Saturday, March 17, 2018

කූඹියෝ ජෙහාන් සහ කෙවින් මිට්නික්


Duration: 4.53 mins
Broadcast Day: 18th March 2018
Transcript:
මේ දිනවල ලංකාවේ ටිකක් වෙනස් මාදිලියේ ටෙලි නාට්‍යයක් වෙත ප්‍රේක්ශක අවධානය යොමු වෙලා තියෙනවා. සති අන්තයේ ස්වාධින රූපවාහිනියේ විකාශය වුන මේ කතාවෙ නම කූඹියෝ.  

ඊයේ රාත්‍රියේ එහි අවසාන කොටස විකාශය වුනත්, එතෙක් මෙතෙක් ටෙලි නාට්‍යයක් සම්බන්ධව ඇතිවුන විශාලම ප්‍රේක්ශක කතිකාව සමාජ ජාලා හරහා නම් තව කාලයක් පවතීවි.

ඇයි කූඹියෝ මෙතරම් ජනප්‍රිය වුනේ. එහි  තිර රචනය, රඟපෑම, චරිත තෝරා ගැනීම, දෙබස්, කැමරා කෝණ, ආදී සියල්ල ඉතා විශිශ්ට මට්ටමේ තිබුනාට අමතරව එහි කතා තේමාව සම්ප්‍රදායික තේමාවෙන් බැහැරව අලුත් ඉසව්වක් අතික්‍රමනය කරන්න තරම් නිර්භීත වීමත් ඊට බලපෑ ප්‍රධාන සාධකයක්.

මෙහි කතා නායකයාගෙ නම ජෙහාන් ප්‍රනාන්දු.
ඔහු කොන් ආටිස්ට් කෙනෙක්, තේරෙන භාශාවෙන් කියනවා නම් ගේම් කාරයෙක්. ඔහුගේ තියුණු සහ සට කපට බුද්ධිය යොදා ගෙන ඔහු රවටන්නේ තමා සමග එකට සිටින අය පමණක් නොවේ, පක්ශ නායකයින්, විසල් ආයතන ප්‍රධානීන්,  පාතාල කල්ලි නායකයින් සහ රටේ පාලන තන්ත්‍රයට පවා සම්බන්ධ ප්‍රභූ චරිත. කතාවේ පෙන්වන හැටියට ජෙහාන් ඉන් ලබන්නේ, මූල්‍යමය හෝ දේශපාලනික උවමනාවකට එහා ගිය එක්තරා වියරු ප්‍රමෝදයක්.

ජෙහාන් ගැන  අද මේ විස්තර ටික කිව්වෙ,   ලෝක මට්ටමෙන් මහත් ප්‍රසිද්ධියක් ලැබූ, fbi's most wanted hacker විදියට හැඳින්වූ කෙවින් මිට්නික් ගැන කියන්න ප්‍රවේශයක් විදියට. 

කෙවින් මිට්නික් මේ සෙල්ලම්  පටන් ගත්තෙ අවුරුදු 13 දි, ඒ ඔහුගේ පාසල් යන බස් රථයේ ටිකට් මැශිම අධ්‍යයනය කරලා හැමදාම සල්ලි නොගෙව යන්න ක්‍රමයක් හදාගෙන. 
ඉදිරි වසර 25 කාලය තුල ඔහු අතින් හැක් වීමට ලක් වුන සමාගම් ගණන තිහකට අධිකයි; මොටොරෝලා, Sun microsystems,  නොකියා, Novell software ආදී සමාගම් ඒ අතර ප්‍රධාන කිහිපයක් පමණයි. 

ඔහු මේ වෙනුවෙන් මුලදී දෙවතාවක් අත් අඩංගුවට පත් වුනත්  නැවත නැවත ඒ ක්‍රියාව වෙත යොමුවෙනවා. ඔහු පසු කලෙක සඳහන් කලේ මේ නරක සෙල්ලමෙන්  ලබන විනෝදයෙන් ඔහු එයට ඇබ්බැහි වී සිටි වගයි.

කෙවින්ගේ ලොකුම ආයුධය වුනේ දුරකථනය හරහා මිනිසුන් රැවටීම මගින් ඔවුන්ගෙන් ඉතා වටිනා අභ්‍යන්තර තොරතුරු  ලබා ගැනීමේ සියුම් හැකියාවයි. ඒ ලබා ගන්නා තොරතුරු හරහා තමයි ඔහුට පුලුවන් වුනේ හිතා ගන්නවත් බැරි තරම් ප්‍රබල ආරක්ශිත රැහැන් අස්සෙන් රිංගා ගොස් මෙවැනි විශාල සමාගම්වල දත්ත හොරකම් කරන්නට. 

කෙසේ වෙතත්, අවසානයේ FBI ආයතනය ඔහුව වසර දෙකක් තිස්සෙ ලුහු බඳින්නවා. වෙනස් වෙනස් අනන්‍යතා එක්ක, තැනින් තැනට පැන යමින් හැංගිලා හිටියත් ඔහු 1995 දි නීතියේ රැහැනට හසු වෙනවා. වසර පහක් හිරේ සිටින්නටත්, ඊට පස්සෙ පරිගණකයක් අල්ලන්නෙවත් නැතුව තව වසර 3ක පරිවාස කල්ලයක් ගෙවන්නටත් ඔහුට නියම වෙනවා.

නමුත් ෆෙඩරල් රජයට ඔහු නැතිව බැරි වෙනවා. හිරෙන් මිදී ආ පසු, පරිවාස කාලය තුලදීම ඔවුන් ඔහුගෙන් අහනවා අපේ රජයේ ආයතනවල තියෙන පරිගණක පද්ධතිවල දුර්වලතා (vulnerabilities) හඳුනාගන්න උදව් කරන්න පුලුවන්ද කියලා. ඔහු ඊට කැමති වෙනවා. රජය හොරු අල්ලන්නට හොඳම හොරෙක් බඳවා ගන්නෙ ඔය ආකාරයෙන්.

එතන සිට ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. 
දැන් ඔහු අන්තර්ජාල ආරක්ශණය සම්බන්ධව   දේශන  පවත්වනවා, විශාල ආයතනවලට උපදෙස් දෙනවා.  එම ආයතනවල අවසරය ඇතිව එම පද්ධති හැක් කරනවා එහි අඩුපාඩු සොයාදෙන්නට (Ethical Hacking)
ආයතනවල සේවකයන්ට ඔහුගේ ආයතනය හරහා මෙවැනි වංචනිකයන්ට හසු නොවන ආකාරය ගැන පුහුණු වැඩසටහන් (Security Awareness trainings) පවත්වනවා.  
ඒ සමගම ඔහු ග්‍රන්ථ කතුවරයෙක්ද වෙනවා. තමාගේ ජීවිත කතාව ලියු Ghost in the wires කෘතිය ඔය අතරින් ඉතා ජනප්‍රිය වුනා. එහිදී ඔහු සැඟ වී සිටි කාලයේ ඔහු විසින් කරන ලද හැකින් සම්බන්ධව සවිස්තරව පැහැදිලි කරලා තියෙනවා.

කෙවින්ගේ ප්‍රධානම අවිය වුනේ රැවටීම, ඔහු පවසන්නෙ දවස්, මාස ගණන් වෙහෙස වෙලා ක්‍රැක් කිරීමකින් තාක්ශණික පරිශ්‍රමයක් යොදා  සොරා ගන්නා විස්තරවලට වඩා දෙයක් එක දුරකථන ඇමතුමකින් ගන්න පුලුවන් වග. මිනිසුන් ස්වභාවිකවම තව කෙනෙක් විශ්වාස කරනවා. ඒ දුර්වලතාවය තමා සයිබර් අපරාධකරුවන් යොදා ගන්නෙ ඉතාම ආරක්ශිත පද්ධතියක් තුලට පහසුවෙන් රිංගා ගන්න. මේ ක්‍රමයෙන් තොරතුරු සොරා ගැනීමට කියන්නෙ social engineering කියලා..

එනිසා ඔබට ලැබෙන ඇමතුම්, ඊමේල් ගැන සැලකිලිමත් වෙන්න. Microsoft ආයතනයෙන් හෝ ටැක්ස් දෙපාර්තමේන්තුවෙන් හෝ බැංකුවෙන් හෝ කියා ඔබ හරහා තොරතුරු ලබා ගැනීමට හෝ  පරිගණකය ආශිත ක්‍රියාකාරකමක් කරවා ගැනීමට ඔබව පොළඹවන්නේ ජෙහාන් කෙනෙක් හෝ කෙවින් කෙනෙක් විය හැකියි.

End Transcript

No comments:

Post a Comment