Wednesday, December 18, 2019

Episode 30 - පවුල් බැම්ම කඩා දමන අන්තර්ජාල කල්ට්

Episode 30 - Broadcast on 3ZZZ radio on 12 Aug 2018

මේ කියන්න යන දේ ඔබ බොහෝ දෙනෙක් අසා වත් නැති වග මම දන්නවා. මෙය එක්තරා විදියකට ඔබ ව භීතියකට පත් කරන පුවතක් වේවි. නමුත් අපි සයිබර් අවකාශයේ වෙන අහිතකර දේ ගැන නෑසූ කනින් සිටි පමණින්, ඒවා නැති වෙන්නෙ නැහැ. අහිතකර දේ ගැන සබුද්ධික වීමෙන් තමයි එයට එරෙහිව අපි කෙලෙස ක්‍රියාත්මක විය යුත්තේද කියලා යම්කිසි දැණුවත්භාවයකට එන්න පුලුවන් වෙන්නෙ.

මම මේ කතා කරන්න යන්නෙ අන්තර්ජාල කල්ට් ගැන - ඒ කියන්නෙ අසම්මත විශ්වාසයන්, ජීවන රටාවන් වෙත, විශේෂයෙන්ම තරුණ දරුවන් ආකර්ශනය කර ඔවුන්ගේ ජීවිත අඳුරට පත් කරන අන්තර්ජාල පිලිලයන් ගැන.
මේ සත්‍ය කතාවට මොහොතක් සවන් දෙන්න.

මෙහි කතා නායිකාව මරිසා ඕකොනර්. පවුලේ එකම දරුවා. මේ වෙද්දි ඇයට වයස 21යි. ජීවිතේ ගැන ටිකක් විතර අලුත් මානයකින්, ටිකක් රැඩිකල් විදියට හිතන වයස. දෙමාපියන් එක්ක මත ගැටුම් හැල හැප්පීම් එන්න එන්න වැඩි වුනා. එක දවසක් ගෙදර ලියුම් පෙට්ටියෙ වාක්‍ය තුන, හතරක ලිපියක් ලියා තියලා ඇය අතුරුදහන් වුනා.

ලිපියේ තිබුනේ මෙන්න මෙහෙම.
"Hello, Dad, I have decided to take an indefinite break from our relationship. Please do not try to contact me. I will contact you if and when I decide to resume our relationship. Sincerely, Marisa."

මෙම ලිපියම ඇය අම්මටත් යවලා තිබුනා. මේ සමග මයික් සහ ජැකී ඕකොනර් යුවල කෙතරම් කලබල වුනාදයි කියන්න අවශ්‍ය නැහැනෙ. දරුවාට කරදරයක්ද, ඇය හොඳින් ඉන්නවද, ඉන්නෙ කොහේද කා සමගද කියා දැන ගන්නට ඔවුන් අනේක විධ උත්සාහයන් ගත්තත් එය සාර්ථක වුනේ නැහැ. මින් ඔවුන් දෙදෙනාම ඉතා විශාල ලෙස මානසිකවා කඩා වැටීමකට ලක් වුනා.

ඔවුන් ඒ වෙන කොට දැන සිටියෙ නැහැ, මරිසා අන්තර්ජාල කල්ට් එකක ගොදුරක් වෙලා තිබුනා කියලා. කැනඩාවේ සිට ක්‍රියාත්මක වෙන, දාර්ශනිකයෙක් ලෙස පෙනී සිටින ස්ටෙෆාන් මොලිනෝ කියන පුද්ගලයා ඔහුගේ මතභේදාත්මක අදහස් freedomainradio.com සහ ඔහුගේම යූටියුබ් නාලිකාවක් හරහා සමාජගත කරමින් ඉන්නවා. ඔහු මේ මොහෙතෙත් ක්‍රියාත්මක්‍යි. ඔබට එම වෙබ් අඩවියට හෝ යූටියිබ් නාලිකාවට ගොස්, එහි ඇති වැඩසටහන් බලන්නට පුලුවන්. අන්තර්ජාලයට දහස් ගණනින් ඔහුගේ රේඩියෝ වැඩසටහන් සහ වීඩියෝ ඔහු මේ වෙනවිට මුදා හැර තිබෙනවා. ඒවාට ආකර්ශනය වෙන තරුණ කොටස් ඒවා අසන්නේ එක්තරා ආකාරෙක ඇබ්බැහියකින් වගේ. ඔහුට නිත්‍ය ප්‍රේක්ශකයන් ඒ කියන්නෙ සබ්ස්ක්‍රයිබර්ස්ලා 650,000 පමණ ඉන්නවා.. ඔහුගේ දේශන ඔවුන් අසා ඇති වාර ගනන එකතුව මිලියන 185ක් පමණ.

සෙටෙෆාන්ට අනුව දෙමාපියන් දරුවන්ව වහල් කරගෙන, ඔවුන් මත ආදිපත්‍යය පතුරවා ගෙන සිටිනවා හරියට පීඩකයන් වගේ. තමන්ගෙ නිදහස වෙනුවෙන් පවුලෙන් සදාකාලිකව ඉවත් විය යුතු වෙනවා. මේ ඔහුගේම වචන.
A child is a complete slave to the parents, and it's the greatest power disparity in the world.
Life is short, and if you can't get people around you to treat you well, then don't bother being around them, and this is the deFOOing process.

මෙතන ස්ටෙෆාන් ඩිෆූ කියලා අදහස් කරන්නෙ පවුල සමග සියලු සම්බන්ධතා අත හැරීම. මේ වචනෙ එන්නෙ ෆූ - කියන යෙදුමෙන් - F-O-O  Family of Origin - deFoo
- එනිසා ඒ වචනේ ඉදිරියට ඩි කියන ප්‍රත්‍යය යොදලා කියන්නෙ තමන්ගේ පවුල හෝ ඉතා සමීප හිත මිතුරන් සියල්ල අත හැර මෙම FreeDomainRadio (FDR) community එකට 
එකතු වීම.
මරිසා කරෙත් මෙයයි. ඇය ස්ටෙෆාන්ගෙ මෙම කල්ට් එකට නතු වුනා.. ගෙදර අය අත හැරලා කවුරුත් නොදන්න තැනක සැඟවිලා අන්තර්ජාලය හරහා මෙම කල්ට් එකේ අනික් අය එක්ක පමණක් සම්බන්ධතා පැවැත්වුවා.. ඒ හැමෝගෙම වීරයා වුනේ ස්ටෙෆාන්. පැය දහස් ගනනින් ඔහුගේ කතා අසන්නට ඔවුන් මාස් පතා අන්තර්ජාලය හරහා ඔහුට ගෙවීම් කලා. ඔවුනුත් එවැනිම අන්තර්ජාල නාලිකා පටන් අරගෙන ස්ටෙෆාන්ගෙ පනිවිඩය අනෙක් තරුණ කොටස් අතර ගෙන යන්නට ක්‍රියාත්මක වුනා. ඒ නිසා තමන්ගේ නායකයාගෙන් එපිටින් තියෙන ලෝකයක් දෙස විව්ෘතව බලන්නට මේ සාමාජිකයන්ට අවස්ථාවක් තිබුනේ නැහැ.

නමුත් මරිසාට මේ වැඩේ ලේසි වුනේ නැහැ. අවුරුදු හතරක් මෙහෙම ගෙවෙද්දිත් මරිසට ගෙදර අමතක කරන්න බැරි වුනා. ඔය අතරෙ ඇය දන්න කෙනෙක් මේ කල්ලිය අත හැර ගියා. කල්ට් නායක ස්ටෙෆ්ෆන් තම්න්ගෙ කල්ලියෙන් යන අයට විරුද්ධව ඉතා දරුනු පුද්ගලික මට්ටමේ පහර දීම් කරනවා.. නමුත් මරිසා දකිනවා ඒ ඉවත් වුනු පුද්ගලයා තමන්ගෙ පවුල සමග නැවත සම්බන්ධ වී ඉතා සතුටින් ජීවත් වෙන හැටි. මෙයින් ඇ‍ය වටහා ගන්නවා ඇය නොදැනුවත්වම ඇය සෙට්ෆාන්ගෙ කල්ට් එකට හසු වීම නිසා තමන්ට ආදරය කල පවුලේ අයට වරදක් කල වග. ඔය අතරෙ මරිසගෙ මල්ලි ඇයගෙ බ්ලොග් පිටුවට පනිවිඩයක් එවනවා. ඔවුන් මරිසා ගැන දැණ ගන්න එකම තැන මේ බ්ලොග් අඩවිය. මරිසා ඊට පිලිතුරු දෙනවා. මේ විදියට ඕකොනර් පවුල නැවත එකතු වෙනවා.
තමන්ගෙ අතින් වුනු වැරදිවලට දෙමාපියන් ඇයගෙනුත්, ඇය දෙමාපියන්ගෙනුත් සමාව ගන්නවා.පවුල දෙකඩ කරන්න උදව් වුන අන්තර්ජාලයම, ඒ පවුලට එකතු වෙන්න උදව් කරෙ එහෙමයි.


අපේ කතාවෙ කතා නායිකාවට නැවත දෙමාපියන් වෙත එන්න හැකියාව ලැබුනත්, හැමෝම එතරම් වාසනාවන්ත නැහැ. එනිසයි කල්ට් එකකට හසු වෙන්න කලින්, ඉන් වැලකෙන්න උත්සාහ කිරීම වැදගත් වෙන්නෙ.

මෙය අවසන් කිරීමට මරිසගෙ පියා සඳහන් කල යමක් මෙතනට එකතු කිරීම සුදුසුයි කියලා හිතුනා.

"මම හිතාගෙන හිටියා, කල්ට් එකක් කියන්නෙ කෙනෙක්ව එලියට අරන් ගිහින්, තම් ගාව තියාගෙන මොළේ වෙනස් කරලා තමන්ගෙ පැත්තට නම්ම ගන්න කල්ලි වලට කියලා. දැන් එයාලට ඒක ස්ක්‍ර්‍රින් එකක් හරහා කරන්න පුලුවන්;
තව දුරටත් එලියට රැගෙනයන්න අවශ්‍ය නැහැ.
තාක්ශණය හරහා මේ කල්ලිවලට ගෙදර ඇතුලෙ ඉන්න කෙනාගෙ ඔලුවටම රිංගන්න පුලුවන්"




No comments:

Post a Comment