Thursday, May 31, 2018

HACKED by Tamil Eelam Cyber Force

මැයි 18 ශ්‍රී ලංකාවට වැදගත් දිනයක් වූයේ දශක තුනක් පුරා පැවති යුද්ධය අවසන් වීමේ නමවන සංවත්සරය නිසා. මේ එක්ක එහි සැමරුම් සම්බන්ධව උතුරේ සහ දකුණේ දේශපාලනයය උණුසුම් වෙද්දි, සයිබර් අවකාශයටත් එහි කම්පන තරංග එකතු වුනා. බලාපොරොත්තු වූ විදියටම සමා ජාලා මේ ගැන සක්‍රිය වුනා. 

නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටි දෙයක් සිද්ධ වුනා සයිබර් අවකාශයේ,  ඒ තමයි රජයට සම්බන්ධ  වෙබ් අඩවි කිහිපයක් 'Tamil Eelam Cyber Forces' නම් කන්ඩායමක් විසින් හැක් කිරීමට ලක් කිරීම.


ඔවුන් විසින් හැක් කිරීමට ලක් කල අඩවි වල ප්‍රධාන පිටුව පුරා ඔවුන් තමන්ගේ පනිවිඩයක් අලවා තිබුනා, මෙයට සාමාන්‍යයෙන් කියන්නෙ website defacement කියලා. මේක අනුන්ගෙ බිත්ති, තාප්ප graffiti රූප වලින් අනවසරයෙන් කුරුටු ගා දමනවා  වගේ දෙයක්. එනිසා Electronic Graffiti එකක් වගේ දෙයක් කියලත් කියන්න පුලුවන් කෙනෙකුට.බොහෝ විට ලොව වටා ආගමික හෝ රජයේ අඩවිවලට මේ ප්‍රහාර එල්ල වෙනවා මොකද මේ අඩවි ඉලක්ක කරන අයගෙ අභිප්‍රාය දත්ත සොරකමක හෝ අඩවිය අකර්මන්‍ය කිරීමකට වඩා දේශපාලනික අරමුනක් හෝ පනිවිඩයක් දෙමින් ඉලක්කගත වෙබ් අඩවියට අසීරුතාවයකට පත් කිරීම. මෙලෙසින් විරෝධාකල්පමය ආකාරයෙන් කරන සයිබර් ප්‍රහාර වැටෙන්නෙ hacktivism වර්ගීකරනයට.

ඉහත සඳහන් කරපු රජයේ වෙබ් අඩවිවල, හැකර් කන්ඩායම අලවා තිබූ පනිවිඩයෙන් කියවුනේ, ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් යුද්ධය අවසානය වෙද්දි  ජන සංහාරයක් සිදු කර ඇති බවත්, දමිළ ජනතාව ඔවුන් දැනටත් පීඩාවට පත් කරන බවත්.   යුද්ධ සමයේ සිවිල් ජනතාව සිටි රෝහල් වලට පවා ප්‍රහාර එල්ල වූ බවත්, දමිළ කාන්තාවන් ලිංගික හිංසනයට පවා නිරන්තරයෙන් ලක් වුන බවත්  එම පනිවිඩයේ තව දුරටත් සඳහන් වුනා. මෙය ඔවුන් විසින් කරන ලද්දේ, උතුරු පළාත් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ජන සංහාර සතිය'ට ප්‍රචාරයක් ලබා ගන්නා අටියෙන් බව පැහැදිලියි. 
මෙලෙස හැක් කිරීමට ලක්වූ අඩවි ලෙස ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය, මඩකළපුව මහ නගර සභා වෙබ් අඩවිය, කොළඹ පිහිටි කේරල කොන්සියුලර් ජෙනරාල් වෙබ් අඩවිය ආදියයි. ඉතා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට ගොදුරු වූ බවට මුලින් වාර්තා වුනත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL CERT ආයතනය) සඳහන් කලේ හානියට ලක් වුනේ වෙබ් අඩවි කිහිපයක් පමණක්  බවත් ඒ සියල්ල ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කල බවත්.

මෙවැනි ප්‍රහාර මීට පෙර වසරෙදිත් සිදු වුන නිසා මේ ගැන CERT සංසදය රජයේ ආයතනවලට කලින්ම අනතුරු හඟවා තිබුනා. ාප බොහෝ දුරට දකින දෙයක් තමයි රජයේ වෙබ් අඩවිවල ආරක්ශිත පැත්ත ගැන තියෙන අඩු සැලකිල්ල සහ තාක්ශණික පැත්තෙන් තියෙන ප්‍රාථමික බව. මෙයට බොහෝ දුරට හේතු වී තියෙන්නේ සයිබර් අවදානම (Cyber threats and risks) ගැන මුල් පුටු හොබවන අය තුල තියෙන නොසැලකිල්ල සහ අඩු අවබෝධය.උදාහරණයක් විදියට, ඉහත හැක් වීමට ලක් වූ එක් ප්‍රධාන වෙබ් අඩවියට එදිනම අදාල දෙපාර්තමේන්තුවේ විශය භාර ඇමතිවරයාගෙන් ඩේලි මිරර් පුවත්පතෙන් මේ ගැන විමසූ විට ඔහු පවසා ඇත්තේ එදින සිකුරාදා දිනයක් නිසාත්, තමා ඒ මොහොතේ අමාත්‍යංශයේ නොසිටිය නිසාත් ඒ ගැන කිසිවක් කල නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඊට පසු සතියේ සඳුදා දින සොයා බලන බවත්. ඉන් පසු ඩේලි මිරර් පුවත්පත CERT සංසදයෙන් මේ ගැන දැනුවත්දැයි අසන විට තමන්ට අමාත්‍යංශයෙන් තවමත් නිල දැනුම් දීමක් නොලැබුනු බවත් මාධ්‍ය සහ වෙනත් පාර්ශව වලින් මේ ගැන දැනුවත්වීම කර ඇතැයි ඔවුන් පවසා තිබෙනවා. මෙයින් ඔබට පැහැදිලි වෙනවා ඇති මෙවැනි රජයේ අඩවිවලට ප්‍රමානවත් ආරක්ශාවක් සපයාදීමට අවශ්‍ය මගපෙන්වීම සහ අනුග්‍රහය වෙනුවෙන් ඇති ජාතික මට්ටමේ අභියෝගය.

අද ලොව පුරා අපි කාටවත් ඇස් පනාපිට නොපෙනුත් බලගතු රටවල් මූලික වී එකිනෙකා අතර දැවැන්ත සයිබර් යුද්ධයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් සංවර්ධිත රටවල් අතිශය විශාල මුදලක් වැය කරනවා. අනාගතයේ ආයුධවලින් කරන සටනකට වඩා විශාල හානියක් සතුරාට කිරීමට හැක්කේ සයිබර් ප්‍රහාර මගින් බව ඔවුන් විශ්වාස කරනවා. ලංකාව වැනි පරිධියේ රටකට එවැනි රාජ්‍ය විසින් මෙහෙයවන ප්‍රහාර (Nation Sponsored Cyber Attacks) එල්ල නොවුනත්, ඊට වඩා සාපේක්ශව ඉතා අඩු මට්ටමේ මෙවැනි ප්‍රහාරයකටවත් අවශ්‍ය මූලික සූදානමක් නැති කම ඇත්තටම අතිශය අවදානම් තත්ත්වයක්. ඒ ගැන බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වසර කිහිපයක සිට ඉතා සාධනීය පරිචයක් ලබමින් තිබෙන බවත් මෙහිදී සඳහන් කල යුතුයි. උදාහරණයක් විදියට, පසුගිය නොවැම්බර් 28 සහ 29 යන දිනයන්හි ශ්‍රී ලංකා සංඥා බලකාය තම 75 වන සංවත්සරය සැමරුවේ සයිබර් අවකාශයත සදාතන යුධ පෙරමුණ’ යන තේමාව යටතේ කාලෝචිත ජාත්‍යන්තර සමුළුවක් සහ දැවැන්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්‍රදර්ශනයක් සමඟින්.

එහිදී හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේහි සංඥා සම්බන්ධතා, විද්‍යුත් සංග්‍රාමික කටයුතු, තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂාව යන අංග ඔස්සේ සංඥා බලකාය වෙත පැවරෙන වඩාත් වූ භාරදුර වගකීම ගෙනහැර දක්වා තිබෙනවා. ඔහු සඳහන් කලේ ගොඩබිම, මුහුද සහ ගුවන ආවරණය කරන පැරණි යුධ කලාව අතික්‍රමනය කරමින් නවීන යුධවේද සංකල්පය තුලට පස්වන මානය නැතහොත් 5th dimension of war වශයෙන් සයිබර් ක්‍රියාකාරකම් එක් වී ඇති වකවානුවක තාක්ශණික දියුනු හමුදාවන්හි ක්‍රියාකාරිත්වය ජාතික ආරක්ශාව වෙනුවෙන් දැනටමත් යොදා ගනිමින් සිටින වගයි.

මූලාශ්‍ර
Tourism Ministry website hacked by Tamil Eelam Cyber Force
ශ්‍රී ලංකා සංඥා බලකාය සයිබර් තර්ජනයන්ට එරෙහිව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරමුණට - යුද්ධ හමුදාධිපති පවසයි


No comments:

Post a Comment