමුත්, ඇමරිකානු ජනතාවගේ දත්ත මෙලෙසින් විදෙස් රටවල සමාගම් සහ ඇමරිකාවට හිතවාදී නොවන බලවේග වල ග්‍රහනයට ලක් වීම පිලිබඳව ඉතා තදින් සිටි ඇමරිකානු කොන්ග්‍රසය ෆේස්බුක් ප්‍රදානී මාක් සකර්බර්ග් කොන්ග්‍රසය ඉදිරියේ සාක්ශී ලබා දීමට කැඳෙව්වා.. මුලදී මේ ගැන නිහඬව සිටි මාක් පසුව තමා එයට සූදානම් බව  ඔහු පැවසූවා.
මෙහි ප්‍රතිපලයක් ලෙස, පසු ගිය අඟහරුවාදා සහ බදදා දින දෙකේ, පැය දහයකට අධික කාලයක් දැඩි ප්‍රශ්න කිරීමකට ඔහු ලක් වුනා.

නමුත් මෙහිදී බොහෝ කොන්ග්‍රස් මන්ත්‍රීවරුන් අදාල මූලික තාක්ශණික කාරනාවත් නොදැන ප්‍රශ්න කිරීම නිසා, මාක් ට සිදු වුනා ඔවුන්ට සරල බසින් සමාජ ජාලා ක්‍රියා කරන ආකාරයත්, එහි එකතු වෙන දත්ත ඔවුන් භාවිතා කරනා ආකාරයත් පැහැදිලි කරන්නට. මෙනිසා තාක්ශණික ප්‍රවීනයන්ගෙ දෝශ දර්ශනයනට කොන්ග්‍රස් සභිකයින් සමහරක් ලක් වුනා, ඔවුන් අදාල 'ගෙදර වැඩ' නොකර මෙම ප්‍රශ්න කිරීමට සමබන්ධ වීම පිළිබඳව.
සම්පූර්ණ ප්‍රශ්න කිරීම තුල මාර්ක් ඉතා සැහැල්ලුවෙන් සහ කලබලයෙන් තොරව පිලිතුරු දීම කැපී පෙනුනා. දෙවන දිනය වෙන විට ඔහුට අධික ලෙස බාධා කිරීම් එල්ල වෙද්දිත් ඔහු ඉතා ඉවසීමෙන් පිලිතුරු දීම දකින්නට ලැබුනා.

නමුත් මාක් ප්‍රශ්න සියල්ලටම පිලිතුරු දුන්නෙ නැහැ. ප්‍රශ්නවලට පිලිතුරු නොදන්න බව සහ පසුව ඒ ගැන සොයා බලා කරුනු දක්වන්නට බලාපොරොත්තු වෙන බව දක්වමින් සමහර ප්‍රශ්න ඔහු මග හැරියත්, එය සැම විටම පහසු නොවුනේ ඔවුන් දිගින් දිගටම කෙලින් පිලිතුරු බලාපොරොත්තු වු නිසා.


මින් ඉතාම තීරනාත්මක ප්‍රශ්නය එල්ල කලේ බෙන් ලුජාන් විසිනි, ඒ Shadow Profiles සම්බන්ධයෙනි. Shadow Profiles කියන්නෙ ෆේස්බුක් භාවිතා නොකරන අයගෙ විස්තර එකතු කර ෆේස්බුක් ඒ ඒ අය සම්බන්ධව තනා ගත් පුද්ගලික විස්තරයි. මේ කරුනු හෙලි වීමත් එක්ක, මාක් පුන පුනා කියා සිටි "ඔබට ඔබගේ දත්ත ගැන පූර්ණ අයිතිය තිබෙනවා" කියූ කාරනය අභියෝගයට ලක් වුනා. ෆේස්බුක් නැති අයගෙ විස්තරත් ඒ අයගෙ අනුමැතියක් නොමැතිව එකතු කරන්නෙ කුමන එකඟතාවයක් යටතේදැයි ලුජාන් මාක් ගෙන කෙලින්ම ප්‍රශන කරද්දී,  විවිධ හේතු මත එලෙසින් දත්ත එකතු කරන බව පිලිගන්නට මාක්ට සිද්ධ වුනා.

ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරන්නට කිසිවෙක් අපට බල කර නැහැ. ෆේස්බුක් එය භාවිතා කරන්නන්ට නොමිලේ එම සේවය ලබා දෙන්නේ වෙලඳ දැන්වීම හරහා ඔවුන්ගෙ ලාභය ලබා ගැනීමට කියන එක රහසක් නෙවෙයි. එනිසා සමාජ ජාලා තුල අපි දෙයක් විකුනන්නේ නැති නම්, විකිනෙන්නේ අපි බව පැහැදිලියි. නමුත් ඉන් එම සමාජ ජාලාවලට නිසඟ අවසරයක් ලැබෙන්නේ නැහැ ඔවුන් වෙත තබා තිබූ විශ්වාසය වැරදි ලෙස යොදා ගන්නට.
ෆේස්බුක් පසු ගිය සති කිහිපයේ ටිකක් විතර තිත්ත කසාය බොමින් ඉගෙන ගත්තේ ඒ පාඩමයි.



Saturday, April 7, 2018

ඇට්ලැන්ටා නගරයට සයිබර් ප්‍රහාරයක්

Transcript: (Duration 3.5 mins)
පසුගිය සතියේ ඇමරිකාවේ ඇට්ලැන්ටා නගරයට කප්පම් වයිරස් ප්‍රහාරයක් එල්ල වුනා.
එහි නගර සභා පද්ධති කිහිපයක් සයිබර් සොරුන් විසින් වයිරස මගින් අගුලු දමා, ඒවා නැවත විව්ෘත කිරීමට නම් එක පද්ධතියකට ඩොලර් 6800 බැගින් හෝ සමස්ත පද්ධතිය වෙනුවෙන් ඩොලර් 51,000 බිට් කොයින් නැමැති නිර්නාමික ඩිජිටල් මුදල් ඒකක ලෙස කප්පම් ඉල්ලා තිබෙනවා. මෙම කප්පම් මුදල් ගෙවනවාද යන්න සම්බන්ධව බලධරීන් තවම ප්‍රකාශයක් කර නැහැ.


ඇට්ලන්ටා නගරාධිපතිය මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ online
bills  සම්බන්ධ ගෙවීම් ආදිය ගැන බැංකු ගිනුම් වල වාර්තා පරීක්ශා කර බලන ලෙසයි. මෙම සයිබර් ප්‍රහාරය ගැන  FBI ආයතනය විශේෂ විමර්ශනයක් මේ වෙන විට පවත්වනවා.  Microsoft සහ Cisco සමාගම්වල තාක්ශණික ප්‍රවීනයන් ද මෙම ප්‍රහාරයෙන් පද්ධති ගොඩ ගන්නට තාක්ශණික පරිශ්‍රමය සපයනවා. 

පසුගිය  22 දා එනම් බ්‍රහස්පතින්දා  උදෑසන  5.40 ට  මේ ප්‍රහාරයේ ලකුණු  ඔවුන්ට මුලින්ම දැක ගන්නට ලැබුනත්, දිවා රෑ මහත් පරිශ්‍රමයෙන් පසුවත් ඊට පසු සතියේ අඟහරුවාදා වෙන විටත් යථා තත්වයට පත් නොවූ  සේවා කිහිපයක්ම පැවතුනා. 
 ලොව කාර්‍ය බහුලම ගුවන් තොටුපල ලෙස සැලකෙන  ඇට්ලැන්ටා ගුවන් තොටුපලේ නොමිලේ ලබා දෙන  WiFi අන්තර්ජාල පහසුකම් දින ගණනාවක් යනතුරු අත් හිටුවා තියෙනවා.  ප්‍රහාරයට ගොදුරු වූ ඇට්ලැන්ටා  සිටි පරිගණක ජාලයට කෙලින්ම සම්බන්ධ නැතත්, මෙය,  එවැනි ප්‍රහාරයක් ගුවන් තොටුපල පද්ධතියට එල්ල නොවීම පිණිස බලධාරීන් ගත් සුපරික්ශාකාරී පියවරක්. මෙයින් ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙනවා ඇති මෙම ප්‍රහාරයේ හානිය පිළිබඳව.

නගරයක්, රටක් මේ විදියට කලබගෑනියකට පත් කරන්න පුලුවන් මෙවැනි කප්පම් වයිරසයක් කොහොමද මෙවැනි පද්ධතියක් තුලට එවන්නෙ?
 සැක නොහිතෙන විදියට හදපු ඊමේල් එකක් හරහා, එහි තිබෙන යම් දිගුවක් එහෙමත් නැත්නම් ලින්ක් එකක් ක්ලික් කිරීමට සලස්වා ඉන් පද්ධතිය encrypt කල හැකි මෘදුකාංගයක්   අදාල මෙහෙයුම් පද්ධතියේ ස්ථාපනය වීමට සලස්වනවා. මෙය ඔබේ ගෙදරදි වුනොත් ඔබේ නිවසේ පරිගණකය කප්පම් වයිරසයට ගොදුරු වී, ඒ අගුල් වැටුනු ඔබේම දත්ත නැවත ලබා ගන්නට හැකර්ට කප්පම් ගෙවන්න සිද්ධ වෙනවා. 

මෙය ඔබේ සේවා ස්ථානයේ වුනොත්, එහි පරිගණක ජාලයත් මෙම ඉරණමටම ගොදුරු වෙනවා. එනිසා මේ තරම් විශාල ප්‍රහාරයට ඉඩ සලසා දුන්නේ, ඇට්ලන්ටා නගර සභා සේවකයයෙක් වැරදීමකින් ඊමේල් ලින්ක් එකක් ක්ලික් කිරීම විය හැකියි. ඩොලර් මිලියන ගනනක් තාක්ශනික උපාංගවලට වැය කරත්, එක සේවකයෙකුගේ නොදන්න කම නිසාම එක සමාගමක් නොවෙයි, විසල් නගරයක් හෝ රටක්ම එවැනි ප්‍රහාරවලට ගොදුරු විය හැකි බවට මෙය හොඳ උදාහරණයක්.
එනිසා අන්තර්ජාල ආරක්ශනය සම්බන්ධ තාක්ශණික මෙවලම් දින දින දියූනු වුනත් ඊට සමගාමීව අන්තර්ජාල  සේවාවන් භාවිතා කරන අයගේ දැනුවත්භාවය වැඩි කිරීමටත් දැන් දැන් ලොකු පොඩි හැම සමාගමක්ම වැඩි ආයෝජනයක් කරනවා.
End Transcript