Wednesday, May 16, 2018

ඇක්සිඩන්ට් වෙන්න කලින්

මීට සති කිහිපයකට කලින් අපි වාහන අනතුරකට මුහුන දුන්නා. කාටවත් කරදරයක් නැහැ.. නමුත් අපගේ වාහනයටත්, ඒ හා ගැටුනු අනෙක් වාහනයටත් තරමක හානි සිද්ධ වුනා.
සුපුරුදු පරිදි දෙපාර්ශවය, වාහන රක්ශණ කටයුතු වෙනුවෙන් එකිනෙකාගෙ තොරතුරු බෙදා ගත්තා. ගැටුනු අනෙක් වාහනයේ කාන්තාවගෙන් රියදුරු බලපත්‍ර අංකය ඉල්ලා සිටි විට ඇය කීවේ ඇගේ රියදුරු බලපත්‍රයේ චායාරූපයක් ගන්නා ලෙසයි. එම චායාරූපය තුල ඇයගේ වාහන බලපත්‍ර අංකයට අමතරව, ඇයගේ චායාරූපය, උපන් දිනය, ලිපිනය සහ අත්සන යන සියලුම දේ අඩංගු වුනා. එම මොහොතේ හමු වුන ආගන්තුකයෙක්ගෙ දුරකථනය තුල තමාගේ පුද්ගලික විස්තර ඇයගේ කැමැත්තෙන්ම ගබඩා වුනේ ඔන්න ඔය විදියටයි. ඒ සිදුවීම එතනින් අවසන්.

දැන් අනෙක් සිදුවීම. පලමු සිදුවීමට සතියකට, දෙකකට පස්සෙ අපගේ වාහනය අලුත්වැඩියා වීම අහවර නිසා එය නැවත භාර ගන්නා ලෙස
රක්ශණ සමාගමෙන් කැඳවීමක් ලැබුනා. එම ස්ථානයට ලඟා වෙනවාත් සමග මට වැටහී ගියේ රියදුරු බලපත්‍රය රැගෙන ඒමට අමතක වූ වගයි. ඔවුන් වෙත ගොස් මගේ අමතක වීම ගැන සමාව ඉල්ලා, මගේ ජංගම දුරකථනයට අමතා මගේ අනන්‍යතාවය තහවුරු කර ගන්න ලෙස ඉල්ලා සිටි‍යා. මාව පුදුමයට පත් කරමින් ඔවුන් කීවේ, "අපට ඔබගේ උපන්දිනය සහ ලිපිනය නිවැරදිව සඳහන් කිරීම වාහනය ලබා දීමට ප්‍රමාණවත් බවයි". එම ප්‍රශ්න දෙකට පිලිතුරු දුන් සැනින් මට මගේ වාහනයේ යතුර ලැබිණ. මේ පිළිතුරු දැන ගෙන සිටි වෙනත් කෙනෙකුටත් පහසුවෙන් මගේ අනණ්‍යතාවයෙන් පෙනී සිටීමේ හැකියාව තිබුනා.

පලමු සිද්ධියෙන් පැහැදිලි වෙනවා බොහෝ දෙනෙක් කෙතරම් පහසුවෙන්, විමසිල්ලෙන් තොරව තමන්ගේ පුද්ගලික තොරතුරු වෙනත් පාර්ශවවලට ලබා දෙනවාද කියලා.
දෙවන උදාහරණයෙන් පැහැදිලි වෙනවා, අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමට ඒ පුද්ගලික තොරතුරුම තීරණාත්මක කාර්‍යභාරයක් සිදු කරනා බැවින්, එම කරුණු අප කෙතරම් පරෙස්සමෙන් රැක ගත යුතුද කියලා. බොහෝ දුරට දුරකථන මාරගයෙන්, හෝ අන්තර්ජාල සේවා වෙනුවෙන් අනණ්‍යතාවය තහවුරු කර ගන්න ඔවුන් බොහෝ විට විමසන්නේ මෙම විස්තරමය.




මේ ගැන අද දවසේ මතක් කරන්න විශේෂ හේතුවකුත් තියෙනවා.
අද සිට පුරා සතියක්, එනම් මයි 13 සිට 19 දක්වා කාලය, ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නේ Privacy Awareness Week නමින්. මේ සම්බන්ධව ජාතික මට්ටමේ දැනුවත් කිරීම් විශාල ප්‍රමානයක් Office of the Australian Information Commissioner දෙපාරතමේන්තුව හරහා සිද්ධ වෙනවා. පුද්ගලිකත්වය සම්බන්ධ නීතිමය රාමුව සපයන පුද්ගලිකත්ව පනතට (Privacy Act) මේ වසරට හරියටම අවුරුදු 30 ක්.
සයිබර් අවකාශය හරහා අතිශය් ශීග්‍රයෙන් පුද්ගලික තොරතුරු සංසරණය වීමත්, එම තොරතුරු අනිසි ලෙස අන් සතු වීම (Privacy Breach)මගින් ජනතාව ආරක්ශා කරගැනීම වෙනුවෙන් මෙම පනත නිරන්තරයෙන් සංශෝදනයට ලක් වුනා. දත්ත සොරාගැනීම් සම්බන්ධව ගෙවිය යුතු විශාල වන්දි මුදල් (penalties) සහ එවැනි සිද්ධි සම්බන්ධව නොසඟවා, විනිවිදව ජනතාවට කරුනු හෙලි කිරීමට අදාල ආයතනවලට බල කෙරෙන Notifiable Data Breaches (NDB scheme) හරහා ඔවුන් මෙම පනත තදින් ක්‍රියාත්මක කරන තැනකට පැමිණ තියෙනවා.

අපගේ ාඅරක්ශාවට මෙම නීති තිබුනත් පලක් නැහැ අපි අපගේ අයිතීන් ගැන, වගකීම ගැන් අවබෝධයක් නැත්නම්.
කිසියම් රජයේ හෝ පුද්ගලික ආයතනයක් හරහා ඔබගේ පුද්ගලිකත්වයට හානියක් වීනම් හෝ ඔවුන්ගේ නොසැලකිල්ල නිසා ඔබගේ පුද්ගලික විස්තර අන් සතු වුනේ නම්, ඒ ගැන ඔබට ඉහත සඳහන් කල Privacy Commissioner වෙබ් අඩවිය හෝ hotline හරහා කෙලින්ම පැමිණිලි කල හැක.
***
ඔබගේ පුද්ගලික තොරතුරු දෙන සෑම අවස්ථාවකම එය ඇත්තටම ඔවුන්ට අවශ්‍ය දැයි ඔබට ප්‍රශ්න කරන්නට පුලුවන්. පුරුද්දක් විදියට අසා තිබෙන සෑම පුද්ගලික තොරතුරක්ම සපයන්නට එපා එය ඔවුන්ට ඇත්තටම නිල කාරනාවකට අවශ්‍ය නම් හැර. උදාහරනයක් විදියට, ඔබ අන්තරජාල සේවාවක් ලබා ගැනීමේදී ඔවුන් ඔබගේ උපන් දිනය අසන විට ඒ කුමන කාරනාවක් වෙනුවෙන්දැයි දැන ගැනීමේ අයිතිය ඔබ සතුය. පුද්ගලික තොරතුරු එකතු කරන සෑම ආයතනයක්ම Privacy Policy එකක් හරහා ඔවුන් දත්ත එකතු කරන්නේ කෙසේද, ඒවා වෙනත් පාර්ශව සමග බෙදා ගන්නවාද, එසේ බෙදා ගනී නම් ඒ කුමන කොන්දේසි මතද ආදිය ගැන ලිඛිතව සේවා දායකයන්ට ලබා දෙන්නට නීතියෙන් බැඳී සිටිනවා.
***
පරිගණකය, ස්මාට් දුරකථනය ආදියේ ආරක්ශාව වෙනුවෙන් Security Software භාවිතා කිරීම, ඒවා Auto-update වීමට සකස් කර තිබීම වැනි අපි කවදත් මතක් කරන තාක්ශණික කාරනා වගේම ඔබව රවටා ඔබෙන් තොරතුරු ලබා ගන්නා Scam Emails වලට හසු නොවීම සහ සමාජ ජාල හරහා පුද්ගලික තොරතුරු බෙදා ගැනීමේදී ඒ ගැන විමසිලිමත් වීම විශේෂයෙන්ම ඒවා තමන්ගේ මිතුරන්ගෙන් පරිබාහිර අයට පරිශීලනය නොකල හැකි ලෙස සකසා තිබීම අතිශය වැදගත්.

***
ලාංකීය ප්‍රජාව Privacy සම්බන්ධයෙන් ලොකු තැකීමක් කරන්නෙ නැහැ සාමාන්‍යයෙන්. ඔබට බොහෝ විට සමාජ ජාලා වල විශේෂයෙන්ම දකින්න පුලුවන් බොහෝ විට තමන්ගේ පමනක් නොවෙයි අනුන්ගේ පුද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පත් පවා අඩංගු චායාරූප නිතර හුවමාරු වෙන අයුරු. ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමනය වුන ගමන් බොහෝ දෙනෙක්ට තමන්ගේ CV එකේ කරන්න වෙන මූලික වෙනසක් තමා පුද්ගලික තොරතුරු සීමා කරන එක. එහි උපන්දිනය, ස්ත්‍රී පුරුශ භාවය පමණැක් නොව චායාරූපයක් පවා බොහෝ විට ඇතුලත්.
අනන්‍යතා සොරකම් ආශ්‍රිත අපරාධ සම්බන්ධ තොරතුරු වලින් පැහැදිලි වෙනවා මෙම පුද්ගලික තොරතුරු ආදි‍ය යොදා ගෙන සිදුවන එයට ගොදුරු වෙන අයට වෙන මූල්‍යමය හානිය.
***

ඔබට ඔබේ නිවසට ඇතුලු වෙන කෙනෙක්, ගෙදර වටිනා දෙයක් හොරකම් කරගෙන ගියහොත්, සිදුවන පාඩුව මිල කල හැකියි. ඔබට නැවත එය මිලට ගත හැකියි.
නමුත් කෙනෙක් ඔබේ පුද්ගලික තොරතුරු සොරකම් කලහොත් ඔබට එම පාඩුව මිල කල හැකිද? සොරා ගත් අනන්‍යතාවය නැවත ලබා ගත හැකිද? කෙසේවත් නොහැක.
හේතුව ඔබේ අනන්‍යතාව්‍ය, ඔබම නිසා!

No comments:

Post a Comment