Monday, January 15, 2018

සයිබර් විපරම දැන් ඉරිදා දිවයිනේ විශේෂාංග කොටසේ


සයිබර් විපරම බ්ලොග් අඩවිය ගිය ඉරිදා (ජනවාරි 14දා) ලොකු පිම්මක් පැන්නා.
ජාතික පුවත්පතක විශේෂාංග ලිපි සපයන්නට මට ඇරයුමක් ලැබුනා.. මනෝජ් අබයධීර සහ තරංග රන්දෙනිය සමග කල කෙටි සාකච්ඡාවකින් පසුව මේ ඉරිදා එහි මුල්ම ලිපිය පල වුනා. මේ බ්ලොග් අඩවිය හරහා යම් යහපතක් වේ නම් මේ සමඟ එය නව මානයකට ගෙන යන්නට අවස්ථාව උදා වේ යැයි මම විශ්වාස කරමි.

ඒ සඳහා අවස්ථාව ලබා දුන් ඉරිදා දිවයිනේ මනෝජ් සහ තරංග මාධ්‍ය සගයන්ටත්, ඔවුන්ට මාව යොමු කල මාගේ පාසල් මිත්‍ර විරාජ් නානායක්කාර සොයුරාටත් මගේ ප්‍රණාමය.  

අදාල ලිපිය සඳහා මෙතන ක්ලික් කරන්න.

Monday, January 8, 2018

චමත් පලිහපිටියගෙන් Facebook වෙත ප්‍රහාරයක්..

Cyber Satahana  Episode 14 : Duration 4 mins 36 seconds

Transcript
"චමත් පලිහපිටිය කියන නම් ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට, සිලිකන් නිම්නය කේන්ද්‍ර කරගත් තාක්ශනික දැවැන්තයන්ගේ ලෝකයෙ ඔහු ඉතා ප්‍රකට පුද්ගලයෙක්. ඔහුව බොහෝ දෙනෙක් දන්නේ සමාජ ජාලාවල දැවැන්තයා වෙන Facebook නිර්මානය වූ මුල් කාලයෙදි එහි ව්‍යාප්තිය වෙනුවෙන් ඉතා තීරණාත්මක කාර්‍යභාරයක් කල අති දක්ශ පරිගණක ඉන්ජිනේරුවෙක් සහ ඉතා බුද්ධිමත් ව්‍යවසායකයෙක් විදියට.

1976 ලංකාවෙ ඉපදුන චමත්, වයස අවුරුදු 6දි දෙමාපියන් සමග කැනඩාවට සංක්‍රමණය වෙනවා ස්ථිර පදිංචියට. මිලේනියම් වසරෙදි, ඒ කියන්නෙ දෙදහස වසරෙ ඔහු කැලිෆෝර්නියාවට එනවා සිලිකන් නිම්නය වෙත. එහි AOL කියන ප්‍රදාන පෙලේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට එකතු වී, වසර කිහිපයක් ඇතුලත එහි Instant Messaging අංශයේ ප්‍රධානියා තනතුර දක්වා ඉහලටම යනවා.

මේ වෙනකොට Facebook පටන් අරන් අවුරුද්දයි. ,එහි  නිර්මාතෲ මාක් සකර්බර්ග් චමත්ගේ දක්ශතාවයන් අඳුර ගෙන ඔහුව පත් කරනවා ප්‍රවර්ධන අංශ ප්‍රධනියෙක් විදියට (Vice President of User growth).
වසර කිහිපයක් ඇතුලත ෆේස්බුක් අතිශය ජනප්‍රිය වෙලා දැනට බිලියන දෙකක් දක්වා එය භාවිතා කරන්නන් වැඩි කර ගැනීම පිටිපස ඉතා තීරණාත්මක කාර්‍යභාරයක් කරේ චමත්.
ඔහු 2011 දි ෆේස්බුක් ආයතනයෙන් ඉවත් වෙලා තමන්ගෙම ආයතනයක් පටන් ගන්නවා Social Capital කියලා, අද එය ඉතා ලාභ ලබන ආයතනයක්.

අද මම චමත් පලිහපිටිය ගැන කතා කරන්න තීරනය කරේ විශේෂ හේතුවකට. ඔහු ඉතා නිර්භයව අදහස් ප්‍රකාශ කරන, ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්. ඉතාම මෑතකදි ඔහු  නිර්දය විවේචනයක් කරනවා මේ මොහොතේ සමාජ ජාලා, විශේෂයෙන්ම Facebook එය භාවිතා කරන්නන්ව program කරන අයුරු සහ එය  ව්සින්  සමාජ වියමනම (social fabric) ඉරා දමන තැනකට ඒම පිලිබඳව. 

මේ කියන්නෙ එය නිර්මානය කරන්න දායක වුන කෙනෙක්. 
එවැන්නෙක් එය තමන්වත්, තමන්ගෙ දරුවන්වත් භාවිතා කරන්නෙ නැහැ යනුවෙන් ප්‍රසිද්ධියෙ පවසන විට සහ එම තත්ත්වය නිර්මාණය කරන්න තමන්ගේ වූ දායකත්වය ගැන කණගාටුවෙන් කතා කරන විට එය සුවිශේෂී කාරණයක්.
අපි චමත්ගෙ වචනවලට මොහොතකට සවන් දෙමු.

"..the short-term, dopamine-driven feedback loops that we have created are destroying how society works: no civil discourse, no cooperation, misinformation, mistruth. This is not about Russian ads. This is a global problem. It is eroding the core foundations of how people behave by and between each other. I can’t control them. I can control my decision"

මෙහිදී චමත් සඳහන් කරන 'short-term, dopamine-driven feedback loops' කියන්නෙ කුමක්ද? 

ඩෝපමීන් කියන්නෙ සූදුවේ නිරත වෙද්දි හෝ මත්ද්‍රව්‍ය ආදිය ගැනීමේදී මොළයේ නිපදවෙන රසායනිකයම තමා. එය තමයි මිනිස් මනසට ඇබ්බැහිය පුරුදු කරන්නෙ. Facebook වගේ සමාජ ජාලා විසින් දෙන Likes, Comments, Hearts, Thumbs Up ආදිය එක්ක එන කෙටි කාලීන උත්තේජනය විසින් තමන්ට ඒ 'ඩෝපමින් හිට්' එකට මොහොතකට පෙර සිටියාටත් වඩා හිස්බවක් උරුම කර දෙනවා. (හිස් බවට පිළිතුරු ලෙස යෙදෙන ක්‍රියාවකින් හිස් බවම උරුම කර දීම).  ඒ නිසා ඔවුන් ඒ උත්තේජනය නැවත ලබාගන්න ඒ තුලම කිමිදෙන විශම චක්‍රයක් මත හිර වෙන බව තමා ඉන් අදහස් වෙන්නෙ.


චමත්ගේ මේ ප්‍රකාශයට මාසයකට කලින්, Facebook හි පලමු සභාපතිවරයා වූ ශෝන් පාකර්ද මෙවැනිම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරා. ඔහු පැවසුවේ ඔවුන් මිනිස් සන්තානයේ ඇබ්බැහි වීමට හැකියාව ඇති දුර්වලතාවයක් (vulnerability) ෆේස්බුක් නිර්මාණය කිරීමේදී ඉතා සබුද්ධිකව හා දැනුවත්ව ප්‍රයෝජනයට ගත් බවයි. ඒ පිලිබඳව කලකිරීමකින් මෙන් ඔහු පැවසුවේ අපේ දරුවන්ගේ මනසට මින් විය හැකි හානිය ගැන තමන් දැන් තැති ගන්නා බවයි.

චමත් ඔහුගේ කතාවෙදි අපට ලස්සන උපදෙසක් දෙනවා. 
"ඔබ සතාව පෝශණය කරොත්, සතා ඔබව විනාස කරනවා. (If you feed the beast, that beast will destroy you) එනිසා මේ දේවල් වලින් අමාරුවෙන් හරි ගැලවෙන්න ඔබට සිද්ද වෙනවා"

මට මේ එක්ක මතක් වෙනවා අපි ගුවන් යානාවල යද්දි අපිට ලැබෙන ආරක්ශිත උපදෙසක්.. 
"හදිසි අවස්ථාවකදී, ඔක්සිජන් මාස්ක් පහතට වැටේවි, එවිට ඔබේ මාස්ක් එක නිසි පරිදි සවි කර ගැනීමෙන් පසුව පමණක් ඔබේ දරුවාට සහය වෙන්න"  ලෙස. 
සයිබර් අවකාශ‍ය සම්බන්ධවත් එය සත්‍යයි. සමාජ ජාලා ඇබ්බැහිය හෝ වෙනත් ඕනැම උවදුරකින් දරුවන් බේරා ගන්නට පෙර, එය අප ආදර්ශයෙන් පෙන්වා දිය හැකිය යුතු වෙනවා."

**** End Transcript*****

Related:
Chamath's remarks at Stanford Graduate School of Business 





Facebook Ex-President's remarks on exploiting a human vulnerability and consequently creating a platform thriving on social validation feedback loop fuelled by 'dopamine hits'.


පසු සටහන:
මේ අදහස් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙද්දී ෆේස්බුක් ආයතනය මීට ප්‍රතිචාර දක්වා තිබුනා. එයට චමත් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ෆේස්බුක් සමාජයට අහිතකර යමක් කලා යයි තම් අදහස් නොකල බවක්. නමුත් ඔහු තමන් මූලිකව දැක්වූ කාරනා කිසිලෙසකින් ඉල්ලා අස් කර ගත්තේ නැති බවත් සඳහන් කල යුතු වේ.
මේ ඒ සම්බන්ධ පුවත.