Tuesday, December 12, 2017

ඇයි මේ නරකම විතරක්!

 අද සයිබර් සටහනෙන් සයිබර් අවකාශයේ ධනාත්මක පැත්ත එහෙමත් නැත්නම් එය තුල නිසඟයෙන්ම ඇති අවස්ථා (opportunities) ගැන කතා කරමු.

Duration: 6 mins

Transcrpt:
ඔබ ආපසු හැරී බැලුවොත් ඔබට පැහැදිලි වේවී අපගේ එදිනෙදා කටයුතු මේ තාක්ශණික උපාංග එක්ක විප්ලවීය වෙනසකට ලක් වෙලා තියෙන හැටි. ඉස්සර ඊමේල් එකක් යැවීම පවා ඉතාමත් තාක්ශණික (technical) කාර්‍යයක් විදියට සලකපු අය දැන් තමන්ගෙ දුරකථනය හෝ පරිගණකය හරහා එසැනින් වෛද්‍යවරු චැනල් කිරීම, අන්තර්ජාලයෙන් දේවල් මිලදී ගැනීම, බැංකු කටයුතු සහ බිල්පත්  ගෙවීම  පවා කරන්නෙ දෛනික කාර්‍යයන් විදියට.

ඒ එක්කම  skype, viber, facetime ආදී තාක්ශණයන් video සන්නිවේදනය,  අන්තර්ජාලය search කිරීමෙන් එසැනින් කරුනු/දැනුම සොයා ගැනීම, හෝ GPS තාක්ශනයෙන්    තමන්ට අවශ්‍ය ඕනෑම තැනකට පහසුවෙන්ම සහ අවහිර මඟහරවා  ගමන් කල හැකි navigation පද්ධති ආදී මෙකී නොකී අංග ඇතුලත්  ඉතා දිග ලැයිස්තුවක් ඔබේ මතකයට ඒවි.

නමුත් මම අද උත්සාහ ගන්නේ ඔබ කොහොමත් දන්නා ඒ ලැයිස්තුව පුනරුච්චාරනය කරන්න නෙවෙයි.
මේ නැබුරුතාවයන් කෙතරම් දුරට පැවති තත්වයන් පුපුරුවා හැර නව අවස්ථා උදා කරන්නට දායක වුනාද  කියලා රසවත් කරුනු ටිකක් එක්ක අපි කතා කරමු.

කෙනෙකුට තමන්ගේ හැකියාවක් ශ්‍රව්‍ය/දෘශ්‍ය මාධ්‍ය හරහා එලි දක්වන්න මීට ඉහත තිබුනු අවස්ථා මොන වගේද? තමන්ගෙ ගායනයක්, රංගනයක් මාධ්‍ය හරහා එලි දක්වන්නට පමනක් නෙවෙයි, කෙටි කතාවක්, කවියක් වත් පත්තරයක පල කර ගන්න කෙතරම් වෙහෙස වෙන්න වුනාද?.දක්ශතා නොසලකා හැරීම්, කළකිරීම් එක්ක , සමහර වෙලාවට දැන හැඳුනුම්කම් ආදිය එක්ක තමයි කෙනෙකුට ඔය අවස්ථාව හිමි වෙන්නෙ.
නමුත් අද දවසේ  සයිබර් තාක්ශනික අවකාශය මේ අධිකාරී බල රාමු, අපහසුතා පුපුරවා හරින්න කුමන ආකාරයේ දායකත්වයක්ද දක්වන්නෙ?


බ්ලොග් අඩවි හරහා තමන්ට රිසි සේ නිදහස් අදහස් ලියවෙනවා, සමාජ ජාල ආදියේ තම මව් බසින්ම ඉතාමත් නිර්මාණශීලි අදහස්, දැනුම, කලා, කාලීන දේශපාලනික සංවාද සමාජගත වෙනවා.

ගුවන් විදුලි/රූපවාහිනි ගැන තිබුන අධිපති මතවාදය බිඳිමින් ඕනෑම කෙනෙකුට තමන්ටම රූපවාහිනි නාලිකාවක්, ගුවන් විදිලි නාලිකාවක් වෙන්නට මග හසර විව්ෘත වෙලා. උදා හරණයක් විදියට යුටියුබ් නම පවා එන්නෙ 'ඔබ ටීවී' එකක් වෙන්න කියන් අරුතෙන්.. මික්සෙලර් වගේ සේවාවක් ගත්තොත් ඔබට ඔබේ නමින්ම එසැණින් ලෝකය පුරා ඔබේ අසන්නන් වෙනුවෙන්  වැඩසටහන් ඉදිරිපත්  කරන්න පුලුවන් ඔබගේ ජංගම දුරකථනය හරහා. . මේ තාක්ශණය දැනට් මෙල්බර්න් නගරයෙ විහාරස්ථාන ධර්ම දේශනා ප්‍රචාරය කරන්නත්  කරනවා.
එදා දක්ශතාවය තියා ගෙනත්, සම්බන්ධකම් නැති නිසා කැලේ පිපෙන්නට වුන මල් වගේ නෙවෙයි, දැන් එස්මියුල් වගේ තාක්ශණයක් එක්ක ගීත ගයන්නත්, අනෙක් මිතුරන් ගායනයට සම්බන්ධ කර ගන්නත් පුලුවන්. හොඳ කටහඬක් තියෙන කෙනෙක් ජනප්‍රිය වෙන්නෙ එක රැයෙන්..ඒකට හිත මිතුරුකම්, සම්බන්ධකම්  ඕනෙ නෑ..සයිබර් අවකාශයෙ ජනප්‍රියත්වය පාලනය කරන්නෙ ඒ අවකාශයේම හැදෙන ජනතා ගාමක බලවේගයකින්.

යුටියුබ් ගැනත් කෙටියෙන් හරි කියන්න ඕනෙ එය කෙතරම් විකාශනය වෙලාද කියලා වානිජ මට්ටමෙන් අතිශය ලාභ ලබා දෙන විදියට.

2016 අවුරුද්දෙ යුටියුබ් එකේ අංක එක වුන ෆිලික්ස් ජෙල්බර්ග්, තම මිලියන 50ක් වන රසික ජාලය පිනවීම නිසා, ෆෝර්බ්ස් ආයතනයට අනුව වෙලඳ දැන්වීම් වලින් විතරක් එම වසරෙ ලබපු ලාභය ඩොලර් මිලියන් 15ක්. 2010 අවුරුද්දෙ ආර්ථික අපහසුකම් නිසා අද්‍යයන කටයුතු පවා අවසන් කර ගන්න බැරි වුන මේ තරුණයා ‍එදා සුලු රැකියාවක් කරන ගමන් ආරම්භ කරපු යූටියුබ් නාලිකාවෙන්, මේ වෙන විට අන්තර්ජාලය නිසා මිලියන ගනනක් උප‍යනවා - නමුත් එලෙසින්  ඔහුගේ වැඩසටහන් කියා ඉදිරිපත් කරන්නෙ මොනවාද කියා ඔබ දන්නවද? හාස්‍යය, උපහාසය මුසු වුනු ආරකින් පරිගණක ගේම් ආශ්‍රිත වීඩියෝ වැඩසටහන් (ව්ලොග්ස්) ආදිය හරහා මිලියන් ගානනක් පිරිසක් වසඟයට ගැනීම තුලයි ඔහු මේ හාස්කම කරන්නෙ.
මේ එක උදාහරණ්‍යක් පමනයි. මට මෙතන පෙන්නන්ට අවශ්‍ය වුනේ සයිබර් අවකාශය තුල සාර්ථක වෙන්න අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය සහ වෙලඳ පොල ගැන තියෙන ඉව පමණයි කියන කාරනය.

තව උදාහරණයක් ගනිමු.. සාම්ප්‍රදායිකව තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ඉස්සර කෙතරම් වෙහෙස වෙන්න වුනාද? ප්‍රචාරක කටයුතු, පුද්ගලික සම්බන්ධතා විතරක් නෙවෙයි, අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය සහ ඒ එක්ක නිතැතින් එන අවදානම ඉතා විශාල වුනා. ඔබ විශ්වාස කරනවද අඩුම ගානෙ තමන්ට කියලා වෙබ් අඩවියක්වත් නැතිව, අන්තර්ජාලයෙ ඊබේ හරහා බඩු විකුනමින් එය තමන්ගේ මූලික ජීවනාලිය කරගත් සයිබර් වෙලෙන්දන් සිටිනා වග. මේ සමහර අය අඩුම ගානෙ ඒ විකුනන දේවල් ගබඩා කරන්නෙ වත් නැහැ.. ඔවුන් කරන්නෙ අතරමැදදෙකුගේ කාරය භාරය.

ඔබට වාහනයක් තිබේ නම්, ඔබේ ස්මාට් දුරකථනයෙ ඌබර් තිබේ නම්, ඔබට අවශ්‍ය වෙලාවට ඔබට කැබ් සේවා සපයන්න පුලුවන් ඔබේම වාහනයෙන්.

ඒ වගේම සුලු පරිමාන ව්‍යාපාරිකයන්ට ඉස්සර වගේ වෙනම පරිගණක ලැබ් ආදිය හදාගෙන, ඒවායේ තාක්ශනික පැත්ත කලමනාකරනය ආදිය කරන්න අවශ්‍ය නැහැ ක්ලවුඩ් කම්පියුටින් තාක්ශනයත් එක්ක. මෙතන වැදගත්ම කාරනේ තමයි මේ සියල්ල එන්න එන්න මිල අඩු වෙන අතරෙ, තාක්ශණික සංකීර්ණතා දිය කරමින් ඕනෑම දැනුම් මට්ටමක කෙනෙකුට මේවා පරිහරණය කරන්න පුලුවන් තරමට මේවා සරල වීම.

ගම් පෙරලියෙ පියල් අලුත් ලෝකෙ අභියෝග ජයගන්න ගමේ ඉඳලා කොළඹ බලා පිටමං වුනාට, අද දවසේ අපිටත්, අපේ දරුවන්ටත් අපි අවට රට විතරක් නෙවෙයි, විශ්වය ජය ගන්නත් ඕන වෙන්නෙ තමන්ගෙ අතේ තියෙන ස්මාට් දුරකථනයට එබෙන්න විතරයි. එය ඒ තරම්ම අවස්ථා සපිරි තෝතැන්නක්.. එහි උවදුරු මග හැරලා, ඒ අවස්ථා දිනා ගන්න  අවැසි වෙන්නෙ විවෘත මනසකින් මේ වෙන පරිනාමය දෙස බලා සුපරීශාකාරීව එහෙත් සුභවාදීව බලන එක.

*** End of Transcript ***
  



No comments:

Post a Comment