Wednesday, December 18, 2019

Episode 45: මුහුන මහලු කරන FaceApp නාකි විසේ

Broadcast on 3ZZZ radio on 28 Jul 2019

මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා...
මෙම FaceApp ඇප් එක මඟින් මුහුන වයසට යවනවට අමතරව, මුහුන තරුන කිරීම, රැවුල එක් කිරීම, කොන්ඩය වෙනස් කිරීම වැනි විවිධ වෙනස් කිරීම් ඉතා තාත්ත්විකව, තත්පර කිහිපයක් ඇතුලත සිදු කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් එම ඇප් එක තමන්ගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ ජාලා ගිනුම් සමඟ සම්බන්ධ කර ගත්තේ හැකි ඉක්මනින් තම මිතුරු කවයන් සමඟ මේ අපූරු වයසට යවන ලද චායාරූප ශෙයා කර ගන්නටයි.
නමුත් දවසක්, දෙකක් යන්නටත් කලින් බටහිර මාධ්‍ය මෙම රැල්ල සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙසින් උපදෙස් දුන්නා. ඇප් එක ඉන්ස්ටෝල් කරද්දී, බොහෝ දෙනෙක් නොකියවා එකඟ වෙන කොන්දේසි (Terms of Service) අතරේ එය භාවිතා කරන අයගේ චායාරූප සහ වෙනත් විස්තර සමබන්ධව පූර්ණ අයිතිය එම ඇප් නිර්මාපකයන්ට ලැබෙන බවක් හැඟ වුනා. එහි සඳහන් වූ වචන කිහිපයක් මේ.
"perpetual, irrevocable, nonexclusive, royalty-free, worldwide" ownership of images -  සහ එලෙස ලැබෙන පුද්ගලික විස්තර වෙනුවෙන් "use, reproduce, modify, adapt, publish [and] translate" පූර්ණ අයිතිය ඔවුන්ට ලැබෙනවා.
බටහිර මාධ්‍ය මින් වඩාත් කලබල කරේ මෙම ඇප් නිර්මාපකයන් රුසියාවේ වීම. මෙම ඇප් එක හරහා බටහිර ලොවේ සතුරන් ඉතා උපක්‍රමශීලිව මිලියන ගනන් මිනිසුන්ගේ මුහුනේ විස්තර සහ නම් ගම් එකතු කර ගත්තාදැයි ඔවුන් සැක පහල කරා. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයකින් ලබා ගන්නා රූපයක, එම රූපයට අදාල බොහෝ තොරතුරු තියෙන බව ඔබ බොහෝ දෙනෙක් දන්නෙ නෑ.. එම රූපය ගත් ස්ථානය (geo-spatial information), ජංගම දුරකථන පද්ධතිය කුමක්ද වැනි තොරතුරුත්, ෆේස්බුක් වැනි සමාජ ජාලා සමඟ එම ඇප් එක සමබන්ධ කිරීම මඟින් නම, ගම සමඟ සියලුම රූප, වීඩියෝ ආදිය වෙත පිවිසුම් අයිතිය (access privileges) මෙවැනි ඇප් වලට ලැබෙනවා. එනිසා නම, ස්ථානය, මුහුන අඩංගු චායාරූප, කැමරාවට පිවිසුම් හැකියාව සහ නෛතිකව ඒවා භාවිතා කිරීමට පූර්ණ බලතල ලැබෙන මෙම තත්වය ඉතා පැහැදිලිවම භයානකයි බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.

නමුත් මෙය රුසියාවට සම්බන්ධ ඇප් එකක් නිසා, බටහිර මාධ්‍ය මෙලෙසින් ඉතා විශාල ලෙස එහි අඳුරු පැත්ත කතා කරත්, මෙලෙසින්ම අපගේ පුද්ගලික විස්තර බටහිර ලෝකයේ තාක්ශනික දැවැන්තයන් වෙන ෆේස්බුක්, ගූගල් සහ වෙනත් සමාජ ජාලා එම සේවා භාවිතා කිරීමේදීත් මීටත් වඩා පුළුල්ව  ඇදී යනවා. කුප්‍රකට Cambridge Anlytica සිදුවීමේදී, මිලියන පනහක පිරිසකගේ දත්ත ඇමරිකානු ජනාධිපතිවරනයේ ප්‍රචාරක වැඩ සඳහා අවසරයකින් තොරව යොදා ගත්තේ "This is your digital life" නම් ෆේස්බුක් ඇප් එකක් හරහා එකතු කරගත් විස්තර යොදා ගනියි. මේ සමඟ ඇමරිකානු සෙනෙට් මන්ඩලයේ ප්‍රශ්න කිරීම හමුවේ, ෆේස්බුක් ප්‍රධනි මාක් සකර්බර්ග් විසින් පිලිගත්තේ, දත්ත ආරක්ශාකිරීම සම්බන්ධ ප්‍රමානවත් විධි විධාන ඔවුන් ක්‍රියාත්මක නොකල බවත්, ඒ සඳහා ඉදිරියේදී බරපතල ලෙස මැදිහත් වෙන වගත්.
එනිසා මෙය පැහැදිලිවම එක ඇප් එකක් සම්බන්ධ ගැටලුවක් නොවේ. එනිසා  ෆේස ඇප් එක ගැන එය රුසියන් වීම නිසා මෙලෙසින් මාධ්‍ය උලුප්පා කතා කිරීම  එක්තරා විදියකින්සැඟවුනු ආශිර්වාදයක්. ඒ හරහා ඇප් එකතු කර ගනිද්දී ඒවා ඇත්තටම අවශ්‍යද, එයට access ඉල්ලන්නේ මොනවාටද, අපගේ පුද්ගලික විස්තර අනවශ්‍ය ලෙසෙයට ලබා දෙනවාද ආදිය ගැන තරමක දැණුවත් වීමක් බොහෝ දෙනෙකුට ලැබුනා.
සයිබර් අවකාශය තුල අපගේ පුද්ගලිකත්වය විකිනෙන වග සත්‍යයක්..

නමුත් හරි දැනුවත්වීමක් අවශ්‍ය වන්නේ, සිල්ලර විනෝදයක් වෙනුවෙන්, අපගේ පුද්ගලිකත්වය තොග පිටින් විකුනනන්නේ නැති හෙට දිනයේ ගනුදෙනුවක් වෙනුවෙන්..

No comments:

Post a Comment