Wednesday, December 18, 2019

Episode 40: අද සජීව විකාශය ගෙන එන්නේ තර්ස්තවාදියෙකි..

Broadcast on 3ZZZ radio on 31 Mar 2019

මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා.
මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්‍ය භාවිතාව පැත්තෙන් ඉතා භයානක ප්‍රවනතාව‍යක් සනිටුහන් කලා. ඒ තමයි ඔහු එම සමූල ඝාතනය වෙනුවෙන් පැමිණීම සහ ඒ වෙඩි තැඹීම, හිස පැලඳි හෙල්මටයේ රඳවාතිබු Go Pro නම් ඉතා කුඩා නමුත් ප්‍රබල කැමරාවක් හරහා සජීවීව තමන්ගේ ෆේස්බුක් ගිනුමෙන් විකාශය කිරීම. ඝාතනයට සූදානමක් ලෙස 8chan forum නම් වූ වාරනයෙන් තොර  වෙබ් අවකාශයක ඉතා දීර්ඝ කරුනු දැක්වීමක් manifesto එකක් ලෙස එකතු කරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවේ යොමුවක්ද කරමින් අන්ත දක්ශිණාංශික පාර්ශ්වවලට මේ ගැන කලින්ම ඔහු ඉඟි කිරීමක් කර තිබුනා. එනිසා විනාඩි 17ක් තිස්සේ ඔහුගේ වෙඩි ප්‍රහාරය නිසා නිරායුධ අහිංසකයන් ඇද වැටෙද්දී, එය ඒ මොහොතේම ෛතා විශාල පිරිසකට දර්ශනය වුනා. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් යන ආයතන විනාඩි 20 ඇතුලත මෙම වීඩියෝව ඉවත් කලේ නවසීලන්ත පොලිසියේ ඉල්ලිම මතයි. නමුත් පැය 24ක් ඇතුලත මෙම වීඩීයෝවෙම, විවිධ ක්‍රම හරහා ජාල ගත කිරීම් මිලියන 1.5ක් ඔවුන්ට නැවත ඉවත් කරන්නට හෝ upload ප්‍රයත්නයන් අවහිර කරන්නට   සිද්ධ වුනා. කිසිම මාධ්‍ය ආයතනයක් මෙම සංවේදී දර්ශන විකාශය නොකරන්නට වග බලා ගත්තත් එලෙසින් සයිබර් අවකාශයට එකතු කරන ලද යමක් 100% ඉවත් කරන්නට බැහැ.. එහි භාගත කරන ලද දර්ශන හෝ වීඩියෝවේ නිස්චල චායාරූප හුවමාරු වීම නැවැත්වීම අතිශය අපහසු කටයුත්තක්.

මෙය තර්ස්තවාදයේ එක් බිහිසුනු ප්‍රවනතාවයක්. මෙලෙසින් අයිසිස් නම් ඉස්ලාමික අන්තවාදී සංවිධානයද තමන් සන්තකයේ සිටින සිරකරුවන් ඝාතනය කරන අයුරු සහ ඔවුන් හරහා සතුරු රටවලට අනතුරු ඇඟවීම කරන අයුරු අප දැක ඇත්තෙමු. අන්තර්ජාලයේ darkweb නම් අවකාශයේ නිර්නාමික ලෙස මෙම කල්ලි තමන්ගේ ප්‍රචාරක සහ ආයුධ හුවමාරු කටයුතු ජයටම කරගෙන යනවා. darkweb අවකාශයේ මෙලෙසින් රහසිගත කාරනා සංසරනයට ඔවුන් තාක්ශනය යොදා ගන්නා අතරේ, එහි අනෙක් අන්තය වෙන සැමටම විව්ෘත surface web අවකාශයේ Live Streaming, වෙබ් බ්ලොග් අඩවි, ට්විට‍ර්, යූටියුබ් යනාදිය යොදාගෙන තමන්ගේ පනිවිඩය ඉතා සැණින් සහ සාහසික ලෙස ජනගත කරන්නට මෙලෙසින් Performance Crimes සිදු කරනවා. උදාහරනයක් විදියට ඉහත ඝාතන සිදු කල පුද්ගලයා ප්‍රකාශයට පත් කල මැනෙෆෙස්ටෝවට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුනේ ඔහු ඒ වෙනුවෙන් කල අපරාධයේ පරිමානයේ ඉහලකම නිසාය.

අප ඉදිරියේ ඇති අභියෝගය මෙයයි. ඔබ හොඳින් නිරීක්ශනය කලොත් ෆේස්බුක්, යූටියුබ් යන මාධ්‍ය සහ රියලිටි ටීවී ආදියෙන් එක මොහොතෙන් සාමාන්‍ය මිනිසුන්, තරු බවට පත් කරනවා, ඊට හේතුව එය නරඹන්නන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවල ක්ශනිකබව සහ විසල්බව. මිනිසුන් අතරෙ ගැටුමක්, අපහාස කර ගැනීමක් පවා ෆේස්බුක් වගේ මාධ්‍ය හරහා ලැව් ගින්නක් විදියට ශෙයා වීම ඔබ දැක ඇති. තමන්ට කෙලින්ම නොදැනෙන දුක, වේදනාව සමාජ ජාලා හරහා උඩ පල්ලෙහා යන ඇස්වලට තවත් විනෝදාස්වාදයක් පමණයි. ත්‍රස්තවාදීන් යොදාගන්නේ මේ මිනිස් දුර්වලතාවයයි..

ඒ නිසා ඔබත් මින් පස්සෙ '' Share" බොත්තම ඔබද්දි ඔබෙන්ම අසන්න ඒ බෙදා හරින පනිවිඩයෙන් වෙනත් කෙනෙකුට සෙතක් වන්නේද, එහි සත්‍යබව ගැන ඔබට වගකිව හැකිද, ඉන් තවත් පාර්ශවයකට සිත් වේදනාවක්, අගතියක් නොවන වගට ඔබට සහතික විය හැකිද යන කාරනය ගැන..
හේතුව රූපවාහිනිය, ගුවන් විදුලිය මෙන් නොවේ, සමාජ ජාලා ක්‍රියාකාරිත්වයේ සාධනීය වෙනසක් විය යුතු නම්, එය ඇරඹිය යුත්තේ අපගෙන්ම නිසාවෙන්..


No comments:

Post a Comment