Friday, March 9, 2018

VPN තේරෙන සිංහලෙන්!!

Duration: 4:53 mins
** Transcript**මීට දවස් කිහිපයකට කලින්, ශ්‍රී ලංකා රජය විසින්  Facebook, whatsapp, viber ඇතුලු සමාජ මාධ්‍ය වාරනයක් ඇති කලා. රට තුල උද්ගත වී ගෙන ආ නොසන්සුන් වාතාවරනය තුල සමාජ ජාලා මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු සංසරනය වීම වැලැක්විමට මෙම පියවර ගත් බවයි රජය ප්‍රකාශ කලේ.
නමුත් තරුණ කොටස් මෙම වාරණයෙන් ගැලවෙන්නට අලුත් උපක්‍රමයක් යොදා ගත්තා.  ඒ තමයි VPN තාක්ශණය. 


මෙය කෙතරම් පුලුල් ලෙස ඔවුන් යොදා ගත්තාද කිවහොත්, මෙම සතිය තුල අන්තර්ජාලය තුල එම වචනය ගැන වැඩියෙන්ම සෙවූ රටවල් අතර ලංකාව 
ලොව පලමුවෙනි ස්ථානය ගත් බව ගූගල් නැබුරුතා (Google Trends) පිටුවේ සඳහන් වුනා.
















ඇත්තටම මොකක්ද මේ VPN කියන්නෙ? 

VPN අකුරුවලින් කියන්නෙ Virtual Private Network කියන එක - ඒ කියන්නෙ අන්තර්ජාලය තුලම තමා වෙනුවෙන් නිමැවෙන එක්තරා ආකාරෙක පුද්ගලික ජාලයක්. කොහොමද මෙය සිද්ධ වෙන්නෙ. අපි සරලව පැහැදිලි කර ගමු.

හිතන්න අපි ගෙදර ඉඳලා ශොපින් සෙන්ටර් එකට යනවා කියලා වාහනේකින්..දැන් වාහනය අන්තර්ජාලය හරහා යන දත්ත පැකට්ටුවක් කියලා හිතුවොත් එයට ඔය තියෙන වංගුවලින්, හැරි හැරි යන්න එයා යන ලිපිනය, ඒ කියන්නෙ ශොපින් සෙන්ටර් එකේ ලිපිනය ඕනෙ. ඉන් බඩු අරගෙන ආපහු එන්න ආපු ලිපිනයත් එහි සටහන් වෙලා තියෙනවා. ඉතින් පාරෙ එයා පහු කරන හැම වන්ගුවකම ඉන්න අයට මේ වාහනේ පරීක්ශා කරලා කියන්න පුලුවන්, එන්නෙ කොහේ සිටද, යන්නෙ කොහේටද කියලා? ඒ කියන්නෙ මේ ගෙදර අය බඩු ගන්න යන ශොපින් සෙන්ටර් එක මොකක්ද, මොන වෙලාවටද යන්නෙ, මොන වාහෙනෙන්ද යන්නෙ, මේ හැමදේම එලියෙ ඉන්න අයට දැනගන්න පුලුවන්. ඉතින් ඉලක්කගත වෙලඳ දැන්වීම්, අනන්‍යතා සොරකම් කරන අයට, ඒ විතරක් නෙවෙයි ඔත්තු බලන අයට මේ විස්තර ගොඩක් ප්‍රයෝජනයි.
මේ විදියට අන්තර්ජාලයටම අඬබෙර නොගහා, අපිට ශොපින් සෙන්ටර් එකට යන්න විදියක් ඇත්තෙම නැද්ද?
ඒක තමයි මේ VPN එක කියන්නෙ?


එතනදි මොකද වෙන්නෙ?


අපි මේ පාර කෙලින්ම ශොපින් සෙන්ටර් එකට යන්නෙ නෑ.. අපි VPN Service එකකට සම්බන්ධ වෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදියට අපේ ගෙදර ඉඳලා ඒ ගොඩනැගිල්ලට අපි කියමු උමගක් සකස් වෙනවා.. ඒකට ඇත්තටම කියන වචනෙ ටනල් - ඒකට එහෙම කියන්නෙ අපි සහ VPN provider එක්ක වෙන සන්නිවේදනය End to End Encrypt වී ඇති නිසා පිටින් බලද්දි ඒ තුල යන වාහන, ඒ කියන්නෙ දත්ත පේන්නෙ නෑ. ඒ අර්ථයෙන් තමයි ඔය ටනල් කියන වචනය ඔතනට එන්නෙ. ඔය මම සඳහන් කර ලිපිනය අන්තර්ජාලය තුල හැදින්වෙන්නෙ ජාලයට සම්බන්ධ උපාංගයට අයිති IP Address එක විදියට.





දැන් අපේ කතාවට ආපහු එමු. අපේ ගෙදර ඉඳලා මේ උමග හරහා අපි ඉස්සෙල්ල යනවා අර VPN network ගොඩනැගිල්ලට. ඒකෙන් මට දෙනවා අලුත් IP Address එකක් එක්ක අලුත් වාහනයක්. ඒ වාහනේ මට දුන්නෙ කියලා දන්නෙ ඒ අය විතරයි. එනිසා ඒකෙ යන්නෙ මම කියලා වෙන කවුරුවත් දන්නෙ නැහැ. දැන් මම ඒ වාහනෙන් ශොපින් සෙන්ටර් එකට ගිහිල්ල බඩු අරගෙන ඒ වාහනෙන්ම ආපහු අර අලුත් ලිපිනයට ගිහිල්ලා, මම ආපු වාහනෙන් අර ටනල් එක දිගේ ගෙදර එනවා. දැන් මම ශොපින් සෙන්ටර් එකට කෙලින්ම නොගියට, අර VPN ගොඩනැගිල්ල හරහා කාටවත් නොපෙන්නෙන්ට ඒ ගමන ගිහින් ආවා.


Geo-Block Spoofing
ලංකාවේ මේ මොහොතේ Facebook වාරනය කර ඇතත් බොහෝ දෙනා VPN හරහා පිටරටක තියෙන server මැදින් ටනල් එකක් හදාගෙන ඒ හරහා Facebook වෙත යනවා. මේකට කියන්නෙ භූගෝලීය- වාරණයන් එනම් Geo-Block මග හැරීම කියා. රාජ්‍යය විසින් අන්තරජාල වාරණයන් පනවා ඇති රටවල ජනතාව, මාධ්‍යවේදීන් එම තහනම් කරන ලද අඩවිවලට පිවිසෙන්නෙත්, සමහර රටවලට පමණක් ලබා දෙන චිත්‍රපටි ආදී අන්තර්ජාල සේවාවන් එම අදාල රටේ VPN server හරහා වෙනත් රටවල අය ලබා ගන්නෙත් මේ ක්‍රමයෙනි. නමුත් මේ එක ප්‍රයෝජනයක් විතරයි.

Using VPN for Privacy and Security

VPN එකේ ලොකුම ප්‍රයෝජනය මම මුලින්ම කිව්ව වගේ තමන්ගේ දත්ත ආරක්ශිතව අන්තර්ජාලය හරහා සන්සරනය කරන එක, විශේශයෙන්ම නිවසෙන් බැහැරව ඔබ වෙනත් නොමිලේ දෙන අන්තර්ජාල පහසුකම භාවිත කරන තැනකදි, උදාහරනයක් විදියට ගුවන් තොටුපලක, හොටෙල් කාමරයක හෝ වෙනත් පොදු ස්ථානවල සපයන Free Wi-Fi ජාල භාවිතා කරද්දි කිසිම දිනක බැන්කු කටයුතු වැනි දේ කරන්න එපා. එසේ කරන්නට අවශ්‍ය නම් අනිවාර්‍යෙන්ම මෙවැනි VPN සේවාවක් භාවිතා කරන්න.


  VPN භාවිතා කිරීම හරිම පහසුයි. විනාඩියක් දෙකක් ඇතුලත ඉතා පහසුවෙන් ඔබගේ පරිගැනකයේ හෝ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගත හැකි නොමිලේ  සහ මුදල් ගෙවා ලබා ගත හැකි VPN සේවාවන් තියෙනවා. VPN කියන්නෙ කිසිම් අයුරකින් තහනම් දෙයක් නොවේ.. (සමහර රටවල් කිහිපයක් හැර)


හැබැයි, පරෙස්සමෙන්!

මෙතනදි මට වැදගත් උපදෙසක් දෙන්න තියෙනවා. සයිබර් අවකාශයේ ඇති දහස් ගණනක් VPN නිශ්පාදන අතරින් ඔබ තෝරා ගන්න සේවා ගැන තරමක් හොයලා බලන්න, මොකද මෙය විශ්වාසය මත පදනම් වෙන වැඩක්. ඉහත උදාහරනයෙන් වුනත් ඔබට පැහැදිලි ඇති ාන්තර්ජාලයෙන් සැඟවෙන්න ඔවුන් හරහා යද්දි, ඒ සැඟවූ
තොරතුරු සියල්ල ඔවුන් දන්නා වග. මේ අයට පුලුවන් ඒ තොරතුරු වෙන අයට විකුනන්න. එනිසයි බොහෝ විට ෆ්‍රී සේවාවන්වලට වඩා, විශ්වාසනීය සහ ප්‍රකට සන්නාම නාමයන් (trusted and reputed brand names) සහිත මිලෙන් අඩු සේවාවන් සඳහා බොහෝ අය යොමුවන්නෙ.  


එනිසා මා නැවත අවධරණය කරන්නේ VPN යනු අන්තර්ජාලය හරහා ඔබගේ අනන්‍යතාවය සහ දත්ත ආරක්ශා කර ගැනීමට ඉතා පහසුවෙන් භාවිතා කල හැකි, නොමිලේ පවා ලබා ගත හැකි තාක්ශණයක්. 

අන්තර්ජාලය හරහා අප කරන් දෙයින් අපට සඟවන්න දෙයක් නැති වුනත්, අප කරන දෙයට ඇස් ගසා ගෙන සිටින කිසිවෙක් එසේ කරන්නෙ අපට ආදරයට නම් නොවේ, එනිසයි අපි මෙවැනි තාක්ශනික ක්‍රමවේද ගැන නිරතුරුව දැණුවත් විය යුතු වන්නෙ..

** End Transcript **

No comments:

Post a Comment